News

මම ඇත්ත කථාව පොතක් ලියනවා – තිස්ස අත්තනායක

ඔබ තවමත් එක්සත් ජාතික පක්ෂයේද?

මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධවයි මම දේශපාලන තීන්දුවක් ගන්නේ. ඒ ගැන පක්ෂයට තොරතුරු සහිතව ලිඛිතව දන්වලා මගේ ඒ තීරණය ගත්තා. පක්ෂ මාරු කළේවත් වෙන දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වුණේවත් නැහැ.

මම එදා දරපු මතය අද සත්‍යවෙලා තිබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන එජාප පාක්ෂිකයින් තබපු විශ්වාසය අද එහෙම පිටින්ම බිඳ වැටිලා.

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම ගැනද ඔබගේ විරෝධය?

ඔව්. තවත් කාරණා කිහිපයක් තිබුණා. එහෙත් මගේ ප්‍රධාන විරෝධය වුණේ එජාපය ඇතුළු එවකට පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන්න එපා කියන එක. පොදු පෙරමුණක් ගොඩනගනවා නම් ඒකේ නායකත්වය මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ද එජාපයට හිමිවිය යුතුයි යන ස්ථාවරයේ මම හිටියා.

මම යෝජනා කළේ රනිල්ව, එහෙම නැත්නම් විකල්ප දෙකක් ඉදිරිපත් කළා කරූ හෝ සජිත්, පොදු අපේක්ෂකයා ලෙස කරූ ඉදිරිපත් කරන එකට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් එකඟ වුණා. එහෙත් විපක්ෂ නායක රනිල් ඒකට කැමැත්තක් දැක්වූයේ නැහැ. පසුව මෛත්‍රීව යෝජනා වුණා.

පක්ෂ නායක රනිල් මොකද කිව්වේ?

එතුමා කිව්වේ මේ ගත්තේ තාවකාලික පියවරක් බවයි. මෛත්‍රී, ජනාධිපතිවරණයෙන් දිනුවට රට පාලනය කිරීම ඇතුළු පූර්ණ බලතල, රනිල්ට පවරන බවට සාකච්ඡාවලදී එකඟ වුණු බව පක්ෂ නායක රනිල් කිව්වා.

කවුද එහෙම එකඟවෙලා තිබෙන්නෙ?

ඒ අවස්ථාවේ සාකච්ඡාවේ සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පිරිසක්. එම එකඟතාව ගැන රනිල් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් වාර්තා කළා.

සාකච්ඡාවලට සම්බන්ධ වුණේ කවුද?

මෛත්‍රී තෝරන අවසාන සාකච්ඡාවට රනිල් – චන්ද්‍රිකා ඇතුළු පිරිසක් එක්වුණා. සාකච්ඡා පැවැත්වුණේ විදේශ රටක. මම හිතන්නේ සිංගප්පූරුවේ වෙන්න ඕන. මලික්, මංගල වගේ අය ඊට සහභාගි වුණා.

ඔබට ඒ ගැන දැන්වූයේ නැහැ ?

නැහැ. අවසාන සාකච්ඡාව ගැන මා දැනුවත් කළේ නැහැ.

ඇයි ඒ ?

ඒක ලොකු කතාවක්. 2014 ජුනි – ජූලි වෙනකොට අපේ පක්ෂයේ ඉතා රහස්‍ය සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි කතාකළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කරන්න අවශ්‍ය පක්ෂයේ යටිතලය නිර්මාණය කරන එක ගැන. රනිල්, රවී, කබීර් හෂීම්, මංගල, හර්ෂ, එරාන්, මලික් වගේ පිරිසක් එම සාකච්ඡාවට සහභාගිවුණා.

සජිත් හිටියේ නැද්ද?

එතකොට රනිල් – සජිත් හිටියේ විරසකයක. ඒ දෙන්නා අවුරුදු 3ක් විතර එකම වේදිකාවක වැඩ කළේ නැහැ. එක පාරක ගමන් කළේ නැහැ. ඒක රටම දන්න කාරණයක්. ඒ දෙදෙනා අතර නායකත්ව අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා.

ඒ නිසා මම යෝජනා කළා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවන්න නම් පක්ෂය තුළ සිදුවිය යුතු ප්‍රධාන වෙනස්කම් ගණනාවක් ගැන. සජිත් – රනිල් එකම වේදිකාවකට ගෙන ඒමත් එම යෝජනා අතර වුණා. රනිල් වික්‍රමසිංහත් එම යෝජනාවලට එකඟ වුණා.

මෛත්‍රී ඉදිරිපත් කරන යෝජනාව ගෙනාවේ කවුද?

මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග කියලයි.

ඇයි මෛත්‍රීට මේ තරම් විරුද්ධ?

මම මෛත්‍රිට විරුද්ධ වුණේ පෞද්ගලික හේතුවකට නොවේ. එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු අවස්ථාව ගිලිහී යන නිසයි.

ඔබ කොපමණ කිව්වත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමග කරට කර ඡන්ද සටන කිරීමට එජාප අපේක්ෂකයකුට හැකියාව තිබුණේ නැහැ?

බැහැ කියන එක පුහු මතයක්. මොකක්ද මෛත්‍රීපාලට තිබුණු විශේෂත්වය. ඔහුට වඩා කරූ ජයසූරියට විශේෂත්වයක් තිබුණා. ඔහු සිංහල බෞද්ධ නායකයෙක්.

ඔබ පක්ෂයේ තීන්දුවට විරුද්ධ වුණා නම් ඒ ගැන කියලා පැත්තකට වෙලා ඉන්න තිබුණා ?

එම සිද්ධියට මුහුණ නොදුන් අය විවිධ චෝදනා කරනවා. පිට ඉඳන් බලන කෙනාට ඇතුළත තත්ත්වය පේන්නෙ නැහැ.

2015 මැතිවරණය කිට්ටු වෙනකොට එජාපය මැතිවරණ ගණනාවකින් පරාජය වෙලා බිම් මට්ටමේ සංවිධානයත් බිංදුවට වැටිලයි තිබුණේ. ඔබ දන්නවා එජාපයට තරග කරලා දිනන්න බැරි බව. ඔබටත් තවත් පරදින්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය වුණා ජයග්‍රහණය කරන තැනකට යන්න. ඒ සඳහා නේද කටයුතු කළේ?

පක්ෂය බෙදිලා රණ්ඩුවෙලා නායකයෝ අතර එකඟතාවක් නැති වෙලාවේ ඒ සියලු දෙනා එකම වේදිකාවකට ගෙනාවේ මම. පක්ෂයේ බිම් මට්ටමෙන් ඡන්දපොළවල් දොළොස් දහකට සංවිධායකවරුන් පත් කර මැතිවරණය දිනන තැනට මානසිකත්වය හැදුවේ මම. මට ඕන පක්ෂය ජයග්‍රහණය කරන්න.

ඔය තරම් පක්ෂයට ආදරේ නම් මහින්ද රාජපක්ෂ ළඟට ගිහින් පක්ෂයට ද්‍රෝහි වුණේ ඇයි?

මට ද්‍රෝහියා කියන අයට මම කියන්නේ මම නෙමේ ද්‍රෝහියා. මෛත්‍රීපාල ජනාධිපති කරන්න උදව් කරපු අය තමයි අද එජාපයට ද්‍රෝහිවෙලා තියෙන්නේ. මම නියම යූඑන්පී කාරයෙක් විදිහට එදා කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා.

එජාපයේ ලේකම් තිස්ස අත්තනායක මහින්ද රාජපක්ෂ සමග එකට හිටගත්තා. එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වෙ ලේකම් කෙනෙක් ගියහම (මෛත්‍රී) ලේකම් කෙනෙක් ගන්න එක (තිස්ස) මහ කජ්ජක් නෙමේ කියලයි.

වෙන්න පුළුවන්. එදා මාව පාවිච්චි කළා වෙන්න පුළුවන්.

එදා නිහඬව හිටියා නම් වඩා හොඳයි නේද?

ඒ ඔබ හිතන හැටි. මම හිතපු හැටි වෙනස්.

එහෙම ගිහින් බලාපොරොත්තු වුණේ කුමක්ද?

මට ඕන වුණා මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව වැඩ කරන්න.
මෛත්‍රීපාලට විරුද්ධ වෙන්නද එහෙම නැත්නම් එජාපයේ තීන්දුවට විරුද්ධ වෙන්නද වුවමනාව තිබුණේ?
ඒ දෙකම එක තීරණයක්නේ. මෛත්‍රීට විරුද්ධයි කියන්නේ, එජාපය ගත්ත තීරණය වැරදියි කියන එකනේ.

ඒ වුණාට රාජපක්ෂ ආණ්ඩුවේ දවස් ගාණක ඇමැතිකමකුත් ගත්තනේ?

ඔව්. ඔබ ඇයි අහන්නේ නැත්තේ මෛත්‍රීපාල කරපු වැඩේ හරිද කියලා. එයා පක්ෂෙටත් නායකයටත් නොකියා හොරෙන්ම ගියා. මම පක්ෂයට විරුද්ධත්වය දක්වලා හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගත්තා. එතකොට කවුද ද්‍රෝහියා.

ඒ තීන්දු දෙකම නිකං එක වගේ පේනවා ?

ඒ ඔබ හිතන හැටියි. මම තීන්දුව ගත්තේ පක්ෂයට වන විනාශය වළක්වන්නයි.

එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි කිය කිය මහින්ද රාජපක්ෂ ළඟට ගිහින්, ඇමැතිකමකුත් අරන් අන්තිමේ පක්ෂෙකුත් පිහිටුවන්න හදනවා. එජාපයට තිබෙන ආදරේද මේ?

ඔව්. මම දේශපාලනය කරන කෙනෙක්. ක්‍රියාකාරීව දේශපාලනයේ ඉන්න කෙනෙක්. පූර්ණ කාලීනව දේශපාලනය කරන කෙනෙක්. වරද්ද ගන්න එපා මම ශ්‍රීලනිපයට සම්බන්ධ වුණේ නැහැ.
එහෙත් කොතැනක හෝ ප්‍රධාන දේශපාලන ධාරාවකට මම සම්බන්ධ විය යුතුයි.

හදන්න ගිය අලුත් පක්ෂයට මොකද වුණේ?

ඒ ගැන මම ඉදිරියට ගියේ නැහැ. විවිධ අදහස් උදහස් සමග සාකච්ඡා කරමින් තිබෙනවා. පසුව බලමු.
එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳ ඔබගේ ස්ථාවරය කුමක්ද?

රටේ දැන් තිබෙන දේශපාලන වාතාවරණය අනුව මිනිස්සු බලාපොරොත්තු වෙනවා දැඩි පාලනයක්. ඒ කියන්නේ රටේ පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ගොඩනැගිය හැකි රටේ ආර්ථිකයට හරි වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්න පුළුවන්, විශේෂයෙන්ම රටට බොහෝම ආදරයෙන් හැඟීමෙන් වැඩකරන නායකත්වයක් ගැන.

ඔබ කියන ඔය දැඩි පාලනයක් කළ හැකි නායකයා ඉන්නේ පොදු විපක්ෂයේද? එජාපයේද? වෙන පක්ෂයකද? කොහේද?

ඒක බලන්න වෙන්නේ ජනාධිපතිවරණයට අවසාන වශයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනා දිහා බලයයි. මගේ තේමාව තමයි. පළමුව රට දෙවනුව දේශපාලනය. ඒ අනුව බලලා මම සහයෝගය දක්වනවා. මොකද දැන් මේ රට මුහුණ දෙන මහා ව්‍යසනය පැහැදිලියි. අපගේ නොසැලකිලිමත්කම නිසා බරපතළ තත්ත්වයක් ඇතිවෙලා.

මේ දැන් රටේ උද්ගතවෙලා තිබෙන ව්‍යසනකාරී තත්ත්වය අනුව කවුරු මේකෙන් නිදහස් වෙන්න හැදුවත් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ.

අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල සමුළුවට කැඳවා නැහැ?

ඒක නිදහසට කාරණයක් නෙවෙයි. පාර්ලිමෙන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨම පළපුරුදු නායකයා රනිල් වික්‍රමසිංහ. රටේ ජනතාව ආරක්ෂාව ගැන බියකින් ඉන්න මොහොතක් මේ. ආර්ථිකය අතින් ගත්තත් ජනතාවට ජීවත් වෙන්න අමාරු මට්ටමක් තිබෙන්නේ. මිනිසුන් සතුටින් ජීවත් වෙන්නේ නැහැ. මෙම වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා. එපමණක් නොවේ දැන් ජනාධිපතිවරණය ඔන්න මෙන්න ඇවිල්ලා එජාපය ඊට සූදානම් බවක් පේන්න නැහැ.
ඉදිරි ජනාධිපතිවරණයකට තරග කරන්න සජිත් – කරු දෙදෙනා අතරින් ඉදිරියෙන් සිටින්නේ කවුද?
ඔය දෙදෙනා පිළිබඳව පක්ෂය ගනු ලබන තීන්දුව බලලා අදහස් ප්‍රකාශ කළ යුතුයි. මොකද මම ඉස්සර වෙන්න ඕන නැහැ.

පොදු විපක්ෂයෙන් ගෝඨා ආවොත් එජාපයෙන් තරග වදින්නේ සජිත් කියලා ආරංචි පැතිරෙනවා?

මම දැක්කා සති අග පත්තරේක ඔය ගැන කියලා තියෙනවා. ඡන්ද බෙදෙන්නේ එජාපය ඇතුළු කණ්ඩායමට සහ පොහොට්ටු‌ව, ශ්‍රීලනිපය ඇතුළු කණ්ඩායමට බෙදී යන ලෙසයි. ඔය දෙපාර්ශ්වයේ කාට වුණත් ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. රටේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව මැතිවරණ වේදිකාවේ බරපතළ ලෙස සාකච්ඡාවට ගැනෙන මාතෘකාවක් වේවි.

රටේ උද්ගතවෙලා තිබෙන තත්ත්වය අනුව එජාපයට සුළුජාතික ඡන්ද දිනා ගන්න පුළුවන්කමක් ලැබෙයිද?

එළැඹෙන මැතිවරණයක තීරණාත්මක සාධකය සුළුජාතික ඡන්ද කියන එකට මම එකඟ නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ තීරණාත්මක පාවෙන ඡන්දයි. ජනාධිපතිවරණය තීරණාත්මක වෙන්නේ පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්ද දායකයිනුයි. මෙම ඡන්දයට අලුත් ඡන්ද ලක්ෂ 12ක් පමණ එකතු වෙනවා. පාවෙන ඡන්දත් ලක්ෂ 35ක් පමණ තිබෙනවා.

ගෝඨා සහ සජිත් ආවොත් වැඩි වාසිය කාටද?

මම දේශපාලන පක්ෂයක නැති නිසා ගැතිවෙලා පිළිතුරු දෙන්න ඕන නැහැ.

ඉදිරි මැතිවරණයේදී ඔබ අනිවාර්යෙන්ම දේශපාලනයට එනවා.?

ඔව්. ඔව්. දේශපාලනය කරනවා. ඒත් මගේ ස්ථාවරය හරියටම මම කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුවයි. එතෙක් මම නිශ්ශබ්දව ඉන්නවා.

ගෝඨාභය ඉල්ලුවොත් මොකද කරන්නේ?

මම මේ කියන්නේ දේශපාලන කෝණයකින් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මම දැකලා තිබෙන්නේ නිලධාරියෙක් හැටියට. ඔහු දේශපාලනඥයෙක් හැටියට දැකලා නැහැ. හැබැයි ඔහු නිලධාරියෙක් හැටියට කරපු කාර්යභාරය ගැන මගේ ප්‍රසාදයක් තිබෙනවා. ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස ගත් තීන්දු තීරණ නොවෙන්න යුද්ධය පිළිබඳ ක්‍රියාත්මක වීම මෙතරම් කාර්යක්ෂම නොවෙන්න තිබුණා. ඒ ගෞරවය ඉදිරි ජනාධිපතිවරණයකදී ඔහුගේ වාසියට හැරවෙයි.

ඔබට එරෙහිව පැවැති කූඪ ලේඛන නඩුව පසුගියදා සමතයට පත් වුණා. නීතිපති චෝදනා අස්කර ගත්තා?

මේකෙදි වුණේ අධිකරණය තීන්දුවකට එළැඹීමයි. නීතිපතිවරයා කිව්වා එයට විරුද්ධත්වයක් නැති බව. මෙම නඩුවේදී හැම දෙනාම කිව්වේ කූඨ ලේඛන සැකසීමක් කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි සිදුවී තිබුණේ. ඉදිරිපත් කළ ලියවිල්ලක් පදනම් කරගෙන එල්ල කළ චෝදනා 3ක් තමයි තිබුණේ. ජාත්‍යන්තර මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් පනත යටතේ ජාතීන් අතර අසමගිය සහ වාර්ගික ගැටුමක් ඇති කරන්න උත්සාහ කළා කියන චෝදනාව, මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වළක්වන්න කටයුතු කළා කියන චෝදනාව සහ සාවද්‍ය ප්‍රකාශකයක් කළා කියන චෝදනා තුන තමයි මට විරුද්ධව එල්ල වුණේ.

2015 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදා මා මේ සිද්ධියට අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත්තේ කූඨ ලේඛන සකස් කළා කියන චෝදනාව යටතේ. එහෙත් පසුව නඩු පවරනු ලැබුවේ ඉහත චෝදනා 3 යටතේයි.

කවුද මේක පිටුපස ඉන්නේ?

ආණ්ඩුවේ හස්තයක් කියලා කියමුකො. ඒක ප්‍රමාණවත්.

ඉහළම හස්තයක්ද?

ඔව්. ඉහළම හස්තයක්. මට එවලා තිබුණු පණිවුඩය ඒආකාරයෙන් පිළිනොගත් නිසා මට දුන් දඬුවමක් මේක.
මොකක්ද ඔබගෙන් කළ ඉල්ලීම?

මගෙන් ඉල්ලීමක් කළා අහවල් දේ කරන්න කියලා. ඒක මම කළේ නැහැ. දැන් නඩුව සමථයකට පත් වෙලා තිබෙන නිසා ඒ ගැන කතා කරලා නැවත විරසකයක් ගොඩනගාගන්න අවශ්‍ය නැහැ.

ඒ කියලා තිබුණේ ඔබට කුමක් කරන්න කියලද?

මම ඒක කෙටියෙන්ම කියන්නම්කෝ. මගේ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙලා ඒ අස්වීමේ ලිපිය එවන්න කියලා දැනුම්දීලා තිබුණා. එම පණිවුඩකරුට මම කිව්වා ඒක මට කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙලා මගේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා ඒ ගැනත් කියලා එතුමාගේ අතටම අස්වීමේ ලියුම් දෙන්නම් කියලා.

ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ කවුද?

අයියෝ හංගන්න දෙයක් නැහැ. අගමැතිතුමා තමයි පණිවුඩය එවලා තිබුණා.

මේ සිද්ධිය වුණු කාල වකවානුව?

ජනවාරි 8 වැනිදායින් පසුවයි මේ සිද්ධිය වුණේ. මට පණිවුඩය ගෙනාපු කෙනා පසුව කිව්වා කියන ලෙස වැඩ නොකළොත් බරපතළ ලෙස මේකට විඳවන්න වෙයි කියලා.

ඒ පණිවුඩකරු මට කියපු කතාව මම ඉදිරියේදී හෙළි කරනවා ග්‍රන්ථයක් මගින්. එම ග්‍රන්ථයේ වැඩ දැන් සෑහෙන දුරට ඉවරකරලයි තිබෙන්නේ. මුද්‍රණ කටයුතුත් නිමා කළා.

පොතේ නම මොකක්ද?

ජනාධිපතිවරණයේ ‘‘නොකී කතා’’ තමයි එම ග්‍රන්ථයේ නම. එය දැන් එළිදැක්වීමට නියමිතයි. කියන්න බැරි අභ්‍යන්තර කාරණා පවා එම පොතේ සඳහන් කරලා තිබෙනවා.

නඩුව සමථයට පැමිණීම ඔබට දැල්වෙන කොළ එළියක්ද?

මේක හංගන්න දෙයක් නැහැ. පාක්ෂිකයෝ වගේම පක්ෂයේ ප්‍රධාන පෙළේ අයත් මට කතා කරනවා අපි එකතු වෙලා වැඩ කරමු කියලා. නඩුව සමතයට පත් වීමෙන් පසු පසුගියදා මන්ත්‍රීවරු පිරිසක්ම මට කතා කළා. ඒ අය මට ආරාධනා කළා පක්ෂයට යළි එන්න කියලා.

ඉතින් ඔබ යනවද?

ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගන්න මම සති දෙක තුනක් කල් ඉල්ලුවා.

මහගෙදරට යන්න තාම කැමැත්ත තිබෙනවා එහෙනම්?

ඉතින් මම ඒ ගෙදර කෙනෙක්. මම තාමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියන්නේ ඒ නිසානේ. මගේ ඇඟේ තාමත් දුවන්නේ එක්සත් ජාතික පක්ෂය. හැබැයි ඒ කියලා එක්සත් ජාතික පක්ෂය මෑත කාලයේ ගත්ත හැම තීරණයම හරියි කියන ස්ථාවරයේ මම නැහැ.

පසුගියදා ඇතිවූ සිදුවීම් සමග එජාපයට සහයෝගය දක්වන මුජිබර් රහුමාන්, රාෂාඩ් බදියුදීන්, වගේම බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි වැනි දේශපාලනඥයින් කෙරේ ජනතාව තුළ දැඩි කුකුසක් මෙන්ම අප්‍රසාදයක් හටගෙන ඇති බව පේන්න තිබෙනවා. මෙවැනි දේශපාලනඥයින් සමග එජාපයට තවදුරටත් ගමනක් යා හැකිද?
ඔබ හරි. එක්සත් ජාතික පාක්ෂිකයන් මේ ගැන හරිම කලකිරීමෙන් කතා කරනවා. පක්ෂය හරිම සැලකිලිමත් වෙන්න ඕන මෙවැනි කාරණාවලදී. යම් යම් අන්තවාදී කොටස් සමග එකතු වීමෙන් පක්ෂයට අවාසියක් මිස කවදාවත් වාසියක් නම් වෙන්නේ නැහැ. හරිම පරිස්සම් වෙන්න ඕන.

තුෂාර උඩවත්ත