විශේෂාංග

මලකඩ ගසා දමා හිනැහෙයි යකඩ යකා

ලක්වැසියන් මුල්වරට යකඩ යකා දුටුවේ මීට අවුරුදු 164කට කලිනි. ඒ 1864 වසරේදිය. ඒ අපේ රටේ බව බෝග ටික පහසුවෙන් කොල්ලකාගෙන යන්නට සුද්දන් රේල්ලුවක් ලංකාවට හඳුන්වාදුන් නිසාය. එදා පටන් මෙසිරිලකට 1950 දක්වාම ​රේල්ලු ආනයනය කළේ රේල්ලුවේ උපන් රට වූ එංගලන්තයෙනි.

1955 වර්ෂය ලංකාවේ දුම්රිය සේවයේ ස්වර්ණමය යුගය විය. ඒ යුගය රම්පාල යුගයයි. බී.ඩී. රම්පාල ලංකාවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය දැරූ යුගයේදී රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ S2 හා S3 බලවේග කට්ටලවලට අවශ්‍ය මැදිරි නිෂ්පාදනය කළේය.

ලංකාවේ දුම්රිය සේවය පටන් ගත්තේ භාණ්ඩ ප්‍රවාහනයට වූවාට කල්යත්ම එය මගී ප්‍රවාහනයට නැතුවම බැරි විය. දුම්රිය සේවය අද ජන ජීවිතයට කෙතරම් බද්ධව තිබේද යන්න උරගා බලන්නට හොඳම අවස්ථාව එළැඹෙන්නේ වැඩවර්ජනයකදීය. ඒ මොනවා වුණත් ඇඟිල්ලක් ගහන්නට ඉඩ නැති දුම්රිය අපට කියන්නේ මේ රටේ දුම්රිය ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවය.

ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නම් සැපයුම වැඩිකළ යුතුය. එහෙත් දුම්රිය යනු වවාගන්නට පුළුවන් පතෝල, වැටකොළු නොවේ. දුම්රිය මැදිරි හරිම ගණන්ය. ඒ කියන්නේ එක් මැදිරියක් මෙරටට ගෙන්වන්නට මිලියන 70ත් 80ත් අතර මුදලක් වැය වන බව කියයි. අය වැයේ රිම් එකෙන් දුවන අපි වැනි රටකට එය දැරීමට අපහසු මුදලකි.

ඒ නිසා ඊට විකල්පයක් සොයා බැලීමේදී තෝරාගන්නේ භාවිතයෙන් ඉවත් කළ අව්වට කරවන වැස්සට තෙතබරිත වෙන ටිකෙන් ටික මියයන දුම්රිය මැදිරිවලට ආයෙත් හුස්ම දෙන්නටයි. මේ කියන දුම්රිය මැදිරි අලුත්වැඩියාවට යන්නේ මිලියන 17-19ත් අතර මුදලකි. ඒ කියන්නේ අලුතෙන් ගෙන්වනවට වඩා තියෙන දේ අලුත්වැඩියා කරන එක දෙතුන් ගුණයකින් ලාබය.

මේ සුබ ආරංචිය රටට කිව්වේ 2016 අයවැයේදීය. ඒ අනුව 2017 වර්ෂයේදී අපේ රටේම මිනිසුන්ගේ දෑතින් අපේම මිනිස්සුන්ට යන්නට දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කරන්නට පටන් ගත්තේය. මේ කාරියට දෙපාර්ශ්වයක් සම්බන්ධය. එකක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවය අනෙක තන්ත්‍රී සමාගමයි.

ආයෙත් හුස්ම දෙන්නට සුදුසු දුම්රිය මැදිරි තෝරාගත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුවෙන්ය. ඔවුන් මේ මහඟුකාරියට දුම්රිය මැදිරි 200කට සුදුසුකම් දුන්නෝය. එසේ සුදුසුකම් ලැබුවේ 4 හා 5 කාණ්ඩයේ රුමේනියාවෙන් ආනයනය කළ දුම්රිය මැදිරි 140කි. ඒවා ආනයනය කර ඇත්තේ අසූව, අනූව දශකවලය. ජපන් කොරියන් දුම්රිය මැදිරි හැටක්ද මීට ඇතුළත්ය. වැඩේට අත ගැසුවේ 2017 නොවැම්බර් මස 19 වැනිදාය. වැඩේ ඉවර කරගන්නට බලාපොරොත්තු වෙන්නේ 2021 මැයි මාසේ 19 වෙනිදාය. ඒ මොනවා වුණත් දැනටමත් දුම්රිය මැදිරි 150කට ආසන්නව වැඩ නිමවා ඇති බව ඔවුහු කියති.

දුම්රිය මැදිරි ප්‍රතිස්සංකරණය කරන්නට ගෙන එන එක් ස්ථානයක් ලෙස රත්මලානේ පිහිටි ප්‍රධාන යාන්ත්‍රික කර්මාන්ත ශාලා සංකීර්ණය හඳුන්වාදිය හැකිය. එහි දුම්රිය මැදිරි සම්පූර්ණයෙන් අලුත්වැඩියාවකට ලක්කරයි. සම්පූර්ණ රෝද පද්ධතිය තිරිංග පද්ධතිය අලුත්වැඩියා කරයි. දුම්රියවලට කාන්තා නම් යොදන්නට එහි ගමන් ලතාවට හේතු වී ඇතැයි සමහරු කියයි. ඒ දුම්රිය පැද්දි පැද්දී ගැස්සි ගැස්සී වැනි වැනී යන නිසාය. ඒ මොනවා වුණත් ගැස්සෙන පැද්දෙන වැනෙන කම්පනය පිරුණු ගමනක් මගීන්ට රසවත් හෝ සුවබර අත්දැකීමක් නොවේ. දුම්රියකට සස්පෙන්ෂන් එකක් නැත්නම් කම්පන අව​ශෝෂණ පද්ධතියක් යොදන්නේ එම තත්ත්වය වළකා ගන්නය. රත්මලානේ පිහිටි කර්මාන්ත ශාලාවේ මේ දුම්රිය මැදිරිවල ඇති සස්පෙන්ෂන් පද්ධතියද ප්‍රතිසංස්කරණය කර තත්ත්ව පරීක්ෂාවට ලක්කරයි. එමෙන්ම ස්වයංක්‍රීය ඇදුම් පද්ධතියත් ප්‍රතිසංස්කරණය කරයි.

දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයේ තවත් කොටසක් ඇත්තේ තන්ත්‍රී සමාගම අතේය. ඔවුන් ගෙන එන දුම්රිය මැදිරිවලට මුලින්ම කරන්නේ දුම්රිය මැදිරිවල ඇති අමතර කොටස් ගලවා දැමීමය. ගලවනවා කිව්වාට එහි ඇති සියලුදේ ගලවන්නේද නැත. ගලවන්නේ ටෙන්ඩරයේ හැටියට S8 දුම්රිය මැදිරිවල ප්ලේන් ආසන ආදිය ගලවන්නේ නැත. ඒවා අලුත් වැඩියා කරන්නේය. මෙසේ විදුලි පංකා, විදුලි බුබුළු ආදිය ගලවා දැමූ දුම්රිය මැදිරිවල ඇති තීන්ත මළකඩ ආදිය ඉවත් කිරීම ඊළඟ කාරියයි. වාහනයක් මළකඩ තීන්ත ඉවත් කරන්නේ ටින්කරින් කරය.එහෙත් දුම්රියක මළකඩ තීන්ත ඉවත් කරන්නේ සෑන්ඩ් බ්ලාස්ටින් කරය. සෑන්ඩ් කිව්වාට මීට භාවිත කරන්නේ වැලි නොව වැලි තරමට කුඩා යකඩ බෝලය. මල් ගස්වලට හෝස් එකකින් වතුර දානවා මෙන් විශාල හෝස් එකකින් මේ යකඩ කුඩු යකඩ යකාගේ ඇඟට විදින්නේ විශාල පීඩනයකිනි. එසේ කීවාට මේ කාරිය මල්වලට වතුර දානවා තරමට ලේසිවත් පහසුවත් නැත. සෑන්ඩ් බ්ලාස්ටින් කරන්නෙ හොඳින් හතරවටින්ට ආවරණය වූ ස්ථානයක. ඒ කාරිය කරන කෙනාද ලෙදර් රෙද්දෙන් මැසූ ඇඳුමක් ඇඟලා ගත යුතුය. ඇඳුමට අමතර ​ඔක්සිජන් සැපයුමක්ද පිටතින් ලැබෙන්නේ එම ඇඳුමෙන් සකල ශරීරාංගම ආවරණය වන නිසාය. එසේ මුළු ඇඟම වසාගෙන සෑන්ඩ් බ්ලාස්ටින් කරන්නේ යම් හෙයකින් ඒ යකඩ කුඩු අධික පීඩනයෙන් ඇඟේ වැදුනහොත් ශරීරය දරුණු ලෙස තුවාල විය හැකි නිසාය.

උදාහරණයකට කියනවා නම් සමහර බෝම්බ පුපුරා ගිය විට අධික පීඩනයෙන් විසිවී යන යකඩ බෝල ඇඟේ වැදීමෙන් තුවාල වෙන අයුරිනි. මේ සෑන්ඩ් බ්ලාස්ටින් ක්‍රියාව තුළින් මළකඩ තීන්ත ආදිය ඉවත් වී යකඩ තට්ටුව පමණක් ඉතුරුවෙයි. සෑන්ඩ් බ්ලාස්ටින් කර පැය තුනක් යන්නට පෙර මේ දුම්රිය මැදිරි පින්තාරු කරයි. ඒ මලකෑම අවමකර ගන්නටය. මේසේ හෝදා හමාර කර දුම්රියට එකතු කළ යුතු අඩුවැඩිය දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුවෙන් පරීක්ෂා කර තීරණය කරයි. දුම්රිය මැදිරියට කරන සාත්තුව වන්නේ ඊට පසුවය. දුම්රියේ පිළිසකර කිරීම් කරන්නේ පියවරෙන් පියවරය. එක් මැදිරියක වහලය සකස් කර අවසන නම් එය ඊළඟ කරන්නට ඇති කාරිය සඳහා යවයි. එතෙන්ට ඊළඟට එන්නේ වහලය සකස් කරන්නට ඇති තවත් දුම්රිය මැදිරියකි. තාක්ෂණික කමිටුවේ තීරණ මත සිදුකරන දුම්රිය මැදිරිවලට අවශ්‍ය ආසන ජනේල, විදුලි පංකා, වැසිකිළි උපකරණ ආදිය සවිකිරීම සිදුවන්නේ මෙසේ පියවරෙන් පියවරය.

මුහුණු පොතේ මීට ටික කලකට පෙර හුවමාරු වූ පෝස්ටුවක තිබුණේ දුම්රිය මැදිරි ඇතුළේ වැස්සෙන් බේරෙන්නට කුඩ ඉහළගෙන සිටි පින්තූරය. එහෙත් මේ අලුතෙන් පිළිසකර කළ දුම්රිය මැදිරිවල අවුරුදු පහළොවක් යනතෙක් කුඩ ඉහළන් යාමට අවශ්‍ය වන්නේ නැත. යකඩ යකාව බබා වගේ හරි හැටි බලාගත්තොත් අවුරුදු විසිපහක් යනතුරු මැදිරි ඇතුළට වැහි වතුර එන්නේ නැත. ඒ මැදිරිවල වහලය ගැල්වනයිස් කර ඇති නිසාය.
මේ කාරියට අවශ්‍ය කරන අමතර කොටස් ආදියෙන් බොහෝමයක් අපේ රටේ නිෂ්පාදනය කරන ඒවාය. එමෙන්ම පුරා තෙවසරක් තිස්සේ කරන මේ කාරිය නිසා අපේම රටේ දුම්රිය මැදිරි නිෂ්පාදනය කරන්නට අවශ්‍ය පුහුණු ශ්‍රමය, නිතැතින්ම ඉපදෙන්නේය.

ඒ ගැන තන්ත්‍රි ටේලස්හි අධිපති දයා ජෝන් හපුතන්ත්‍රී මහතා කීවේ අදාළ දුම්රිය මැදිරි අලුත්වැඩියාව සම්බන්ධයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ ටෙන්ඩරයට අනුව අදාළ අවස්ථාව තම ආයතනයට හිමි වූ බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ එකඟ විය හැකි කොන්දේසිවලට එකඟවෙමින්, එහි දැන උගත් ඉංජිනේරුවරුන් සාකච්ඡාවෙන් පසු මෙම දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ වගකීම තම ආයතනය බාරගත් බවද ඔහු සඳහන් කළේය. මුලදී දුම්රිය වෘත්තීය සංගම්වලින් බලපෑම් එල්ල වුවද වැඩකටයුතු නිරීක්ෂණය කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණු පසු එම බලපෑමද නැතිවී ගිය බව ඔහු කිය. අනාගතයේ දිනක දුම්රිය මැදිරි අලුත්වැඩියාව පමණක් නොව අපේ රටේ දුම්රිය මැදිරි තනන්නට මේ දැනුම උප​යෝගී කරගත හැකි බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මේ රටේ අමාරුම කාරිය දුම්රියක් තැනීමවත් අලුත්වැඩියා කිරීමවත් නොව එය යෙහෙන් පවත්වාගෙන යාමය. මේ දුම්රියවල ඇති වැසිකිළි උපකරණ ආදිය හොරුන්ගෙන් බේරා ගැනීමට විවිධ උපක්‍රම පවා යෙදීමට සිදුවී ඇත. දුම්රියේ දෙවන පන්තිය කිව්වාට ලංකාවේ දෙවන පන්තියේ හිටගෙන හැක්වී පැක් වී යන්නට වෙන අවස්ථාද එමටය. ඒ නිසා දුම්රිය ආසනවල ඉහළ කොටස් කැඩී ගොස් තිබෙන ආකාරයත්. ඒවා අපිරිසිදු වී දුර්වර්ණ වී ඇති ආකාරයත් කෝච්චියට ගොඩවන ඕනෑම අයකුට දැකිය හැකිය. අලුත්වැඩියා කළ සමහරක් දුම්රියවලට ඊට විසඳුම් ඇත. හෙඩ් ඩ්‍රස් (හිස රඳවන)වලට කවර යොදා ඇත. ඒ දුම්රිය මැදිරි බලන්නට ලස්සනය.

දුම්රියක් එක ගමන්වාරයක් සම්පූර්ණ කළ පසු ඒ ලස්සන සුන්දරත්වය ආගිය අතක් නැත. වැසිකිළි උපකරණ ගලවාගෙන ගොස්ය. දුම්රිය මැදිරි එකම කසළ ගොඩක් වී ඇත. කවුළුවලින් එළිය පැත්තෙන් ඇතුළු පැත්තෙන් බුලත් කෙළ පාරවල්ය. විදුලි බල්බ, විදුලි පංකා ගලවාගෙන ගොස්ය. සීට් ඉරා දමා දුම්රියේ කුරුටු බලි ඇඳ ඇත.

ඉන්පසු විදුලි පංකා නැති දුම්රියේ බාගෙට තැම්බෙමින් යන ගමන් දුම්රිය දෙපාර්තමේන්තුවට, රජයටත් දොස් ගෙනෙයි. මවු ගුණ සිහි කරන්නේය. දුරගමන් යන රේල්ලුවට නැග වැසිකිළි පහසුකම් නැතිව කිපෙමින් අපහසුවෙන් සිටින්නේය, කසළ ගොඩක් වූ දුම්රියේ සිටින කැරපොත්තන්ගේ පින්තූර ගෙන මුහුණු පොතට දමන්නේය. වැරැද්දක් කිරීම වරදක්මය. එහෙත් වැරැද්​ද දුටුවිට එය නොදුටුවා සේ සිටීම ඊටත් වඩා වරදකි. මේ දිනවල මූණු පොතේ දුම්රියේ කරන වැරදිවල පින්තූර බොහෝමයක් හුවමාරු වෙමින් ඇත. විශේෂයෙන්ම එක අසුනක හිඳගෙන තව අසුනක පාද තියාගෙන යන අයගේ, දුම්රිය මාර්ගයට කසළ දමන අයගේ රුව ඒ අතර බොහෝය. කලකට පෙර අපේ රටේ පොදු ස්ථානවල පොදු ප්‍රවාහන තුළ දුම්බීම සාමාන්‍ය දසුනක්ව තිබුණේය. ඒත් අද එය නොහිබිනා වරදක් ලෙස සමාජය හොඳාකාරව දකියි. පිරිසුදු හා පහසුකම් ඇති දුම්රිය ඔබේ අයිතියකි. ඒ අයිතිය විනාශ කරන්නන්ට එරෙහිවන්නට ඔබට අයිතියක් ඇත. ඒ වෙනුවෙන් හඬ නගන්න. එසේ කළහොත් මේ අලුත් වැඩියා කළ දුම්රිය මැදිරිවල ඔවුන් ප්‍රමිතිය තහවුරු කළා සේම අවුරුදු 25ක්ම සුවසේ ගමන් කරන්නට හැකිවනු ඇත.

 

මධුෂාන් කොඩිතුවක්කු
ඡායාරූපය – ඒශාන් දසනායක