විශේෂාංග

මව්බිමේ ආරක්ෂාව

මේ ගෙවුණ සතියේ සිනාසෙන්නට පුළුවන්, එසේම අඬාවැටෙන්නටද පුළුවන් එකවර දෙයාකාරයක හැඟීම් දනවන කතා ඇසීමට තරම් අපි අවාසනාවන්තයෝ වූයෙමු. ඒ කතා කළේ සෙස්සෝ නොව රටේ වගකීම භාරගත් ජනාධිපති, අගමැති සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. තොත්ත බබෙකුවත් නොකියන බොළඳ, මෝඩ, තකතීරු කතා කීවේ ආරක්ෂක ලේකම්වරයාය. මේ ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු භාර ගත්හ. එහෙත් ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාර ගන්නට මේ රටේ එකෙකුවත් සිටියේ නැත.

මේ කතා ඇසීමෙන් ජාතියට දැනුණේ ‘‘නත්ථි මේ සරණං අඤ්ඤං’’ වැනි හැඟීමකි. ‘‘නැත, අපට කිසිම සරණක් වැනි හැඟීමකි.’’ රට කරවන්නන්ගේ වගකීම් විරහිත කතා ජනතාව පිළිකුලෙන්ද, වෛරයෙන්ද යුතුව හෙළා දැක, ඉන්පසු සිනාසී සුළඟේ පා කර යවා අවසන්ය. දැන් ජනතාව හුදකලාව සිතන්නේ මෙබඳු විපතකට මුහුණ නොපා සිටීමට ජාතියක් හැටියට අපට පුළුවන්දැයි කියාය.

මේ විපතෙන් ගොඩ ඒමට ආණ්ඩුව විපතට පත් ජනතාවගේම සහාය ඉල්ලා සිටින්නේය. ජනතාව තුවාල ලැබූවන්ට ලේ දන් දීමට පෝලිම් ගැහුණේ ජනාධිපති විදේශ සංචාරය නිමවා නිවී සැනසිල්ලේ ලංකාවට ගොඩබැසීමට කලින්ය. බෝම්බ පිපිරුණ තැන්වල සිටි ත්‍රීවීලර් රථ හිමියෝ තුවාලකරුවන්ද, මළ මිනීද අරගෙන පිම්මේ රෝහල් කරා ගියේ අගමැති බේරුවල ඉඳන් හෙලිකොප්ටරයෙන් කොළඹට පා තබන්නටත් කලින්ය.

කොටින්ම මීගමුව, කටුවාපිටියේ පල්ලියේ බෝම්බය පිපිරෙන විට බල්ලෙක් පල්ලිය දෙසට එක පිම්මේ දිව ගියේ (සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි) කැබිනට් මණ්ඩලයේ හරීන් ප්‍රනාන්දු ඇමැතිට නැති වගකීමකිනි. ජනතාවගෙන් සහාය ඉල්ලන්නට ඕනෑ නැති බවත්, ආණ්ඩුවට වඩා හොඳින් ජනතාව රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන් දෙන බවත් අපේ ඉතිහාසය පෙන්නුම් කළ සත්‍යයකි. ජනතාවට දැන් වුවමනා කරන්නේ මේ මරණ බයෙන් ජාතිය මුදා ගැනීමට ආණ්ඩුව සූදානම් දැයි දැන ගැනීමය. ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක්, ඕනෑකමක් තිබේදැයි දැන ගැනීම පමණකි.

රටක් ආරක්ෂා කර සශ්‍රීක කරන්නට නම් ඒ කරවන ඇත්තන් අතරේ එක මතයක් තිබිය යුතුය. නායකයන් අතරේ ඒකමතිකයක් නැති තැන ආරක්ෂක අංශ වේවා, රාජ්‍ය තන්ත්‍රය වේවා වැඩ කරන්නේ විසිරී ගිය අවුල් සහගත චේතනාවලින් යුතුවය.

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ තමන් රටේ ආරක්ෂක ඇමැතිව සිටි බව වත්මන් ජනාධිපති මීට පෙර කිහිප වතාවකම ප්‍රකාශ කර ඇත්තේය. එදා ඔහු යුද්ධය වෙනුවෙන් වගකීමකින් ඉටු කරන්නට ඇති කාර්යභාරය මෙදා තේරුම් ගත හැකිය. හෙළ උරුමය යුද්ධය ජයග්‍රහණයට මග පෑදූ බව චම්පික ඇමැතිවරයා එහි ගෞරවය ගනිමින් නිරන්තරව කියයි. මෙදා ඔහු කියන්නේ තමා ආරක්ෂක ඇමැති නොවූ නිසා මේ සිද්ධිය වළකන්නට තිබූ වගකීම තමාට භාරගත නොහැකි බවය. එසේ නම් එදා ඔහු යුද්ධය දිනෙව්වේ ආරක්ෂක ඇමැති තනතුර දැරූ නිසාද?

මේ සියල්ලෝම කටින් බතල කොළ සිටුවන්නෝය. අතීතයේවත්, වර්තමානයේවත් සාර්ථක කාර්ය සාධන වාර්තාවක් ඔවුන් සතුව නැත. එසේම මේ මහා ඛේදවාචකය නිසි ආකාරයට ඇමැති මණ්ඩලය තේරුම් ගත් බවක්ද නැත. කොච්චිකඩේ පල්ලියේ බෝම්බ පිපිරුණ තැනට ආ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දෝමනස්ස සහගත හැඟීමකින් යුතු මූණක් මවාගෙන ලේවත් සෝදා නැති දේවස්ථානය දෙස බලාගෙන කීවේ තමන් ඉක්මනින් දේවස්ථානය ඉදිකර දෙන බවය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මරාගෙන මැරෙන ප්‍රහාර, ජාතියක ආරක්ෂාව, රටක අනාගතය, මේවා නොව දේවස්ථානයේ බිත්ති බැඳීමය වැදගත්. හේමා ප්‍රේමදාස ආර්යාව එතුමාට සජී බබා යැයි අමතන්නේ මව් සෙනෙහස නිසාම නොවන බව ජාතියට වැටහී ගියේ මේ ප්‍රකාශයත් සමගය. ඔවුන් කයිවාරු මිස කරන්නට පුළුවන් දෙයක් ඇත්තෝ නොවෙති. එබඳු වූවන්ගෙන් මොන ජාතික ආරක්ෂාවක් ලබා ගන්නද?

රටේ අභියෝග භාරගෙන රට හැදිය හැකිය යන සාර සිතුවිල්ලක් ආණ්ඩුවේ නැත. අපට මෙය පරාද කළ හැකිය යන හැඟීමවත් ඕනෑකමක් නැත. අග්‍රාමාත්‍යවරයා දැනටමත් කියන්නේ මේ අර්බුදයෙන් ගොඩ ඒමට විදේශ රටවලද සහාය ලබා ගන්නා බවය. ඒ සඳහා අප කෙබඳු මිලක් ගෙවිය යුතු වේද, මොන මොන දේ කැප කළ යුතු වේද, මොන මොන උරුමයන් පාවා දිය යුතු වේද?