විශේෂාංග

මරණ දඬුවම විඳින්නට පෙර අහන්න ඕන කතාවක්

මේ සතියේ අපගේ ඉතාම වැදගත් මාතෘකාව විය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරභයා පසුගිය බදාදා දෙස් විදෙස් මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා පළ කළ අදහස්ය. එළඹෙන ජනාධිපතිවරණයට පෙර 19 ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතුය.

ඒ සංශෝධනය රට කන එන්ජීඕකාර බකපණ්ඩිතයන්ගේ වැඩකි. තමන්ම මූලිකත්වය දී හැදූ රටේ මූලික නීති සංශෝධනය ගැන මෛත්‍රීපාල සිරිසේන ඒ කතාව කළේ එල්ලුම් ගහට සිව් දෙනකු නැග්ගීමට අත්සන් කිරීමෙන් පසුය. ර‌ටේ පැවැත්මට අදාළ මූලික නීතිය සේම පුරවැසියන්ගේ ජීවිතයත්, මරණයත් තීන්දු කෙරෙන මේ කාරණයද රටට වැදගත්ය.

එබැවින් පළමුකොට එල්ලුම්ගහ ගැන කතා කර පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කළ කතාවෙන් ලද හැකි ප්‍රයෝජනය ගැන සලකා බලමු.

හතර දෙනකු එල්ලුම් ගහේ යැවීමට අත්සන් කළ බව කීවද එය ක්‍රියාත්මක වන්නේ කවදා දැයි කීවේ නැත. දැන් මරණ දඬුවම නියම වූවන්ට ඉතිරිව ඇත්තේ තම ඥාතීන් මගින් ජනාධිපතිවරයාට අභියාචනා කිරීමය. එහෙත් වාර්තා වෙන අන්දමට මරණ දඬුවම ලද අපරාධකරුවන්ගේ ඥාතීන් තවමත් ඒ වෙනුවෙන් අභියාචනා කර නැත. එහෙත් දැනටමත් මේ රටේ අපරාධකරුවන්ගේද, රටට කරන අපරාධවලද ඥාතීන් වන එන්ජීඕ සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන මරණ දඬුවම නතර කරන ලෙසට අභියාචනා කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව එල්ලා මැරීමට එරෙහිව කතාකරන මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා රටක ජනතාවක්, ළමා පරපුරක් විනාශමුඛයට යාම ගැන සිතන්නේවත් නැත.

මධුෂ් නම් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ලංකාවේ ජනාධිපතිත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් මරා දමන්නට සැලසුම් කළ, සතුරන් මරා දමන සැටි එතෙර සිට ස්කයිප් ඔස්සේ නැරඹූ සාහසිකයෙකි. සිය ගණනක් ආරක්ෂක භටයන් පිරිවරා ඉන්නා ජනාධිපතිට මරණ බිය ඇති කළ මධුෂ්ගේ තර්ජනාංගුලියට නිරායුධ පුරවැසියකු මුහුණ දෙන විට ඒ අසරණයන්ට දයාව පෑ මානව හිමිකම් සංවිධානයක් මෙරට තිබුණේ නැත. රාජ්‍ය නොවන සංවිධාන තිබෙන්නේ ජනතාවත්, රජයත් අතර හිඳ ජනතාව ශක්තිමත් කිරීමට පමණක් බව ඔවුන් දාර්ශනිකව උත්තර බඳිනු ඇත.

එහෙත් ජනතාව වෙනුවෙන් රජය මෙබඳු අපරාධකරුවකු මෙල්ල කරන විට මැද්දාවට පනින්නේ මේ මානව හිමිකම් ක්‍රියාකාරීහුය. මේ සුජාත බව නසාගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධයෙන් රැකෙන්නේ ජනතාව පෙළන අපරාධකරුවන් පමණය.

සැබැවින්ම පොලිසියත් අධිකරණයටත් වැරදෙන්නේ නැද්ද? එහෙත් නිවැරදිකරුවන් වැරදිකරුවන් වූ වාර ගණනට වඩා දහස්, දසදහස් වාරයක් මහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරයන්ට නිදැල්ලේ, නිදහසේ ජීවත් වීමට පොලිසිය අධිකරණ ක්‍රියාදාම පද්ධතිය හරහා ඉඩ සලසා දී ඇත.

දේශපාලනය විසින් කුඩ්ඩා වැඩ්ඩෙකු කර වීරයකු කරන වටාපිටාවකය එල්ලුම්ගහ එන්නේ. එයට හොඳම උදාහරණයක් දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුගේ කතාවෙන් සපයාගත හැකිය.

2011 නොවැම්බර් 11 දා කච්චතිව් දූපත ආසන්නයේ දී හෙරොයින් ග්‍රෑම් 940 හුවමාරු කරමින් සිටි ධීවරයන් අට දෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ ධීවරයන්ගෙන් පස් දෙනෙක් ඉන්දියානුවන් වූ අතර ඉතිරි තිදෙනා යාපනේ ගුරුනගර් මණ්ඩතිව් පදිංචිකරුවෝය.

වසර තුනක් පුරා නඩු අසා හෙරොයින් ජාවාරමේ යෙදුන මේ ධීවරයන් අට දෙනාටම කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ ය. ඉන්දියානු ධීවරයන් අට දෙනා වෙනුවෙන් දකුණු ඉන්දියාවේ හිත් උණු විණි. ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණය ආසන්න වෙමින් තිබූ බැවින් දකුණු ඉන්දියානු ප්‍රාන්ත දේශපාලනඥයෝ වැඩේ අතට ගත්හ. ඔවුහු රේල් පාරවල් කඩා අවහිර කරමින් ඉන්දියානු මධ්‍යම රජයට බලපෑම් කළහ. ප්‍රාන්ත මැතිවරණය දිනා ගැනීමට දකුණු ඉන්දියාවේ ජන ප්‍රසාදය අත්‍යවශ්‍ය බැවින් ඉන්දියානු රජය ලංකාණ්ඩුවට අසීමිත බලපෑමක් කර ඉන්දියානු ධීවරයින් පස් දෙනා නිදහස් කර ගත්හ. විශේෂ ගුවන් යානයකින් මේ කුඩු ජාවාරම්කාරයන් තිදෙනා ගෙන ගිය ඉන්දියානු රජය ඔවුන් පස්දෙනා දකුණු ඉන්දියා දේශපාලන වේදිකාවට නංවා ඡන්ද සටන ජය ගත්තේය.

එකට හෙරොයින් ගෙනා එකම වරදට මරණ දණ්ඩනය ලද අට දෙනාගෙන් තිදෙනකු ඉන්දියා දේශපාලනය නිසා නිදහස ලබා එරට වීරයන් වෙද්දී ලංකාවේ තිදෙනා එබඳු පිළිගැනීමක් නැතිව මරණ දඬුවම විඳින්නට ඉන්නා අට දෙනා අතර පෝලිමේ හිඳියි.
කුඩු, පොලිසිය, උසාවිය දේශපාලනයත් එකම ජංජාලයක පැටලී හිඳියි. මේවා මරණ දඬුවම විඳින්නෙකු අන්තිම දා රාත්‍රියේ දකින සිහින වැන්න. මරණ දඬුවම නියම වූවකු අවසාන මොහොතේ සන්සුන් කර සතුටින් තබා ගන්නට බන්ධනාගාර නිලධාරීහු වෙහෙස ගනිති. තවමත් මරණ දඬුවම නියම කාටදැයි දැනුම් දී නැත.

සිව් දෙනකුට මරණ දඬුවමට අත්සන් කළ බව මාධ්‍යයට කී දා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කළ සඳහන මරණකරුවන්ට අහගෙන ඉන්නට සැලසුව මනාය. එවිට මරණ දඬුවම මැද වුව ඔවුනට සිනාවක් නැගෙනු ඇත. එය ඔවුනගේ ආත්මයට සහනයක් ගෙනෙනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ජනාධිපති කරන කතා ප්‍රයෝජනවත් වන්නේ එවිටය.