brand logo
logo

මහජන සේවකයන්ට ආර්යාවන් ඉන්න බෑ - රන්ජන්

20 July 2019

කතෝලික ඔබ ඇයි බෞද්ධාගමට ගරහන්නේ? ඇත්තටම හිත රිදෙන ප්‍රශ්නයක්. මම කිසිම අවස්ථාවක කිසිම ආගමකට අගෞරව කරන පුද්ගලයෙක් නොවෙයි. ලංකාවේ නිපද වූ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ පවා මම සුද්ධෝදන රජතුමාගේ චරිතය රඟපෑවා. ඒ වගේම සිදුහත් කුමාරයා ගැන “මේ මිහිපිට හිටියද මේ වගේ කුමාරයෙක් කියලා” ගීතයත් මමම ලියලා මමම ගායනා කරලා තියෙනවා. මෙතෙක් කල් කිසිම ආගමකට අගෞරව කරලා හෝ හෙළාදැකලා නැහැ. මගේ ගුරුවරු මට කියලා දීලා තියෙන්නේ සියලුම ආගම්වලට එක හා සමානව සැලකිලි කරන්නයි. මේ ප්‍රශ්නය මම පිළිකුළෙන් බැහැර කරනවා. ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ? මම අශේන් කියලා පුද්ගලයෙක් එක්ක වෙබ් අඩවියකට වීඩියෝ එකක් කළා. ඒකේ එක් තැනක බොහෝම පැහැදිලිව තියෙනවා රුධිරය ඉල්ලන, පාරේ කෑගහන චීවරධාරීන්ගෙන් 90%ක් පමණ කියලා. එහෙම කෑගහන ලේ ඉල්ලන මේ මම කියපු කොටසට වැටෙන චීවරධාරීන් ලංකාවේ ඉන්නේ 15ක් 20ක් වැනි සුළු ප්‍රමාණයක්. ඒත් මේ ඉරාජ් වීරරත්න කියන පුද්ගලයා මම අශේන් එක්ක කළ වීඩියෝව සොරකම් කරලා මා කියූ ලේ ඉල්ලන චීවරධාරීන් කියන කොටස කපා දාලා ඒ වෙනුවට ගරුතර මහා සංඝරත්නය ළමා අපචාර කරයි කියලා මා කියූ ලෙසට සංස්කරණය කරලා මුදාහැරියා. මේ වීඩියෝව තමයි මේ සියලු දෙයට මුල. මම ඔහුට විරුද්ධව විශාල වන්දි මුදලක් ඉල්ලමින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔබ ළදරුවෙක් නොවෙයිනේ. අශේන් සමග කළ වීඩියෝව ඉරාජ්ට ලැබුණේ කොහොමද? එය අශේන් විසින් ඔහුගේ පෞද්ගලික බ්ලොග් එකකින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා. මෙය ජනතාව බලලා තිබුණා. හොඳ ප්‍රතිචාර තිබුණා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එය පැයක වීඩියෝවක්. මේ ඉරාජ් ඒ වීඩියෝවෙන් විනාඩි 5ක කොටසක් අරගෙන එය සංස්කරණය කරමින් මේ දේ සිදුකළේ. ඔහුම එයට හෙඩිමකුත් දමමින් වෛරී සහගත ලෙස එය සකස් කරලා තියෙනවා. බෞද්ධයන් ඔබට විරුද්ධව නැගී සිටියොත් ඡන්ද පරදියි නේද? මම ඡන්ද බලාගෙන දේශපාලනය කරන පුද්ගලයෙක් නොවෙයි. මම හැමවෙලේම තිත්ත ඇත්ත ප්‍රකාශ කරනවා. මැදපෙරදිග කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතා කරලා මම දේශපාලනයට ආවේ. අදටත් මම ඒ අය ගැන සොයා බලනවා. මගේ මහජන දිනයට වැඩිපුරම එන්නේ මැදපෙරදිග ගිහින් ප්‍රශ්න තියෙන අය. මගේ වාහන පර්මිට් එක පවා විකුණලා මේ අයට උදව් කරන්න පදනමක් හදලා තියෙනවා. ඒඩ්ස් හැදුණු අයට වගේම වයෝවෘද්ධ අයටත් මේ පදනමින් උදව් කරනවා. මට විරුද්ධවත් විශාල පිරිසක් ඉන්නවා. කොකේන් ගැන කතා කළ නිසා පිරිසක් විරුද්ධ වුණා. පල් හොරු ගැන කතා කරන්න ගිහින් මට ආසනයත් නැතිවුණා. මැදපෙරදිග හොර ඒජන්සිකාරයෝ නිසාත් මට හුඟාක් ප්‍රශ්න ඇති වුණා. රජයේ සේවකයන්ට සහ ප්‍රාදේශිය ලේකම්ලට විරුද්ධ වෙලා ඒ අය මාත් එක්ක තරහා වුණා. දැනට මට නඩු 30ක් විතර වැටිලා තියෙනවා. අහිංසකයෝ වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා. ඒ මගේ චරිතේ හැටි. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වන නිමල් එදිරිසිංහ වෛද්‍යවරයා මට කිව්වා කුඩා සාමණේර හිමිවරුන්ට පවා ඒඩ්ස් හැදිලා තිබෙන බව. මේ ගැන ඔහුගේ මුහුණු පොතේ පවා පළ කරලා තියෙනවා. සිවුර ගලවලා කලිසම් ඇඳගෙන ඇවිත් බෙහෙත් අරගෙන යන ස්වාමීන් වහන්සේලා ගැන මට කිව්වා. පල්ලිවල, පන්සල්වල, කෝවිල්වල දූෂණ ගැන මට පැමිණිලි ලැබෙනවා. මම සේයා සෙව්වන්දි දැරිය වෙනුවෙන් පෙනී සිටියා. කුලියාපිටියේ ඒඩ්ස් හැදුණු දරුවා වෙනුවෙන් පෙනී සිටියා. ගණේමුල්ලේ ඉරෝෂණී දරුවා වෙනුවෙන් පෙනී සිටියා. මේවා මට අලුත් දේවල් නොවෙයි. ජාතිභේද කිසිවක් නැතිව මම මේවා කරන්නේ. එතකොට මට හතුරෝ ඇතිවෙනවා. ඡන්ද නැතිවෙනවා. ඔබ කියන විදිහට මම ඇප නැතුව පරදියි. ගෙදර ඉන්න වෙයි. ඒත් කමක් නැහැ. ඡන්ද නැතිවෙයි කියලා ෆයිල් හංගාගෙන ඉන්නේ නැහැ. ලෙඩා මළත් බඩ සුද්දයි. අගමැතිතුමා මොකද කිව්වේ? මම කිව්ව කතාවක් නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මොනවද ඔයා කිව්වේ කියලා ඇහුවා. එතුමාගේ ටැබ් එකෙන් මට පෙන්නුවා ඔහු බැලූ වීඩියෝවක්. ඔහු බලලා තිබුණේ ඉරාජ් සංස්කරණය කළ වීඩියෝව. මම අගමැතිතුමාට පෙන්නුවා මුල්ම වීඩියෝව. ඔහුත් පිළිගත්තා මම ගරුතර මහා සංඝරත්නයට කියන වචනය පාවිච්චි කරලා නැති බව. මම අගමැතිතුමාට කිව්වා ඔබගේ මාමත් හාමුදුරුවන්ට කිව්වා නේද මම දේශපාලනය කරන්නම් ඔබ වහන්සේලා පන්සලට වෙලා ධර්මය දේශනා කරන්න කියලා. මම ඒ වීඩියෝවේ කිව්වේ අපේ රට තමයි ලෝකයේ එකම රට දේශපාලන විද්‍යාව නොදන්න. ස්වාමීන්වහන්සේලාගෙන් රට පාලනය කරන හැටි අහන කියලා. ඒකට මම විරුද්ධයි කිව්වා. ඇමෙරිකාවේ ට්‍රම්ප් ගිහින් පල්ලියෙන් අහන්නේ නැහැ කොහොමද රට කරන්න ඕන කියලා. ලීක්වාන් යූ ආගමික ආයතනවලින් ඇහුවේ නැහැ රට පාලනය කරන හැටි. රුසියාවේ පුටින් රට පාලනය කරන හැටි පල්ලිවලින් අහන්නේ නැහැ. මම වීඩියෝවෙන් මතුකළේ මේ වගේ කරුණු. ඉරාජ් කියන වෙබ් පාතාලේ ගෝර්ඞ් ෆාදර් තමයි මේ ප්‍රශ්න ඇති කළේ. ඉරාජ්ගේ වීඩියෝවේ තියෙන මේ ප්‍රකාශය මම කිව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මම ඕන දඬුවමක් විඳින්න සූදානම් බවත් කිව්වා. මම චීවරධාරීන් කියලා වීඩියෝවේ හඳුන්වන්නේ අරක්කු බොන, ගංජා උරන, ළමා අපචාර කරන මැරයන්ව. මට මැරයන්ට වඳින්න බැහැ. ඔබේ ප්‍රකාශය වෛරී සහගත ප්‍රකාශ ගණයට වැටෙනවා නේද? එහි ප්‍රතිවිපාක බරපතළයි. මගේ ප්‍රකාශය නොවෙයි. ඉරාජ්ගේ ප්‍රකාශ වෛරී සහගත නිසා තමයි ඔහුගේ ලක්‍ෂ 10ක මුහුණු පොත පවා මේ වන විට තහනම් වෙලා තියෙන්නේ. ඔහුට කිසිම අයිතියක් නැති වැඩක් කළ බව මේ කරුණුවලින් හොඳටම ඔප්පු වෙනවා. මේ ප්‍රශ්නය ගැන රට තුළ කලබලයක් ඇතිවෙලා තියෙන නිසා මහානායක හිමිවරු මුණගැසී හෝ සමාවක් ගන්න හෝ කරුණු පැහැදිළි කරන්න අදහසක් නැද්ද? ඔබ අපචාරයක් නොකළ අවස්ථාවක කිසිවෙක් ඔබට එවැනි චෝදනාවක් කළොත් ඔබ සමාව ගැනීමක් කරනවද? අස්ගිරි මහා නායක හිමියන්ට මා හමුවෙන්න අවශ්‍ය බව දන්වලා තියෙනවා. මම ඒකට යනවා. මිරිහාන පොලීසියට පැමිණිලි කරන්න ගිය වෙලාවෙත් මේ හාමුදුරුවරු ඇවිල්ලා මාත් එක්ක වාදයට පැටලුණා. මම කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිළි කළා. මම කියූ කරුණුවලට ඔවුනුත් මවිත වුණා. බුදුරජාණන් වහන්සේ අංගුලිමාලටත් දේශනා කරන්නේ හිත්ගන්නාසුළු වචන. බලන්න මේ චීවරධාරීන් කතා කරන විදිහ. කොච්චර අවලස්සනද? මාව ගලක් උඩ තියලා මගේ කට තලනවා කිව්වා. මාව මරනවා කිව්වා. අපි ඇවිල්ලා ගිහියෝ. අපෙන් වැරදි වෙන්න පුළුවන්. එතකොට පැවිද්දෝ අපට අවවාද අනුශාසනා කරන්න එපැයි. මාගල්කන්දේ සුදත්ත කියන්නේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. ඩී.අයි.ජී.ගේ ටෙලිෆෝන් එක සොරකම් කරලා දඬුවම් විඳිනවා. ඊට පස්සේ කොණ්ඩේ බූ ගාලා සිවුරක් දාගත්ත කෙනෙක්. පිටේ පච්චයක් පවා තියෙනවා. ඉතින් අපි ඒ අයට වඳින්න ඕනේද? හෙට මාකඳුරේ මධුෂ් පැවිදිවෙලා මාකඳුරේ මධුෂ් හිමි වුණොත්, වෙලේ සුදා මහණවෙලා ඇවිත් වෙලේ සුදා හිමිවුණොත්, අරන්තලාවේ භික්‍ෂුන් ඝාතනය කළ කරුණාඅම්මාන් මහණවෙලා කරුණාඅම්මාන් හිමි වුණොත් මොකද වෙන්නේ. මේ යථාර්ථය තමයි අපි තේරුම්ගත යුත්තේ. නඩු කටයුතුවලත් ඉවරයක් නැහැ නේද? භාෂණ නිදහස අනුව මම කතා කරනවා. දැනට මට නඩු 30ක් විතර තියෙනවා. මම කිසිම නඩුවකට සමාව ඉල්ලන්නේ නැහැ. තැවෙන්නේ නැහැ. මම කියපු හැමදෙයක්ම ඔප්පු කරන්න මගේ ළඟ සාක්ෂි තියෙනවා. කවදාහරි අවාසනාවකට හිරේ යන්න වුණොත් මොනවා වෙයිද? සාමාන්‍යයෙන් ලෝකයේ එහෙම දේවල් වෙලා තියෙනවා. සොක්‍රටීස්ට වහ බොන්න සිද්ධවෙනවා. ගැලිලියෝටත්, කොපර් නිකස්ටත් එහෙම වුණා. සිරගත වෙන්න වීම සාමාන්‍ය දෙයක්. මාටින් ලූතර් කිං සිරගත වුණා. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 26ක් හිරේ හිටියා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති වුණා. සාමාන්‍ය සම්මතයට එරෙහිව කතාකිරීම බොහෝ අවස්ථාවල දඬුවම් ලබන වරදක් බවට පත්වෙලා තියෙනවා. දූෂණ වංචා ගැන කතා කළත් එහෙමම තමයි. ඒවා දරාගන්න බැරිනම් ගෙවල්වලට වෙලා ඉන්න ඕනේ. ආපහු උසස් පෙළ විභාගය ලියනවාද? ඔව්. මම උසස් පෙළ ලියලා සිංහලවලට සාමාර්ථයක් ලබාගත්තා. මට නීතිය හදාරන්න අවශ්‍යයි. ඒ සඳහා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්නයි මේ විභාගය ලියන්නේ. නීතිය හදාරන්න හිතුවේ පීඩිත පන්තිය වෙනුවෙන් නඩු කටයුතු සිද්ධ කරලා දෙන්න. නීතිය ඉදිරියේ මිනිස්සු හරියට අසරණ වෙනවා. දුප්පත් මිනිසුන්ට උදව් කරන්න මම හරි ආසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ කවුරු බවද ඔබ හිතන්නේ? අපේක්‍ෂකයන් ගණනාවකගේ නම් කියැවෙනවා. රනිල්, සජිත්, කරු, පාඨලී, ධම්මික පෙරේරා, රාජිත වගේ නම් ගොඩාක් තියෙනවා. ජනප්‍රියම සහ දිනන්නම පුළුවන් අපේක්ෂකයෙක් ගැන අපි හිතන්න ඕනේ. කුතුහලයක් ඇතිවෙලා තිබුණාට අපි අවශ්‍ය වෙලාවට ඒ ගැන හොඳම තීරණය ගන්නවා. ඡන්දයක් අත ළඟ. පක්‍ෂයත් ආරක්ෂා කරගත යුතු මොහොතක මේ වගේ ප්‍රශ්න ඇතිකරගන්න එක පක්‍ෂයට අවාසියක් නේද? මීට වඩා බරපතළ ප්‍රශ්න පක්ෂය තුළ ඇති වුණා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි කියලා සමහරුන්ගෙන් ප්‍රකාශ වුණා. බුදුහාමුදුරුවෝ මිනීමස් කෑවා කියලා ප්‍රකාශ වුණා. සමහරු දුරකථනයෙන් හාමුදුරුවන්ට බැණපු අවස්ථා තිබුණා. මේ වගේ කාරණා ඉතිහාසයේ ඕනෑතරම් වෙලා තියෙනවා. නමුත් මම මෙතැනදී ප්‍රකාශ කළේ වෙනත් දෙයක්. අද සිරිධම්ම හිමි පවා කියලා තියෙනවා ලංකාවේ විනාශ කරන්නේ පාලකයෝ සහ පූජකයෝ කියලා. ලංකාව දියුණු කරන්න බැරි රටක් වෙලා තියෙන්නේ ඒ නිසා. රටක් විනාශ කරන්නේ ආගමික නායකයන් සහ දේශපාලනඥයන් කියලා නේද එයින් කියැවෙන්නේ. මේ දේශපාලනඥයන්ගේ ගොඩට මාත් වැටෙනවා. ආගමික නායකයන්ගෙන් රටක් විනාශ වෙන්නේ කොහොමද? හොඳම උදාහරණයක් මම කියන්නම්. ආගමික නායකයන්ට දැන් රටේ නීති අදාළ නැහැනේ. ඥානසාර හිමි ප්‍රසිද්ධියේ කොච්චර ප්‍රකාශ කරනවාද? අබ සරණයි කියනවා. අපි සැණකෙළි පෙන්නනවා. කොළඹ කුඩුකරනවා කියනවා. වෙනත් සාමාන්‍ය කෙනෙක් මේ වගේ ප්‍රකාශ කළා නම් මොකද වෙන්නේ. මේවා රටේ නීතියට පටහැනි දේවල් නේද? අත්අඩංගුවට ගැනීමක් සිදුවෙනවා නේද? මේ අය හිරේ ගියත් ඒ අයට ජනාධිපති සමාව ලැබෙනවානේ. දියුණු රටවල ආගමික නායකයෝ මෙහෙම කතා කියන්නේ නැහැනේ. අපේ රටේ විතරයි මෙහෙම දේවල් වෙන්නේ. රටේ නීතිය මේ අයට බයයි. මේ වගේ තමයි රණවිරුවන්ට රටේ නීතියක් නැහැ. රණවිරුවෝ ඉන්නෙත් නීතියට උඩින්. පසුගිය කාලයේ සිදුවුණු හුඟාක් මිනීමැරුම්, අතුරුදන් කිරීම් වගේ ඒවට රණවිරුවෝ හසුවුණානේ. ඒවාට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක රටේ අභාග්‍ය නොවෙයිද? මේකට හොඳ උදාහරණයක් කියුබාවෙන් ගන්න පුළුවන්. කියුබාවේ නිදහස් සටනේ ක්‍රියාකාරීව ඉන්නවා ආර්නෝල්ඩ් චේ කියලා ජෙනරාල්වරයෙක්. මේ ජෙනරාල්වරයා පසුකාලෙක සිදුකළ දූෂණ, මිනීමැරුම් වගේ චෝදනාවන්ට අධිකරණය ඉදිරියේ වරදකරුවකු බවට පත්වෙනවා. එතකොට පිදෙල් කස්ත්‍රෝ වැනි නායකයන් ඉදිරිපත් වී කියනවා. ආර්නෝල්ඞ් චේ අද අපි ලබා තිබෙන නිදහස් සටනේ පුරෝගාමියෙක් කියලා. නමුත් නීතිය ඔහු ඉදිරියේ නැමෙන්නේ නැහැ. ජනතා විරෝධියෙක් ලෙස ඔහු වරදකරු වී මරණ දඬුවම හිමිවෙනවා. අපේ නීතිය ආගම්වලට බයයි. ආගමික නායකයන්ට බයයි. සිනමාවේ වගේම චණ්ඩි පාට් දේශපාලනයටත් ගේන්න හදනවා නේද? අනේ නැහැ. මහත්මා ගාන්ධි මෙහෙම කතාවක් කියලා තියෙනවා. මේ ලෝකය වැඩියෙන්ම විනාශ කරලා තියෙන්නේ මිනීමරුවන්, මංකොල්ලකරුවන්, දූෂිතයන්ට වඩා ඒවා දැක දැක නිහඬව ඉන්න ගොං මිනිස්සු කියලා. විනාශය දැක දැක නිහඬව ඉන්නවා නම් ඒකත් ජාතික අපරාධයක්. අප ක්‍රියාකරන ආකාරයට නොයෙකුත් සහතික අපට සමාජයෙන් ලැබෙනවා. අපේ අදහස් ප්‍රකාශ කිරීම චණ්ඩි පාට් එකක් විදිහට සමාජය දකින්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. මම ගන්න පඩියට සේවය කරන කෙනෙක්. මට හිතෙන්නේ මම ට්‍රාන්සිටි පැසෙන්ජර් කෙනෙක් කියලා. ගුවන් යානය ආපු ගමන් මම යන්න ඕනේ. ඔය චෝදනා කිසිවක් මට අදාළ නැහැ. කවුරුහරි තමන්ගේ ප්‍රශ්නයක් ඇවිත් කිව්වොත් පාට පක්‍ෂ කිසිම භේදයක් නැතිව මම උපකාර කරනවා. ඒ වගේම තමයි කවුරුහරි වැරැද්දක් දූෂණයක් කළොත් එයට විරුද්ධවත් පෙනී සිටිනවා. රන්ජන් රාමනායක කියන්නේ එහෙම කෙනෙක්. පක්‍ෂය ඇතුළේ බරපතළ අවුල් නේද? අවුල් නැති පක්ෂ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂවල අවුල් තියෙනවා. ඒකාධිපති රාජ්‍යයකයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයකයි වෙනස දන්නවානේ. නාසි රාජ්‍යයක ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් ගැන කතා කළොත් මරනවා. කොහොමද හිට්ලර්ගේ කාලේ. චීනයේ පවා විපක්‍ෂයක් නැහැ. උතුරු කොරියාවේ විපක්ෂයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක, භාෂණ නිදහස තියෙන රටක විවිධ මත තියෙනවා. එක් එක් අය විවිධ මත ඉදිරිපත් කරනවා. ඒ හැම මතයකටම ඉඩක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වුණත් පැති දෙකක අසුන් පනවලා තියෙන්නේ ඒ නිසයි. වාද විවාද කරන්න පැතිමාරු කරන්න වගේ දේවලට. එයින් ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ පක්ෂය තුළ තියෙන්නේ සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදයක්. ආර්යාව ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මහජන සේවකයෙක්ට ආර්යාවක් ඉන්න බැහැ. මහජන සේවකයෙක් වුණාම එයා වෙනස් චරිතයක්. එයා ජනතා සේවකයෙක් බව සියලු වැඩපිළිවෙළ තුළින් ඔප්පු කරන්න ඕනේ. ජනතා සේවකයන්ට සියලුදෙනාම එක සමානයි. ඒ වගේම තමයි එයාටත් රැජිනක් ආර්යාවක් ඉන්න බැහැ. මම ඒ ආර්යාව කියන සංකල්පය ප්‍රතික්‍ෂේප කරනවා. දීප්ති ප්‍රමිතා අධිකාරී
 

More News..