කතුවැකි

මනුස්සකම කොරෝනාවට යට නොකරමු

කොරෝනා හෙවත් කෝවිඩ් – 19 වෛරසය මුලින්ම හමු වූ චීනයේ රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් තිබුණත් ලොව බොහෝ රටවල රෝගය පැතිර යෑම වැඩිවීමක් දක්නට තිබේ. මේ වන විට ලෝකයේ රටවල් 90 කට ආසන්න ප්‍රමාණයකින් කොරෝනා ආසාදිතයන් හමුව ඇති අතර රෝගය පැතිර යෑම වැඩියෙන්ම වාර්තා වන්නේ ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවලිනි.

තවමත් අපට මේ රෝගය පැතිරීම ගැන දැඩි අවදානමක් නැතත්, රෝගය මුළුමනින්ම නොතකා සිටීමේ හැකියාවක් නැත. දැනට චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඉතාලිය ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජීවත්වන රටකි. රෝගය වැලඳුණු එකම ශ්‍රී ලාංකිකයා වාර්තා වූයේද ඉතාලියෙනි. ඉන් පසු මෙම රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොරියාවේද ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ජීවත් වෙති. කොරෝනා රෝගයේ පැතිරීම හේතුකොටගෙන ඉතාලියේ හා කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සිය රට බලා පැමිණෙන්නට තීරණය කර තිබේ.

කොරෝනා රෝගය පැතිර ඇති රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස පැමිණීම කිසියම් අවදානමක් වුවත්, ඒ ජනතාව රටට ඇතුළු කර නොගැනීමේ හැකියාවක් නැත. විශේෂයෙන්ම ඉතාලිය හා කොරියාව යන රටවල ශ්‍රී ලාංකිකයන්, විශාල ලෙස රටට විදේශ විනිමය උපයා දෙන පිරිසකි. එසේ නොවුණත් ඔවුන් අපේම සහෝදර ජනතාවය. මේ නිසා මෙම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ආරක්ෂක පියවර අනුගමනය කරන්නට සෞඛ්‍ය අංශ දැනටමත් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙලෙස ශ්‍රී ලංකාවට එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන පහක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත. මෙය ඉතා අගය කළ යුතු සේම අප සැමගේ සහාය ලැබිය යුතු ජාතික වගකීමකි.

එසේ වුවත් හැඳල පිහිටි ලාදුරු රෝහල, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන්ගේ විරෝධය පළවීම ඉතාමත් කනගාටුදායක සිද්ධියකි. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක් බව අපගේ අදහසය. අප වඩාත්ම කනගාටුවට පත්වන්නේ ජනතාවට නිවැරදි මාර්ගය පෙන්නා දීමට කටයුතු කළ යුතු පූජ්‍ය පක්ෂය, ප්‍රදේශවාසීන් උසිගන්වා මෙම විරෝධය දක්වන බව පෙනී යන නිසාය.

සෞඛ්‍ය අංශ හැඳල ලාදුරු රෝහල තෝරාගෙන ඇත්තේ කොරෝනා රෝගය වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොව, ඉතාලිය හා කොරියාව වැනි රටවලින් එන නිරෝගී පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහාය. අනෙක් අතට කොරෝනා රෝගය වැලඳුණු චීන ජාතික කාන්තාවක සුවපත් කර යළි චීනය වෙත පිටත් කර හරින්නට අපේ සෞඛ්‍ය සේවය කටයුතු කර තිබේ. මෙම රෝගියා නිසා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කිසිවකුට හෝ සාමාන්‍ය වැසියකුට රෝගය බෝවීමක් සිදු වූයේද නැත. එසේ නම් නිරෝගී පුද්ගලයන් නිරෝධායනය කිරීමට හැඳල ලාදුරු රෝහල තෝරා ගැනීම ගැන බිය වන්නේ කුමකටද?

මේ විරෝධයට එක් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ හා කතෝලික පියතුමන්ලාගේ තර්කය වන්නේ හැඳල ලාදුරු රෝහල පිහිටා ඇත්තේ ජනාකීර්ණ ප්‍රදේශයක බවය. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ජන ශූන්‍ය ප්‍රදේශයක ස්ථාපිත කරන ලෙසය. ඔවුන් තුළ ඇති මේ හුඹස් බිය, ඔවුන්ගේ නොදන්නාකම නිසා ඇති වූවක් බව පෙනී යන නිසා අපට කීමට ඇත්තේ නොදන්නා දේවල් කතා කිරීමෙන් තමන්ගේ බුද්ධි මට්ටම ලෝකයට ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසය.

වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු නොවූ අතීතයේ වසංගතයක් ඇති වූ විට කරන්නේ එම රෝගීන් සමාජයෙන් හුදෙකලා කොට මිය යන්නට හැරීමය. විශේෂයෙන්ම ලාදුරු රෝගීන්ට එදවස අත් වූ මේ ශෝචනීය ඉරණම ගැන, අපට වඩා හොඳට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය ජනශූන්‍ය ප්‍රදේශයකට ගෙන යන ලෙස ඉල්ලන පියතුමන් දැන සිටිය යුතුය. එසේ තිබියදී එතුමන් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද ඉල්ලා සිටින්නේ යෝජිත කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය ජනශූන්‍ය ප්‍රදේශයකට ගෙන යන ලෙසය. ඔවුන් මේ ඉල්ලා සිටින්නේ අතීතයේ ලාදුරු රෝගීන් සමාජයෙන් හුදෙකලා කොට මැරෙන්නට ඉඩ හැරි ආකාරයට ඉතාලියෙන් සහ කොරියාවෙන් එන රෝගීන්ද නොවන අපේම මිනිසුන් සමාජයෙන් වෙන්කර තබන ලෙසද? එය කොතරම් අමානුෂික යෝජනාවක්ද? තමන් සිටි රටවල වසංගත තත්ත්වය හේතුවෙන් කරමින් සිටි රැකියාව අතරමග හරදමා, යළි කවදා එහි යන්නට හැකි වේදෝයි නොදැන එන මේ මිනිසුන්, මේ ගැන දැනගත් විට කුමක් සිතනු ඇත්ද?

හැඳල ලාදුරු රෝහල – කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීම ක්‍රියාත්මකද, නැතහොත් එය ඇනහිට ඇත්ද යන්න අපි නොදනිමු. අප ආණ්ඩුවට යෝජනා කරන්නේ වහා එය ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම ඉතා ඉක්මනින් යෝජිත ඉතිරි නිරෝධායන මධ්‍යස්ථාන හතරද ආරම්භ කළ යුතුව තිබේ. එම මධ්‍යස්ථාන අවට ජනතාව හා පූජ්‍ය පූජක පක්ෂය හැඳල ජනතාව තරම් ඔලමොට්ටල නොවනු ඇතැයි අපි ඉතා සුබවාදීව අපේක්ෂා කරමු.

අපි කුමන දුෂ්කරතාවන් යටතේ වුවත්, අපගේ වටිනාකම් අත්හල යුතු නැත. කුමන අඩුපාඩුකම් තිබුණත් විපතකට පත්වූවකුට පිහිට වීම, අසරණයන්ට පිහිට වීම ශ්‍රී ලාංකික ජාතියට අනන්‍ය වූ උතුම් ගුණයකි. චීන ජාතික කාන්තාවක කොරෝනා රෝගියකු ලෙස හඳුනාගත් විට අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය පෙන්නුම් කළේ ඒ ගුණාංගයයි. හැඳල ලාදුරු රෝහල අවට භික්ෂූන් වහන්සේලා හා පියතුමන්ලා විසින් උසිගන්වන ලද ජනතාව උත්සාහ කරමින් සිටින්නේ, ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබුණු ඒ ගුණාංගයට හිමි වටිනාකම අහිමි කරන්නටය.

මේ වන විට දිවයින පුරා රෝහල් 6 ක කොරෝනා යැයි සැක කරන රෝගීහු 20 දෙනකුට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටිති. වෛද්‍ය කාර්ය මණ්ඩල මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළහොත් කුමක් සිදුවනු ඇත්ද? මේ රෝගීන් සිටින නිසා අනෙකුත් රෝගීන්, රෝහලට යෑමෙන් වැළකී සිටියහොත් කුමක් සිදුවනු ඇත්ද? හැඳල ජනතාවගේ තකතීරු තීරණය, පාර කපන්නේ එතැනටද?