විශේෂාංග

මම රන්ගිර දන් දුන්නෙමි

මා මේ ​ලොවට බිහිවීම පුදුමයකි. මව්කුස පිළිසිඳගත් දැරිය නොසෙල්වී නොසැලී සිටින විට මව්පියෝ වෛද්‍ය ආධාර පැතූ විට ඔවුන්ගේ නිගමනය වූයේ කුස තුළ දරුවෙක් නොව, ගෙඩියක් ඇති බවයි. එතැන් පටන් ගෙඩිය ඉවත් කරන්නට ප්‍රතිකාර කළද අසාර්ථක වනවිට යළිත් වෛද්‍ය පරීක්ෂණයක් සිදු විය. ගෙඩිය දරුවකු බවට පත් වී ඇත්තේ මගේ දෙමව්පියන් දැඩි දුකක ගිල්වමිනි.

ඉතින් කෙසේ හෝ අතීත​​යේ එක් ජනවාරි 19දාක රාත්‍රියේ මම උපන්නෙමි. එවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ මට නොව මවට අවධානය යොමු කළ යුතු බවයි.

මේ අවස්ථාවේ මවගේ සහායට පැමිණ සිටියේ දොඩම් අම්මාය. ඈ ද්‍රවිඩ වින්නඹු මාතාවකි. ආදරණීය දොඩම් අම්මා මා වෙනුවෙන් වහා ඉදිරිපත්ව ඇත. ඇය පවසා ඇත්තේ ශරීරය පුරා ඕජස් ගැල්වී තිබුණාට මා ශක්තිමත් බවත්, මව්පියන්ට හදාවඩා ගැනීම අපහසු නම් ඇයට මා හදා ගැනීමට දෙන ලෙසත්ය. යෝජනාව ප්‍රතික්ෂේප වූයෙන් මම අම්මා තාත්තා සෙවණේම හැදුනෙමි. ඒත් ඒ ද්‍රවිඩ වින්නඹු මාතාවට මම මාගේ ගෞරවය සහ ආදරය පුද කරමි. ඇය ඉන්දියාවට යනතුරුම මා බලන්නට වසරකට වරක් ආවාය. මිනිසකුට මිනිසෙක් වීමේ වටිනාකමට වඩා ජාති, ආගම්, කුල භේද වැදගත් වන්නේ කෙසේදැයි මගේ මෝඩ මොළයට තවමත් වැටහෙන්නේ නැත.

මගේ උපත සිදුවූයේ දැරණියගල උඩුබාගේ වත්තේදීය. උඩුබාගේ වත්ත දැරණියගලට මෙන්ම යටියන්තොටටද අයත් විය. ඒ වසර තුනක පමණ පදිංචි කාලයේ මතකයන් අතර සුන්දර මතක බොහෝය. ගෝනිබිල්ලා එවන් මතකයකි. ගෝනිබිල්ලාට බිය වී අපි ළමයි හතර පස් දෙනෙක් දවසක් ඇඳක් යටට වී රෙද්ද පොරවා ගෙන සැඟවී සිටීම දැන් නම් සිනාගන්වන්නක් විය.

මගේ තාත්තා රබර් වත්තක ක්ෂේත්‍ර නිලධාරියෙකි. උඩුබාගේ වත්ත අතහැර අවිස්සාවේල්ල වත්තට තාත්තා ආවේ වැඩි වැටුප, අපට අධ්‍යාපනය ලබාදීම සහ වතු හිමි සහ වත්ත හිමි එක් කොටස්කරුවෙක් හා අම්මලා අතර ඥාතීත්වයක්ද තිබීම නිසාය. වත්තේ ද්‍රවිඩ කම්කරුවන් මෙන්ම සිංහල කම්කරුවන්ද බොහෝ වූහ. ඔවුන් අතරේ ජාති, භාෂා, කුල භේද තිබුණේ නැත. අම්මා පරම්පරා වාසගම් ගැන, කුලය ගැන උනන්දුවක් දැක්වූවත් අමානුෂික වුණේ නැත. මම ඔවුන්ව හිතේ හැටියට ඇසුරු කළෙමි. මට තරමක් ද්‍රවිඩ භාෂාව කතා කරන්නට හැකි වුණේ ඒ ද්‍රවිඩ සමාජ ඇසුරෙනි.
දේශපාලනඥයන්ගේ බල තණ්හාවේ බළල් අත් නොවීම නිසා අහිංසක සිංහල අපි, අහිංසක දෙමළ මිනිසුන් සමග සහජීවනයෙන් ජීවත් වුණෙමු. ජීවිතය කොතරම් සුන්දරද? කුඩා අපි ජාති, ආගම්, භාෂා නොව මිනිස්කම හඳුනාගත් මිනිස් දරුවෝ වීමු.

මගේ පළමු පාසල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ පාසලයි. ඒ කාලයේ එය පල්ලියේ ඉස්කෝලය විය. ඒ කතෝලික පාසල සිංහල, දෙමළ මිශ්‍ර පාසලකි. සිංහල, දෙමළ පොඩි අපි, බෞද්ධ, කතෝලික, හින්දු පොඩි අය අතර යහපත් ඇසුරක් විය. සිංහල මාධ්‍යයෙන් දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් ළමයි විවේක කාලයේදී එකට සෙල්ලම් කළේ ලොකු මිනිසුන්ගේ ලොකු ලොකු කතාවලින් අපට වැඩක් නැතැයි කියලා නොවේ. ඒ කාලේ අපි කවුරුත් එකතු වී බට්ටා පැන්නෙමු. එකට බට්ටාගෙන් කොටු පැන්න අපිට බට්ටා සාමයේ සංඥාවක් සේ දැන් සිතේ.

මා පාසල් ගිය පළමු දිනයේ සිදුවීමක් තවමත් මගේ හිතේ හොඳින් සටහන් වී ඇත. පාසල අසල මදටිය ගසේ කුඩා රතු පාට ගෙඩි පිරී කුඩා ක්‍රීඩාංගණය මත වැටී තිබීම කදිම දර්ශනයක් විය. විවේකයේදී අලුත් පරණ සියලු දරුවෝ මදටිය ඇට ඇහිඳීමට දිව ගියේ මෙලෝ සිහියක් නැතිවය. සුනිල් ඉග්නේෂියස් (මගේ මතකයේ හැටියට) නම් පුංචි අයියා කෙනෙක් මගේ ඇඟේ හැපුණෙන් මම ‘ඩෝං’ ගා බිම ඇද වැටුණෙමි.

අතේ කුමාරෝදය පොතය. බිම ඇද වැටී තුවාල වුණ දකුණු දණහිසින් ලේ ගලයි. මම කෑගසා ඇඬුවෙමි. මා අසල සිටි ළමයි මගේ සහායට මෙන් අඬන්නට වූහ. මේ මහා දුක්බර අඳෝනාව ඇසුණ මගේ පන්ති භාර ගුරුතුමිය දෙවඟනක් සේ ලස්සන ඇග්නස් ගුරුතුමිය වහා පිට්ටනියට දුව ආවාය. ඇය මා නැගිට්ටවීමට පෙර අතට ගත්තේ කුමාරෝදය පොතයි.
‘‘නෑ, නෑ. පොතේ ලේ ගෑවිලා නැහැ. නැගිටින්න ළමයෝ, නැගිටින්න.’’

කියමින් ඇය මා නැගිට්ටුවාය. එතුමිය එසේ කියන්නට ඇත්තේ එදින දවස පුරාම මම කුමාරෝදය පපුවට තුරුල් කරගෙන සිටි නිසා වීමට පුළුවන. මගේ ගුරුතුමියට නමස්කාර වේවා! ලේ තැවරුණු අධ්‍යාපනයකින් දරුවන්ට, වැඩිහිටියන්ට රටට සිදුවන්නේ අවැඩක් යැයි එතුමිය සිතන්නට ඇත. ඒ තුවාල කැළල තවමත් දණහිසේ ඇත.

අපේ පල්ලිය ඉස්කෝලේ ආගමික වතාවත් සඳහා වෙන්වූ පැරණි පල්ලියක්ද විය. පල්ලියේ ආගමික උත්සව වසරකට වරක් පැවැත්වෙයි. එවිට කුඩා වුණත් අපටද කරන්නට වැඩ ඇත. පල්ලිය අවට වැටී ඇති කොළ අහුලන්නේ අපය. එවිට ස්වාමි අපට ටොෆි හෝ චොක්ලට්වලින් සංග්‍රහ කරයි. එතුමා කරුණාවන්ත පූජකතුමෙකි. ක්‍රමයෙන් වැඩෙන විට අපට පල්ලියේ වැඩද අධික විය. අල්මාරියේ වූ මල් බඳුන්වලට මල් පිරෙව්වේ අපිය. කන්‍යා මරියතුමිය සහ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවට අදත් මා සිත ආදරයක් ඇත.

මහන්සි වී ඉගෙන ගැනීමට මා තුළ උනන්දුවක් නොවුණු බව කිව යුතුමය. එහෙත් හතරවැනි පන්තියේ සිට ඉගෙන ගැනීම සතුටක් සේ මට දැනෙන්නට විය. නමුත් පාඩම් නොකළෙමි. එදිනෙදා ඉගෙන ගත් දෙය සිතට ගත්තා පමණි. හතරවැනි පන්තියේදී පළමු වාරයේ පළවැනියා වීම, දෙවැනි වාරයේ දෙවැනියා වීම සහ තුන්වැනි වාරයේ යළිත් පළවැනියා වීමේ පුරුද්දක් සේ ආවේ අටවැනි පන්තිය තෙක්ය. දෙවැනි වාරයේ පළවැනියා වූ සුනිල් ඉග්නේෂියස් පසු කාලයේ කතෝලික පැවිදි උතුමෙකුව සිට එතුමා විශ්වාස කරන්නා වූ ආගමික විශ්වාසයට අනුව දෙව් මව් තුරුලට ගොසිනි.

මගේ තාත්තා වත්තක ක්ෂේත්‍ර නිලධාරියකු වුණත් යහපත් අධ්‍යාපනයක් ලබා තිබීමෙන් වත්තේ අ… ආ.. යන්න නොදත් දරු දැරියන්ට ඉගැන්වූයේ පින් සිතකිනි. මම තාත්තාගේ පන්තියට ගියේ නැත.

ඒ වෙනුවට කළේ අම්මාට පොල් ගා දීමය. එකල කුකරි ක්ලාස් තිබුණේ නැත. ඉවුම් පිහුම් ඉගෙන ගත්තේ ගෙදර මුළුතැන්ගෙයිනි. අට වසරේදී පුවක්පිටිය දකුණු විද්‍යාලයෙන් අස්ව පුවක්පිටිය උතුරු මහා විද්‍යාලයට යෑමට සිදු විය. අධ්‍යයන සාමාන්‍ය පෙළ විභාගය පන්ති තිබුණ සමීප පාසල එයයි.

පුවක්පිටිය මහා විද්‍යාලයට යන විට සෙමින් සෙමින් පුංචි පුංචි කවි, කතා, ගී ලියන්නට පුරුදුව සිටි මට ඒ සඳහා අත් පොත තැබුවේ මගේ කරුණාවන්ත, ටිකක් සැර පියාණන්ය. තාත්තා සෑම රාත්‍රියකම අම්මාටත්, දරුවන්ටත් ඇසෙන්නට පොතක් කියවීම පුරුද්දක් කරගෙන සිටියේය. පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා නම් ලේඛක උතුමන්ගේ පොත් මෙන්ම, මිලින්ද ප්‍රශ්නය, වෙස්සන්තර ජාතකය, පූජාවලිය වැනි පොත්ද අපේ පුංචි පුස්තකාලයේ තිබිණි.

තාත්තා වෙස්සන්තර ජාතකය කියවන විට දරුවන් දන්දී​ෙ‍ම් පුවත දරා ගැනීමට නොහැකිව මා ඉකිබිඳින විට තාත්තා නැවතත් එයම කියවීම අම්මා කෝප කරවන්නක් විය. එහෙත් පසු කාලයේ එය මගේ පෑනට දැඩි සංවේදී බවක් එක් කළේය. මිනිසුන් අඬවන පොත් ලියන්නට මට ඕනෑ විය. මම ලියන්නට පටන් ගත්තෙමි. ඒ සංවේදී බව ලියන්නට මට මහා හයියක් ගෙන දුන්නේය. අපොස සා. පෙළට ඉගෙනුම ලබන අතර මම දිනපොතක් ලියන්නටද පටන් ගත්තෙමි. වත්මන් වියපත් ලේඛකයන්ගේ මහ ගෙදර වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි​ සේවාවේ වැඩසටහන්වලට එක්වුණෙමි.

එහිදී සුගතපාල ද සිල්වා, මඩවල එස්. රත්නායක, දයානන්ද ගුණවර්ධන, සුමනා ජයතිලක වැනි දයාබර වැඩිහිටියන්ගෙන් මා ලද දිරිගැන්වීම් අපමණය.

පුවක්පිටිය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එක් වසරක පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී වර්ෂයේ සෑම අතින් දුෂ්කරම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය දිනා ගැනීමට මට හැකි විය.

එදවස ඒ තිළිණයට මූල්‍යමය අනුග්‍රහය දැක්වූයේ පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාය. එදා මට ලද තිළිණය ගුණසේන සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයයි. මට ලැබුණ පළමු පොත තිළිණය එයයි.

මගේ පාසල් සමය තුළ ලත් දරුණුම ප්‍රථම පරාජය අපොස උසස් පෙළ අසමත් වීමය. මට අධ්‍යාපනය එපා විය. තාත්තා ගුරුවරයකු වූ මගේ බාප්පාට මා භාරදුන්නේ කෙසේ හෝ උනන්දු කර මගේ සිත නැවත ඉගෙනීම කෙරෙහි යොමු කරන්නටය. එය සාර්ථක විය. නුවරඑළිය, කඳපොළ මහින්ද මහා විද්‍යාලයට ඇතුළු කරනු ලැබූ මා උසස් පෙළ සමත් වූයේ යුරෝපා ඉතිහාසයට ගුරුවරයෙක් නොවූ නිසා තනිව අධ්‍යාපනය ලබමිනි.

මගේ නුවරඑළිය ජීවිතය ප්‍රීතිමත් විය. නුවරඑළියේ රෝස මල් බලන්නට, හග්ගල උද්‍යානය බලන්නට යා යුතුමය. ග්‍රෙගරි වැව වටා රවුමක් යා යුතුමය. මේ සියල්ල තරුණ ජීවිතයට සතුටක් දෙමින් වියපත් වන විට සුසුමක් ඉතිරි කරමින් සිහිනයක් වී නොපෙනී යාමට පුළුවන. ජීවිතයේ අවියෝජනීය ගැඹුරු යථාර්ථය එයමය.

නුවරඑළියෙන් ආපසු පුවක්පිටියට ආ මම, දහම් පාසල් අධ්‍යාපනයට පෙලඹුණෙමි. ධර්මාචාර්ය, බෞද්ධ ධර්මාචාර්ය, අභිධර්මය වැනි විභාග සමත් වෙමින් ඒ අතරම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගුවන්විදුලි රඟමඬලට බොහෝ නාට්‍ය ලිව්වෙමි. මතකයේ හැටියට මා ලියූ නාට්‍ය අසූ පහකට ආසන්නය.

අපොස උසස් පෙළ සමත්ව තිබුණත් මා වැඩිපුර අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ ව්‍යාපාර කළමනාකරණය සහ විකිණුම් ශිල්පයයි. ඒ මරදාන කාර්මික විද්‍යාලයෙනි. ඒ ඉගෙනීම් අතරේ මම කියෙව්වෙමි, ලිව්වෙමි. මට පොතක් ලියා පලකරන්නට සිත් වූයේ එකවර නොවේ. කාලාන්තරයක් තිස්සේ එය මගේ සිත පතුලේ තිබුණේය. දවසක් මම පොතක් ලියන්නට පටන් ගත්තෙමි. ඒ පොත මුද්‍රණය කරන බව සිතාගෙනමය මම ලියූ ඒ පොත ‘ජපන් සහෝදරියන් තිදෙනා සහ තවත් කතා’ ය. මගේ මුල්ම පොත වූ ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදුන්නේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය විසිනි. ඒ 1987 වසරේදීය. ඒ ලිවීම මහා ඇරඹුමක් විය. එක, දෙක, තුන,හත, අට, දහය වශයෙන් එදා මෙදා තුර මවිසින් පොත් තුන්සිය හතළිස් දෙකක් ලියා ඇත්තෙමි. මේ පොත්වල ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ නිර්මාණද ඇතුළත්ය. මගේ නිර්මාණවලට මම නිත්‍ය ප්‍රකාශකවරයෙක් තබා ගත්තෙමි. ඒ දේශබන්දු සිරි සුමන ගොඩගේ මහතාය. නන්දා ගොඩගේ මැතිනිය මට කළණ මිතුරියකි.

‘‘ජපන් සහෝදරියන් තිදෙනාගෙන් ආරම්භ කොට ජන අධිපතියෙක් සමග’’ නවකතාව තෙක් මෙතෙක් කළ නිර්මාණ මට දරුවන් වැනිය. මේ නිර්මාණයට වඩා කැමතිය කීමට නුපුළුවන. එහෙත් මදාරා ගැනත් රන්ගිර ගැනත් මතක් කළ යුතුය. ඒ, මටද ඇසෙන්නට බොහෝ අය ඒ ගැන කතා කරන නිසාය.

දේශපාලනඥයන් කණ්ඩායමක් ස්වකීය නායකයාට එරෙහිව දේශපාලන කැරැල්ලක් ගසා වෙන්ව අලුත් පක්ෂයක් ඇති කිරීමත්, යළිත් එහිම නායකත්වයට පත්වීමත් පිළිබඳව කියැවෙන මදාරා නවකතාව පළමුව ලිව්වේ පත්තරයකටයි. එය පළවිය. මදාරා පාඨක සිත් ඇදගන්නා නවකතාවක් වීම මට ලැබුණ දිරියක්ය. මදාරාගේ ප්‍රිය පෙම්වතා වූ ජනක මහේන්ද්‍ර රන්දුනු නම් දේශපාලනඥයා විසිවැනි ශත වර්ෂයේ ප්‍රේමවන්තයා ලෙස ගැහැනු ළමුන් අතර හැඳින්වීමක් තිබුණි. බොහෝ කෙල්ලන්ට මදාරා වී‍මේ පිපාසයක් ඇත. එය නම් මට සතුටකි. විටෙක ඉසි සිතක්ද ඇතිවේ.

ලේඛන ජීවිතය මගේ සංසාර පැවැත්මේ එක් පැතිකඩක් කරගෙන ශිෂ්ට සම්පන්න ලෙස පෑන හසුරුවන්නැයි නිබඳ මා දිරිගැන්වූ ආදරණීය යහළුවෙක් එකල මට විය. කුමන හේතුවක් නිසා හෝ කිසිවකුට ඊර්ෂ්‍යා නොකරන ලෙස, නොරිදවන ලෙස, මෛත්‍රී කරන ලෙස මගෙන් පො​රොන්දුවක් ගත් ඔහු මට පෑනක් සහ මුද්දක් තෑගි කළේ ස්නේහයෙනි. ඒ ස්නේහය තවමත් අපිරිසුදු වී නැත. සසර සැරිසරණ තුරු ඔබ මගේ යැයි ඔහු ගැන සිතන්නට අවසර ඇත.

එහෙත් පසු කාලයේ යමුනා මාලිනිය පවසන ‘ගහක මල් පිපිලා පිපුණේ ඇයිද නොදන්නෙමි’ ගීතය මගේ ජීවිතයට ඥාතීත්වයක් ගෙන ආවේය. ඉන්පසු ප්‍රණීත් අභයසුන්දරගේ ‘මුළු ලොව මගෙන් අසාවි-ඔබ ගැන කුමක් කියම්දෝ’ යි ප්‍රශ්නය නිසා මම ගොළුවෙක් වුණෙමි. උපතේ සිට මියයන තුරුම ආදරය, දයාව, කරුණාව, ස්නේහය මිනිසාට පමණක් නොව, සතා සිවුපාවාට මෙන්ම ගස්වැල් තුරුලතාවලටත් අවශ්‍යය. එය ජීවිතය ජීවත් කරවන ප්‍රකෘතියක් මිස විකෘතියක් නොවේ. ප්‍රකෘතිය මෙන්ම විකෘතියද ඇත්තේ චේතනාව තුළය. ප්‍රකෘතිය තුළ ජීවත්වීම ජීවිතය විඳින්නකි. මා කුඩා කාලයේ හැමෝම ඇසුරු කළා සේ මගේ කතා හැමෝම කියවනවාට කැමැතිය. ඒ නිසාම මගේ පොත් ඉංග්‍රීසියට සහ දෙමළ බසටත් පරිවර්තනය වුණේය.

මා වඩාත් ප්‍රිය කරන සිදුහත් යශෝදරා ඉංග්‍රීසි ද්‍රවිඩ භාෂා ද්විත්වයටම පරිවර්තනය විය. කැන්ගරු, බවලත්තු සහ බලවත්තු මදාරා ඉංග්‍රීසි බසටත් පරිවර්තනය වුණේය. රන්ගිර, වඩමාරච්චි ගින්න, අරවින්දය, අප්පච්චි, මා ප්‍රිය සොඳුර, නික්ම ගිය මිනිසා, ඔහුද මිනිසෙක් විය වැනි මගේ නවකතා ගැන මා සමග පාඨකයන් කතා කිරීම මතක් කරමින් සතුටු වන්නට කාරණාවකි.

ඒ අතරේ මම දරුවන් අමතක නොකළෙමි. මම දරුවන්ට නිර්මාණ කළෙමි. ඒ නිර්මාණ අතර ළමා අධ්‍යාපන, ළමා කවි, ළමා ගී බොහෝය.

ඉතිහාසය මගේ ප්‍රියතම විෂයයි. මහා වංශයේ මඳක් ඈතට ගොස් රාවණා රජතුමාගෙන් පටන් ගෙන මහින්ද රාජපක්ෂ යුගයෙන් අවසන් කළ ඉතිහාස පොත් පෙළ පෙර යොවුන් දරුවන්ගේ, යොවුන් දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි පාඨකයන් අතරද සංචාරය කරන්නක්ව පවතී.

දශක ගණනාවකට පෙර පාසලේදී වර්ෂයේ දක්ෂතම ශිෂ්‍යාව වී පිලිප් ගුණවර්ධන තිළිණය ලබා ඉදිරියට එන විට මම පොත් තුන්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් එකතු කළේ කවදා​ හෝ දිනක පුස්තකාලයක් ගොඩනැගීමේ ප්‍රාර්ථනා ඇතිවය. ඒ ප්‍රාර්ථනා ටිකෙන් ටික දලුලද්දී ජීවිතයේ මෙතෙක් ලියූ පොතපතින් මෙන්ම මදාරා, රන්ගිර ටෙලි නාට්‍යවලින් ලත් ධනය බුද්ධිමය ආයෝජනයකට යොමන සිතින් පසුවීමි. මම රන්ගිර නමින් නිවසක් හැදුවෙමි.
2019 ජූලි මාසයේ විසිතුන් වැනිදා මම එම නිවස අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පුස්තකාල සේවා මණ්ඩලයට පවරා දුන්නේ මගේ පුස්තකාල සිහිනය සැබෑවක් කර ගැනීමටය.

විවිධාකාර සිත් වේදනා, බාධක, කරදර, අභියෝගයට ලක් කරමින් ‘රන්ගිර’ නිවස සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය සහ පුහුණු මධ්‍යස්ථානය වී ජනවාරියේ 19 වැනිදා ජනතා අයිතියට පවරන්නෙමි. එදින මගේ උපන් දිනය වීමද මට විශේෂයකි. මා ලියූද, මා එකතු කළ පොත්ද සමග මට කෞතුකාගාරයක් තරමට වටිනා දශක ගණනාවකට එපිට පාසලේදී මා ලද ගුණසේන ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයද එහි ඇත. දුක සැප මැදින් ආ මේ ගමන දුෂ්කර නොවීම පුදුමයකි. කුමන සම්මානයක් ලැබුවත්, සම්මානය කාට හෝ නොව, සම්මානයට කවුරු හෝ වීම වැදගත් බව ජීවිතයෙන් මා ලත් පාඩමයි.

සෝමා ජයකොඩි