පිනි පලස

මම ආස කළේ හෙදියක් වෙන්න

70 දශකයෙන් සිනමා ගමන ආරම්භ කරලා, ලාංකීය සිනමාව වර්ණවත් කළ නළු නිළි යුවළක් තමා රෝයි – සුමනා කියන්නේ. අද වෙද්දී රෝයි ද සිල්වා මහතා නම් සිනමා ගමනින් පමණක් නොව සිය ජීවන ගමනින්ද සමුගෙන වසරකුත් ඉක්ම ගිහින්. අද පිනිපලස “මගේ පළමු පියවර” ගැන සිහිපත් කරන්නේ සිංහල සිනමාවට අනුපමේය සේවාවක් කළ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ.

මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මගේ ගම නුවර කටුගස්තොට. ඒත් අපි ගල්කිස්සෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ.
මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. මගේ අම්මා නම් කලාවට කැමැති කෙනෙක්, ඒත් අපේ තාත්තා එච්චරම කලාවට කැමැති කෙනෙක් නෙවෙයි.

කොහොම හරි මම සිනමාවට එන්නේ, ලස්සන මුහුණු තරගය නිසා. ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් වෙන කොට මම පාසල් යනවා. ඒ වෙද්දී මම හිටියෙ එස්.එස්.සී. පන්තියේ. මගේ ෆොටෝ එකක් නන්දා කියලා යාළුවෙක් ළඟ තිබිලා එයා මේ තරගයට මම නොදැනුවත්වම මගේ ෆොටෝ එක දාලා තියෙනවා. එදා ඒ තරගෙට දෙදාහක් විතර ඉඳලා තියෙනවා. මම ඒකෙන් තිහටත් තේරිලා තියෙනවා. පස්සේ පර්ෆෝම්ස් කරන්න තියෙනකොට එයාට ලියුමක් ඇවිල්ලා. එයාට යන්න බැහැනේ. ඒක නිසා එයා මට කිව්වා මම මෙහෙම දෙයක් කළා කියලා. මුලදී අම්මාත් දොස් කිව්වා. ඒත් අන්තිමට අම්මත් මාත් එක්ක ආවා. ඊට පස්සේ දහ දෙනාට තේරුණා. තුන්දෙනාටත් තේරුණා. පස්සේ විනිශ්චයට ආපු අය මාව චිත්‍රපටවලට තෝරා ගත්තා.
මට සිනමා ක්ෂේත්‍රය තෝරා ගන්න ඕනේ කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ආස කළේ හෙදියක් වෙන්න, නැතිනම් ගුවන් සේවිකාවක් වෙන්නයි. ගොඩක් දෙනෙක් කිව්වා ඔයාගේ උස නිසා ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් කියලා.

ඉතින් එදා ලස්සන මූණ තරගෙ විනිශ්චය මණ්ඩලේ හිටපු රූබි ද මෙල්ගෙන් චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් ආවා. මම නම් එක පාරින්ම කැමති වුණා ඒත් අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මම රඟපානවට.
රූබි ද මෙල් ගෙදරටම ඇවිල්ලා කිව්වා, මමයි මේක නිෂ්පාදනය කරන්නේ දුවව එවන්න කියලා. ඔය අතර කාලේ මට දෙයියන්ගේ අසනීප හැදුණා. මම ඉතින් ලෙඩේටයි රඟපාන්න යන්න බැරි වෙන එකටයි දෙකටම ඉකි ගසා අඬන්න ගත්තා. ඒක බලන් ඉන්න බැරිම තැන තාත්තා කිව්වා පළවැනි චිත්‍රපටියෙ විතරක් රඟපාන්න යන්න දෙන්නම් එතැනින් එහාට නම් අහන්න එන්න එපා කියලා.

ඊට පස්සේ තමා මම පිපෙන කුමුදු චිත්‍රපටියෙ රඟපාන්න ගියේ. ඒ චිත්‍රපටියේ රුක්මණී දේවිත් හිටියා. මං ඉතින් බොහොම ආසාවෙන් රඟපෑම්වලට අම්මා එක්ක ගියා. ඊට පස්සෙ මට දිගටම චිත්‍රපටි කිහිපයක් ලැබුණා. මම ඒ හැම එකකටම ගියේ රුබී ඇන්ටිගෙ චිත්‍රපටියට යනවා කියලා. ඒවා තමා රෑන ගිරව්, දහසක් සිතුවිලි, බිනරමලී, සමනල කුමරියෝ, ඔය අතරේ මට ලැබෙන හයවැනි චිත්‍රපටිය තමයි හතර පෙරළිය.
හතර පෙරළියත් අහම්බයක් වගේ, ඒක වෙන්නේ මෙහෙමයි. දවසක් මමයි අම්මයි පන්සලට යනකොට අපි ඉන්න තැන කාර් එකක් නැවැත්තුවා. එතකොට අපි දැනගෙන හිටියේ නැහැ ඒ එල්.එම්. පෙරේරා මහතා කියලා. අපේ අම්මට කිව්වා ආන්ටි මම කැමතියි දුවව චිත්‍රපටයකට ගන්න. මම තමයි එල්. එම්. පෙරේරා කියන්නේ, අපි ‘‘හතර පෙරළිය’’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකට දුවව එක්කගෙන එන්න කියලා. ඉතින් අම්මා මාව එක්ක ගියා. එතැනදී මාව තෝරාගත්තා එල්.එම්. පෙරේරාගේ බිරිඳ විදියට. ‘‘හතර පෙරළිය’’ ගීතමය චිත්‍රපටයක්. හතර පෙරළියෙන් පෙරළියක් වුණා කියන්නේ මගේ සහකාරයා රෝයි ද සිල්වා හමු වුණා.

මම හරි ආසයි ‘‘ගෙදර බුදුන් අම්මා’’, චිත්‍රපටයේ චරිතයට. ඒක ආදර්ශමත් කතාවක්. අම්මා කැමති නෑ පුතාව කොළඹට ඇරලා උගන්වන්න, ඒත් තාත්තා කැමතියි. කොළඹට ඇරලා උගන්නලා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ජනප්‍රිය වෙනවට. අන්තිමට එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අම්මා දුක් විඳිනවා. ඒ චරිතයට මම හරි ආසයි. ඒ වගේම සුදු පිරුවට, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි කළ චරිතය මට කරන්න ලැබුණා. ඒක මට ලැබුණු ලොකුම සම්මානයක් කියලා මං හිතනවා. ඒක රෝයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

ඇගයීම් නම් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඕනෑ තරම් තියෙනවා. සුදු පිරුවට චිත්‍රපටයට සම්මානයක් ඔන්න මෙන්න තියෙද්දී මට ලැබුණේ නැහැ. ඒ ගැන හරි කනගාටුයි. ඒකට මට ලැබුණේ කුසලතා සම්මානයක් විතරයි. පසුව නම් මට සම්මාන කීපයක්ම ලැබුණා. ඒ එක්කම මේ පසුගියදා පැවති සුමති සම්මාන උළෙලේදීත් මට ජීවිතේ එක් වරක් පිදෙන යාවජීව සම්මානය ලැබුණා.

මම කලාවට අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණා. 1980 රූපලාවණ්‍ය ගැන මම ඉගෙන ගත්තා. මම ඒ ගැන අධ්‍යාපනයක් ලැබුවේ ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව වගේ රටවලින්.

මම ඇත්තටම සතුටු වෙනවා. මම රෝයිගේ චිත්‍රපටවල තමයි වැඩියෙන්ම රඟපෑවේ. ප්‍රේක්ෂකයෝ නම් අහනවා ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලා. මට හොඳ ගැළපෙන චරිතයක් ලැබුණාම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනුෂා රණසිංහ