විශේෂාංග

මරාගෙන මැරෙන බෝම්බකාරයන් උපදින හැටි

‘‘මිනිසා සහ තිරිසනා අතර පවතින බෙදීම දක්වන ප්‍රධානතම මායිම ආගමය’’ අදහස දැනට දශක කිහිපයක් දක්වා ලොව පුරා පැතිර ගත් එමෙන්ම බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක් වූ කියමනකි. එහෙත් අද වන විට සිදුවන කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ එම කියුමට පවා යන එන මං අහිමි වී තිබේ. ඊට හේතුව ඇතැම් ආගම් විසින් තිරිසනුන්ටත් වඩා අන්ත මිනිසුන් සමාජයට දායාද කොට ඇති බව මෙවන් සිදුවීම් මගින් මනාව පැහැදිලි වීමය.

ජිහාද් හෙවත් ජිහාඩ් (Jihad) යනු ඉස්ලාමීය ‘‘ධර්ම යුද්ධ’’ සම්ප්‍රදායකි. මෙම ජිහාඩ් යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයෙහි අරුත් ගන්වා ඇත්තේ මිථ්‍යා දෘෂ්ඨිකයන්ට එරෙහි සන්නද්ධ අරගලය (Armed Struggle against unbelievers) යන ඉස්ලාමීය ඉගැන්වීම වශයෙනි. එහෙත් තමන්ගේ ආගමික විශ්වාසය නොදරන්නවුන් මරා දැමීම සම්මත මිනිස් ශිෂ්ටාචාරගතව බැලීමේ දී පෙනී යන්නේ ආගමික ඉගැන්වීමකට කෙසේ වුවත් මූලික මිනිස් දහමටවත් කෙසේවත් එකඟ නොවන අතිශය අමානුෂික ම්ලේච්ඡ ක්‍රියාවක් වශයෙනි.

කිසියම් ශාස්තෘ දේශනාවකින් මතු කෙරෙන දාර්ශනික සහ සදාචාරාත්මක අරුත ඉක්මවා එම දේශනාවේ එන කොටස් හෙවත් මූලධර්ම මත පදනම්ව සිතීම, කතා කිරීම සහ ක්‍රියාවන්හි යෙදීම මූලධර්මවාදය (Fundamentalism) යනුවෙන් හැඳින්වෙයි. ලොව සියලු ආගම් තුළින් විවිධාකාර මූලධර්මවාදීන් බිහිවිය හැක. නමුදු ලොව පුරා වැඩිම මූලධර්මවාදීන්ගෙන් සැදුම්ලත් ආගමික නිකායන් බිහි වී ඇත්තේ ඉස්ලාම් ආගමින් සහ ඇමෙරිකානු ප්‍රොතෙස්තන්ත්‍රවාදී ආගම් තුළිනි.

ශ්‍රී ලාංකිකයන් අයථා ලෙස තම ආගමට නතු කර ගන්නා එවැන්ජලික ගණයේ නිකායයන් ආගමික කණ්ඩායම් තුන්සියයක් පමණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට ඉන්දියාවේ, නවදිල්ලි නුවර, දකුණු ආසියාතික විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය සංසක පෙරේරා විසින් 1998 වසරේ සිදු කොට ඇති පර්යේෂණාත්මක අනාවරණය ද මෙහිදී අප සැලකිල්ලට ගත යුතුය. ඒ එම කණ්ඩායම් අතරේ ඇමෙරිකානු ප්‍රොතෙස්තන්ත්‍රවාදී ආගමික කල්ලිද දක්නට ලැබෙන බැවිනි.

ආගම් මුල් කොට හිංසාකාරී, ත්‍රස්තවාදී ක්‍රියා සිදුවීම එම ආගම්වල සමාරම්භය දක්වාම අතීතයට දිව යන්නකි. එමෙන්ම ඇතැම් ආගමික සංස්කෘතික ධාරාවන් තුළම පසුකාලීනව මූලධර්මවාදී වශයෙන් හෝ වෙනත් ආකාරවලින් ආගමික ත්‍රස්තවාදී සංකල්ප බිහි වූ බවට ඓතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. මේ තත්ත්වය කොතෙක් ප්‍රබල ද යත් මුළුමනින්ම අවිහිංසාව පදනම් කර ගත් බුදු දහම තුළින් මතු වූ බෞද්ධ සංස්කෘතිය තුළට පවා මෙම හිංසනය එබිකම් කොට තිබූ අවස්ථා ඉතා දුලබ ලෙසින් හෝ සොයා ගත හැක.

මහාවංශයෙහි 25 වැනි පරිච්ඡේදයේ 104 – 111 පාඨයන්ට අනුව එළාර රජු සහ ඔහුගේ සේනාව සමූල ඝාතනය කිරීමෙන් හටගත් පශ්චාත්තාපය මත දුටුගැමුණු රජුන් හට සුවසේ නිදා ගන්නට පවා නොහැකි වී තිබේ. මේ බව (දිවැසින්) දුටු පුවඟු දිවයිනේ වැඩ වෙසෙන රහත් හිමිවරු දුටුගැමුණු රජු අස්වැසීම පිණිස රහත් හිමිවරු අට නමක රජ මාලිගය වෙත එවති. ඔවුන් (සෘද්ධියෙන්) මාලිගයෙහි උඩු මහලට ගොඩ බසින ලදුව රහත් හිමිවරුන් වැඩම කළ කරුණ විමසන දුටුගැමුණු රජු තම චිත්ත පීඩාව එම හිමිවරුන් හමුවේ පවසනුයේ ඔවුන්ගෙන් යම් පිහිටක් අපේක්ෂාවෙනි. එවිට එම හිමිවරුන් දෙන පිළිතුර මෙසේය.

මහරජ, ඔබ මරා ඇත්තේ මිනිසුන් ‘එක හමාරකි’ එනම් තිසරණ සහිත පන්සිල් සමාදන් වූ මිනිසකු සහ තිසරණයෙහි පිහිටි එකකු වශයෙනි. සෙසු මරණයට පත් වූ මිථ්‍යා දෘෂ්ටිකයන් තිරිසනුන් හා සමානය. අනෙක ඔබ නොයෙක් අයුරින් බුදු සසුන බබුළුවන නිසා ඔබගේ දෙව් ලොව ගමනට ඉන් බාධාවක් නැත.’’

බෞද්ධ දර්ශනයට ඉඳුරාම එරෙහි ප්‍රබල මිථ්‍යා මතයක් වන මෙය රහතන් වහන්සේලාගේ ප්‍රකාශයක් ලෙසින් පස්වන සියවසේදී ලියැවුණු මහා වංශයට ඇතුළු කළ එහි කතුවර හිමියන් රට, ජාතිය සහ ආගම වෙනුවෙන් මිනීමැරීම කෙරෙහි සහනශීලී ආකල්පයක් දක්වා තිබේ. ඒ ‘‘මිනී භාගයක්’’ මැරීම පිළිබඳ හාස්‍යජනක පුවතක් සහ බුදු දහමට අනුව තිරිසනුන් මැරීම පාපයක් නොවන බවට පට්ටපල් අධර්මවාදී කෙබරයක්ද බෞද්ධ සිත් සතන් තුළට පිවිසවීමෙනි. එහෙත් එම වංශකතා පුවතෙහි ඇති ධර්ම විරෝධී බව පිළිබඳව අදත් කිසිවෙක් කතා නොකරති.

තත්ත්වය මෙසේ තිබියදී කතෝලික සභාව ද ප්‍රසිද්ධියේ හිංසනය අනුමත කළා සේම හිංසනයට දායක වූ අවස්ථා කිහිපයක් ලෝක ඉතිහාසයට එක්ව තිබේ. කිතුනුවන්ගේ පරම පූජනීය පුදබිමක්ව පැවැති ජෙරුසලම මුස්ලිමුන්ගෙන් බේරා ගැනීම පිණිස දෙවන අර්බන් රජු විසින් 1096 වසරේ අරඹන ලද කුරුස යුද්ධ (Crusades) අවස්ථා හතරකදී ඉස්මතු වූ අතර ඉන් සුවිසල් මිනිස් ජීවිත සහ දේපොළ විනාශයක් සිදුවිය. එම කුරුස යුද්ධ යුගය නිමාවට පත්වන ලද්දේ ඉන් වසර එකසිය අටකට පසුව එනම් 1204 දීය.

බයිබලයේ මූලික ඉගැන්වීමක් බව පැවසෙන් පෘථිවි කේන්ද්‍රවාදය විද්‍යාත්මක සෛද්ධාන්තික පදනමක සිට ප්‍රතික්ෂේප කළ ඉතාලි ජාතික ජිඩඩානෝ බෲනෝ (ක්‍රි.ව. 1568-1600) නම් පිය නම හට එම මතය ප්‍රකාශ කිරීම මුළුමනින් තහනම් කළ කතෝලික සභාව ඔහු එමගින්ද නිහඬ නොවූ තැන එය යක්ෂයාගේ බලය ඉස්මතු වීමක් බව පවසා එවක පනස් දෙහැවිරිදිව සිටි ඔහු ප්‍රසිද්ධියේ පණපිටින් පුළුස්සා මරා දමන ලදී. ඉන්පසුව ඔහුගේ සමකාලීනයකු වන නූතන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ගැලීලියෝ ගැලීලි (1564-1642) තමන් විසින් දියුණු කොට නගාගත් නවීන දුරේක්ෂය මුල් කොට බෲකෝගේ සූර්ය කේන්ද්‍රවාදය සත්‍යයක් බව ප්‍රකාශ කරත්ම ඔහුට එරෙහිවද නැගී සිටි කතෝලික සභාව ගැලිලියෝට එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට බල කරන ලදී. කෙසේ හෝ එම ඉල්ලීම පරිදි තම ප්‍රකාශය ඉවත් කර ගත් පසුව වුව ගැලීලියෝට ප්‍රසිද්ධියේ හැසිරීමට ඉඩ නොදුන් කතෝලික සභාව මිය යන තුරුම ඔහු හිර අඩස්සියේ තබා ඇත. කෙසේ හෝ මිනිසාගේ බුද්ධි පරිණාමය මගින් පිබිදෙන නවීන විද්‍යාත්මක චින්තනය හමුවේ පැරණි දේවවාදී සංකල්පවලට දිගින් දිගටම සටන් වැදිය නොහැකි බව වටහාගත් පසුකාලීන බුද්ධිමත් පාප්වරුන් දැඩි මතවාද ඉවත් කොට කතෝලික සභාව ලිබරල්කරණයට ලක් කිරීමේ දැවැන්ත යාන්ත්‍රණයකට මුල පුරා තිබේ. 1962-1965 අතරදී පැවැති දෙවන වතිකානු සම්මන්ත්‍රණය එහි විශිෂ්ට ප්‍රතිඵලයකි.

කටාන කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගියවුන් උදෙසා අවසන් දේව මෙහෙය සිදු කරන ලද අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ද එම බෝම්බය පිපිරවූවන්ට පවා වෛර නොකර මෙත්සිත් වඩන ලෙස කියා සිටියේ එම නව ලිබරල්වාදී කිතුනු චින්තනයේ මාහැඟි අස්වැන්න සැමට බෙදා දීමක් ලෙසිනි. ශ්‍රී ලාංකිකයන් වන අපි සැම එය මහත් සෙනෙහසින් සහ සතුටින් භාර ගනිමු.

‘‘තිරිසනුන් අතරේ ගැටුම් ඇති වෙන්නේ භූමිය, ආහාර, ලිංගිකත්වය කියන සාධක මුල් කර ගෙනයි. මිනිසුන් අතර ගැටුම් වගේම ආගමික, වාර්ගික හෝ ජාතික වශයෙන් ගැටුම් ඇති වෙන්නත් භූමිය, ඒ කියන්නේ බලය ආධිපත්‍යය, ආහාර ඇතුළු ලෞකික අවශ්‍යතා ඒ වගේම ලිංගිකත්වය ඇතුළු කම්සැප මුල් කරගෙනම තමයි. මතු පිටින් ආගමික, දෙයක් හැටියට පෙනුණට ඔය ඉස්ලාමික අන්තවාදය තුළත් තියෙන්නේ අර තිරිසන් බවේම ව්‍යාප්තියක් පැතිරීමක් විතරයි. තිරිසනුන් අතරේ තිබුණු ඔය ගැටුම මිනිසා ශිෂ්ටාචාර ගත වෙන්න කලින් ඉඳලා අද වෙනකම්ම ගෝත්‍රවාදී, ජාතිවාදී, ආගම්වාදී වශයෙන් තියෙනවා. නමුත් මේ බෝම්බ පුපුරුවා ගැනීමත් ඒකට එක නිදසුනක් විතරයි.

මෙලෙස කියන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මානව වංශ විද්‍යාඥයකු වන හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන්ය. ආගමික ත්‍රස්තවාදය එළිපිටම දක්නට ඇත්තේ ඉස්ලාමය තුළ වුවද බුදු දහමේ නමින් පෙනී සිටි යම් යම් පුද්ගලයන් ද එවන් බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවන්ට පෙලඹුණු බවට මෑතකාලීන සාක්ෂි පවා තිබේ. 1995 වසරේ මාර්තු 20 දා ජපානයේ ටෝකියෝ හි උමං දුම්රිය මාර්ගයකදී සරීන් (Sarin) නම් විෂ වායුව පතුරුවා හැර හය දහසක් එක්වර මරණයට පත් කළ ශෝකෝ අසහාරා නම් ජපන් ජාතික මහායාන භික්ෂුවද එවන් ආගමික ත්‍රස්තවාදියෙකි. ‘‘ඕම් සච්චා’’ නම් වෙනම නිකායක් පිහිටුවා ගත් ඔහු තම බලය ලෝකය පුරා ව්‍යාප්ත කොට ලෝක සත්ත්වයා එකවර දුකින් නිදහස් කිරීම හෙවත් සමූල ඝාතනය කිරීමට සැලසුම් කොට තිබූ බවක් පසුව අනාවරණය විය. ‘‘ඕම් සච්චා’’ නමින් හැඳින්වුණු එම නිකායේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ ද සිටි අතර ගාල්ලේ අක්මීමණ අඟුළුගහ ප්‍රදේශයේ එම ‘‘ඕම් සච්චා’’ ශාඛාවක් පිහිටුවා තිබූ බවද සැලවිණි
ඒ කෙසේ හෝ 2018 ජුලි 06දා ශෝකෝ අසහාරා එල්ලා මරා දමන ලද මුත් ඔහුගේ එම ආගමික උමතු සංකල්පය මුළුමනින්ම වැනසී නැතැයි ද කියනු ලැබේ. ඇතැම් විට එය තවමත් ශ්‍රී ලංකාව තුළ පවා තිබෙන්නට පුළුවන.

වර්තමානයේ ක්‍රියාත්මක වන ආගමික ත්‍රස්තවාදය ගෝලීය දේශපාලකයන් එක්ක සෘජුවම සම්බන්ධයි. පසුගිය පාස්කු ඉරිදා අපේ රටේ ක්‍රියාත්මක වුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්වල මූල්‍ය සහ අරමුණු අපේ රටට සෘජු සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ත්‍රස්තවාදය අපේ ජන සමාජය තුළට පිවිසවීමේ මාධ්‍යය, වාහකය හැටියට ආගම් යොදා ගැනීමත් අතිශය බරපතළ කාරණයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසයි.

‘‘මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට අපේ රටේ දරුවන්ට ආගම් කියාදීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මේ වගේ සමාජයීය ව්‍යසනවලට සෘජුවම හේතු වෙනවා. කුඩා කාලයේ ඉඳලා දරුවන්ගේ සිත් තුළට එකම ආගමික නියමයන් සහ සංස්කෘතික ලක්ෂණ විතරක් පිවිසවීම තුළින් දරුවන්ගේ මානසික සමතුලිත බවට සංවර්ධනයට බාධා එල්ල වෙනවා. ඒ හින්දා දරුවන්ට ආගමික නියමයන් වෙනුවට ඒ ආගම්වල තියෙන දරුවන්ට ගැළපෙන ආචාර විද්‍යාත්මක, සදාචාරාත්මක දේවල් කියලා දීලා ඒ ඔස්සේ ඔවුන්ට නිදහසේ සිතීමට ඉඩ ලබා දීම ඉතාම වැදගත්ය.

‘‘එහෙම නැතිනම් මේ වගේ සමාජ ආර්ථික දේශපාලන බලවේගවලට ගොදුරු වෙන අන්ධ භක්තිකයන් සමාජයේ වැඩි වශයෙන් බිහිවීම වළක්වන්න බැහැ’’
ඔහු වැඩිදුරටත් කීය.

මරාගෙන මැරෙන ප්‍රහාර (Suicide attack) සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදය (Suicide terrorism) 1980 දශකයෙන් පසු ලොව පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බව සංඛ්‍යා ලේඛන මගින් පවා තහවුරු වී තිබේ. ඊට හේතුවන මනෝ වෛද්‍ය විද්‍යාත්මක හේතු මොනවාද? අපි විමසුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙනි.

‘‘ජීවිතාශාව කියන දේ තමයි යමකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධානම මානසික පිටිවහල. නමුත් විශාදය (depression) වගේ මානසික රෝගවලදී දරුණු මානසික බිඳවැටීම්වලදී ඒ ජීවිතාශාව අවප්‍රමාණ වෙන්න පුළුවන්. නමුත් යමකුගේ සිත තුළ කවුරුන් හරි පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, ප්‍රජාවක් කෙරෙහි දැඩි වෛරයක් ඇති කළොත් එතැනදිත් ඊට සාපේක්ෂව තමන්ගේ ජීවිතාශාව අවම වෙන්න පුළුවන්. ඊට අමතරව යම් යම් පෞරුෂ අර්බුද මානසික රෝග පවතින පුද්ගලයන් තුළත් ජීවිතාශාව අඩුවීමේ යම් හැකියාවක් පවතිනවා. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මරාගෙන මැරෙන බෝම්බකාරියන් පවා නිර්මාණය කළේ ඔය වගේ මනෝමය සාධක මුල් කර ගෙනයි. කෙසේ වෙතත් පසුගිය ඉරිදා සිද්ධීන්වලට ඉවහල් වූ හේතුව ඊට වෙනස් වූවක් බව වෛද්‍යවරයාගේ අදහසයි.

ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මෙහෙයවලා තිබුණේ තරුණයන් විසින්. ඔවුන් සියලු දෙනාම වාගේ ඉහළ සමාජ තත්ත්වයක් තිබුණු අය. ඒ තරුණයන් අන්තිම මොහොතේත් ඉතා සතුටින් ක්‍රියාශීලීව හැසිරුණු බවට තොරතුරු ලැබී තිබෙනවා. ඊට හේතුව ඒක ආගම වෙනුවෙන් කරන ජීවිත පරිත්‍යාගයක් බවත් ඒ පරිත්‍යාගය වෙනුවෙන් මරණින් මතු සුවිසල් ප්‍රතිලාභ ලැබෙන බවත් ඔවුන්ගේ සිත් තුළට දැඩිව කාවද්දා තිබීමයි. මේ විදිහට අන්තගාමී ආගමික අදහස් කාවැදීමට කුඩා කාලයේ සිට එක් ආගමික මතයකට විතරක් මුළුමනින්ම නතු වූ මනසක් තිබීම විශේෂ පිටිවහලක් වෙනවා.

ඒ කෙසේ හෝ මේක ආගමික විශ්වාසය පෙරට දමමින් ගෝලීය සමාජ, ආර්ථික, දේශපාලන බලය නතුකර ගැනීමට වෙර දරන දැවැන්ත බලවේගයක දැවැන්ත යාන්ත්‍රණයක එක් පිළිබිඹුවක් විතරයි. ඔය පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් මියගිය අය වගේම ඒ බෝම්බ පුපුරවාගෙන මියගිය තරුණයිනුත් ඒ බලවේගයට ඉතා ඛේදනීය ලෙස ගොදුරු වූවන් බවයි මට නම් කීමට ඇත්තේ. මේක මේ සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි අවධානයට ලක් කළ යුතු බරපතළ කාරණයක්.’’

තිලක් සේනාසිංහ