විශේෂාංග

‘මල්’ පත්තර ‘පල්’ වුණේ ඇයි?

එච්.ඒ.ජේ. හුලුගල්ල නම් පත්‍ර කලාවේදියා මෙරට වඩාත් ප්‍රකට ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා ලෙසය. ඉන්දියාවේ සිට ​‘ජේනස්’ නමින් ඩේලි නිවුස් පුවත්පතට ලිපි ලියූ දියෝග වඩගුරුගේ ධනපාල නොහොත් ඩී.බී. ධනපාල ලංකාවට ගෙන්වා ලේක්හවුසියට නොහොතේ බේරේ ගෙදරට බන්දවා ගන්නට ඩී.ආර්. විජේවර්ධනට ඔළුවට දැම්මේ ​මේ හුලුගල්ලය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ හුලුගල්ල මෙරට මුද්‍රණ ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයකි. ඒ යුනෙස්කෝ තිළිණයක් ලෙස ලංකාවට ලැබුණු මහරගම සමන් මුද්‍රණාලය නිසාය. ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රිත සිංහල පොතපත ජනප්‍රිය කිරීමේ නිරත වූ සමන් මුද්‍රණාලය නිසාම ‘සමන් සයිස්’ යැයි පොත් සයිස් එකක්ද ප්‍රචලිත විය. එහි මුලින්ම මුද්‍රණය කළ ඔෆ්සෙට් පොත වූයේ ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝය.

හුලුගල්ල ගැනත්, සමන් මුද්‍රණාලය ගැනත් මෙච්චර විස්තරයක් කියන්නට සිදුවූයේ ලංකාවේ ප්‍රථම වරට ඔෆ්සෙට් ක්‍රමයට මුද්‍රිත පුවත්පත බිහි කළේද සමන් මුද්‍රණාලය නිසාය. මේ පත්තරේ කර්තෘ වූයේ පසුකලෙක ‘රිවිරැස’ කර්තෘ ධුරයට පත්වූවාටත් වඩා මියෙන විට ටෙලි නාට්‍ය නළුවකු ලෙස කිරුලු දරා සිටි ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍රය. මේ පුවත්පතේ නම ‘මේලා’ ය.

සමන් මුද්‍රණාලය ජන්මාන්තර ගතවීමත් සමග 1964දී හුලුගල්ල පරම්පරාව අලුත් ඔෆ්සෙට් මුද්‍රණ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මල්ටි පැක්ස් නමිනි. එච්.ඒ.ජේ. හුලුගල්ලගේ පුතුන් දෙදෙනා වූ හරිස් හුලුගල්ල හා අර්ජුන හුලුගල්ල මේ ව්‍යාපාරයේ කොටස්කරුවන් විය. හැත්තෑව දශකයේදී අනුර බණ්ඩාරනායක සමග එක්වී ටයිම්ස් ලංකාදීපය මිලදී ගත්තේ මේ හරිස් හුලුගල්ලය. හැත්තෑව දශකය මුලදී මල්ටි පැක්ස් කොම්පැනිය චින්තන ජයසේන සමග අලුත් චිත්‍ර කතා පත්තරයක් ආරම්භ කරන ලදී. පත්තරේ නම ‘සිත්තර’ ය. සිංහල අවුරුද්දට කාඩ්බෝඩ් එකක මුද්‍රණය කළ දාං ලෑල්ලක් නොමිලේ දුන් විට සිත්තර පත්තරේ අලෙවිය ලක්ෂ 5ද ඉක්මවා තිබුණි. බොහෝ දෙනා සිත්තර පත්තරේ හැඳින්වූයේ පත්තරයක් ගහනවා නොව ‘සල්ලි අච්චු ගහනවා’ වගේ වැඩක් කියාය. මල්ටි පැක්ස් ඉතිහාසගත වන්නේ චිත්‍ර කතා පත්තරම තුනක් නිකුත් කළ නිසාය. ඒ සිත්තර, සුවඳ, ස්වර්ණ යන නමිනි. හැත්තෑව දශකය අග වනවිට මල්ටි පැක්ස් ප්‍රකාශනවලට පටබැඳුණ අන්වර්ථ නම වූයේ බූන්දි කරත්තයයි. ඊට හේතුව වූයේ එම ආයතනය රන්කැටි, සූකිරි, මීපැණි, ටිකිරි, යහළු නමින් ළමා පත්තර ගොන්නක් ප්‍රකාශයට පත් කිරීමයි.

හැත්තෑව දශකය නිමා වනවිට මල්ටි පැක්ස් කළමනාකාරීත්වය සිංහල පත්තර කලාවට අලුත් පත්තර කලාවක් හඳුන්වා දෙන්නට තීරණය කොට තිබුණි. ඔහු මේ පත්තර කලාව හැඳින්වූයේ Teenage Newspaper ‌හෝ Girls Weekly ලෙසය. මේ වනවිට ඝාතනයට ලක්වූ පුවත්පත් කලාවේදී කිත්සිරි සමරනායක හා රොඩ්නි විදානපතිරණ තරුණයන් සඳහාද පුවත්පතක් මල්ටි පැක්ස් ආයතනය තුළ සැලසුමක් කර තිබුණි. ඒ වනවිට එම ආයතනයේ සූකිරි නම් ළමා පුවත්පතේ අලෙවිය පිටපත් ලක්ෂයද අබිබවා ගොස් තිබුණි.

කිත්සිරි සමරනායකට, රංජිත් විජේවර්ධන නොහොත් ‘රංජිත් අප්පෝ’ මුණ ගැහෙන්නේ මේ අතරය. කිත්සිරිගේ ප්‍රධානත්වයෙන් විජය, සිරිකත, සතුට හා සිසුමිණ පුවත්පත් පටන් ගත්තේ මේ අතරය. සූකිරි, මල්ටි පැක්ස් ආයතනය කිත්සිරිගේ විජය පත්තරය නිසා බලා ඉඳිද්දී බිඳ වැටෙන්නට විය. විජය ප්‍රකාශනවල නම් සඳහන් කඩ ඉදිරිපිට තබන තහඩු බෝඩ් ලෑල්ලේ ඔවුන් ජාතික පුවත්පතක් ප්‍රකාශයට පත්කරන බවද සඳහන් විය. පත්තරේ නම ‘රන්දිව’ නම් විය. එවකට ලංකාදීප පුවත්පත රජයට පවරාගත් ආයතනයක් ලෙස පවත්වාගෙන යන ලදී.

මේ කියන වකවානුවේ වනිතා විත්ති, ශ්‍රී, තරුණි වැනි කාන්තා පුවත්පත් තිබුණත් මල්ටි පැක්ස් නව යොවුන් ප්‍රකාශනය මේ හැම එකකටම වඩා වෙනස් විය. එම කුඩා සිත්තර පත්‍රය ප්‍රමාණයේ පුවත්පතේ නම වූයේ ‘කුමරි’ ය. 1979 මැයි 9දා නිකුත් වූ පත්තරේ කර්තෘවරයා වූයේ බන්දුල පද්මකුමාරය. කුමරි පත්තරේ ඡායාරූප ශිල්පියා වූයේ ගාමිණී මෙන්ඩිස්ය. චිත්‍ර ශිල්පියා උපාලි වීරවර්ධනය, චිත්‍ර සහායකයා වූයේ දර්ශන වනිගරත්නය. කර්තෘ මණ්ඩලයේ සිටි අනෙක් දෙදෙනා දවස පත්‍රයේ පළපුරුදු පත්‍ර කලාවේදිනියක වූ චන්ද්‍රා වීරසිංහ හා පද්මි පින්දෙණියයි. පද්මි පින්දෙණිය ‘කුමරි’ ආරම්භයෙන් මාස කිහිපයකින් ගුරු පත්වීමක් ලැබ කුමරිට සමුදුන් බැවින් ධර්මරත්න පෙරේරා ‘කුමරි’ කර්තෘ මණ්ඩලයට එක්විය.

මල්ටි පැක්ස් ප්‍රකාශන ප්‍රවර්ධන නිලධාරියා වූයේ චන්ද්‍රභානු සමරවීරය. ‘සිත්තර’ චිත්‍ර කතා පත්තරය ගමෙන් ගමට ගෙන ගොස් ඉහළම තලයට ගෙනාවේ ඔහු විසිනි. කුමරි ආරම්භය ගැන චන්ද්‍රභානු කියන්නේ මෙසේය.

‘‘බන්දුල පද්මකුමාර මල්ටි පැක්ස් කොම්පැනිය හිතුවටත් වඩා ඉහළෙන් වැඩේ කළා. සම්ප්‍රදායික කාන්තා පත්තර අබිබවලා පත්තරේ උණු කැවුම් වගේ විකිනුණා. අතිරේක, ඇඳුම් පතරොම්, හින්දි ඕපාදූප, කෑම වට්ටෝරු හඳුන්වලා දුන්නේ කුමරියමයි. ඊටත් වඩා අලුත්ම ලේඛක පරම්පරාවක් හඳුන්වලා දෙන්න බන්දුල සමත් වුණා.’’

කුමරි පුවත්පත කොතරම් ජනප්‍රිය වුණාදැයි කිවහොත් මේ ජනප්‍රියත්වය දරාගත නොහැකි වීම නිසාම සම්ප්‍රදායික කාන්තා පුවත්පත්කාරයෝ මෙම පත්තර කලාවට ‘මල් පත්තර’ යන ලේබලය අලවන ලදී.

මේ කුමරි ගෙනා පත්තර රැල්ලේ පත්තර කලාවේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ කොටස් වශයෙන් පළවූ පැණි බේරෙන නවකතාය. පත්තරේක නවකතා හත අටක් නම් වැරදුණේ නැත. එකම ලේඛකයා හෝ ලේඛිකාව විවිධ විසිතුරු නම්වලින් ලියූ නවකතාද මේ අතර විය. එවක ජනප්‍රිය නළුවකු වූ විජය කුමාරතුංගගේ නවකතාවක්ද ‘කුමරි’ පත්‍රයේ පළ විය. නවකතාවේ නම ‘තටු සිඳුණ කිරිල්ලියේ’ විය. කුමරි පුවත්පත ආරම්භ වීමෙන් පසු ඊට ආදේශකයක් ලෙස නුගේගොඩ පැත්තේ තවත් මල් පත්තරයක් බිහිවිය. පුවත්පතේ ආයෝජකයා ස්වර්ණදාස හේරත් නම් සුප්‍රකට කැසට් ව්‍යාපාරිකයා විය. පත්තරේ නම ‘යුවති’ නම් විය. කර්තෘවරයා වූයේ කුමරි පත්තරේම කර්තෘ මණ්ඩලයේ සේවය කළ ධර්මරත්න පෙරේරාය. ඉන්පසු බිහිවන්නේ ‘මල් පත්තර’ ගොන්නකි. ඇත්තම කිවහොත් කුමරි ආකෘතියට මල් පත්තර වැසි වසින්නට විය. සඳරේණු, සුවඳ, අරලිය, නිර්මල, පාරමී ආදී සිතාගතවත් නොහැකි තරම් පත්තර බිස්සක් අන්තිමට මල් පත්තර අතර ඇතිවිය. මේ පත්තරවලට තිබුණ ඉල්ලුම ගැන ඇති හොඳම සාක්ෂිය නම් සඳරේණු පුවත්පතේ ප්‍රකාශකයන් වූ ICMS ආයතනය සඳතරු නම් පුවත්පතේ නමට එරෙහිව පැවරූ නඩුවයි. මේ මල් පත්තරවලට බොහෝ ප්‍රකට ලේඛකයන් නවකතා ලියන්නට අදිමදි කළේ ‘බොලඳ’ නවකතා ලියන්නට බැහැ කියමිනි. ඒ නිසාම ප්‍රකට ලේඛකයකු සුභානි කුරුවිට බණ්ඩාර නමින් ‘රෝස මලේ නටුවෙ කටු’ නමින් නවකතාවක් පළකරන ලදී. වැඩේ නැගලා ගිය විට නියම ලේඛකයා මතුවිය. ඉන්පසු එය පොතක් වශයෙන් පළවූයේ එඩ්වඩ් මල්ලවආරච්චිගේ ‘චාතූර්යා’ ලෙසය.

මල් පත්තරවලටම හරියන යොවුන් ලේඛකයන්ගේ නම් සමූහයක්ද විය. දේවින්ද දසනායක නම් යොවුන් ලේඛකයාගේ නියම නම ධර්මරත්න පෙරේරාය. චාමර මුතුනායක නම් වූයේ කුමාර සිරිවර්ධනය. චානුක උයන්ගොඩ වූයේ ප්‍රදීප් කුමාර බාලසූරියය.

වර්තමානයේ නවකතාකරණයේ ජනප්‍රිය ලේඛකයන්ගේ තිඹිරිගෙය වූයේ මල් පත්තරය. අර්නස්ට් වඩුගේ, උපාලි බණ්ඩාර වීරසේකර, ප්‍රදීප් කුමාර බාලසූරිය, සුජීව ප්‍රසන්නආරච්චි, මදාරා වඩුගේ, ශාන්ත කුමාර විතාන, චන්දි කොඩිකාර, මහේස් සත්සර මද්දුමආරච්චි, ප්‍රණීත් අභයසුන්දර, උපුල් ශාන්ත සන්නස්ගල. මයිකල් ආන්ජලෝ, කුමාර සිරිවර්ධන, බියංකා නානායක්කාර, ගැමුණු රත්නායක, සංඛ අමරජිත් මෙන්ම ධර්මරත්න පෙරේරාද ඇතුළුව තවත් මතකයට ආවේ නැති නම් සමූහයක්ද ඇත.

මේ මල් පත්තර කටුනායක වෙළෙඳ කලාපයේ පිටපත් පන්දාහ එක තැන විකිණෙන තැන්ද විය. මෙම පුවත්පත්වල අලෙවිය දෙවැනි වූයේ ජාතික පුවත්පත් නම් වාණිජ පුවත්පත්වලට පමණි. වෙළෙඳ කලාපයේ බෝඩිමේ තරුණියන් පස්දෙනකු සිටි විට මෙම පුවත්පත් පහක්ම මිලදී ගැනීම එදා සිරත විය.

නමුත් අද මල් පත්තර අධිරාජ්‍යය මුළුමනින්ම පොළොවට සමතලා විය. ආරූඪ නම් වෙනුවට එකම පුද්ගලයකුගේ නමින් නවකතා හත අටක් පළවීම, ෆේස්බුක්, ඉන්ටර්නෙට් යුගය සමග මල් පත්තර අප්ඩේට් නොවීම, මිල වැඩි වීම හා තරුණ පරම්පරාව විවිධ ඩිජිටල් විනෝදාස්වාද මාධ්‍ය වෙත යොමුවීමද මෙම ගරාවැටීමට හේතු විය. එහෙත් මල් පත්තර තවත් අවඥාවට ලක් කළත් මෙරට පුවත්පත් කලාවට හා ග්‍රන්ථකරණයට මෙම සුවිශේෂී පත්තර කලාව දායාද කළ ලේඛක පරම්පරාව සදාකාලිකව ඉතිහාසගත වනු ඇත්තේ එම පත්‍ර කලාවට කෘතගුණ සැලකීමක් ලෙස විය යුතුය.

වජිර ලියනගේ