ක්‍රීඩා

මල්ලෙ පොල් ද මෙල්?

උදාවූ නව වසරේදී හෝ මෙරට ක්‍රිකට් යළි හිස ඔසවනු ඇතැයි යන්න සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ පැතුමයි. එහෙත් එවැන්නක් ඉබේ සිදුවන්නේ නම් නැත. නිසි කණ්ඩායම තෝරා පිටියට යැවූ පසු, හතරේ සීමාවෙන් ඇතුළත සිට නිසි කලට නිසි තීරණය ගතහැකි නායකයෙක් කණ්ඩායමකට සිටිය යුතුය. ක්‍රීඩකයන් සියල්ලන්ම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ යුතුය. ඒ සියල්ල නිසි ආකාරයට සිදුවූ අතීතයේ අපි ලෝක කුසලාන මෙරටට රැගෙන ආවෙමු. යළිත් එවන් යුගයක් ඇරඹීමටනම් කළ යුත්තේ කුමක්ද?

පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ තෘප්තිමත් නැතැයි පවසා, ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් පසුගිය වසරේ පාකිස්තානයේ පැවැති විස්සයි විස්ස තරගාවලියට සහභාගි නොවුණි. ඒ වනවිට ශ්‍රී ලංකාව අන්තර්ජාතික විස්සයි විස්ස ‌ශ්‍රේණිගත කිරීම්වල අංක 8 පසුවද්දි පාකිස්තානය එහි හිණිපෙත්තේ විය.

දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙස විචාරකයන් සහ මාධ්‍ය මගින් හඳුන්වනු ලැබූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු නවකයන් කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තේ, ලොව අංක එකේ කණ්ඩායමේ නායකයා වූ සෆ්රාස් අහමඩ්ට නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානයත් අහිමිවන තැනට වැඩ සිද්ධ කරමිනි.

එම ජයග්‍රහණයේ විශේෂතා කිහිපයක් විය. එම තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ වේගපන්දු පුහුණුකරු වූ රුමේෂ් රත්නායකය. ඒ හතුරුසිංහගේ සේවය තවදුරටත් ලබාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු හා මිනෝද් භානුක වැන්නෝ අවස්ථාවක් ලද සැණින් පිත්තෙන් යමක් කළහැකි බව ලොවටම පෙන්වූහ. වනිඳු හසරංග විස්සයි විස්ස තරගවලටම ගැළපෙන දඟපන්දු යවන, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව පසක් කළේය. විශේෂයෙන්ම අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවී ඇති අවස්ථාවක එහි වටිනාකම තවත් ඉහළය.

එම සංචිතයට එක්වූ සෑම ක්‍රීඩකයකුටම එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ඒ සැමටම වඩා අගනේය. මන්ද එලෙස අවස්ථාව හිමි නොවන්නට ඔවුන්ගෙන් ඇතැමෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගයක අත්දැකීම් ලබාගැනීම සිහිනයක් පමණක්ම වීමට ඉඩ තිබූ බැවිනි.

දින කිහිපයකට පෙර අවසන් වූ ඉන්දියානු සංචාරයේදී විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ නායකත්වය තවදුරටත් අවශ්‍යද යන පැනය ඉතිරි කරමිනි. මාලිගේ බලාපොරොත්තුව මේ වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් රට වෙනුවෙන් හැකි උපරිමය කිරීම බව වරක් ඔහු පවසා තිබුණි.

මාලිංග විශිෂ්ට පන්දු යවන්නකු බවට කිසිදු විවාදයක් නොමැත. එහෙත් මාලිංග 2019 වසරේ සිට නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරග දොළහෙන් ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණකි. මේ අතර දසුන් ශානක නායකත්වය දුන් තරග තුනම ජයගැනීම හේතුවෙන් දසුන්ට විස්සයි විස්ස නායකත්වය ලබාදිය යුතු බවට ඇතැම්හු යෝජනා කරති. එහෙත් දසුන්ට නායකත්වය ලබාදෙනවානම් ඒ සඳහා එකම සුදුසුකම එය පමණක් නොවිය යුතුය. ඊට හේතුව තරග තුනකින් ක්‍රීඩකයකුගේ නායකත්වය කිසිසේත්ම මැනිය නොහැකි බැවිනි. එහෙත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ සහයෝගය ලබාගෙන එකමුතුකමින් ක්‍රීඩාකිරීමේ හැකියාව මාලිංගට සාපේක්ෂව දසුන්ගේ වැඩි බව දැකගත හැකි විය.

මේ පිළිබඳව තේරීම් කමිටු සභාපති අසාන්තා ද මෙල් පවසා තිබුණේ මාලිංගට කණ්ඩායම් නායකත්වය නොලැබෙන්නේ නම් ඔහුට කණ්ඩායමේ ස්ථානයද අහිමි වන බවයි. අප එවැන්නක් ඇසූ පළමු වතාව එයයි. මක්නිසාද යත් කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගත් ක්‍රීඩකයකුට නායකත්වය ලබාදෙනවා විනා, යම් ක්‍රීඩකයකුට නායකත්වය ලබාදී කණ්ඩායම තුළ රඳවාගන්නා ක්‍රමවේදයක් කිසිම රටක නොමැති බැවිනි. එහෙත් අප ඒ පිළිබඳව පුදුම විය යුතු නොවනනේ තේරීම් කමිටු සභාපතිවරයා එවන් තීරණ ගත් පළමු අවස්ථාව මෙය නොවන බැවිනි.

අද (19 වැනිදා) ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියට අදාළ සංචිතයෙන් පසුගිය වසරේ ලොව හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත්ව ඉවත් කර ඇත්තේ ද ආසන්තා ද මෙල් ගේ තීන්දුවක් හේතුවෙනි.

ලොව පුරා විචාරකයන් ඒ පිළිබඳව විමතිය පළකරද්දී, මෙල් සිය තීරණය සාධාරණීකරණය කරන්නේ හරි අපූරූ ආකාරයකටය. කුසල් ජනිත් යනු ටෙස්ට් පිටියේ ස්ථාවර ක්‍රීඩකයකු නොවීම ඊට හේතුව බව හෙතෙම පැවසීය. ඒ සඳහා ඔහුගේ හොඳම තෝරාගැනීම ලහිරු තිරිමාන්නය. ඊට එකම සුදුසුකම තිරිමාන්නට කුසල්ට වඩා වෙලාවක් පිටියේ රැඳී සිටිය හැකි යැයි මෙල් විශ්වාස කිරීමය.

එසේ නම් කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ඔවුන් පිටියේ ස්ථාවර නිසාදැයි අසන්නට කට නළියෑවද එය නෑසුවේ, ඊට ලැබෙන්නේද ‘යන්නේ කොහෙද – මල්ලේ පොල් ’වැනි ‘මෙල් පන්නයේ ’ පිළිතුරක් බව අත්දැකීමෙන්ම දන්නා බැවිනි. එක්දින සහ විස්සයි විස්ස තරගවලදී දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ව පසුගිය ඉන්දීය සංචාරයට අදාළ සංචිතයට ද එක්කර තිබු​ණේ ඔහුව එක් තරගයකට හෝ ක්‍රීඩාකරවීමට නොව, කුසල්ගේ මානසිකත්වය සකස්කර ගැනීමට බව තේරීම් කමිටු සභාපතිවරයාම පවසද්දී ලංකාවේ ක්‍රිකට් ගැන අපි තවත් කුමක් කියමුද? දැන දැනම සංචාරක මගියකු ලෙස ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩකයකු රැගෙන යන වෙනත් තේරීම් කමිටුවක් ගැන අප මීට පෙර නම් අසා නැත.
තරග තුනකින් සමන්විත එම තරගාවලියට අවම වශයෙන් තවත් එක් යෞවනයකුට හෝ කුසල් මෙන්ඩිස් වෙනුවට අවස්ථාවක් ලබානොදුන්නේ ඇයි දැයි දන්නේ මෙල්ම පමණකි.

පසුගිය පාකිස්තානු සංචාරයේදී කඩුලු රකින්නකු ලෙස හා පිතිකරුවකු ලෙස දස්කම් අතරට පැමිණි මිනෝද් භානුක වැනි ක්‍රීඩකයකුට හෝ අවස්ථාවක් දිය යුතුව තිබුණි.

ඊට හේතුව වසර දහයකට පසු කණ්ඩායමට එක්වූ භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් පෑ දස්කම්ය. පසුගිය වසර දහයේ ඔහුට අවස්ථාවක් ලැබුණේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වඩා බොහෝ ඉහළ තැනක තිබෙන බව ජාත්‍යන්තර විචාරකයන් පවා පැවසුවේ එබැවිනි. මිනෝද් වැන්නන් තවත් ඉන්දික ද සේරම් කෙනෙකු නොකර රැකබලාගතයුතු වන්නේ එබැවිනි.

උදාවූ නව වසර මෙරට ක්‍රිකට්වලට සුබ වීමට නම් මේට්ලන්ඩ් පෙදෙසේ ක්‍රිකට් නිවහනට අරක් ගත් ඇතැම් භූතයන්, කුම්භාණ්ඩයන් කෙසේ හෝ එළවා දැමිය යුතුය. ක්‍රීඩකයන්ගේ වටිනාකම දැනගෙන ක්‍රීඩකයන් මනාව කළමනාකරණය කළ හැකි පිරිසකට ක්‍රිකට් සුක්කානම භාරදිය යුතුය. දේශපාලනය ක්‍රිකට්වලින් වියුක්ත විය යුතුය.

එහෙව් දිනයක යළි මෙරට සනත් ජයසූරියලා, චමින්ද වාස්ලා හා මුරලිලා බිහි වනු ඇත.

සචිත් යාපා