අතන මෙතන

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය රැසක් නාවිකා හමුදාව සොයාගනී

ත්‍රිකුණාමලය, නිලාවේලී සහ පොඩුවකට්ටු යන ප්‍රදේශයන්හි පෙරේදා (29) සිදුකල සෝදිසි මෙහෙයුමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය රැසක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම මැඩපැවැත්වීම සඳහා සිදු කරනු ලැබූ මෙහෙයුමක් අතරතුරදී නිලාවේලී, සල්ලි සාම්බල්තිව් වෙරළ තීරයේ පොල් ගසක සඟවා තිබූ වෙඩි බෙහෙත් යොදා සැකසු චාර්ජස් දෙකක් හා ඒවා සකස් කිරීම සඳහා යොදා ගත් වෝටර් ජෙල් කූරක්, අඩි දෙකක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූල් දෙකක්, විදුලි නොවන ඩෙටනේටර් දෙකක් සහ හඳුනානොගත් වෙඩිබෙහෙත් ග්‍රෑම් 100 ක් තිබු බවට නාවික හමුදාව පවසයි.

එදිනම ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයෙකු ගේ බිලි පිත්තට හසුව පසුව තමන් වෙත භාරදුන් පාර්සලයක් පරික්‍ෂාවට ලක් කිරිමේදි ඒ තුල තිබී ජෙලග්නයිට් කූරු පහක්, ඩෙටනේටර් තුනක් සහ අඩියක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූලක් සොයා ගෙන තිබේ.

මෙම සියලු පුපුරණ ද්‍රව්‍ය මසුන් මැරීමට භාවිතා කිරිම සදහා ධිවරයින් විසින් සකසන ඒවා බව පවසන නාවික හමුදාව මේ පිළිබදව පුළුල් විමර්ශණයක් අරඹා තිබේ.

නුවන් ප්‍රියදර්ශන – ත්‍රිකුණාමලය