විශේෂාංග

මන්නාරම් බොක්කේ කිඳුරු කොදෙව්ව මැදින් ඉන්දු-ලංකා දේශ සීමාවට ගියෙමි

‘කිඳුරන්’ හෝ ‘දිය කිඳුරන්’ යනු ඇත්තක් ද? නැතිනම් කල්පිතයක් ද? යන්න, බොහොම කලක පටන් ම ජන සංවාදයෙහි පවතින කාරණයකි. කිඳුරන් ගැන කී පමණින් ම ලංකාවාසීන්ට නම් සිහියට නැගෙනු ඇත්තේ ‘චන්ද කින්නර ජාතකය’ ඇසුරෙන් නිර්මාණය කෙරුණු ‘සඳ කිඳුරු දා කාව්‍යයයි’. එයින් ගෙන එන පණිවුඩය ද ඉතා සංවේදී ය.

ජන වහරේ කියැවෙන හැටියට කිඳුරන් වූ කලී, උඩුකය මිනිස් රුවින් ද, යටිකය මත්ස්‍ය රුවින් ද යුත් මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුන් වසන්නේ මහා සමුද්‍රයේ ය. සමුදුරු ගමන්වල යෙදෙන යාත්‍රිකයන්ට, රාත්‍රී කාලයට සඳ එළියෙන් ‘දිය කිඳුරියන්’ දිස්වන බව ජන වහරේ එන ප්‍රසිද්ධ කතාවකි. අපේ රටේ වයඹ මුහුදේ සැරිසරන යාත්‍රිකයන්ට ද ‘දිය කිඳුරියන්’ දිස්වන බව එහි ම කියැවේ.

එය යම් ඇත්තක් තිබෙන කතාවක් බව, කලකට ඉහත තලේ මන්නාරමේ වැලිපර දූපත් මාලාව ඔස්සේ සංචාරයක යෙදුණු අතරවාරයේ ලියුම්කරුට පසක් විය. ඒ අනුව, ‘දිය කිඳුරියන්’ දිස්වෙතැයි කියන්නේ මන්නාරමෙන් ඔබ්බට ඉන්දියාව තෙක් විහිදෙන මුහුදු කලාපයේ දී ය.

කෙසේ වෙතත් මේ කතාව අකුරු කරන්නේ, වයඹ මුහුදේ සිටිතැයි කියන ‘කිඳුරියන්’ ගැන කියන්නට ම නොවේ. ඊට වඩා අපූරු කාරණයක් ගැන හෙළිදරව්වක් කරන්නට ය. ඒ අතරේ දී ‘කිඳුරියන්’ ද මුණගැසෙනු ඇත්තේ ය.

ලංකාවේ තලේ මන්නාරමේ සිට, දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට විහිදෙන වැලි පර දූපත් මාලාව (Sandband), සුවිශේෂ සාමුද්‍රික භූමි කලාපයකි. එහි එක් කොටසක් ශ්‍රී ලංකාවට ද, අනෙක් කොටස ඉන්දියාවට ද අයත් වෙයි. එය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වී තිබෙනුයේ ‘ආදම්ගේ පාලම’ (Adams Bridge) යනුවෙනි. දකුණු ඉන්දියාවේ දී එය ‘රාම සේතු’ ය. එහි තේරුම, ‘රාම දෙවියන්ගේ පාලම’ යන්නයි. එය සුප්‍රකට රාම-රාවණා වෘත්තාන්තයට සම්බන්ධ ය.

වාල්මිකී පඬිවරයා විසින් රචිත ‘රාමායනය’, මනහර සංස්කෘත කාව්‍යයකි. එහි කතා පුවතට අනුව ‘සීතා’ නමැති කුමරිය, ‘රාම’ කුමාරයාගේ බිරිඳයි. ඕ රූමත් ය. එකල ලංකාපුරයට අධිපතිවූ ‘රාවණ’ රජු, සීතාවන් පැහැර ගෙන ලංකාපුරයට පලා යන්නේ ය. ඇය ගලවා ගැනීම පිණිස රාම කුමරුන්ගේ ‘වානර හමුදාව’ ඉදිරිපත් වෙයි. ඔවුහු ලංකාපුරයට පිවිසෙන්නේ, මුහුද මැදින් ගල් පාලමක් ද ඉදි කරමිනි.

කතා පුවතෙහි සඳහන් ‘ලංකාපුරය’ ලංකාව බවත්, එහි තලේ මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි වෙරළ දක්වා විහිදෙන ‘වැලිපර දූපත් මාලාව’, වානර හමුදාව හැදූ ගල් පාලම බවත්, ප්‍රකට ය.

අතීත වෘත්තාන්තයකට පසුබිම් වුව ද, තලේ මන්නාරමේ වැලිපර දූපත් මාලාව වර්තමානයට ද සම්බන්ධ ය. ඒ, ඇ‌මෙරිකාවේ නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය ඔස්සේ ය. ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ, තලේ මන්නාරම්-ධනුෂ්කොඩි වැලිපර දූපත් මාලාව ආශ්‍රිතව මිනිස් අතින් නිමවූ( Man Made) ඉතා පැරණි ගල් පාලමක නටබුන් දිස්වන බව ය. නාසා ආයතනය මේ බව කියා ඇත්තේ වැලිපර දූපත් මාලාවේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද ඉදිරිපත් කරමිනි.

වඩාත් මවිතය එළවන කාරණය එය නොවේ. ශ්‍රී ලංකාව දූපතක් නො වන බවත්, එයට යම් ගොඩබිම් මායිමක් හෙවත් ‘දේශ සීමාවක්’ ද ඇති බවත්, එහි සංචාරය කරන කෙනෙකුට නිතැතින් ම අවබෝධ වීමයි. ලංකාවේ තලේ මන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා දිවෙන වැලිපර දූපත් මාලාව, එම ගොඩබිම් මායිම පිහිටි භූමියයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි එය, වැලිපර දූපත් 27කින් සමන්විත ය.

තලේ මන්නාරම ඔස්සේ ඉන්දියාව දෙසට විහිද යන වැලිපර දූපත් මාලාව නිරීක්ෂණය කරන කෙනෙකුට, ඉන් එක් දූපතක් ඉන්දියාව සමග හවුලේ භුක්ති විඳින්නට සිදුව තිබෙන බව පෙනී යන්නේ ය.

තලේ මන්නාරමේ වැලිපර දුපත් අරභයා සුවිශේෂ කතිකාවක් ගොඩ නැගුණේ, 2004 සහ 2005 යන වර්ෂවල දී ය. ඉන්දීය රජය මගින් ඉදි කරන්නට ගිය ‘සේතු සමුද්‍රම්’ නාවික ඇළ ව්‍යාපෘතිය පිළිබඳව හටගත් ආන්දෝලනය ඔස්සේ කතිකාව ගොඩ නැගී තිබිණි. ලියුම්කරු 2004 සහ 2005 යන වසරවල ‘සේතු සමුද්‍රම් ව්‍යාපෘතියෙහි’ තොරතුරු සොයා එහි සංචාර කළ අතර, ඉන් ලැබුණු අත්දැකීම් අතිශයින්ම විචිත්‍රවත් ය. කුතුහලය දනවන සුලු ය. ලියුම්කරු එහි සංචාරය කළේ එවකට ඔහු සේවය කළ ‘ලක්බිම දිනපතා පුවත්පත’ වෙනුවෙනි.

ලංකාවේ ගොඩබිම සිට බලන කල, අපේ රටත් ඉන්දියාවත් අතර ඇති කිට්ටුම සමුද්‍ර තීරය එක් පැත්තකින් ‘මන්නාරම් බොක්ක’ (Gulf of Mannar) ය. අනෙක් පැත්තෙන් ‘පෝක් සමුද්‍ර සන්ධිය’ (palk straIt) ය. එය සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 10,500ක් තරම් පුළුල් සාගර ප්‍රදේශයකි. එයින් ද, දෙරට අතර අඩු ම දුර ප්‍රමාණයක් ඇත්තේ, ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළත්, ලංකාවේ තලේ මන්නාරමත් අතර ය. එහි දුර ප්‍රමාණය නාවික සැතපුම් 27කි. එනම් කිලෝමීටර් 50කි. ඉහතින් විස්තර කළ වැලිපර දූපත් මාලාව ද, දිවෙන්නේ ඒ රේඛාව ආශ්‍රිතව ය. එබැවින් ලංකාව සහ ඉන්දියාව වෙන් වන සමුද්‍ර මායිම පිහිටන්නේ ද වැලිපර දූපත් මාලාව මැදිනි. ඉන් ලංකාවට අයත් භූමි ප්‍රදේශය නාවික සැතපුම් 11.5කි. එනම් කිලෝමීටර් 21කි. වැලිපර දූපත් ආශ්‍රිත සමුද්‍ර තීරය, නො ගැඹුරු මුහුදකි.

අතීතයේ දී ‘මුතු’ කිමිදීමේ කර්මාන්තය පිණිස ද, අනාදිමත් කාලයක් මුළුල්ලේ ‘කරවල නිෂ්පාදනයට ද ප්‍රකටව තිබුණු මන්නාරම් බොක්ක, සොබාදහමේ කදිම නිමැවුමකි. තලේ මන්නාරමෙන් මුහුදට නෙරා ගිය තුඩුවක ආකාරයෙන් නිර්මාණය වුණු එය, මුහුදේ ඈතට පැතිර යන විට, වැලිපර දූපත් පන්තියක් බවට පත් වේ. ‘ආදම්ගේ පාලම’ යයි නම් ලබන එය, ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ දක්වා පැතිර යයි. එය හරියට ඉන්දියාවත් ලංකාවත් අතර වැටුණු අර්ධ කවාකාර ගොඩබිම් රේඛාවක් වැන්න. සොබාදහමේ රහස් බොහොමයක් එහි සැඟව ඇති බවක්, වැලිපර දූපත් අතර ගැවසෙන ඕනෑම කෙනෙකුට හැඟෙනු ඇත්තේ ය.

‘මන්නාරම් බොක්ක’ නමින් හැඳින්වෙන්නේ, වැලිපර දූපත් රේඛාවෙන් පිටතට, එනම් ලංකාවේ කල්පිටිය දෙසට විහිදෙන මුහුදු තීරයයි. තලේ මන්නාරමේ ධීවරයන් පවසන අන්දමට, වැලිපර දූපත් රේඛාවේ ඇතුළු පැත්ත, එනම් පෝක් බොක්ක පැත්ත, ‘ගැහැනු මුහුද’ යි. අනෙක් පැත්ත, එනම් කල්පිටිය පැත්තට විහිදෙන සමුද්‍ර තීරය ‘පිරිමි මුහුද’ යි. ගැහැනු මුහුද, සුකොමළ, ලාලිත්‍යවත් මෘදු රළ පෙළින් ද, පිරිමි මුහුද, රළු ගති ඇති පිරිමින් සේ ම සැඩ රළ පෙළින් ද සමන්විත වන බව ඔවුහු කියති. අතීතයේ දී මේ මුහුදු තීරයන් වඩාත් ප්‍රකටව පැවතුණේ ‘මුතු කිමිදීමේ’ කටයුත්ත සඳහා ය.

තිස් අවුරුදු කොටි යුද්ධය එන්නට පෙර, ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා දිවෙන දුම්රිය මාර්ගය වැටී තිබුණේ ද තලේ මන්නාරමෙනි. දැන් තලේ මන්නාරම්-රාමේෂ්වරම් දුම්රිය ගමන් ක්‍රියාත්මක නො වේ. එහෙත් පැරණි දුම්රිය පාලමේ නටබුන් තලේ මන්නාරමේ දී අදත් දැකිය හැකි ය.

තලේ මන්නාරමේ වැලිපර දූපත් ආශ්‍රිතව සුවිශේෂ කාරණයක් ද තිබේ. එනම්, එහි මුහුද ආශ්‍රිතව ‘දිය කිඳුරන්‘ දැකිය හැකියයි අසන්නට ලැබීමයි. එය පැරණි ජන විශ්වාසයකි. ජන විශ්වාසයෙහි එන ‘දිය කිඳුරා’ අනිකෙකු නොව, හැබෑ ලෝකයෙහි ‘මුහුදු ඌරා’ (Dugong) යනුවෙන් ප්‍රකට මත්ස්‍යයා ය. මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නො ගැඹුරු මුහුදු ප්‍රදේශය, මුහුදු ඌරන්ගේ නිජබිමකි.

‘මුහුදු ඌරා’ සාගර ක්ෂීරපායි සත්ත්වයෙකි. උන් සිය පැටවුන්ට කිරි පොවන්නේ, මනුෂ්‍ය මවක් මෙන් පැටවුන් ළයට තුරුලුකර ගනිමිනි. මුහුදේ වැලිපරයක සිට කෙරෙන මේ කටයුත්ත, ඈතට දිස්වන්නේ මනුෂ්‍ය කාන්තාවක් දරුවෙකුට කිරි පොවන්නාක් මෙනි. සඳ එළියේ හෝ අලුයම් කාලයේ දිස්වන උන්ගේ දර්ශනය, යම් ගුප්ත බවක් ද උසුලන, මනස්කාන්ත රූපශ්‍රීයක් මැව්වාට සැක නැත. ඇතැම් සමුද්‍ර යාත්‍රිකයෝ එය ‘කිඳුරන්’ යයි ඇදහූහ. ජන මනසෙහි ඇඳුණු කිඳුරන් කෙසේ වෙතත්, මේ ඉසව්ව දුර්ලභ සමුද්‍ර ජීවීන් බහුලව නිවසන සාගර කලාපයක් බව කිව යුතු ය.

ධීවරයන්ගේ අවබෝධයේ හැටියට, තලේ මන්නාරම් තුඩුවේ සිට වැලිපර දූපත් හතකුත්, අට වැනි දූපතේ අර්ධයකුත් අයිති ශ්‍රී ලංකාවට ය. එතැන් සිට ධනුෂ්කොඩි වෙරළ තෙක් ලොකු කුඩා දූපත් 19ක් පමණ තිබේ. ඒ සියල්ල අයිති ඉන්දියාවට ය. ඒවා එක පෙළට පිහිටා ඇත්තේ යාන්තමට වක ගැසුණු රේඛාවක් පරිද්දෙනි. මේ වැලිපර දූපත් සමූහය, එක් අතකට ලංකාව ඉන්දියාවට යා කෙරෙන ගොඩබිම් තීරුවක් මෙනි.

වැලිපර දූපත් ආශ්‍රිත මුහුද නො ගැඹුරු ය. එබැවින් මන්නරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැව් හෝ විශාල යාත්‍රා ගමන් කළ නො හැකි ය. වැලිපර දූපත් ආශ්‍රිත සාගර කලාපය එකල මිනිස් වාසයෙන් තොර, පාළුවට ගිය ඉසව්වකි. දූපත් බොහොමයක් මිටි පඳුරු සහිත කැලෑවෙන් වැසී තිබේ. ඇතැම් ධීවරයන් ගිමන් හැරීම් පිණිස ඒවා පාවිච්චි කරති.
තලේ මන්නාරම් අන්තයෙන් යන විට හමුවන හත් වැනි දූපත හෙක්ටයාර් තුන-හතරක්වත් විශාල ය. එහි මැද සිටුවූ විශාල ලී කණුවකි. කණුවෙන් එහා පැත්ත ඉන්දියාවට අයත් බවත්, මෙහා පැත්ත ලංකාවට අයත් බවත්, ඇතැම් ධීවරයෝ විශ්වාස කරති. ඔවුන් පවසන අන්දමට එය දෙරට අතර ගොඩබිම් මායිම ය. එනම් ඉන්දු-ලංකා දේශ සීමාව ය.

ධීවරයන් එසේ කීව ද, එකල මන්නාරම් බොක්කේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළුන් කියන්නේ වැලිපර දූපත් මාලාවෙන්, දූපත් අට හමාරක අයිතිය පමණක් ලංකාවට ඇති බව ය. ඉන්දියාවත් ලංකාවත් වෙන් වන ගොඩබිම් මායිම, නම වැනි දූපත මැදින් වැටී ඇති බව ය.

නම වැනි දූපත ද හෙක්ටයාර් තුන-හතරක්වත් වපසරිය ඇති, කර්කෂ කැලෑවෙන් වැසුණු හුදෙකලා වැලි භූමියකි. එහි ගොඩ වදින කෙනෙකුට, ධනුෂ්කොඩි වෙරළේ ඇති යම් උස් කුලුනක් ද ඇතුළුව ඉන්දීය ගොඩබිම් රේඛාව හොඳින් දිස් වෙයි. නම වැනි දූපත මධ්‍යයෙහි යකඩින් නිම කොට සවි කළ යෝධ පුවරුවකි. එහි ‘ඉන්දියා’ යන්න හින්දි, දෙමළ සහ ඉංගිරිසි යන තෙ බසින් ම ලියා තිබේ. යෝධ පුවරුව ඉන්දීය රජය විසින් නඩත්තු කරන බව අපි ඇසුවෙමු. අපේ නාවික සෙබළුන් කී හැටියට, පුවරුවෙන් එහා පැත්තේ දූපත් අර්ධය අයිති ඉන්දියාවට ය. මෙහා පැත්තේ අර්ධය අයිති ලංකාවට ය. ඒ ඉසව්ව ඉන්දීය වෙරළාරක්ෂක හමුදා විසින් නිරන්තරයෙන් ම නිරීක්ෂණය කරනු ලබයි.

නාවික හමුදා සෙබළුන් කියන්නේ, වැලිපර දූපත්වල පිහිටීම වරින් වර වෙනස් වන බැවින්, ඒවා ස්ථිර දූපත් ලෙස සැලකිය නො හැකි බවයි. එහෙත් පොල් ගස් තරම් මහත කැලෑ ගස් එහි වැවී ඇති අයුරු ලියුම්කරුට දක්නට ලැබිණි.

කෙසේ හෝ වේවා, ඉන්දු-ලංකා මායිම වැලිපර දූපත් මාලාවේ කුමන දූපතක් ඔස්සේ දිවෙන්නේ දැයි යන්න, කුතුහලයක් ගෙන එන කාරණයකි. එබඳු සිතියමක් දැක ගැනීම සඳහා ලියුම්කරු එකල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පවා ගියේ ය. එහෙත් වැලිපර දූපත් මාලාව ඔස්සේ ඉන්දු-ලංකා මායිම වැටී ඇති සැටි දැක්වෙන සිතියමක් සොයා ගත හැකි වූයේ නැත.

පසු සටහන
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු ද වන ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර් යේෂණය ඔස්සේ මෙම වැලිපර දූපත් පන්තිය සම්බන්ධයෙන් යම් අදහසක් පෙරා ගැනීමට පුළුවන. ඔහු කියන හැටියට, අදින් වසර 80,000කට ඉහත දී ලංකාව සහ ඉන්දීය භූමිය, එක ම පොළෝ තලයකි. එකල රටවල් දෙකක් නොවී ය. එහෙත් අදින් වසර 7000කට ඉහත දී සාගර ජල මට්ටම් ඉහළ ගොස්, පෝක් සමුද්‍ර සන්ධිය දෙසින් මුහුද ඇති විය. එයින් ලංකාව, ඉන්දීය භූමියෙන් වෙන් විණි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
පින්තූර-ශ්‍රීලාල් ගෝමස්