කතුවැකි

මහජනතාවට සැමන් පරිප්පු ලාබෙට කන්න පුළුවන්ද?

වත්මන් ජීවන වියදම සහ කොරෝනා ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින්මාළු, බී ලූනු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පෙරේදා (13දා) සවස නිවේදනය කළේය. සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ භාණ්ඩ කිහිපයක හෝ මිල පහත දැමීමට තීරණය කිරීම සාමාන්‍ය ජනතාවට විශාල සහනයකි. එසේ වුවත් ප්‍රායෝගිකව මෙම තීරණය නිසා ජනතාවට සහනයක් අත්වන්නේද කියා විමසා බැලිය යුතුය. එසේ ​නොවන්නේ නම් මෙම තීරණය ජනතාවගේ ප්‍රශංසාවට නොව ගර්හාවට ලක්වීමට ඉඩ තිබේ. ආනයනික බදු අඩු කිරීම නිසා ටින්මාළු ලොකු ටින් එකක මිල රුපියල් දෙසීයටත්, ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් සියයකටත්, සීනි කිලෝව රුපියල් අසූ පහ දක්වාත් අඩු වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබිණ. එසේ වුවත් මෙම තීරණය සමග මතුවන පළමු ප්‍රශ්නය වන්නේ විවෘත වෙළෙඳපොළේ එකී මිල ගණන්වලට සැමන්, සීනි, ලොකු ලූනු මිලදී ගන්නට නොමැති වීමය.

ආනයනකරුවන් පවසන අන්දමට නව මිල ගණන්වලට සීනි, සැමන් හා ලොකු ලූනු අලෙවිකරන්නට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇත. ඔවුන් සතුව දැනට මාසයකට පමණ ප්‍රමාණවත් තොග පවතින අතර ඒවා අඩු මිලට අලෙවි කරන්නට ඔවුන් සූදානම් නැත. දැනටමත් ඔවුන් ඒවා සඳහා බදු ගෙවා ඇති නිසාය. මේ වනවිට ඔවුන් ඇණවුම් කර ඇති තොග දිවයිනට ළඟා වනු ඇත්තේද මාසයක පමණ කාලයකින් පසුවය. මේ බව ඔවුන් දැනටමත් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය මත ජනතාවට අඩු මිලට සීනි, සැමන් සහ ලොකු ලූනු ලබා ගත හැකි වන්නේ සතොස අලෙවිසල් මගින් පමණකි. දැනට දිවයින පුරා ඇත්තේ සතොස අලෙවිසල් හාරසිය පහළොවක් පමණක් වන අතර, ඒ ප්‍රමාණය පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

සතොස අලෙවිසල් සංඛ්‍යාව සීමිත වීම, ඒවායේ ඇති භාණ්ඩවල ගුණාත්මකභාවය හා සීමාවන්ට යටත්ව භාණ්ඩ නිකුත් කිරීම, පාරිභෝගික සේවා සැපයීම සතුටුදායක නොවීම ආදී කාරණා නිසා සාමාන්‍ය පාරිභෝගිකයා සතොසට යන්නටද එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

1977 න් පසු මෙරට පවතින්නේ සුපර්මාර්කට් සංස්කෘතියකි. මේ වන විට එය උච්චතම ස්ථානයට පැමිණ ඇතැයි සිතිය හැක්කේ අද ගම් නියම්ගම්වල පවා සුපර් මාර්කට් දක්නට ඇති බැවිනි. ​මේ සංස්කෘතියට හුරු කළ පාරිභෝගිකයා භාණ්ඩ ඇති තැන් සොයා ගොස් පෝලිමේ සිට පාලනයකට යටත්ව භාණ්ඩ මිලදී ගන්නට සූදානම් නැත. ඔහුට අවශ්‍ය නිදහසේ අවශ්‍ය තැනකින් අවශ්‍ය ප්‍රමාණයකින් භාණ්ඩ මිලදී ගන්නටය.

අඩු කළ මිල ගණන් යටතේ සතොසින් එක් අයකුට නිකුත් කරන උපරිම සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනකි. සැමන් නම් ටින් තුනකි. ලොකු ලූනු කිලෝග්‍රෑම් එකකි. රුපියල් පන්සීයකට වඩා භාණ්ඩ මිලදී ගන්නා අයකුට රුපියල් එකසිය පනහකට පරිප්පු කිලෝග්‍රෑම් එකක් මිලදී ගත හැකිය.

සතොස මේ ආකාරයට සීමාවන්ට යටත් කොට හෝ අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීම කාට නැතත් සමාජයේ දිළිඳුම තීරයට අයත් ජනතාවට හෝ සහනයක් බව කිව​ හැකි නමුත් ඔවුන්ටද ඒ සහනය ලැබෙන්නේද? සතොස මේ ආකාරයට සීමා පැනවීමට එක් හේතුවක් නම් පෞද්ගලික වෙළෙඳුන් සතොසින් අඩු මිලට භාණ්ඩ ගෙන වැඩි මිලට විකිණීම වැළැක්වීමය. නමුත් සතොස ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඊයේ උදෑසන සිටම සතොස අලෙවිසල් පිරී ඉතිරී ගොස් ඇත්තේ සිල්ලර වෙළෙඳුන් සහ ඔවුන්ගේ තැරැව්කරුවන්ගෙනි. මේ අනුව මාසයකදී අලෙවි වන සීනි වැනි මිල අඩු කළ භාණ්ඩ දින කිහිපයකින් අවසන් වීමටද ඉඩ තිබේ. එවිට සියලු දෙනාට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නට සිදුවනු ඇත්තේ වැඩි මිලට විවෘත වෙළෙඳපොළෙනි. එහෙත් වෙළෙඳුන් නම් වෙනදා ලැබූ ලාභයටද වඩා වැඩි ලාභයක් ලබනු ඇත.

සතොස අලෙවි කිරීම සඳහා භාණ්ඩ මිලදී ගනු ලබන්නේද ආනයනකරුවන්ගේ සංගමයෙනි. මේ නිසා සතොසට අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීමට සිදුවනු ඇත්තේ විශාල පාඩුවක් දරා ගනිමිනි. රාජ්‍ය ආයතනයක් ලෙස සතොසට පාඩුවක් දරන්නට සිදුවන්නේ ජනතාවට යම් සහනයක් සැලසීමට ආණ්ඩුව ගත් තීරණයට අනුවය.

අටුව කඩා පුටුව හදනවා වැනි මෙවැනි තීරණ සංවර්ධනාත්මක තීරණ ලෙස සැලකිය නොහැකි නමුත් ආණ්ඩුව එවැනි තීරණයක් ගන්නේ ඉන් ජනතාවට කෙටි කලකට හෝ සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් විය හැකිය. නමුත් කරුණු කාරණා සිදුවන ආකාරය අනුව පෙනී යන්නේ අපේක්ෂා කරන පරිදි ජනතාවට දැනෙන සහනයක් නොලැබෙනවා පමණක් නොව හදිසියකදී ප්‍රයෝජනයට ගැනීමට ඇති සතොස වැනි ආයතනයක් පවා ඉන් තවත් දුර්වල වන බවකි.

මේ වසර මුලදීද ජනතාවට සහන සැලසීම සඳහා ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවලට පාලන මිලක් නියම කිරීම වැනි සංශෝධන සිදු කෙරුණත් ඒ අවස්ථාවලදීද ආණ්ඩුව අපේක්ෂා කළ ජනතා සහනය හිමි වූයේ නැත. සහල් සඳහා පාලන මිලක් පනවා ජනතාවට දැරිය හැකි මිලකට සහල් මිලදී ගන්නට අවස්ථාව සලසා දෙන්නට හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන නමුත් තවමත් එය සාර්ථක වී නැත. මේ තත්ත්වය අප දකින්නේ ආණ්ඩුවක අසමත්කමකට වඩා අප විසින් කලක් තිස්සේ පෝෂණය කරමින් රැක ගෙන එන වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයේ බලවත්කම නිසා ඇතිවන තත්ත්වයක් ලෙසය.

ආණ්ඩුවක් මුළුමනින්ම පාහේ වෙළෙඳපොළෙන් ඉවත්ව සිටින තත්ත්වයක් තුළ කිසි විටෙක තමන්ට අවශ්‍ය ආකාරයට වෙළෙඳපොළ හැසිරවීමට ආණ්ඩුවකට හැකියාවක් නැත.