විශේෂාංග

මධුෂ්

පසුගිය සතියේ අඟහරුවාදා වෙනතුරු ලංකා ආණ්ඩුවට වුවමනා වී තිබූ නොම්මර එකේ වරෙන්තුකාරයා වූ මාකඳුරේ මධුෂ් ඉන්නා තැනක් ප්‍රසිද්ධ සමාජය දැන සිටියේ නැත. මධුෂ් ඩුබායි රටේ ඉන්නා බවත්, වරින්වර හොර රහසේ ලංකාවට එන බවත් පියාගේ දේහය ගෙන ගිය පෙරහරට ගුවනින් මල් ඉස්ස බවත් මෙරට ප්‍රචලිත පුවත්ය. එහෙත් ඔහු ඉන්නා තැනත්, වැඩකිඩත් ප්‍රහේලිකාවක්වම තිබුණි.

මේ ප්‍රහේලිකාව අඟහරුවාදා විසඳුණේ මේ රටේ ප්‍රසිද්ධ සමාජයේ හැටි බොහෝ දෙනාගේ දෑස්වලට යොමු කරමිනි. මෙයින් මතු ලංකාවේ ආරක්ෂක අංශවලට කුඩු ජාවාරම් කරන ලෝක අපරාධකාරයන් ඉන්නා තැන් සොයා ගන්නට පොලිස් සුනඛයන් යොදාගෙන උන් පස්සේ යන්නට ඕනෑ නැත. සූස්ති උරන නව පරපුරේ ගායකයන් හා දේශපාලකයන් පස්සෙන් බල්ලා පස්සේ යනවාය යන හැඟීමක් ඇතිව ගියා නම් හරිය.

රටේ රාජ්‍ය නායකයාත්, මරන්නට කුමන්ත්‍රණය කළේ යැයි කියන, සිදුකර තිබෙන අපරාධයන්වලට මහපොළොව නුහුලන සේ සාපයට ලක්වී සිටින මාකඳුරේ මධුෂ් ළඟින් අමල් පෙරේරා මතුවීම යනු ඔහු තනියෙන් සූස්තියක් හෝ දුමක් ඉරීමට වඩා බරපතළය. එතැනදීම රාජ්‍යතාන්ත්‍රික විදේශ බලපත්‍රයක් තිබෙන නිලධාරියකුත්, දේශපාලකයන් දෙදෙනකුගේ පොලිස් නිලධාරින් දෙදෙනකුත් මතුවීම ඊටත් වඩා බරපතළය.

ඩුබායි ආණ්ඩුව මේ කරුමක්කරයන්ගේ බෙල්ල කපා මරා දමයිද? නැතිනම් උන්ව ලංකාවේ දේශපාලකයන්ගේ, පොලිස් නිලධාරින්ගේ ඔඩොක්කුවට භාර දෙයිද යන්න ප්‍රශ්නයවත්, උත්තරයවත් නොවේ. කවදා හෝ මේ කරුමක්කාරයන්ට දෙන දඬුවම ගැන නොව මෙබඳු උන් නිසා ජනතාව විඳවන තරම තේරුම් ගැනීම වැදගත්ය. මක්නිසාද මේ පාපතරයන් නිසා ජනතාව වන්දියක් නැති වේදනාවක් විඳින නිසාය.

බේබදු පියෙක් ඉන්නා ගෙදර දරුවන් විඳින වේදනාව, ඔහු හැන්දෑවට ගෙදර එන විට බිරිඳත්, දරුවන් තුළත් ඇතිවන බිය ගැන දන්නා එකෙක් මත්පැන් බැරල්වලට අදාළ වන්නා වූ ලිබරල් නිදහස ගැන කතා කරන්නේ නැත. මන්නයක් අතට ගත්, (කඩු හැදීම තහනම් නිසා දැන් ගමේ චණ්ඩි හදන්නේ මන්නාය) කසිප්පු පෙරන චණ්ඩි නිසා ගමේ අහිංසකයන් විඳින වේදනාව දන්නා එකෙක් මානව හිමිකම් ප්‍රඥප්ති ගැන කතා කරන්නේ නැත. එසේ නම් ජාත්‍යන්තරව කුඩු ජාවාරමේ යෙදෙන පොලිසියද දේශපාලකයාද, නීතිඥයන් මගින් උසාවියද ග්‍රහණයට ගත හැකි මධුෂ් වැනි පාතාලයන් රොත්තක් ඉන්නා පාතාල කල්ලි ඉන්නා රටක ජනතාවට තිබෙන බිය කොතරම්දැයි තේරුම් ගත යුතුය. මේ රටේ ජනාධිපතිද, හිටපු ජනාධිපතිද, හිටපු ආරක්ෂක ලේකම්ද සන්නද්ධ සෙබළ ආරක්ෂාව නොලැබුණේ නම් පත්වන තත්ත්වය, මුහුණ දෙන බිය, නිරායුධ ජනතාවගේ නාමයෙන් තේරුම්ගත යුතුය.

මේ මොහොත වන විටත් මධුෂ්ට බියේ තම උපන් ප්‍රදේශය හැර ගිය ව්‍යාපාරිකයන් සිටින බව වාර්තා වෙයි. අපේ රටේ සාමාන්‍ය ව්‍යාපාරවලට විනිමය අනුපාතය ව්‍යවසායකත්වය ධනාත්මක සිතුවිලි සේම කප්පම් ඉල්ලන්නන් නිසා ඇතිව තිබෙන මරණ බිය පිළිබඳ සිතුවිලිද අයත් වෙන බව කිසිදු අයෙක් තේරුම් ගන්නේ නැත. මේ රටේ මේ වේදනාකාරී තත්ත්වය මැද ව්‍යාපාර කරනවාට වඩා තම දූ පුතුන් හෝ විදේශයකට යවන්නට සිතන තත්ත්වයට අද සුළු ව්‍යාපාරිකයන් පත්ව සිටින බව තේරුම්ගත යුතුය. ජනාධිපතිවරයා විදේශගත වී සිටින බුද්ධිමතුන්ට ලංකාව ගොඩ ගැනීමට එන්න යැයි ආරාධනා කළේ ය. දැන් ජනාධිපතිවරයාට සිදුව තිබෙන්නේ කුඩු ජාවාරම්කාර පාතාලයකු ගෙන්වා ගැනීමට විදේශයන්ගෙන් ඉල්ලා සිටීමය. මෙය රටක නායකයකු මුහුණ දෙන අපූර්ව උත්ප්‍රාසාත්මක අත්දැකීමකි.

මධුෂ් මුලින්ම මරා දැමූ දේශපාලනඥයා ඩැනී හිත්තැටියය. තම පැටවා හෝ සගයා පාරේ වාහනයකට හප්පා මරා දැමුවහොත් සෙසු බල්ලෝ එම ස්වරූපයේ වාහන දුටු විට බුරා පනිති. ඒ තම රැහේ එකා ගැන තියෙන බලුකම ඉක්මවූ මනුස්සකම නිසාය. එහෙත් මාතර දිස්ත්‍රික්කයේ ඉන්නා ඇල්වතුරත් නිවා බොන දේශපාලකයෙක්ද, ඔහුගේ පුතාද, සූස්ති අදින සෙසු මත්ද්‍රව්‍ය පදමට බොන දේශපාලනඥයකුද මධුෂ්ට රැකවරණය දෙන්නේ ඉහත කී සුනඛයන්ට නින්දා දෙමිනි. එබඳු තත්ත්වයක් යටතේ මේ අපරාධකාරයන් මෙරටට ගෙනැවිත් මේ අයගේ ඔඩොක්කුවේ වාඩිකරවිය යුතුද? නැතිනම් ඩුබායිවලදී එහි නීතියෙන් මේ උන්ගේ අවසානය සිදුවිය යුතුද?