brand logo

මම දැන් තනිවුණු අම්මා කෙනෙක්

06 June 2022

හසිනි සැමුවෙල් කියන්නේ කලක් බොහෝ දෙනා අතර වැඩි කතාබහට ලක්වුණු චරිතයක්. නමුත් විවාහයෙන් පස්සේ නිහඬ වුණු හසිනි ගැන වැඩි කතාබහක් ඇති වුණේ නැහැ. කෙසේ නමුත් මේ වෙද්දි හසිනි ගැන යළි කතා වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම හසිනි දැන් පුංචි පුතෙකු සමග තනිවුණු මවක්. නමුත් පුතා එක්ක ඉතාමත් ආදරණීය ජීවිතයක් ගත කරන හසිනිගේ ජීවිතේ ගැන කතා කළ සොඳුරු කතාබහයි මේ.... කොහොමද ජීවිතේ... ජීවිතේ නම් හරිම සුන්දරයි. ඒ සුන්දර ජීවිතේ ගැන කතා කළොත්... මම දැන් තනිවුණු අම්මා කෙනෙක් විදියට පුතා එක්ක ජීවත් වෙන්නේ. ඉතින් මගේ දෙමාපියන් එක්ක පුතා හදාගෙන සතුටින් ජීවත් වෙනවා. තනිවීම ගැන දුකක් නැද්ද? දුකක් නැත්තේ නැහැ. දුකක් තියෙනවා. නමුත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා. ඔබ කලාවට ආ ගමන්මග මතක් කළොත්? මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ 2017 දී මිස් ටුවරිසම් පැජන්ට් එක හරහා. ඒ පැජන්ට් එකේ මම second runner up වුණා. එතැනින් පස්සේ මම මිස් ඒෂියා පැසිපික් පැජන්ට් එකට ඇප්ලයි කළේ. එතැනදී මම ජයග්‍රණය කළා. ඊට පස්සේ පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපික් ඉන්ටර්නැෂනල් පැජන්ට් එක ලංකාව නියෝජනය කළා. එතැනදී මට පුළුවන් වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් මිනි ටයිටල් එකක් දිනා ගන්න. ඒ හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. නැවතත් කලාවට සම්බන්ධ වෙනවද? අනිවාර්යෙන්ම. මෑතකදී මම නිර්මාණයකට සම්බන්ධ වුණා. දකින්නත් ඇති C Chainගේ ‘she konws me’ සින්දුව. ඒ වගේ තව ආටිස්ලා එක්ක වැඩ කරලා තියෙනවා සහ වැඩ කරමින් පවතිනවා. ඒ නිර්මාණ ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඒ නිසා හසිනි සැමුවෙල් කියන්නේ කවදාවත් කලාවෙන් ඈත් වෙන කෙනෙක් නෙවෙයි. මියුසික් වීඩියෝවලට පමණක් සීමා වෙලාද? නැහැ. හසිනි කියන්නේ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන් කලාවට ආව කෙනෙක්. ඉතින් මම මිස් කැටගරි එකෙන් දේශීය පැජන්ට් තුනක් නියෝජනය කළා. ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් නියෝජනය කළා. ඒවායින් ලංකාවට ජයග්‍රහණයක් ගෙනාව කෙනෙක්. ඉතින් මම කියන්න කැමතියි ඉදිරියේදී මිසිස් පැජන්ට් එකක් නියෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබත් තනිවුණු මවක් නිසා පසුගිය කාලේ මිසිස් පැජන්ට්වල මතුවුණු ප්‍රශ්න ඔබටත් මතුවෙයිද? නැහැ. මම හිතන්නේ නැහැ මට එවැනි ප්‍රශ්න මතුවෙයි කියලා. මොකද අදටත් මගේ හස්බන්ඩ් එක්ක කිසිම තරහක් නැහැ. එයත් එහෙමයි. මගේ දරුවටත් ගොඩක් ආදරෙයි. ඒ නිසා කිසිම දවසක එයා මට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ නිසා මම හිතන්නේ නැහැ මට ඒ වගේ දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි කියලා. එහෙම නම් ඇයි ඈත් වෙන්න හිතුවේ? සමහර දේවල් තියෙන්න පුළුවන් මම අකැමැති. එහෙම අකැමැති වීම් නොගැළපවීම් තියෙන කොට රණ්ඩු කර කර ජීවත් වෙනවට වඩා හොඳයි වෙන් වෙන එක. ඒ නිසා කිසිම තරහක් නැහැ. මම තනි වුණත් එයා කොහේ හරි කොතැනක හරි සතුටින් ඉන්නවා නම් ඒක තමයි මගේ සතුට. හසිනි නැවත ආදරයක් විවාහයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඇත්තටම මම නැවත ඒ වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ. මොකද මට දැන් පුංචි පුතෙක් ඉන්නවා. මගේ ජීවිතේ වටින එකම දේ මගේ පුතා. මගේ අම්මයි තාත්තයි මට ඉන්නවා. ඒ නිසා මම හිතනවා මට තවත් කෙනෙක් ගැන හිතන්න තරම් මනසක් නැහැ. ඊට වඩා මම කැමතියි මගේ එදිනෙදා වැඩ කටයුතු ටික හොඳින් කරගෙන ධර්මය අහගෙන පුතා සමග කාලය ගත කරන්න. ඔබ සමාජ මාධ්‍යයටත් එකතු කරලා තිබ්බා පන්සල් යන ඡායාරූප, හසිනි ගැන මෙතෙක් තිබ්බ ප්‍රතිරූපයට එහා ගිය එකක් එක්ක දැන් ඔබ සමාජගත වෙන්නේ, මේ දේවල්වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඇත්තටම මම මීට පෙර ආශ්‍රය කරපු ගොඩක් අය මම දැන් ආශ්‍රය කරන්නේ නැහැ. තෝරා ගත් පිරිසක් පමණයි මා ළඟින් ආශ්‍රය කරන්නේ. ඒ අයට ලොකු සර්ප්‍රයිස් එකක් වුණා මම දාපු ඡායාරූප. හැබැයි මම ඉස්සර ඉඳන් බණ අහන පන්සල් යන කෙනෙක්. නමුත් එවැනි දේවල් සමාජගත කළේ නැහැ. ඉස්සර හිටිය හසිනි සැමුවෙල්ට වඩා දැන් ඉන්න හසිනි වෙනස්. දැන් මම අම්මා කෙනෙක් ඒ නිසා ගොඩක් ශක්තිමත් ඒ කාලේ හිටියට වැඩිය. ඉතින් ඒ නිසා මට හිතෙන දේවල් සහ මම විශ්වාස කරන දේවල් මම මගේ මුහුණු පොතට එක් කරනවා. හසිනි කලින් අපිට ගොඩක් සමීප වුණේ ෆැෂන් එක්ක, දැන් ඒ දේවල් පවා වෙනස්වෙලාද? තවම මට අවුරුදු 23යි. ඒ නිසා අදටත් මගේ ෆැෂන් වෙනස් වෙන්නේ නැහැ. එදා කරපු ෆැෂන් ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. නමුත් මම අද ෆැෂන් කරන්නේ අම්මා කෙනෙක් කියන තැන ඉඳගෙන. ඒ නිසා මගේ ෆැෂන් මිනිස්සුන්ට වෙනස් විදියට පෙනෙන්න පුළුවන්. මම විශ්වාස කරන දේ තමන්ගේ ශරීරය ලස්සනයි නම් සහ නිරූපණ ශිල්පිනියක් නම් ඕනෙම ඇඳුමක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම අඳින්න බැරි අය තමයි තව කෙනෙක්ට අපහාස වෙන විදියට විවේචනය කරන්නේ. ඒ නිසා ෆැෂන් කියන දේට මම කවදාවත් ගරහන්නේ නැහැ. මට හැමදාමත් නිරූපණය නිරූපණයමයි. දැන් දරුවෙකුත් සමග ජීවත් වෙන ඔබේ ආදායම් මාර්ගය මොකක්ද? මම අදටත් නිරූපණ කටයුතු කරනවා. ඊට අමතරව මගේම ව්‍යපාර කටයුතු කිහිපයක් තියෙනවා. ඒ නිසා දැනට නම් මට ආර්ථික ගැටලු කිසිවක් නැහැ. ව්‍යාපාර කලාවට සම්බන්ධද? නැහැ. දැනට නම් කලාවට හාත්පසින්ම වෙනස් වූ නිර්මාණ තියෙන්නේ. කලාවට සම්බන්ධ ව්‍යපාරයක් ළඟදීම ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. පසුගිය කාලයේ ඔබ බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන අවස්ථා අපි දැක්කා. දේශපාලනයට එන්නද හදන්නේ කවදාවත්ම නැහැ. මම මගේ පුද්ගලික ජීවිතේ සතුට වෙනුවෙන් මට කරන්නට හැකි කාලයේ කරන කුසලකම් පමණයි. ඒ නිසා පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන්, දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් මට පුළුවන් විදියට ඉදිරියටත් පෙනී ඉන්නවා. මේ හැම දේටම පවුලෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? මගේ මුළු ජීවිතේම මගේ පවුල. අම්මා, තාත්තා වගේම මට ඉන්නවා අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක්. අක්කා නම් මේ වෙද්දී විවාහකයි, එයාටත් බබෙක් ඉන්නවා. නංගි මගේ හැම දේකටම ගොඩක් උදව් කරනවා. අද මගේ තුළ පොඩි හරි ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය මට ලැබිලා තියෙන්නේ මගේ පවුලේ අය නිසා. හසිනි සැමුවෙල් කියන්නේ කලින් පුවත් මවන චරිතයක් විදියට සමාජගත වුණ කෙනෙක්. ඒ අතීතය ගැන අද පසුතැවෙන තැන් තියෙනවද? ඇත්තටම අතීතය ගැන හිතද්දී මම පසුතැවෙන අවස්ථාවන් තමයි මට නොගැළපෙන සමහර යාළුවන් ආශ්‍රය කිරීම. මම ඕනෙම කෙනෙක්ට කියන්නේ සමාජයක් වුණත් කෙනෙක්ගේ ප්‍රතිරූපය දකින්නේ ඒ කෙනා ආශ්‍රය කරන අයගේ විදියෙන්. ඒ නිසා මම කියන්නේ යාළුවෝ ආශ්‍රය කරද්දී පරිස්සම් වෙන්න. ඒක විතරයි මම පසුතැවෙන එකම දේ. ඒ කාලේ ගෙදරින් දුන්න උපදෙස් ඇහුවේ නැහැ නේද? ඔව්. මම මේ ක්ෂේත්‍රයට ආවේ වයස අවුරුදු 18දී. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. මගේ තාත්තා ආස කළේ මම ගණිත අංශයෙන් ඉගෙන ගෙන ඉංජිනේරු අංශයේ රැකියාවක් කරයි කියලා. අම්මත් එහෙම තමයි හිතුවේ. ඒ නිසා කවුරුත් හිතුවේ නැහැ මම කලාවට එයි කියලා. ඉතින් ඒ දවස්වල තාත්තා වගේම අම්මත් මා එක්ක තරහින් හිටියේ. ඒත් අම්මා මගේ ආසාවන් සහ හැකියාවන් නිසා මට උපදෙස් දුන්නා. නමුත් මම ඒ වයසේදී ඒවා හරියට තේරුම් ගත්තේ නැහැ. කලාවට සම්බන්ධවීම ගැන ඔබ අද මොකද හිතෙන්නේ? මම ආව ගමන ගැන මම සතුටු වෙනවා. මම මගේ ජීවිතේ ගැන කලාව තෝරා ගැනීම ගැන සතුටු වෙනවා. මම අදටත් පුදුම විදියට ආදරෙයි කලාවට. ඒ නිසා ඉදිරියට කලාව වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කලාවට එදත් අදත් හෙටත් ආදරෙයි. ටෙලි නිර්මාණයකට හෝ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවද? මට ගැළපෙන හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර් යෙන්ම භාර ගන්නවා. ගොසිප් කියන දේවල් ඔබ දකින්නේ කොහොමද? මට ගොඩක් බොරු ගොසිප් හැදුණ කෙනෙක්. මට අද හිතාගන්නත් බෑ ඒ පොඩි වයසට ඒ වගේ බොරු ගොසිප් දරා ගත්තේ කොහොමද කියලා. නමුත් මම ඒ හැමදේම විඳ දරාගෙන නිහඬව හිටියා. හැබැයි එදා හිටිය ඒ හසිනි සැමුවෙල් නෙවෙයි අද ඉන්නේ. ඇත්ත කතා කරන්න මම බය නැහැ. ඉතින් ඒ ගැන අද මම සතුටු වෙනවා. මම විශ්වාස කරන්නේ ගොසිප් කියන දේවල් නිරූපණ හෝ රංගන ක්ෂේත්‍රයේ ඉන්න අයට විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ට හැදෙන්න පුළුවන්. නමුත් අපි පරිස්සම් වෙන්න ඕනේ ගොසිප්වලට දක්වන ප්‍රතිචාර තුළින්. අපි දක්වන ප්‍රතිචාර එක්ක තමයි ගොසිප් කියන දේ ඇත්තක් වෙන්නේ. නැත්නම් ඒ දේවල් නිකම් කියවිල්ලක් හෝ ලියවිල්ලක් පමණයි. ජීවිතේ ඇතිවුණු දේවල් සහ නැතිවුණු දේවල් ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට නැතිවුණු දේවල්වලට වඩා ඇතිවුණු දේවල් වැඩියි. ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ. මට ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග මගේ පුතා. ඒ නිසා මට ජීවිතේ පසුතැවෙන්න කියලා දැන් දෙයක් නැහැ. කලාවේ අලුත් ගමනක් ආරම්භ කරන්න හදන ඔබට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියන්න දෙයකුත් ඇති? මම ආව නිරූපණ ක්ෂේත්‍රයට ලොකු වටිනාකමක් එකතු කරනවා. ඒක මම අනිවාර් යෙන්ම කරනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයට මම ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක මගේ ප්‍රේක්ෂකයන්ට සර්ප්‍රයිස් එකක් විදියට ළඟදීම දැනගන්න ලැබෙයි. අනුෂා රණසිංහ https://www.youtube.com/watch?v=Y2lVwCy2oow
 

More News..