කතුවැකි

මරා දමන්නට ඉන්නා තැනැත්තා ලවා මිනී වළ කප්පවා ගැනීම නතර කිරීම

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වන බව ආණ්ඩුව මේ වන විටත් එම කොමිසමට දැනුම් දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ විසින් නිල වශයෙන් එම දැනුම් දීම කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් චාරිත්‍රානුකූලව ඒ බව දැනුම් දෙනු ඇත. මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා පෙරේදා (24) දිවයිනෙන් පිටත්ව ගියේය. හෙට (27) ජගත් මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචෙල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇති චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන් ඊට පිළිතුරු සපයනු ඇත.

යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වූ අතර යුද අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වලිනි. මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ මේ චෝදනාවලට සම අනුග්‍රහය දැක්වීමට තීරණය කරනු ලැබුවේ එවකට පැවැති යහපාලන ආණ්ඩුව ය. තමන්ගේ රටට එරෙහිව නැගෙන යුද අපරාධ හෝ මානව හිමිකම් චෝදනාවලට සම අනුග්‍රහය දැක්වූ ලෝකයේ වෙනත් ආණ්ඩුවක් මීට පෙර තිබුණේදැයි සැක සහිතය.

ශ්‍රී ලංකා ආණ්ඩුව රටට එරෙහිව ඉදිරිපත් වූ මානව හිමිකම් චෝදනාවන්ට සම අනුග්‍රහය දැක්වීම සමාන කළ හැක්කේ ඝාතකයා විසින් මරා දමන්නට නියමිත පුද්ගලයා ලවා මිනීවළ කැප්පවීම වැනි ක්‍රියාවකටය. කෙසේ වෙතත් ආණ්ඩුව දැන් එම අවමානයෙන් රට ගලවා ගෙන තිබේ. ආණ්ඩුවේ මේ තීරණය රටට නව පාලනයක් ගෙන එන්නට දායක වූ සියලු දෙනා අපේක්ෂා කළ කාරණයකි.

කෙසේ වෙතත් මෙය රටේ ස්වාධීනත්වය පිළිබඳ කාරණයක් මිස නිර්දෝෂීභාවය පිළිබඳ කාරණයක් වන්නේ නැත. සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවද, රටට එරෙහිව නැගී තිබෙන මානව හිමිකම් කඩකිරීම් චෝදනා එලෙසම පවතින බැවිනි. සැබෑ ජයග්‍රහණය වනු ඇත්තේ ඒ චෝදනාවලට සාර්ථකව පිළිතුරු දී නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමය.

රටට එරෙහිව නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂීභාවය ඔප්පු කිරීම, සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම තරම් ලෙහෙසි පහසු නොවන කාරණයකි. ඒ හේතු දෙකක් නිසාය. පළමුවැන්න නම් අප රටක් ලෙස මීට පෙර අපට එරෙහිව නැගී ඇති චෝදනා පිළිගෙන තිබීමය. චෝදනා පිළිගෙන, ඒ නිසා සිදුව ඇති හානි ප්‍රතිපූරණයටද පැවති ආණ්ඩුව එකඟ වී තිබේ. ආණ්ඩුව නිල්ද, කොළද යන්න වැදගත් වන්නේ අපටය. එසේම යෝජනාවට සහාය දැක්වූ ආණ්ඩුව, ඒ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවද, නැතිවද? ඒ තීරණය, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න ජාත්‍යන්තරයට අදාළ වන්නේ නැත. රටේ විදේශ අමාත්‍යවරයා දුන් සහතිකය ඔවුන් සලකන්නේ රටේ අනුමැතිය ලෙසය.

දෙවැනි කාරණය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව බටහිර රටවල් පමණක් නොව, දෙමළ ඩයස්පෝරාව, එසේම ඇතැම් ශ්‍රී ලාංකිකයන්ද ප්‍රබල හඬක් නැගීමය. ඇමෙරිකාව ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වී සිටියත්, ඔවුන්ගේ න්‍යායපත්‍රය එහි ක්‍රියාත්මක නොවන බව ඉන් කියැවෙන්නේ නැත. රටට එරෙහිව ඇති චෝදනාවලට පිළිතුරු දීමේදී ප්‍රබල සාධකයක් වනු ඇත්තේ දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලාංකිකයන් විසින්ම චෝදනාවලට පක්ෂපාතීව ඉදිරිපත් කරන කරුණුය.

ජිනීවා මානව හිමිකම් චෝදනා මුල්කරගෙන දැනටමත් රට තුළ බෙදීමක් නිර්මාණය වී තිබේ. චෝදනාවල සත්‍යතාවක් තිබුණත් නැතත් ආණ්ඩු විරෝධී පාර්ශ්වය, මෙය ආණ්ඩුවට පහර දීමට අවස්ථාවක් කර ගෙන ඇති බව දැකගත හැකිය. ආණ්ඩුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට විශාල මහන්සියක් දරන බව පෙනෙන්නට තිබේ. එහෙත් මෙහිදී වැදගත් වන්නේ රට තුළ නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීම නොව, ජාත්‍යන්තරය තුළ නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීමය. ආණ්ඩුව වැඩි මහන්සියක් ගත යුත්තේ ඒ සඳහාය.

ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරයේ නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීමේදී මෙම චෝදනාවල පදනම තේරුම් ගැනීම වැදගත්ය. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා දෙස බැලීමේදී පෙනී යන්නේ එම චෝදනා නැගෙන්නේ සැබෑ මානව හිමිකම් කඩවීම්වලටත් වඩා, ඒවා දඩමීමා කරගත් දේශපාලන අවශ්‍යතාවක් මත බවය. යුද්ධයක් යනු එක් පාරශ්වයක පමණක් නොව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන සංසිද්ධියකි. ඒ නිසා ඒවා ගැන සොයා බලා හානි ප්‍රතිපූරණය කළ යුතුමය. එසේ වුවත් එම තත්ත්වයන් පෙරට ගෙන රටට අනර්ථයක් කරන්නට හෝ රට බලකඳවුරක ඉත්තකු කර ගන්නට යමෙකු උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහි වීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.

එසේ වුවද, රටට එරෙහි යෝජනාවන්ට පිළිතුරු දෙන්නට රටක් ලෙස එකමුතු විය යුතු යැයි කොතෙක් කීවත් එය ඒ අයුරෙන්ම ඉටු නොවන බවද අප සිහි තබාගත යුතු කරුණකි. අතීතයේ සිටම ලෝකයේ කිසිම තැනක සතුරු උවදුරු හමුවේ පවා රටේ සියලු දෙනා එක කඳවුරකට එක් වූ බවක් වාර්තා වී නැත. දුටුගැමුණු රජතුමා සොලී ආක්‍රමණයෙන් රට බේරා ගැනීමට යුද වදින විට ඔහුගේම අර්ධ සහෝදරයා එළාරගේ හමුදාව සමග එක්ව සිටියේය. එසේ වුවත් සොලීන් පලවා හැර රට එක්සේසත් කරන්නට දුටුගැමුණු රජතුමාට හැකි විය. ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණයට එන විට ඒ හමුදාවට බිත්තර විකිණීමට මඟ දෙපස සැදී පැහැදී සිටි සිංහලයන්ද සිටි බව ඉතිහාස වාර්තාවල දැක්වේ. නමුත් වීරයන් වී සිටින්නේ ඉංග්‍රීසි හමුදාව අතහැර ඔවුන්ට එරෙහිව සටන් කළ කැප්පෙටිපොළලා මිස බිත්තරය විකුණා ගත් බඩගෝස්තරවාදීන් නොවේ. ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තවරුන්ටත්, පාවා දෙන්නන්ගෙන්, ද්‍රෝහීන්ගෙන් ගැලවීමට හැකි වූයේ නැත. ලොවට සාමයේ පණිවුඩය ගෙන ආ ජේසු සමිඳාණන් පාවා දුන්නේ උන්වහන්සේගේම අනුගාමිකයකු වූ ජුදාස් විසිනි. නමුත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ රිදී තිහකට පාවාදීම සිදු කළ ජුදාස් නොව, ජීවිතය පූජා කළ ජේසුස් වහන්සේය.