විශේෂාංග

මහානාමයේ මහානාමය

වාද්දූව මධ්‍ය විද්‍යාලයේ සේවය කරමින් සිටි කේ.එන්.පී. ද සිල්වා මහතාට එවක අධ්‍යාපන ලේකම් පාස්කරලිංගම් මහතාගෙන් තමා හමුවන්නැයි පණිවිඩයක් ලැබ තිබිණ. ඒ 1975 දීය.

ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා හමු වූ විට ඔහු විසින් සිල්වා මහතාට භාරධුර කාර්යයක් භාරගත හැකිදැයි විමසා තිබේ. ඒ එල්.ටී.ටී.ඊ අඳුරු සෙවණැලි විසින් අගාධයට ඇද දමමින් තිබූ පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිකම භාරගන්නා ලෙසටය. මේ විදුහල යළි ගොඩනැංවීමට පිට පිටම යෙද වූ විදුහල්පතිවරු දසදෙනෙකු සේවයෙන් ඉවත්ව ඇති බැවින් ඔහුගෙන් ඒ ඉල්ලීම ඉල්ලා ඇත. එසේ මෙම පාසල වසර දෙකක් තුළ යළි ගොඩ නංවා දෙන්නේ නම් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් ද පිරිනමන බැවින් එහි ගොස් වැඩ භාරගන්නා ලෙස ඒ පණිවිඩයෙන් කියා තිබුණි.
“මා ඒ පළාත දන්නේ නෑ. ඒත් ඒක කරන්න බැරි වෙන එකක් නෑ.”

එම මොහොතේම සතියක නිවාඩුවක්ද පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍රයක්ද සිල්වා මහතාට අධ්‍යාපන ලේකම්වරයා ලබාදුන්නේය. ඒ නොදන්නා පළාත සහ පාසල බලා එන ලෙස කියමිනි. එම පාසල ගොඩ නගා පැමිණියහොත් තමන්ට අධ්‍යක්ෂ තනතුරක් නොව හොඳින් ගොඩනැංවීම පිණිස කොළඹින් පාසලක විදුහල්පතිකමක් දෙන්නැයි සිල්වා මහතාගෙන්ද ඉල්ලීමක් විය. ඒ අනුව ඔහු පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ වැඩ භාරගෙන තිබුණි.

ත්‍රස්ත බියත් අතිශය දුෂ්කර වියළි කලාපයේ දුප්පත් මිනිස්සුන්ගේ දරිද්‍රතාත් යන සියලු අභියෝග මධ්‍යයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය ගොඩනගන්නට සුදුසුම ‘‘සිල්වා සර්’’ බව අධ්‍යාපන ලේකම්වරයා තීන්දු කරන්නේ ඒ වන විට සිල්වා විදුහල්පතිතුමා පොලිස් සේවයටද එක්ව පොලිස් අධිකාරි තනතුරක්ද දරමින් සිටි විශේෂ අයෙක් නිසා වන්නට ඇත. 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල සමයේ පොලිසියට විශේෂ අවස්ථා සඳහා සහාය ලබා ගැනීමට සහකාර පොලිස් අධිකාරි නිලයට 12 දෙනෙක් බඳවාගෙන තිබූ අතර ඒ අය අතරේ සිල්වා මහතා ද විය.

ඔහු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ වසර දෙකක් සේවය කර ප්‍රථම වරට පොළොන්නරුවෙන් වෛද්‍ය විද්‍යාලයටත්, ඉංජිනේරු පීඨයටත් සිසුන් තේරෙන තැනට පාසල පත් කළේය. රාජකීය විද්‍යාලයට නිසි ක්‍රමවේද හඳුන්වා පොළොන්නරුව රාජකීය විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කර සිල්වා විදුහල්පතිතුමා යළි කොළඹට පැමිණ තිබේ.

“ඒ කාර්යයෙන් පසු මට පාස්කරලිංගම් මහත්තය කොළඹ කොල්ලුපිටියේ පුංචි ඉස්කෝලයක් දුන්නා වැඩ කරන්න. මට සුදුසු විද්‍යාලයකට ඉක්මනින් පත්වීම දෙන බවත් ලේකම්තුමා කියලයි ඒ ඉස්කෝලේ තාවකාලිකව බාරදුන්නෙ.”

සිල්වා මහතා කියන එදා පුංචි ඉස්කෝලය අද ප්‍රධාන පාසල් අතර ජනප්‍රිය පාසලක් වන මහානාමයයි. අද මෙන් නොව එදා ඉතා සීමිත ඉඩකඩක් සහිත කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස පැවති මහානාමයේ සතුටින් වැඩ භාරගත් ඔහු තමන්ට පැවරුණු වගකීම හරි හැටි ඉටුකරන්නේමැයි සිතා ගුරු දෙගුරු සමගිය දියුණුකර වැඩ අරඹා තිබිණ.

“මම මහානාමේ වැඩ ආරම්භ කළේ සතුටින්, නමුත් වැඩිකලක් මා එහි විදුහල්පති ලෙස තබා මට වැටුප් ගෙවීම කළ නොහැක්කක් වුණා. පළමු ශ්‍රේණියෙ උපාධිධාරි විදුහල්පතිවරයකු කනිෂ්ඨ විද්‍යාලයක තියන්න බෑ. මට සුදුසු විද්‍යාලයක් ලැබෙන දිනයක් වෙනකම් මේ පුංචි ඉස්කෝලේ ගොඩ නගන්න මම වැඩ පටන් ගත්තා.”
සිල්වා මහතා මහානාමයට පැමිණ මාසයකින් පමණ අධ්‍යාපන අමාත්‍යංශය ඔහුට කළුතර විද්‍යාලයෙ විදුහල්පතිකම භාරදෙන්ට තීන්දුකර තිබිණි. එවක කළුතර ජනප්‍රියම විද්‍යාලය වූ කළුතර විද්‍යාලයේ විදුහල්පති ලෙස මාරුවීම් ලිපිය සිල්වා මහතාට ලැබෙන්නේ ඒ අනුවය.

“කළුතර විද්‍යාලයේ විදුහල්පති ලෙස මා පත් කර ඇති නිසා මා එහි යන බව මහානාම ගුරු දෙගුරු රැස්වීම කැඳවා කිව්වා. ඒ වෙලාවේ සභාවම ඝෝෂා කළා මට තව කලක් පාසලේ රැඳෙමින් එය ගොඩනගා දෙන ලෙස ඉල්ලා. මම ඔවුන්ට පැහැදිලි කළා මා පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු බැවින් මට නියමිත වැටුපවත් ගෙවන්න අමාත්‍යංශයට අමාරුයි මා කනිෂ්ඨයක සිටියහොත් කියා. ඒත් ඒ කිසිවක් නිසාවත් එදා මහානාම දෙමාපියො මට පාසලෙන් යන්න දුන්නෙ නෑ. ඔවුන්ට මා කෙරේ ලොකු විශ්වාසයක් ගොඩනැගි තිබුණා. මේ දෙමාපියන් අතර සිටි ඩී.සී ධනපාල හා ඇක්මන් විජේවීර යන දෙදෙනා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙ සමීප සගයෝ දෙන්නෙක්. ඔවුන් මට කිව්වා ‘සර් අපි ජනාධිපතිතුමා හමුවෙලා තීන්දුවක් අරං එන තුරු පැය කීපයක් පමණක් පාසලෙන් පිටවී නොගොස් ඉන්න’ කියා.

එසේ නික්ම ගිය දෙදෙනා වහාම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමු වී ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා තිබුණි. ජනාධිපතිවරයා අධ්‍යාපන ලේකම් සමග කතාකර එදිනම මාරුව නවතා සිල්වා විදුහල්පතිතුමා මහානාමයේම රැඳවීම වෙනුවෙන් එදිනම මහානාමය මහා විද්‍යාලයක් බවට උසස්කර තිබේ.

“මගේ මාරුවීම අවලංගු කළ ලිපියත් මහානාමය මහා විද්‍යාලයක් කළ ලිපියත් අරගෙන ඒ දෙන්නා ආවේ හරිම සන්තෝෂයෙන්. එම ලිපි දෙක මට දීලා ‘සර් තව අවුරුදු දහයක් මහානාමයෙ ඉඳලා මහානාමය හදා දෙන්න’ කියා කිව්වා.
මහානාම කනිෂ්ඨ විද්‍යාලය මහා විද්‍යාලයක් වෙමින් කේ.එන්.පී. ද සිල්වා මහතා එහි පුරෝගාමී විදුහල්පතිවරයා බවට පත්වීම ඇරඹෙන්නේ එසේය. විදුහල්පතිවරයෙක් පාසලේ රඳවා තබා ගැනීම වෙනුවෙන් කනිෂ්ඨ විද්‍යාලයක්, මහා විද්‍යාලයක් බවට පත්කළ වෙනත් අවස්ථාවක් පාසල් ඉතිහාසයේ නැත. සිය ගණන් වූ මහානාම ශිෂ්‍ය ප්‍රමාණය 3000 දක්වා පත්වන්නේ ඉතා සීමිත කලකිනි.

“මට අපේ ආචාර්ය මණ්ඩලයෙ පිරිස උපරිම සහයෝගය දුන්නා. මා හැදූ පිළිවෙළ ඔවුන් කවුරුත් අනුගමනය කළා. එනිසා අපට පුළුවන් වුණා වසර පහක්ම ලංකාවේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අංක 1 ට පාසල ගේන්න. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි. වියත් විද්වත් පිරිස් පවා තමන්ගේ දරුවන් මහානාමයට දාන්න පෙලඹෙන්න එක හේතුවක් ඒක”
එකල මහානාම පාසල් බිමේ ඉඩ මඳ බැවින් තර්ස්ටන් විද්‍යාල බිමේ ඩෙන්හැම් ගොඩනැගිල්ලේද මහානාම පන්ති පැවති අතර එම දරුවන්ද මහානාම බිමට ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කළෙන් ගොඩනැගිලි හා භෞතික සම්පත් සැකසීම් රැසක්ම ඉටු කර ගැනීමට සිදුව තිබුණි. මහානාමයට බොහෝ භෞතික සම්පත් සපුරා ගැනීම සිදු වූවේද සිල්වා විදුහල්පතිතුමාගෙ උනන්දුව හා කැපවීම නිසාය. ඔහුගේ කැපවීම කෙසේද යත් 1979 සිට 1982 වන විට තෙමහල් ගොඩනැගිලි 4ක් නිමවා සිසු අයිතියට පත්කරන්නටත් පුළුවන් වුණේය.

“මට පුළුවන් වුණා මහානාමේ දකුණු කෙළවරේ පන්ති දහයක් තියෙන ගොඩනැගිල්ල හදන්නත්. ඒ ගොඩනැගිල්ල හදන්න මුදල් සොයා ගන්න චිත්‍රපට පෙන්නුවා. නාට්‍ය පෙන්නුවා. ඔය වගෙ විවිධ විනෝද ඉසව් මගින් ඒ ගොඩනැගිල්ලට අවශ්‍ය මුදල් සොයා ගන්න හැකි වුණා. එදා හිටි දෙමාපියන් ඒ සඳහා පුදුම විදියට සමගියෙන් මහන්සි වුණා.”
ගොඩනැගිලි හා ඉඩ කඩ ලබුණද අවශ්‍ය ඩෙස් පුටු හිඟයක් වූයෙන් ඒ ගැන කුමක් කරන්නේදැයි සිතමින් මේ අපූරු විදුහල්පතිවරයා එවක අධ්‍යාපන පහසුකම් අමාත්‍ය ලයනල් ජයතිලක මහතාගේ කාර්යාලයට ගියේ දෙසැම්බර් පාසල් නිවාඩු සමයකය. ඒ යනදාම කාර්යාල භූමිය පුරා ඩෙස් පුටු ගොඩ ගසා තිබෙනු දැක මෙයින් කොටසක් තම විද්‍යාලයට දෙන්නැයි ඉල්ලුවේය.

“දෙන්න නම් පුළුවන්. ඒත් ප්‍රවාහනය කරන්න නම් බෑ. ඕන වෙලාවක අරං යන්න’’ කියා ඇමැතිතුමා කිව්වා. මම අපේ මහානාමේ දරුවකුගෙ පියෙකු වූ එවක වරායෙ ප්‍රවාහන කළමනාකාර මහත්තයට කතා කළා. මේ ඩෙස් පුටු පාසලට ගොස් දෙන්න හැකිදැයි ඇහුවා.. පැය භාගයක්වත් ගියේ නෑ. අමාත්‍යංශයට ලොරි 5ක් සේවකයන් සමගම ඒ මහත්තයා එවලා තිබ්බා. මම ඇමැතිතුමා එක්ක සාකාච්ඡා කරමින් සිටිද්දීම ඩෙස්පුටු 2000 ක් මහානාමයට ගියා. ඒ වැඩේ දිහා ඇමැතිතුමා බලා හිටියෙ පුදුමයෙන්.

එවක බම්බලපිටිය සුපිරි වෙළෙඳසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට ආසනයේ මන්ත්‍රී බැස්ටියන් මහතාගෙ විමධ්‍යගත මුදල් ලක්ෂ 5ක් මුදල් වර්ෂය නිමාවට මසක් තිබියදීත් යෙදවිය නොහැකි වී තිබුණි. ඒ ගැන අමාත්‍ය කාර්යාලයට කොමසාරිස්වරයා කැඳවා ප්‍රශ්න කිරීමක් ද විය. මේ තොරතුරු ආරංචි වූ සිල්වා මහතා අමාත්‍ය කාර්යාලයට ගොස් ඉල්ලීමක් කළේය. “මගෙ පාසලට ඒ මුදල් දෙන්නේ නම් මහානාමයේ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල මුදල් වර්ෂය නිමාවට කලින් හදන්නම් කියලා මං කිව්වා. මාස 11 තිස්සේ කොමසාරිස්වරයාට වියදම් කිරීමට බැරි වෙච්ච සල්ලිවලින් මාසෙන් ගොඩනැගිල්ලක් හදන්නෙ කොහොමද කියලා ඔවුන් මගෙන් ඇහුවා. මම ඒක කරන්නම් කිව්වා. මාසෙන් මේ කාර්යය නිමාකරන බවට ලිඛිතව භාරදෙන්න කිව්වා. මම එහෙම කළා.

එහෙත් ලක්ෂ 5කට අදාළ ගොඩනැගිල්ල හදා දිය නොහැකි බවත් අවම වශයෙන් ලක්ෂ 15ක් වත් ලබා දෙන්නැයි කොන්ත්‍රාත් සමාගම කීවද අවසානයෙ එය ලක්ෂ 09 කට එකඟ කරවාගන්නට ඔහු සමත්ව තිබිණ. ගොඩනැගිල්ලේ වැඩ අරඹන්නට පසු දිනම යොදා ගැනුණද අවාසනාවන්ත ලෙස ඊට පසුදා කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා මියගියෙන් කටයුතු පමාවක් වෙන්නට යාමේදී කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධානියා හමුවී තමන් කොළඹ තාක්ෂණ විද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම් පාඨමාලාව හදාරා ඇති බැවින් ඉංජීනේරු කාර්යය තමනට කළ හැකි බවත් මේසන්වරු හා කාර්මිකයන් ලබා දෙන ලෙස ඉල්ලීය.

කඩිනමින් නිමා කළ යුතු කාර්යයක් බව දැන සිටි කොන්ත්‍රාත් සමාගම ඔහු සමග එකඟ වී තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ එදිනම ආරම්භ කරන්නට යෙදුණි.
මාසයක කාලයකට මත්තෙන් ගොඩනැගිල්ලෙ වැඩ නිමවීම විස්මය දනවන කාර්යයකි. එය විවෘත කළේ එවක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි.

දෙසැම්බර් පාසල් නිවාඩුවෙ නිවෙස් කරා ගිය සිසුන් ජනවාරියේ පාසල් එනවිටම නිවාඩු ලැබී යනවිට නොතිබුණ ගොඩනැගිල්ල කෙසේ මැවුනිදැයි විස්මයට පත්ව තිබුණි.

එම විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමේදි මදි වූ ලක්ෂ 4ක මුදලද සොයාගන්නට මුල්වී වෙහෙසුණේ මෙම විදුහල්පතිවරයාමය. මහා ජවයක් දැනුමක් කැපකිරීමක් හා මානව සම්බන්ධතා රැසක්ම මේ විස්මිත මිනිසා සතුව තිබූ නිසා ඒ කාර්යයත් කර ගෙන තිබුණි.

මහානාමයේ මනරම් ක්‍රීඩාපිටියක් ඉදිකිරීමේ ගෞරවය ද කේ.එන්.පී.ද සිල්වා විදුහල්පතිතුමාට හිමිය. ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීම් ඇතුළු භෞතික සම්පත් ප්‍රවර්ධනය පමණක් නොව දරුවන්ගේ විනය හා ගුණය දැනුම වර්ධනය වෙනුවෙන් ඔහු විසින් කළ විශේෂ දෑද රැසකි.

මේ අපූර්ව විදුහල්පතිවරයා ඉපදී ඇත්තේ 1926 වසරේ දෙසැම්බර් 05 වැනිදා වාද්දුවේ ඉඩම් හිමි වැවිලිකරු පේද්‍රික් සිල්වා, එලිසනෝනා පෙරේරා දෙමාපියන්ට දාවය. වාද්දුව මධ්‍ය විද්‍යාලයේත් පේරාදෙණිය සරසවියේත් අධ්‍යාපනය ලද ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි සමයේ දී චන්ද්‍රා යූ. ජයවර්ධන මෙනෙවිය හා විවාහ විය. ඔවුනට දුවක හා පුතෙකු සිටින අතර පුතු නන්දන ද සිල්වා එංගලන්තයේ ප්‍රධාන රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නිරතව සිටී. දියණිය නිර්මලීද වර්තමානයේ කොළඹ ලේ බැංකුවේ සේවය කරයි. වෛද්‍යවරියකි.

මේ විශිෂ්ට විදුහල්පතිවරයා මේ වන විට සිය ජීවිතයේ 90 වියද ඉක්මවා සිටින්නේය.
අදද මහානාමයන්ගෙ මුවග රැව් දෙන “සිරිලක වොරඳන සව් සිරියෙන් බබළන මහනාම මාතා’’ නම් විද්‍යාලයීය ගීතයේ රචනයද එතුමාගෙනි, මහානාමයේ සංගීතචාර්යවරයාව සිටි ප්‍රකට සංගීතවේදි ඔස්ටින් මුණසිංහයන් එය සංගීතවත් කර තිබේ. මහානාම පාසල් ගීයත් ඔහුගේ රචනයක්.

ඒ මහානාම පාසල් ගීය ගැයෙන ඇසෙන හැම මොහොතකම ආදි සිසුනට ඔහු ගැන මතකයන් මැවෙනු ඇත. අද ද ආදි මහානාමයෝ ඉඩක් ඇති මොහොතේ තම දයාබර විදුහල්පතිවරයා දැක පිළිසඳරේ යෙදෙන්නටත් අමතක නොකරති.

ජයන්ත සුබසිංහ