විශේෂාංග

මධු බඳුන ඉහිරුණා… ඉතිං ඊට පස්සේ…. මොකද වුණේ

බෙළිහුල් ඔය ඉපදුණු කාන්ති මීට සිව් මසකට පෙර දිවියෙන් සමුගත් ප්‍රවීණ චිත්‍රශිල්පී බලංගොඩ සරත්මධුගේ ආදරණීය බිරිඳයි. දෙදරු මවක වූ කාන්තිට සරත්මධු හමුවූ දා සිට වසර දහඅටක් පුරාවට ඔහු හා ගෙවූ සුන්දර පවුල් දිවියේ කතාව මෙවර ලියගුණ වරුණේ ලියැවේ.

* ඔහු නැතුව කොයිතරම් කාලයක් ද ?
මාස හතරක්.

* ඒක ජීවිතේට දැනෙන්නේ ?

අදටත් වචන කරන්න තේරෙන්නෙ නෑ. කියන්න බැරි අඩුවක්, දරාගන්න බැරි පාළුවක් තනිකමක්

* ඔබට ඔහු හමුවෙන්නේ ?
ඒක දිගම දිග කතාවක්. හමුවීම් සියල්ල වුණේ අහම්බෙන්. මගෙ ගම බෙලිහුල්ඔයනේ. එතකොට මං පොඩිකාලෙ ඉඳලා ඉස්කෝලේ ගියේ ගලගම මහා විද්‍යාලයට.

* ඉතින් එහෙම වුණාම ?
මං සාමාන්‍ය පෙළට සෞන්දර්ය විෂයෙන් කළේ සංගීතය. ඒ කාලේ ඒ කිව්වේ 1974 දි අපේ ඉස්කෝලේ චිත්‍ර ගුරුවරයා වෙලා එන්නෙ බළංගොඩ සරත්මධු. එයා දැක්කම මට මොකද්දෝ හුරුපුරුදුකමක් දැනුණා. පස්සෙ කාලෙක එයත් ඒකම කිව්වා. හැබයි එයා අපේ පන්තියට එද්දී මං පන්තියෙන් නැගිටලා ගියා මිසක් පන්තියේ හිටියෙ නෑ.

* ඇයි ඒ ?
ඉතින් ඒ පීරියඩ් එකට මට තිබුණෙ සංගීතය. මං විතරමයි අපේ පන්තියෙන් සංගීතය කළේ. ඒත් ඉතින් දැක්ක දා ඉඳලා අපි ඇස්වලින් කතා කළා. මං හරිම ලැජ්ජයි ඒ කාලෙ. අනික බයයි. මොන දෙයක් කළත් තාත්තට ආරංචි වෙයි කියලා.

* ඉස්කෝලෙදි කතාකරන්න අවස්ථාවක් ආවෙම නැද්ද ?
නෑනෙ. ඉස්කෝලෙ පුස්තකාලෙට එහෙම ගියාම හම්බවෙනවා. එතකොටත් ඇස්වලින් අපේ පණිවිඩ හුවමාරුවෙනවා. මමත් ඉතින් එයා දෙන පණිවිඩවලට ඒ විදිහටම ඉඟිවලින් ප්‍රතිචාර දුන්නා. මං ගැන එයා සැලකිලිමත් කියලා දැනගෙන හිටපු ලොකු පිරිමි ළමයි පත්තර බලන විදිහට පත්තර හිල් කරගෙන අපි දිහා බලා ඉන්නවා කියල දැනගෙන හිටපු හින්දා අපි දෙන්නම අවස්ථාවක් ආවත් පුස්තකාලෙදි කතාකළේ නෑ.

සිතුවමක් නිර්මාණය කරමින්

සිතුවමක් නිර්මාණය කරමින්

* ඒ කාලෙත් සරත්මධු චිත්‍රකතා ඇන්දා ?
ඉතින් ඊට පස්සෙ චිත්‍ර කතාව පටන් ගන්නෙ ඒ කාලෙ වගේ. එයා අපේ ක්ලාස් එකේ ළමයින්ටත් එක එක ජාතියෙ ලස්සන චිත්‍ර ඇඳලා දුන්නා. දවසක් මගේ දිහා බලලා මොකද්ද ඕන කියලත් ඇහුවා. මං ඒත් කිව්වෙ නෑ. පස්සෙ මට බුදුපිළිමයක් ඇඳලා දුන්නා.

* ඉතින් ඊට පස්සෙ ?
එයා මං ගැන සැලකිලිමත් කියලා ටීචර්ලයි එතැනින් ප්‍රින්සිපලුයි දැනගන්නවා.ප්‍රින්සිපල් එයාට අවවාදත් කළාලු. ඒ වෙනකොට මං සාමාන්‍ය පෙළ විභාගෙටත් ලියලා රත්නපුරේ ෆර්ගසන් විද්‍යාලයට තේරිලත් හිටියේ. ඔය අතරෙ කොහොමහරි අපේ තාත්තටත් මේ කතාව ආරංචිවෙනවා.

* තාත්තා සැරයි කිව්වනේ ?
තාත්තා සැරයි. ඒ වගේම මට ආදරෙයි. මමත් මගෙ තාත්තට හරිම ආදරෙයි. ඒ නිසා එයා කියන ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව මං කරනවා. අනික මං පවුලෙ ලොකු දරුවා. මට නංගිලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා.

* ඔය සිද්ධිය දැනගත්ත තාත්තා මොකද කළේ ?
ඉගෙනගන්න තැන දෙන්න කිව්වා. අනික කීයටවත් එයාට කැමති වෙන්නෙත් නෑ කිව්වා. උසස්පෙළ කරන්න මාව ෆර්ගසන් විද්‍යාලයට දැම්මා. අපිට ආදරේ ප්‍රකාශ කරගන්න බැරිවම වෙන්වෙන්න වුණා. තාත්තට තිබ්බ ආදරේට හිතේ දුක තියාගෙන මමත් හිටියා.

* තාත්තා සරත් මධුව අඳුරනවද ?
එයා අපේ ගමට අල්ලපු ගමේ බළංගොඩ. ගම් දෙක අතරෙ තිබ්බෙ කිලෝමීටර් 10 ක වගේ වෙනසක්. සමහරවිට තාත්තා දන්නවා ඇති. හැබැයි ඉතින් මං ඉස්කෝලෙන් අස්වුණාට පස්සෙ එයාට ගොඩක් පාළු දැනුනලු. මටත් නම් එහෙම වුණා. මාව ගොඩක් හෙව්වලු. අහම්බෙන්වත් දකින්න ලැබෙයිද කියලා පාරවල් දිගේ කාරෙකෙන් ගියාලු.

* ඉතින් හම්බවුණේ නෑ ?
මං උසස්පෙළ කළේ ජීව විද්‍යා අංශෙන්නෙ. වෛද්‍ය විද්‍යාලෙට යන්න හිතේ තියාගෙන හිටියට ලකුණු මදිවුණා. ඊට පස්සෙ එක එක පාඨමාලා කළා. ඒත් තාත්තා මාව තනියම කොහේවත් යැව්වෙ නෑ. අපේ ඥාති අක්කෙක් එක්ක හැම ගමනක්ම යැව්වෙ.

* ඉතින් එහෙම වුණාම ?
වෙන්වෙලා අවුරුදු පහකට විතර පස්සෙ දවසක් බළංගොඩ ටවුමෙදි අපි අහම්බෙන් හම්බ වුණා. එයා ඇවිත් මං ඉස්සරහින් කාරෙක නවත්තලා මට ළඟට කතා කතා කළා. අක්කා මං එක්ක හිටියා. ඒ වගේම එදා මං ගිය ක්ලාස් එකේ අන්තිම දවස.

* ඔබ මොකද කළේ ඉතින්. ?
මට බයයි තාත්තට ආරංචිවෙයි කියලා. ඒ හින්දා එයා ළඟට යන්නෙ නැතුව හිටියා. එයා ඇහුවා ‘අපිට මොකද වුණේ’ කියලා. ඒත් අක්කා කිව්වා ගිහින් කතාකරන්න කියලා. මම කතා කළේ නෑ. එයාගෙන් බේරෙන්න කොන්වන්ට් එකට ගිහින් පැයක් විතර වෙලා ගිහින් ආවා.

* ඒ එනකොට ?
එතකොටත් එයා හිටියා. අතින් මොනවාහරි මට කිව්වා. ඒ එක්කම බස් එකක් ආවා. අපි නැගලා ගෙදර ගියා. ඒ ගියාට ගෙදර ආවට පස්සෙ මටත් හිතට හරි නෑ. ආයෙ පන්ති යන්න තියෙනවනම් කොහොමහරි ආයෙත් එයා හම්බවෙයි කියලා හිතලා තාත්තට කිව්වා ඒ පන්තියට නවතින්නෙ නැතුව තව යන්න පුළුවන් කියලා. ඒත් ඒකට තාත්තගෙන් ඉඩක් ලැබුණෙ නෑ.

* ඊටපස්සේ මොකද වුණේ ?
රැකියාවලට ඉල්ලුම් කර කර ඉන්නකොට මට භෞතචිකිත්සක රැකියාවක් ලැබුණා. අවුරුදු දෙකක පුහුණුවක් තිබ්බා පුංචි බොරැල්ලේ මෙඩිකල් කොලේජ් එක කිට්ටුවම තැනක. දවසක් දවල් කාලා එන්න යාළුවෙක් එක්ක හොස්ටල් එකට දුවගෙන එනකොට එකපාරටම එයා ඇවිත් කාරෙක අපේ ඉස්සරහින් නැවැත්තුවා.

* එදානම් කතා කරන්න ඇති, ගෙදර කවුරුවත් හිටියෙ නෑනේ ?
යාළුවටත් මම එයා ගැන කලින් කියලා තිබ්බේ. ඒත් මට කතා කරන්න හිතුණෙ නෑ. තාත්තා ඒ තරමට මගේ මොළේ හෝදලා තිබ්බේ. ඒ බයටම මං යාළුවත් ඇදගෙන හොස්ටල් එකට දිව්වා.

* ඒ හමුවීමත් එච්චරයි ?
පහුවදා හවස හතරට අපි දේශන ඉවරවෙලා හොස්ටල් එකට එද්දිත් එයා කාරෙක නවත්තගෙන එතන බලාගෙන හිටියා. එයා මාත් එක්ක කතාකරන්න හැදුවට මං කතා නොකරම මග ඇරලා ගියා. එදා නම් හොස්ටල් එකට ගියාම මට එයා ගැන පව් කියලා හිතුණා. මගේ යාළුවා කිව්වා ලියුමක් දාලා එන්න කියලා හම්බවෙලා කතාකරන්න කියලා.

* ඊට පස්සෙ ?
යාළුවාම පත්තරේකින් එයාගෙ ලිපිනය හොයාගෙන ලියුමක් දැම්මා. ඒ ලියුමට උත්තර ඇවිත් ඊටත් පස්සෙ දවසක තමයි අපි දෙන්නා ගෝල්ෆේස් එකේදී හම්බවෙන්නෙ. ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු දහයකට පස්සෙ තමයි අපි හම්බවෙලා කතා කළේ.

* එදා මොකද ඔහු කිව්වෙ ?
අවුරුදු දහයක් තිස්සෙ හිතේ හිරකරගෙන හිටපු ආදර කතාව කිව්වා. මධූ කිව්වෙම අපි ගිය ආත්මෙ හම්බවෙච්ච දෙන්නෙක් කියලමයි. එතකොට එයා ගුරු රස්සාවෙනුත් අයින් වෙලා, චිත්‍රකතා අඳින්න වෙලාව නැති හින්දා.මං ඉස්කෝලෙන් ගියාම එයත් ඒ ඉස්කෝලෙන් අස්වෙලා ඉහළ ගලගම ඉස්කෝලෙට මාරුවෙලා තියෙනවා. ඒකෙ වැඩකරන කාලේ තමයි අස්වෙන්නෙ.

* ඔයාට අවුරුදු දහයකින් හම්බවෙනකොට එයා මොකද කළේ ?
මරදානේ ගුණරත්න සහ සමාගමෙන් කරපු දසුන පත්තරේ ප්‍රධාන කර්තෘ. ඒකටත් ඒ කාලේ ජනප්‍රිය චිත්‍ර කතා දෙකක් ඇන්දා, ඉස්සරට වඩා සහ සෙන්රෝ කියලා. අපි ඒ වතාවෙ හම්බවෙනකොට එයා පූර්ණ කාලීනවම චිත්‍රකතා ශිල්පියෙක් විදිහට වැඩ කළා.

* ඉතින් ඔය සම්බන්ධෙ තාත්තට කියාගත්තෙ කොහොමද ?
තාත්තට කිව්වෙ නෑ. කිව්වොත් මාව කොළඹින් ගෙදර එක්ක යනවා කියලා මධුයි මායි දෙන්නම දැනගෙන හිටියෙ. අපි ඉතින් නිතරම ගෝල්ෆේස් එකට ගිහින් කතා කර කර ඉන්නවා. එයාම කිව්වා තාත්තට මේ ගැන ආරංචි වුණොත් මට වෙන කෙනෙක් බන්දලා දෙයි. ඒ හින්දා හොරෙන් බඳිමු කියලා.

විවාහ වූ අළුත

විවාහ වූ අළුත

* ඒ යෝජනාවට ඔයා මොකද කිව්වෙ ?
එයා කිව්වා වගේම අපේ තාත්තා මේ ගැන දැනගත්තොත් මාව වෙන කෙනෙක්ට බන්දලා දෙන එක අනිවාර්යයෙන් සිද්ධවෙනවා කියලා මමත් දැනගෙන හිටියා. අනික මාව බඳින්න බැරිවුණොත් එයා කවදාවත් බඳින්නෙ නෑ. බුද්ධංගල ගිහින් මහණවෙනවා කිව්වා. ඒ හින්දා මං මධුගෙ යෝජනාවට කැමැති වුණා.

* එතකොට තාත්තා ?
තාත්තා අමතක කරන්න බැරිවුණා. ඒත් මධූත් අවුරුදු ගාණක් තිස්සෙ මාවම බලාගෙන ඉන්න හින්දා මට ඒ වෙලාවෙ අකැමැතිවෙන්න හිත දුන්නෙ නෑ.
1985 ජනවාරි 11 වැනිදා අපි විවාහ වෙලා නුගේගොඩ පාගොඩ පාරේ ගෙදරක් කුලියට අරන් පදිංචිවෙනවා.

* එතකොට තාත්තා ඔබේ විවාහය දැනගත්තෙ ?
ඊට පහුවදා මාව බලන්න හොස්ටල් එකට ඇවිත් තිබුණා. මගෙ යාළුවා විස්තරේ කිව්වම විශ්වාස කරන්න බැරුව හිටියලු. ඊටපස්සෙ ගොඩක් දුක්වෙලා තියෙනවා. මධූව බැන්දා කියලා තාත්තා අවුරුදු ගාණක් මාත් එක්ක තරහවෙලා හිටියා.

* එයා යාළු වුණේ ?
පොඩි නංගි මට ගොඩක් ආදරේ හින්දා මං ගෙදර නොගියට හොරෙන් ගිහින් පොඩි නංගිව හම්බවෙවී කතා කර කර හිටියා. පුතා හම්බවෙලා අවුරුදු 5 ක් වගේ ගියාට පස්සෙ තමයි තාත්තා එක්ක ආයෙ යාළුවෙන්නෙ පොඩි නංගි හින්දා. තාත්තා ආයෙ යාළුවෙන්න කලින් මධූ හරි බයේ හිටියෙ, තාත්තා අපි ඉන්න තැනක් හොයාගෙන ඇවිත් මාව අරන් යයි කියලා.

* චිත්‍ර කතා ඇඳලා ඒ කාලේ පවුලක් නඩත්තු කරන්න පුළුවන් වුණාද ?
ඒ කාලේ වෙද්දී එයාට රුපියල් 25,000 ක වැටුපක් ලැබුණා. ඒක ඒ කාලේ ලොකු ගාණක්. අනික මට භෞත චිකිත්සක රැකියාවෙ පුහුණුව සම්පූර්ණ කරගන්න දුන්නෙත් නෑ. ඒ යද්දි එද්දි තාත්තා දකියි කියලා. කොහොමත් මං රස්සාවකට යනවට මධූ කැමැති වුණේම නෑ.

දරු දෙදෙනා, කාන්ති සහ සරත්මධු

දරු දෙදෙනා, කාන්ති සහ සරත්මධු

* ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි ?
අපිට පුතෙක් සහ දුවෙක් ලැබුණා. ඒ ඉමේශාන් සමාදර්ශි සහ තිසාරා අමාදර්ශි. ජීවිතේ බොහොම සුන්දරව ගෙවීගෙන යද්දි අපි බැඳලා අවුරුදු පහකින් වගේ දසුන පත්තරේ වැහුණා. ඒ වෙලාවෙ තිලක් ඈපාආරච්චි මහත්තයා එක්ක එකතුවෙලා එයා හිතවත පත්තරේ පටන් ගත්තා.

* ඔහුගේ ජනප්‍රියකමට මේ කාලේ හුඟක් ගෑනු ළමයි පිස්සු වැටිලා හිටියෙ ?
එහෙම වෙන්න ඇති. ඒ කාලෙ ගොඩක් ගෑනු ළමයි මධූට ලියුම් එව්වා. මටත් ඔහු ඒ ලියුම් පෙන්නුවා. මට කවදාවත් හිතිලා නෑ මධූ මට නැති වෙයි කියලා. මම වගේම එයත් නිතරම කියපු දෙයක් තමයි අපි දෙන්නා අතරෙ තිබ්බෙ ඈත සංසාරෙක ඉඳලා එන බැඳීමක් කියන එක.

* සරත්මධුගෙ ඉතුරු කිරීම කොහොමද ?
එයාට සල්ලි වියදම් කරලා පුරුද්දක් තිබ්බෙ. එයාගෙ විනෝදෙට අනවශ්‍ය බඩු භාණ්ඩ ගන්න ගොඩක් වියදම් කරලා තිබ්බා. ඒ කිව්වේ වීඩියෝ කැමරා, සංගීත භාණ්ඩ වගේ ඒවට. හැබැයි මත්පැන් සිගරට්වලට සල්ලි වියදම් කළේම නෑ. එයා මත්පැන් සිගරට් කවදාවත් කටේ තිබ්බෙ නැති කෙනෙක්.

* එතකොට බැන්දම මේ වියදම පාලනය කරගත්තේ ?
බැන්දට පස්සෙ එයා ලැබෙන හැම සතයක්ම මගෙ අතටයි ගෙනත් දුන්නෙ. මං ඉතින් බොහොම පරෙස්සමට වියදම් කළා. මටත් ඉතින් ඉතුරු කරලා, වියදම් කරල පුරුද්දක් තිබ්බෙ නෑ. බැන්දට පස්සෙ ක්‍රමානුකූලව මේවට හුරුවුණා.

* ඒ කාලෙ එකම ආදායම් මාර්ගය වුණේ චිත්‍ර කතාද ?
ඒ එක්ක මධූ කැසට් කවර, පොත් කවර ඇන්දා. ශ්‍රීමාලි කැසට් කවර තමයි ගොඩක් ඇන්දෙ. අපි 85 විතර නාවින්නෙ ඉඩමක් අරන් ගොඩනැගිල්ලක් හදලා බෝඩිම් ළමයිට දීලා තිබ්බා. ඒ ආදායමත් තිබ්බා.

* ඉතින් ඊට පස්සෙ ?
අවුරුදු තුනක් විතර යද්දි හිතවත පත්තරෙත් නැවතුණාම පුතාගේ නමින් පබ්ලිකේෂන් එකක් පටන් අරන් අපි සදාවාසනා පත්තරේ පටන් ගත්තා. මේ පත්තරේ පටන්ගත්තම ආදායම හොඳ වුණා. මේ කාලේ අපි නාවින්න ඉඩමෙ ගේත් හැදුවා.

* ඔහොම කාලෙ ගෙවෙද්දී ?
ටික කාලෙකින් දුවගෙ නමිනුත් පබ්ලිකේෂන් එකක් පටන් අරන් චූටි පත්තරේ පටන් ගත්තා. පත්තර දෙක කාලයක් හොඳටම සාර්ථක වුණා. ඊට පස්සෙ පොදුවේ හැම චිත්‍රකතා පත්තරයකම අලෙවිය අඩුවෙන්න ගත්තා. ඒත් එක්ක අපිට ප්‍රශ්න ආවා.

* ප්‍රශ්න කිව්වෙ ?
අලෙවිය අඩු වුණායින් ආදායම අඩුවුණා. අපි ප්‍රින්ටින් මැෂින් අරන් තිබුණෙ බැංකු ණය අරන්. ඒවා ගෙවීමේ ප්‍රශ්නයක් ආවා. සදාවාසනා, චූටි පත්තර දෙකත් නැවැත්තුවා. ඒ ඉන්නකොට තමයි කැමිලස් මහත්තයා මධූට සත්සිරි පත්තරේට කතා කළේ.

* ණය ප්‍රශ්නෙට මොකද කළේ ?
නාවින්නෙ ඉඩමෙන් කොටස් දෙකක් විකුණලා ණය ගෙවලා දැම්මා. මේ වෙනකොට චිත්‍රකතා ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබුණ නිසා කොච්චර හොඳට ගිය පත්තරයක් වුණත් ටික කාලෙකින් සත්සිරිත් නවතිනවා.

* එතනින් පස්සෙ කාලේ කොහොමද ?
ඒක අමාරු කාලයක්. බෝඩිම් කාමර සල්ලි තමයි අපේ ආදායම වුණේ. එච්චර කාලෙකට නොදැනුණ අගහිඟ ජීවිතේට දැනෙන්න ගත්තා. එයා ජීවිතේට හදිසියේ එන ප්‍රශ්න, ප්‍රශ්නයක් කරගත්තෙ නෑ. මම දැක්ක සරත්මධු කිසිදේකට සැලුණ කෙනෙක් නෙවේ. මම නම් අසනීපත් වුණා හිතලා. එයා තමයි මගේ හිතත් හැදුවෙ.

* ඊට පස්සෙ පත්තරේකට සම්බන්ධ වුණේ නැද්ද ?
එයා කවදාවත් ජොබ් එකක් හොයාගෙන ගිය කෙනෙක් නෙවේ. කවුරුහරි කතා කළොත් විතරයි ගියේ. ඒ විදිහට තමයි ඉමාෂි පබ්ලිකේෂන් එකේ සිරිසරු පත්තරේ කරන්න සම්බන්ධ වුණේ. ඒකත් හොඳට ගිහින් ටික ටික අලෙවියේ ප්‍රශ්න ඇතිවෙලා නැවතුණා.

* ඒ කියන්නෙ ලංකාවෙ චිත්‍රකතා පත්තරවලට ඉල්ලුම නැතිම වුණා?
පත්තර අලුතෙන් පටන් ගත්තෙත් නෑනෙ ඊට පස්සෙ. එයා කැසට් කවර කළා. ඔහොම ඉන්දැද්දි 2017 අගෝස්තු 01 වැනිදා එයා අසනීප වුණා, කකුලෙ තුවාලයක් ඇවිත්. ඒ තුවාලෙ නිසා එයාට සීනි අමාරුව තියෙනවා කියලා දැනගත්තේ. එදාම මධූව රෝහල්ගත කරන්න කිව්ව නිසා කළුබෝවිලට ඇතුළත් කළා.

* ඒ තරම් අමාරු වුණාද ?
ලොකු තුවාලයක්. අනික සීනි වැඩිවෙලා අතුරු ආබාධ ගොඩක් හැදිලා තිබ්බා. එයා රෝහලේ ඉන්න කැමැති වුණේම නෑ. අමාරුවෙන් දවස් 10 ක් හිටියා. මං කරදර වෙනවා කියලා බලෙන් ටිකට් කපාගෙන ගෙදර ආවා. ඒත් බයටම අපි ආයෙත් පහුවදා ජයවර්ධනපුර රෝහලේ නැවැත්තුවා. අපි එයාට හොඳ වෙන්න බෙල්ලන්විල බෝධිපූජා කරන අතරෙ රෑ එයා එහෙනුත් බලෙන් ටිකට් කපාගෙන තිබුණා.

* ඉතින් ඊට පස්සෙ ?
දවස් තුනක් ගෙදර හිටියා. බෙහෙත් මොකුත් නැති හින්දා කළුඅග්ගල වෙදමහත්තයෙක් ළඟට එක්ක යද්දී ලෙඩේ වැඩිවෙලා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළා. හොඳ වෙලාවට මධුගෙ මල්ලි සිනෙත් බැද්දගේත් එදා හිටියා. එතකොට මධූට අන්තිම අසාධ්‍යවෙලා හිටියෙ. මට පුළුවන් වුණේ එයා අරන්‍ යන දිහා වාට්ටුවේ ඈතට වෙලා බලා ඉන්න විතරයි.

* මොකද වුණේ ඒ වෙලේ ?
වෛද්‍යවරු කිව්වෙත් දෙයියො බුදුන් පිළිබඳ විශ්වාසෙ ඇතිකරගන්න කියලයි. එතන තිබ්බ බෝධිය දිහා බලාගෙන මං ප්‍රාර්ථනා කළා. දවස් පහක් එයාට අවිස්සාවේල්ල රෝහලේ ඉන්න වුණා. හැබැයි එයා කිව්වා කාන්ති ඔයා හින්දා ආයෙත් මං ජීවත් වෙනවා කියලා. එදා මං බයවෙලා බලාගෙන හිටපු බැල්ම එයාට ජීවත් වෙන්න ශක්තියක් ගෙනාවා කිව්වා.

* කොහොමද ඉතින් ඊට පස්සෙ කාලෙ ගෙවුණෙ ?
ඒ ආවදා ඉඳලා මධූ හිටියෙ රෝද පුටුවෙ එක තැන. තුවාලෙ හොඳ වුණේම නෑ. එයා හුඟක් ඉස්සර යන්තර මන්තර ගැන එයා විස්වාස කළේ නෑ. ඒත් පස්සෙදි අාරක්ෂා කෙරිලි යන්ත්‍ර දැමිලි, නූල් බැඳිලි එයා විශ්වාස කළා. මං පුළුවන් තරම් කැපවීමෙන් එයාව බලාගත්තා.

* ඒ කාලෙ ආර්ථික තත්ත්වෙ ?
යාළුවෝ සහ රසිකයො ගොඩක් උදව් කළා. ඒ නිසා අඩුපාඩුවක් දැනුණෙ නෑ. ඔය අතරෙ ලංකාදීපෙන් ආයෙත් සතුට පටන් අරන් මධූට කතා කළා. එයා සිහිනයක මල්පිපිලා කතාව ඇන්දා. එකතැන හිටපු ඔහුට ඒක සතුටක් වුණා.

* එදා අගෝස්තු 18 මොකද වෙන්නෙ ?
මං එයාව කවදාවත් තනිකළෙත් නෑ. මග ඇරෙන්න දුන්නෙත් නෑ. ඒත් එදා අපේ අම්මගෙ ඇහැ අමාරු වෙලා මධූමයි මට කිව්වෙ ඇස් ඉස්පිරිතාලෙට ගිහින් ඉක්මනට එන්න කියලා. ඒත් දොස්තර මහත්තයාගෙ පරක්කුවක් හින්දා එදා මට ගෙදර යන්න වුණෙත් පමා වෙලා.

* ඉතින් එගෙම වුණාම ?
මම එයත් එක්ක දවල් 11 ට විතර කතා කළා. එයා කිව්වා ‘ඔයා තරම් මට කවුරුත් නෑ. ඔයාට එන්න බැරිද කියලා ඇහුවා. මං පුළුවන් ඉක්මනට එනවා කියලා පොරොන්දු වුණා. ඒත් දොස්තර ඒ වෙනකොටත් ප්‍රමාදයි. හවස දෙකෙන් පස්සෙ පුතා බැඳපු දුව……….. කතා කරලා කිව්වා තාත්තට අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනාවා කියලා.

* ඔබ ගියා ?
මම ඉස්පිරිතාලෙට යනකොටත් එයා යන්න ගිහින්. ගෙදරදී තමයි හාට් ඇටෑක් එක හැදිලා එයා නැතිවෙලා තියෙන්නෙත්. දුව එක්ක ඒ වෙලාවෙ කතා කරලත් තියෙනවා. ඒ ගමන් රෝහලට අරන් ගියත් මධූ එතකොටත් යන්න ගිහින්. විශ්වාස කරන්න බෑ. හීනයක් වගේ. පරිස්සමට ගෙදර තියලා ගිය දෙයක් මං එනකොට හොරු අරන් ගිහින් වගේ.

* ඔබ ඒක දරාගත්තේ ?
දරාගන්න බැරිවුණා. මං තාමත් දුක්වෙනවා. මං ආස, කල්පනා කර කර ඒ මතක එක්ක ජීවත්වෙන්න. ඒත් දරුවන්ගෙන් ඒකට ඉඩක් නෑ. නැතිවෙද්දි එයාට වයස අවුරුදු 69යි මට 56 යි.

* කේන්දර විශ්වාස කළාද ?
එයා කේන්දර විශ්වාස කළේ නෑ. මං විශ්වාස කළා. මධූගෙ කේන්දරේ බලපු අය කිව්වෙ එයාට තදින්ම අපල තියෙනවා කියලයි. ඒ හින්දා අපි ආරක්ෂාවට බෝධි පූජාවල් වගේ ඒවා කළා.

* සරත්මධුගෙ විශේෂ හුරුපුරුදු තිබුණද ?
එයා සිංදු කියන්න හරි ආසයි. දක්ෂයි. ධර්මදාස වල්පොළගෙ සිංදු තමයි ඒ විදිහටම කිව්වෙ. ඒ වගේම කොස්, දෙල් වගේ ගමේ කෑමවලට කැමැතියි. ධර්මයට ලැදියි. බණ අහන්න කැමැතියි. භාවනා කළා. පොත් පත්තරත් කියෙව්වා.

* එයා ගැන අද මොකද හිතෙන්නේ ?
එයා නැති වුණාට අපි අතරෙම ඉන්නවා කියලා මට හිතෙනවා. වෙලාවකට හිතෙනවා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඇති කියලා. මොකද සංසාරෙන් සංසාරෙට අපි හමුවුණා නම් එයාට මාව එහෙම දාලා යන්න බෑ

* ඔහු කවදාවත්ම ඔයාගෙ රුව ඇන්දෙ නැද්ද ?
ඒක මට කියන්න බෑ. සමහරු මගෙන් අහලා තියෙනවා ඉතින් ඊටපස්සෙ කතාවෙ ඇන්දෙ මාවද කියලා. ඒත් එයා ඉතින් ඊටපස්සෙ දේදුනුට ඇන්දෙ කාන්ති ගුණතුංග කියන නිළිය කියලා මට කිව්වා..

* අඩු තරමේ ඔබලාගේ ලස්සන ආදරකතාව සිතුවමට නැගුණද ?
කතාවම නම් නෙවෙයි .. අපේ කතාවේ සමහර සිදුවීම් මධූගේ චිත්‍රකතාවල තිබුණා. ඉස්සරට වඩා කතාවේ සුනෙත් සර්ට ප්‍රින්සිපල් අවවාද කරන කොටසක් තිබුණා. ඒ මං හින්දා එයාට ප්‍රින්සිපල් අවවාද කරපු එක කිව්වා.

* දූ දරුවො මොකද කරන්නේ ?
එයා නැතිවෙනකොටත් පුතා රැකියාවක් කළා. පුතා …………….දුවත් එක්ක විවාහ වුණේ එයා අසනීපවෙන්න මාස දෙකකට කලින්. ඒ ගැන එයා හරි සතුටින් හිටියෙ. ඒ දුවත් අපිට අපේ දුවක්ම වුණා. තිසුරි දුව………….. අද මාව බලාගන්නෙ ඔය තුන්දෙනා තමයි.

* කාලයත් එක්ක ඔබත් වියපත්වෙලා ?
මට දැන් අවුරුදු 59 ක්. මධූ නැතිවෙනකොට එයාට අවුරුදු 69ක්. කාලේ හරි ඉක්මනට ගෙවෙනවා. දැන් අපේ දරුවො ලොකුයි. පුතා හිමේෂාන් කොළඹ විශ්ව විද්‍යලයෙන් උපාධිය අරන් පෞද්ගලික ආයතනයක සහකාර ඉංජිනේරුවරයකු විදිහට වැඩ කරනවා. එයා මධූ අසනීපවෙන්න කලින් හිරෝෂා වික්‍රමසිංහ දුව එක්ක විවාහ වුණා. තිසාරා දුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා. දැන් ඉතින් මාව බලා ගන්නේ මේ අය තමයි.

බියංකා නානායක්කාර