අතන මෙතන

මහින්ද ඊළඟට ඔබතුමා හමුවන්නේ විපක්ෂ නායකයා හැටියට නං නෙවෙයි

ඉකුත් සති අන්තයේ දිවයිනේ සිදු වූ වැදගත්ම දේශපාලන සිදුවීම වූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය යි. පසුගිය ඉරිදා පෙරවරු 11 ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබිණි. එම අවස්ථාවේ දී, අගමැති රනිල් විසින් ‘මෝදි සංචාරයේ’ පරිවාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අමාත්‍ය සජිත් ප්‍රේමදාසව අගමැති මෝදිට හඳුන්වාදීම ද සිදු විය.

අගමැති මෝදි පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපළට ගිය පිරිස අතර සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට අමතරව මලික් සමරවික්‍රම, අශෝක් අබේසිංහ යන ඇමතිවරුන් ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු ද සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුණේ ඉන් අනතුරුවය. මෙහිදී හමුදා උත්තමාචාර පිළිගැනීමට පීඨිකාවට පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී අගමැති මෝදිට ‘කුඩේ ඇල්ලුවේ’ ද ජනාධිපති සිරිසේන ය.

අගමැති මෝදිට හමුදා උත්තමාචාර පිරිණැමීමෙන් පසුව ජනාධිපති මන්දිරයේදී දෙරට නායකයින් අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා පැවති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිණැමිනි.

මෙම සංචාරය අතරතුර අගමැති මෝදි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ව ද හමු වූ අතර එම හමුවීම් සිදුවූයේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී ය.

මෙහිදී ඉන්දීය අගමැතිවරයා මහින්දව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර මහින්ද ද මෝදි දෙවන වරටත් අගමැති ලෙස පත්වීම පිළිබඳව සුභ පැතීමට අමතක නොකළේ ය. එමෙන් ම සිය පාලන කාලයේදී ඉන්දියාවෙන් ලැබුණු සහය ද සිහිපත් කරමින් මහින්ද මෙසේ කීවේ ය.

‘‘අපේ රටට අර්බුදයක් ආපු හැම වෙලාවෙම ඉන්දියාව අපිත් එක්ක හිටියා… මම මේ වෙලාවෙ ඉල්ලනවා ඉදිරියටත් අපේ රටට සහාය දෙන්න කියලා… මම මේ ඉල්ලීම කරන්නේ විපක්ෂනායක වරයා විදියටත් වඩා මේ රටේ පුරවැසියෙක් විදියට…’’ මහින්ද කීවේ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් සහ නාමල් රාජපක්ෂ දෙස ද බලමිනි.

මහින්දගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෝදි කීවේ, ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන සහාය කිසිසේත් වෙනස් නොවන බව ය. සාකච්ඡා අවසානයේ මෝදි මෙසේ කීවේ, මහින්දගේ දෑතම දෑතින් ගනිමිනි. ‘‘අපි ආපහු ඉක්මනින් ම හමුවෙමු…’’
දිනේෂ් ගුණවර්ධන එහිදී සිනාසෙමින් කීවේ, ‘‘මෙතුමා නැවත ඔබතුමා හමුවන්නේ විපක්ෂනායකවරයා ලෙස නෙමෙයි රටේ නායකයා විදියට…’’ කියාය. අගමැති මෝදි ද එයට දැක්වූයේ ‘සිනහවක’ ප්‍රතිචාරයකි.

පැය 5 කුත් විනාඩි 45 කට පමණ සීමා වූ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් පස්වරු 4.45 ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට කලින්, පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය වෙත ගිය අගමැති මෝදි කොච්චිකඩේ බෝම්බයෙන් මියගිය අය සිහිපත් කර පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළේ ය.