විශේෂාංග

මහර කැරැල්ල මැඬලූ මාරාන්තික මෙහෙයුම

මහර බන්ධනාගාරයේ සියලුම රැඳවූවන් දවසේ වැඩකටයුතු නිමා කර රාත්‍රී ආහාරද ලබාගන්නේ සවස 5.00 වන විටය. රැඳවූවන්ගේ භාෂාවෙන් කිවහොත් එය බන්ධනාගාරය වැසෙන වේලාවයි.

එහෙත් පෙරේදා (29 වැනිදා) බන්ධනාගාරය එසේ සුපුරුදු වේලාවට වැසුනේ නැත. ඒ වන විටත් බන්ධනාගාරය තුළ කිසියම් කලබගෑනියක් සිදුවෙමින් තිබුණි. එම ගාලගෝට්ටිය කන වැකුණු බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රධාන ජේලර්වරයා ඇතුළු පිරිස බන්ධනාගාරය තුළට පිවිසියේ සිදුවන්නේ කුමක්දැයි කියා සොයා බැලීමටය.

එසැනින් දහසක පමණ රැඳවූවන් පිරිසක් ඔවුන් වටකර ගත්තේ කෑකෝ ගසමින් ගල් මුල් ප්‍රහාරද එල්ල කරමිනි. එම අවස්ථාවේ සිදුවූයේ කුමක්දැයි කියා සිතාගන්නටවත් නොහැකි වූ නිලධාරීන් වහා ක්‍රියාත්මක වන්නට වූයේ අනතුරක සේයාවක් ඉව වැටුණු නිසාය. ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ප්‍රධාන ගේට්ටුව අසලට අමතර නිලධාරීන් කැඳවා ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර අධිකාරිවරයා පියවර ගත්තද එම රැඳවූවන් පාලනය කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් එහි සිටියේ නැත. රැඳවූවන් පිරිසක් අවි ආයුධ පැහැර ගැනීමට උත්සාහ කළ ද එය වලක්වා ගන්නට නිලධාරීන් සමත් විය. ඒ අතරේ රැඳවූවන් බන්ධනාගාර රෝහලද ආක්‍රමණය කරමින් සිටියේ එහි තිබෙන බෙහෙත් පෙති වර්ග පැහැර ගැනීම උදෙසායි.

මේ කලබැගෑනිය අස්සේ කිසිවකුගේ අවධානයට ලක් නොවූ දෙයක් සිදු වී තිබිණ.

බන්ධනාගාර නියාමකවරයකු සහ හෙද නිලධාරියකු රැඳවූවන්ගේ ග්‍රහණයට ගෙන තිබුණේ ඔවුන්ට හොඳහැටි ගැටි පූජාවක්ද ලබා දෙමිනි. බන්ධනාගාර නිලධාරීන් එම කලහකාරී රැඳවූවන්ට යටත් වන ලෙස පැවසුවද බන්ධනාගාර රෝහලේ තිබූ බෙහෙත් පෙති පානය කර අධික ලෙස මත් වී සිටි ඔවුන්ට එවදන් ඇසුනෙත් නැත.

රබර් උණ්ඩ යොදා පළමු වෙඩි ප්‍රහාරය එල්ල කළද එය ඔවුන්ට එය වේවැල් පහරක් තරම්වත් දැනුනේ නැත.

නිලංග මනෝජ් මධුසංක නොහොත් බොසා නමැති රැඳවූවා බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යායලට කඩා පැන එහි වීදුරු පෙට්ටියක් තුළ තබා තිබූ පැරැණි කඩු දෙකක් රැගෙන එළියට පනින්නේ කාර්යාලයද ගිනිබත් කරමින්. එම ගින්නෙන් එහි තිබූ සියලු ලිපිලේඛනද විනාශ වී ගියේය. රණසිංහ ආරච්චිගේ සබීත කුමාර නොහොත් මගුල් පොකුනේ සබීත නමැත්තා ඇතුළු පිරිස සිරකරුවන්ගේ ලිපි ලේඛන සහිත කාමරයට ඇතුළු වී එයද විනාශ කර දැමූහ.

කලහකාරී ලෙස හැසුරුනු මෙම රැඳවූවන් මත් ගතිය වැඩි කර ගැනීමට සනීපාරක්ෂක සේදුම් වතුරද පානය කර තිබූ බව අනාවරණය වේ.

මිනීමැරුම් චෝදනාවකට ලක් වී සිටින චතුරංග නමැත්තකු හා ඉසුරු ගයාන් නමැති හිටපු යුද හමුදා කපිතාන්වරයකු තවත් පසෙකින් කණ්ඩායමක් මෙහෙයවමින් මුළුතැන්ගෙය සහ අනෙකුත් ස්ථාන විනාශ කරමින් හැසිරුණේ උම්මත්තකයින් මෙනි. බන්ධනාගාර නිලධාරීන් එම කලහකාරී පිරිස අවම බලය යොදවා පාලනය කිරීමට උත්සාහ කළ ද එය අසීරු කරුණක් වූයේ ප්‍රතිවාදීන්ගේ ගල්මුල් ප්‍රහාර ඊට වඩා ප්‍රබල වූ බැවිනි.

බන්ධනාගාර අධිකාරිවරයාගේ කාමරයේ තිබූ කඩු දෙක පැහැරගත් බොසා නමැත්තා සියලුම සිරමැදිරිවලට ගොස් ඔවුන්ට පහර දී කැරැල්ලට සහාය දක්වන ලෙසට තර්ජනය කර තිබිණි. එක් රැඳවූවකුගේ මුහුණ බොසාගේ කඩු පහරකින් කැපී තිබුණු අතර ඔහු ලියුම්කරු සමග මෙසේ පැවසීය.

‘‘අපි අපේ පාඩුවේ හිටියා. මේ අය ඇවිත් කඩුවලින් පහර දීලා නපුංසකයෝ වගේ ඉන්නේ නැතිව වරෙව් කියලා තර්ජනය කළා. පීසීආර් කරලා ලබන මාසේ නිදහස් වෙලා යන්න ඉන්නේ.’’

සියල්ල මෙසේ සිදුවෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ආරක්ෂාව තහවුරු කර ප්‍රාණ ඇපයේ රඳවා සිටි නියාමකවරයා සහ හෙද නිලධාරියා මුදවා ගැනීමට කටයුතු කළහ. එම අවස්ථාවේ පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි බන්ධනාගාර නියාමක එන්.එස්. චතුරංග රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔහු යතුරුපැදි අනතුරකින් අත බිඳී ප්‍රතිකාර ලබා සේවයට වාර්තා කර ඇත්තේ මීට සතියකට පමණ පෙරය.

කොළඹ ගිනි නිවීමේ හමුදා මූලස්ථානයෙන් හා ගම්පහ ගිනි නිවීමේ ඒකකයෙන් බන්ධනාගාරයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ හතරක්ද ඒ වන විට පිටත් කර තිබුණි. ඔවුන්ද පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එය නිවා දැමීමට අපමණ වෙහෙසක් දැරූහ. අවසානයේ කරැල්ලේ ප්‍රතිඵලය වී තිබුණේ රැඳවූවන් අට දෙනකු මියගොස් හැත්තෑ එක් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත වීමයි.

මෙහි ආරම්භය දෙස බැලූ විට මෙම රැඳවූවන්ගේ එකම ඉල්ලීම වී තිබුණේ කොරෝනා වයිරසය නිසා ඔවුන් නිදහස් කරන ලෙසයි. ඔවුන් පවසා සිටින්නේ පෙරේදා (29 වැනිදා) ලැබුණු පීසීආර් වාර්තාවලින් 183 දෙනකු ආසාදිත වී ඇති බවය. කෙසේ වෙතත් මෙවැනි කැරැල්ලකින් ඊට විසඳුම් සොයා යෑමට කිසිවකුත් අනුමත නොකරනු ඇත. බන්ධනාගාර නිලධාරීන් පවසා සිටින්නේ සොයා බැලීමකින් තොරව කොළඹ සිට මහරට මාරු කර එවූ රැඳවූවන් නිසා මෙම බන්ධනාගාරයේ මෙවැනි කලහකාරී සිදුවීමක් ඇති වූ බවය.

තවත් නිලධාරියකු අප හා පැවසුවේ එපා කියද්දී මිනිස්සු කොළඹින් ගෙනැල්ලා දැම්මා. හොඳට පාලනය කරගෙන ගිය බන්ධනාගාරය විනාශ කරලා දැම්මා යනුවෙනි.

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වයද එසේම විය. කොළඹින් මාරුකරනු ලැබූ රැඳවූවන් පනස් දෙනකුගෙන් කිහිප දෙනෙකු ආසාදිත තත්ත්වයට පත්වූ නිසා එම බන්ධනාගාරයේද රැඳවූවන් වහලයට නැග විරෝධතාවක නිරතව තිබුණි. එම විරෝධතාවය හමුවේ එම රැඳවූවන් පිරිස කොළඹට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි.

බන්ධනාගාර නිලධාරීන් චෝදනා කරනු ලබන්නේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික තීරණ නිසා බන්ධනාගාර පද්ධතිය තුළ වයිරසය ව්‍යාප්ත වී මෙලෙස කලහකාරී තත්ත්වයක් ඇති වූ බවකි.

 

‘‘අපේ දරුවන් අපට ඕනෑ’රැඳවූවන්ගේ මව්පියෝ හා ඥාතීහු වැඳවැටේ…….

‘‘අපේ දරුවන් අපට ඕනෑ. අනේ මගේ දරුවා කෝ. උන් කරපු වැරැද්ද මොකක්ද?’’ කියමින් බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි රැඳවූවන්ගේ දෙමව්පියන් ඇතුළු ඥාතීහු හඬා වැලපෙනු දැකිය හැකි විය. ඇතැම් මව්වරු ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරියේ දණින් වැටී දෑත් එක් කර වඳිමින් ඔවුන්ගේ දරුවන් ඉල්ලා සිටියහ. එමෙන්ම මහර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට රැගෙන යෑම සඳහා බස් රථවල නංවා සිටි රැඳවූවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විලාප නැගූ අයුරු ඉතාමත් සංවේදී දසුනක් විය.

හේමන්ත ලියනපතිරණ