විශේෂාංග

මම මැරුණේ කෝච්චි පෙට්ටියට හිරවෙලා, මඩේ එරිලා

යමකු මෝහනයට පත් කරවීමෙන් එම තැනැත්තාගේ ඉහත ආත්මයේ විස්තර දැන ගත හැකි බවට විශ්වාසයක් අප ජන සමාජයේ තිබේ. එහෙත් එය හුදෙක් මුළාවක් සහ ප්‍රෝඩාවක් වශයෙන් සිතා සිටි සමයක ඒ සම්බන්ධ ‘‘ලොමු දැහැ ගන්වන’’ අත්දැකීමක් විඳ ගැනීමට මට අවකාශ ලැබිණ.

ඒ ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ පුරෝගාමියාණන් වශයෙන් සැලකිය හැකි ආචාර්ය නෙවිල් ද සිල්වාට පින්සිදුවන්නටය. ශ්‍රී ලංකාවේ ප්‍රථම මෝහන ප්‍රසංගය ශ්‍රී ලංකාවේ හේතුවාදයේ පියා වන ඒබ්‍රාහම් ටී කොවුර් විසින් හැටේ දශකයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රඟහලේ දී පවත්වන ලද මුත් හැත්තෑව දශකයේ ‘‘මෝහන රංග’’ ‘‘සංසාර මන්දිර’’ ආදී වශයෙන් එම ප්‍රසංග කලාව දීප ව්‍යාප්ත මට්ටමින් ප්‍රචලිත කරන ලද්දේ ආචාර්ය සිල්වා විසිනි.

ඒ 2002 වසරේ ජූලි මාසයයි. එවර ආචාර්ය නෙවිල් ද සිල්වාගේ රාජගිරියේ පිහිටි මෝහන චිකිත්සාගාරය වෙත පැමිණ සිටියේ තිස්හය හැවිරිදි ගාල්ල නගරයේ වෙළෙඳ ව්‍යාපාරික තරුණයෙකි. මෙහිදී මම ඔහු ‘‘සමන්’’ යන නමින් හඳුන්වමි.

සමන්, ආචාර්ය නෙවිල් ද සිල්වා වෙත යොමු කොට තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකු විසිනි. සමන්ට වැලඳී තිබුණේ Dysmorphophobia නම් වන මානසික අර්බුදයයි. තම ශරීරයේ කිසියම් කොටසක, ඉන්ද්‍රියක පමණට වඩා කුඩා බවක්, ඇදයක් හෝ අඩුවක් ඇතැයි යන වැරදි වැටහීම මනස තුළට කාවැදී තිබීම මෙම මානසික අර්බුදයේ සාමාන්‍ය ස්වභාවයයි.

ඒ අනුව සමන් තුළ වූයේ තම පුරුෂේන්ද්‍රිය පමණට වඩා කුඩාය යන පුහු බියයි. එනිසාම ඔහු ඒ වනවිට විවාහ වීමෙන් පවා වැළකී සිටියේය.

‘‘සමන්’’ ගේ සිත තුළට කා වැදුණු එම පුහු බිය මෝහනමය මනෝ විශෝධනයකින් ඉවත්කළ හැකිද? යන්න විමසා බලනු පිණිස ඔහු මා ඉදිරියේ මෝහනයට පත් කළ ආචාර්ය සිල්වා ‘‘සමන්’’ගේ පූර්ව එකඟත්වය මත පදනම්ව ඔහු ඉහත ආත්මය තෙක්ද කැඳවාගෙන ගියේය. ඒ වන විට මමද ආචාර්ය සිල්වාගෙන් මෝහන ශාස්ත්‍රය අධ්‍යයනය කරමින් සිටියෙමි.

එහිදී මෝහන නිද්‍රාවට පත් ‘‘සමන්’’ ආචාර්ය නෙවිල් ද සිල්වා විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මේ කවුද මට නම කියන්න
(මඳ නිහැඬියාවකින් පසු) වීරසිංහ

වීරසිංහගේ ගම කොහේද?
රත්නපුරේ

රත්නපුරේ කොහේද?
(නිහැඬියාවක්)

මට වීරසිංහගේ පවුලේ විස්තර ටිකක් කියන්න.
(නිහැඬියාවක්)

වීරසිංහ විවාහකද?
(නිහැඬියාවක්)

එතකොට වීරසිංහගේ අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියො එහෙම
(නිහැඬියාවක්)

වීරසිංහ රැකියාවක් මුකුත් කළාද?
ඔව්. රේල්ලුවේ

රේල්ලුවේ කවුරු හැටියටද වැඩ කළේ?
රනින් ෂෙඩ් එකේ

මෙලෙස දිගින් දිගටම ප්‍රශ්න කළද ඉහත ආත්මයේ වීරසිංහ නම් වන තමන් පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් කීමට ‘‘සමන්’’ට නොහැකි විය. ඉන්පසුව ආචාර්ය සිල්වා විසින් සමන්ගෙන් යළි ප්‍රශ්න කිරීම මෙලෙස අරඹන ලදී.

හොඳයි එහෙම නම් වීරසිංහට මතකද වීරසිංහ මරුණු විදිහ.
ඔව්. මං ආපු කෝච්චිය පෙරළුණා.

කොහේදිද කෝච්චිය පෙරළුණේ
මීරිගම, විල්වත්තේ රේල්ගේට්ටුව ළඟදි

කොයි කාලෙදිද ඔය
එක්දාස් නවසිය හැටහතරේ දී වගේ තමයි මතක.

සමන් මෝහනයෙන් කී අන්දමට 1964 වසරේ මීරිගම විල්වත්ත ප්‍රදේශයේ බිහිසුණු දුම්රිය අනතුරක් වූ බව මටද යාන්තමින් මෙන් මතකය. එවක මම සත් හැවිරිදි දරුවෙක්මි. නමුදු යාන්තමින් මෙන් මතකය. ආචාර්ය සිල්වාට ඒ පිළිබඳව පැහැදිලි මතකයක් තිබිණ. ඒ අනුව ආචාර්ය සිල්වා මෝහන නිද්‍රාවෝ පසු වූ ‘‘සමන්’’ ගෙන් යළි ප්‍රශ්න කිරීම ඇරඹීය.

එහෙම නම් වීරසිංහ ඔය අනතුර ගැන තවත් විස්තර ටිකක් කියන්න.
ඒක කලින් දවසේ රෑ තලෙයිමන්නාරමෙන් පිටත් වුණු කෝච්චියක්. මම පාන්දර දෙකට විතර අනුරාධපුරෙන් නැග්ගා. ඔය සිද්ධිය වෙනකොට වටින් ගොඩින් එළිය වැටිලා. සෑහෙන ස්පීඩ් එකකින් ආපු කෝච්චිය විල්වත්ත ‘‘කර්ව්’’ එකේදි එක පාරටම බ්රේක් කරනවා විතරයි මතක. ඊට පස්සේ මම හිටපු පෙට්ටිය කුඩු පට්ටම් වෙලා මාත් එක්කම වෙලට පෙරළුණා. එතකොට මාව ඒ පෙට්ටියයි මඩයි අස්සේ හිරවුණා. මට ගොඩ එන්න තියා හෙල්ලෙන්නවත් බැරි වුණා.

ඒ මොහොතේ සමන්ගේ මුහුණෙන් පෙනුණේ දැඩි වේදනාකාරී බවකි.

කෙසේ හෝ සමන් තම ඉහත ආත්මයේ වෙනත් තොරතුරු නොපවසා මරණය සම්බන්ධයෙන් පමණක් මෙලෙස විස්තර කිරීම මගේ විශේෂ අවධානයට යොමු විය. ඒ අනුව ආචාර්ය සිල්වා විසින් මෝහන නිද්‍රාවෙහි පසුවන සමන්ගෙන් ප්‍රශ්න කිරීම යළි ඇරඹීය.

වීරසිංහ එදා පාන්දර දෙකට විතර අනුරාධපුරයෙන් ඒ කෝච්චියට නැග්ගා කිව්වා. මොකටද වීරසිංහ අනුරාධපුරේ ගියේ?
මොකක් හරි රේල්ලුවේම වැඩකට තමයි. හරියට මතක නෑ.

එතකොට කාත් එක්කද වීරසිංහ එදා පාන්දර දෙකට කෝච්චියට නැග්ගේ.
පෙරේරා කියලා කෙනෙක් එක්ක. මිනිහත් රේල්ලුවෙම තමයි. ඒත් කෝච්චිය පෙරළිලා මාව පෙට්ටියට හිරවෙලා මඩේ එරෙනවා දැක දැකම මිනිහා එළියට පැන ගත්තා. පෙරේරා කියන්නේ නරකම මිනිහෙක්.

ඒ කෙසේ හෝ මෝහන නිද්‍රාව තුළදී සමන් කළ මෙම ප්‍රකාශයේ සත්‍යතාව විමසීම පිණිස මම එම අනතුර සිදුවූ කාලයේ දුම්රිය රියැදුරකු වශයෙන් සේවය කළ ගණේමුල්ල තිබ්බටුගොඩ පදිංචි විශ්‍රාමික දුම්රිය රියැදුරු එන්.ඊ. හේවාපන්න මහතාගේ මතකය අවදි කළෙමි. එහිදී ඔහු කළ විස්තරය ‘‘සමන්’’ මෝහන නිද්‍රාවෙන් කළ එම අනතුර පිළිබඳ විස්තරයට සියයට සියයක්ම ගැලපිණි. එබැවින් මම එම අනතුර සම්බන්ධ වැඩි විස්තර විමසා බලනු පිණිස රාජ්‍ය ලේඛනාගාරය වෙත ගොස් එහි ඇති පැරණි පුවත්පත් පරීක්ෂා කළෙමි. එම පුවත්පත් වාර්තාවලට අනුව ‘‘සමන්’‘ මෝහනය මගින් හෙළි කළ විස්තර මුළුමනින්ම ඇත්තය. 1964 ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා පෙ.ව. 6.18ට මීරිගම දුම්රිය හරස් පාර අද්දරදී බිහිසුණු දුම්රිය අනතුරක් සිදුව තිබේ. එසේ අනතුරට ලක්ව ඇත්තේ තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ අංක 600 දරන භාණ්ඩ ප්‍රවාහන ගැල් සහ භෝජනාගාරයක්, නිදන මැදිරියක් ඇතුළු මගී ප්‍රවාහන මැදිරි සහිත මිශ්‍ර දුම්රියකි. එම් 02 පන්නයේ මෙරට ධාවනය වන ‘‘බ්‍රිටිෂ් කොළොම්බියාස්’’ නමින් හඳුන්වන අංක 572 දරන කැනේඩියානු දුම්රිය ඇන්ජිම සහිත එම දුම්රියේ අනතුරට හේතුවී ඇත්තේ වංගු සහිත ස්ථානයක පමණ ඉක්මවන වේගයකින් දුම්රිය ධාවනය කරවමින් සිටි රියැදුරා ඉදිරියේ දුම්රිය සංඥා අවහිර වීම මත නොවිධිමත් ලෙස තිරිංග ක්‍රියාවේ යෙදවීම බව පසුව අනාවරණය වී ඇත. (සැ.යු. මෙම දුම්රිය ඇන්ජිම අද ද ධාවනය කෙරේ) මෙම අනතුරින් මගීන් විසි එකක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලැබූ බවද එම පුවත්පත් වාර්තාවල සඳහන් විය. කෙසේ නමුදු එම පුවත්පත් වාර්තා පරීක්ෂා කරමින් සිටි මට එක්වරම හීන් දාඩිය දමන්නට වූයේ එම අනතුරින් මියගිය පිරිස අතරේ රත්නපුරේ මොරගහයට පදිංචි එන්.පී. වීරසිංහ නම් දුම්රිය රියැදුරු මහතාගේ නමද තිබෙනු දැකීමෙනි. ඇතැම් පුවත්පත් එය සඳහන්ව තිබුණේ මොරගහයාය යනුවෙනි.
එමෙන්ම එහි තුවාලකරුවන් අතරේ පෙරේරා යන වාසගම සහිත තිදෙනෙක් ද වූහ.

එදින මා රාජ්‍ය ලේඛනාගාරයෙන් පිටතට පිවිසියේ උතුර දකුණ සොයා ගත නොහැකි තරමේ මානසික වික්ෂිප්ත බවකින් යුතුවය. 1966 වසරේ උපත ලබා තිබූ තිස් හය හැවිරිදි ගාල්ලේ සමන් තමන් ඊට දෙවසරකට පෙර මීරිගම විල්වත්ත දුම්රිය අනතුරින් මියගිය රත්නපුර පදිංචි වීරසිංහ, නම් දුම්රිය සේවකයා බව කියා සිටියේ කෙසේද?
කෙසේ හෝ ඊට සති දෙකකට පමණ පසු ගාල්ලේ සමන් යළි ආචාර්ය නෙවිල් සිල්වාගේ රාජගිරියේ මෝහන චිකිත්සාගාරය වෙත කැඳවා තිබිණ. එහෙත් ඒ දක්වා වූ කාලය මා ගත කරන ලද්දේ ද එක්තරා අයුරක අන්දමන්ද ස්වභාවයකිනි. ඒ මෙම සංසිද්ධීන් දෙකේ පූර්වාපර සන්ධි ගලපා ගත නොහැකිවය. නමුදු ඒ වන විට සමන් තුළ එතෙක් පැවැති තම පුරුෂේන්ද්‍රිය මුල් කොට ගත් ‘‘පුහුබිය’’ බොහෝ දුරට පහව ගොස් තිබූ මුත් ඒ වන විටත් දුම්රිය සම්බන්ධයෙන් අහේතුක භීතියක් ඔහුගේ සිත තුළ රැඳී තිබිණ. ඒ අනුව ඒ පිළිබඳ හේතු විමසීම පිණිස එවරද ‘‘සමන්’’ යළි මෝහනය කිරීමට ආචාර්ය සිල්වා ඉදිරිපත් විය.

‘‘ඉස්සර අපේ කඩේ තිබුණේ ගාල්ලේ රනින් ෂෙඩ් (දුම්රිය ධාවනාගාරය) ළඟින් යන පාරේ. ඒ කාලේ ඒ කඩේට නිතර පෙරේරා කියලා මනුස්සයෙක් ආවා ගියා. ඉස්සර රේල්ලුවේ වැඩ කරපු ඒ මනුස්සයගේ රස්සාව නැති වෙලා තිබුණු හින්දා අපේ තාත්තත් පෙරේරාව අපේ කඩේ වැඩට ගත්තා. පෙරේරා කියන්නේ කුරුලෑ පිරිච්ච මූණක් තිබුණු කොර මනුස්සයෙක්. ඒ මනුස්සයගේ මූණ පුරාම රැවුලකුත් තිබුණා. මිනිහගේ ඒ කකුල කොරවෙලා තියෙන්නේ මීරිගම විල්වත්තේ සිද්ධ වුණු කෝච්චි අනතුරින්. ඉස්සර පෙරේරා මාත් එක්ක ඒ විස්තරේ කියනවා. ඒ කෝච්චිය පෙරලුණු වෙලාවේ මිනිහත් එක්ක කෝච්චියේ ආපු මනුස්සයෙක් කෝච්චි පෙට්ටියයි මඩයි අතරේ හිරවෙන හැටි පෙරේරා ඇස් දෙකටම දැකලා තියෙනවා. කොහොම හරි මාත් එක්ක මේ වගේ කතා කියපු පෙරේරා කවුරුවත් නැතිවෙලාවට මාව එයා ළඟට ගත්තා. නරක දේවල්වලට. ඊට පස්සේ ඒවා කාටවත් කියන්න එපා කියලා මාව බය කළා. එතකොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති.

කෙසේ හෝ මෝහන නිද්‍රාව යටතේ ගාල්ලේ සමන් කී විස්තරයත් සමග ඔහු ඊටම සම්බන්ධ කොට කී කතාවද අතිශය වැදගත්ය.

‘‘කොහොම හරි පස්සේ කාලෙක ඔය පෙරේරා අපේ තාත්තත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන යන්න ගියා. කොහේ ගියාද දන්නේ නැහැ. ඔය අතරේ තමයි ගාල්ලේ ????? පන්සලේ (ප්‍රසිද්ධ විහාරස්ථානයක්) පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුණේ. ඒ හාමුදුරුවෝ අපේ අම්මාගේ මාමා කෙනෙක්. ඒ නිසා ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ හාමුදුරුවන්ගේ කාමරේ අස් කරන කොට අපිටත් එන්න කියලා පොඩි හාමුදුරුවෝ අපිට පණිවුඩ එවලා තිබුණා. එදා මායි තාත්තයි ඒ පන්සලට ගියා. එතකොට තමයි ලොකු හාමුදුරුවන්ගේ කාමරේ තිබිලා මීරිගම, විල්වත්තේ දුම්රිය අනතුර ගැන විස්තර කියන පත්තර ගොඩක් මට හම්බ වුණේ. මොන හේතුවක් හින්දා හරි ලොකු හාමුදුරුවෝ ඒ වගේ විශේෂ සිද්ධි තියන පත්තර වෙන වෙනම එකතු කරලා තිබුණේ. ඒ පත්තර දකින කොටම මට අර පෙරේරාව මතක් වුණා. ඒ හින්දා මම ඒ අනතුරින් මැරුණු තුවාල ලබපු අයගේ නම් පරීක්ෂා කරන කොට තමයි රේල්ලුවේ වැඩ කරපු රත්නපුරේ වීරසිංහ කියලා කෙනෙකුගේ නමක් දැක්කේ. එතකොටම මම නිකමට වගේ හිතුණා එහෙම නම් පෙරේරා එක්ක එකට කෝචිචියේ ඇවිත් කෝච්චි පෙට්ටියයි මඩයි අතරේ හිරවුණේ මෙයාවත්ද කියලා. ඒ එක්කම පෙරේරා මට කරපු දේවල් ඒ වෙනකොට හිතට ඇතිවෙලා තිබුණු පීඩනය හින්දා මට නිකමට වගේ හිතුණා මේ කෝච්චි අනතුරින් මැරුණු වීරසිංහ මගේ ගිය ආත්මෙද දන්නෙත් නැහැ කියලා. මට එහෙම හිතුණේ පෙරේරා මට මේ ආත්මෙදිත් ඒ වගේම හතුරුකමක් කරලා පැනලා ගියපු හින්දා.

තමන් රත්නපුරේ වීරසිංහ නම් දුම්රිය සේවකයකු බවට මීර පෙර අවස්ථාවක ගාල්ලේ සමන් කළ විස්තරය ලුහුබැඳ ගොස් විකල් කර ගත් මගේ මනැස යළි ප්‍රකෘතිමත් වූයේ සමන්ගේ එම විස්තරය අසා ඒ පිළිබඳ සත්‍යය වටහා ගැනීමෙන් පසුවය.

ඒ කෙසේ හෝ මෝහනය යන්න කූට ජාවාරම් පෙළක්ව පවතින වර්තමානයට අනුව බලන විට මෝහන චිකිත්සාව සම්බන්ධ මෝහන ශාස්ත්‍රය සම්බන්ධ පෙර අපර දිග ග්‍රන්ථ රැසක් කියවා ඒ පිළිබඳව ලත් පුළුල් න්‍යායික අවබෝධයකින් යුතුව මෝහන ප්‍රසංග කලාවේ සේම මෝහන චිකිත්සාවේ ද යෙදුණු ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා මීට වසරකට පෙර එනම් 2003 වසරේ මැයි මස 29 දින මෙලොවින් සදහටම සමුගන්නා ලද්දේ අද මෙන් වල් බිහි නොවූ විධිමත් මෝහන චිකිත්සාවක් තුළින් දහස් ගණනකගේ කායික මානසික ගැටලු අර්බුද සඳහා විද්‍යාත්මක විසඳුම් ලබා දුන් මහත්මා ගතිවලින් සපිරි විද්වතකු ලෙසිනි. තම සිත තුළ පැවැති සිය පුරුෂේන්ද්‍රිය සහ දුම්රිය පිළිබඳ ‘‘පුහු බිය’’ මුළුමනින්ම තම මනැසින් සෝදා දමා ඉන්පසු සාර්ථක දිවිපෙවෙතක් ඇරඹූ ගාල්ලේ ‘‘සමන්’’ ඉන් එක් අයෙක් පමණි.

තිලක් සේනාසිංහ

ඉවෝන් ද සිල්වා මහත්මියට සහ මොහාන් මනෝජ් ද සිල්වා මහතාට අපගේ ස්තුතිය