අතන මෙතන

මහින්ද ගිය අමුතු අවරුදු උත්සවය

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිද්දෙන් මෙවර ද අවුරුදු සැමරුවේ, තංගල්ල කාල්ටන් නිවසේ ය. පවුලේ සාමාජිකයින්, ගම්වාසීන්, පොදු ජන පෙරමුණේ සහ ඊට හිතවත් අනෙකුත් පක්ෂ වල සාමාජික සාමාජිකාවන් ද ඊට සහභාගි වී සිටි අතර වඩාත් විචිත්‍ර වූයේ 13 වැනිදා හෙවත් ‘පරණ අවුරුද්ද දා’ එහි පැවති ‘අවුරුදු උත්සවය’ යි.

මේ අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ, පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසද විසිනි. මේවායෙහි සාමාජික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් මෙම අවුරුදු උත්සවයට කාල්ටන් නිවසට පැමිණ සිටියේ කැවුම් කොකිස් කදමලු ද බැඳගෙනය.

අවුරුදු උත්සවයේ පැවැති ‘අමුතු තරග’ ද, ඒවාට පිරිණැමුණු ‘අමුතු තෑගි‘ ද දුටු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ද සිනහ නවත්වාගැනීමට නොහැකි විය.

එක් තරගයක් නම් කර තිබුණේ ‘මහබැංකුව බිඳීමේ තරගය‘ යනුවෙනි. ‘මහබැංකුව’ ලෙසින් සැලකුණේ, පුම්බාපු බැලුන්’ ය. පළමුවෙන්ම ‘බැලූනයක්’ හෙවත් ‘මහබැංකුවක්’ පිපිරවූ අය ‘හොඳම මහබැංකු බිඳින්නා’ ලෙස නම් කෙරුණු අතර ඔහුට තෑගි ලෙස ලැබුණේ, ‘ලැම්බෝගිනියක්’ ලෙස නම් කළ ‘සෙල්ලම් කාරය’ කි.

තවත් තරගයක් නම් කර තිබුණේ, ‘රත්තරන් අශ්වයාට ඇස තැබීම’ යනුවෙනි. එය ජයග්‍රහණය කළ අයට ලැබුණේ, ‘නාමල් රාජපක්ෂලා නුවර එළියේ රේස් පදින්නට ගියා යැයි කියන හෙලිකොප්ටරය’ යනුවෙන් නම් කළ ‘සෙල්ලම් හෙලිකොප්ටරය’කි.
මේ ‘අමුතු අවුරුදු උත්සවයට’ ඉතා සතුටින් සහභාගි වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ රැස්ව සිටි පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් අමතමින් පැවසුවේ, ‘මෙය අප සියලු දෙනා විපක්ෂයේ සිට සමරන අවසන් අලුත් අවුරුද්ද බව සිහි තබාගත යුතු බව’ ය.