කතුවැකි

මත් ජාවාරමුන් මනුෂ්‍යයෝ නොවෙති

අපගේ පුවත්පතේ ඊයේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ වූයේ ‘‘කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් ළඟ කෝටි 25 ක කුඩු’’ යන ශීර්ෂයෙන් යුත් පුවතකි. ‘‘මත්ලෝලීන්ට යහ මග කියන දේවගැති ළඟත් හෙරොයින්’’ යනුවෙන් තවත් පුවතකි. ඒ අතර රටේ විසි දෙනකුගෙන් එක් අයකු කුඩු බොන අය යැයි අධිකරණ ඇමැතිගේ ප්‍රකාශයක් උපුටා දක්වන පුවතක්ද පළව තිබිණ. මේ සියල්ල දකින විට අපට සිතෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති රීති සංශෝධනය විය යුතු බවය.

මත්ද්‍රව්‍ය කොතරම් දුරට අප රට ගිලගෙන ඇත්ද යන්න අවබෝධ වන සිදුවීම් රාශියක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වෙමින් තිබේ. මේ භයානක සිදුවීම් වාර්තා වන්නේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩිව කටයුතු කරන්නට තීරණය කර ඇති නිසාය. එහෙත් කිලෝග්‍රෑම් දහස් ගණනින් හෙරොයින් සොයා ගනු ලැබූවත් රටේ ඇති මත්කුඩු තොග අවසන් වන බවක් පෙනෙන්නට නැත. එසේ නැතහොත් තවදුරටත් රට තුළට මත්ද්‍රව්‍ය ගලා එමින් තිබෙන්නේ යැයි කිව හැකිය.

මත්ද්‍රව්‍ය ජාවාරම අපේ සමාජයේ මුල් බැස ඇති ආකාරය, පොලිසිය ඇතුළු මත්ද්‍රව්‍ය මැඬලීමට කටයුතු කරන ආයතන ඊට සම්බන්ධ වී ඇති ආකාරය අනුව පෙනී යන්නේ පවතින නීතිය වහාම වෙනස් විය යුතු බවය. ඊයේ අප පුවත්පත වාර්තා කළ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම සඳහා කටයුතු කළ බව කියන දේවගැතිවරයකු ද මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බවට තොරතුරු හෙළිව තිබේ. සමාජයේ තව මොන මොන ක්ෂේත්‍රවල අය මේ ජාවාරමේ කොටස්කරුවන් වී සිටින්නේ දැයි කිව නොහැකිය.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා යැයි පිහිටුවා තිබූ නීති විරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි විදේශිකයකු අබිරහස් අන්දමින් මියගිය පසු එම මධ්‍යස්ථානය වසා දමා ඇතැයි කියන පුවතක්ද ඊයේ පෙරේදා වාර්තා වී තිබිණ. මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අපේ සමාජයේ තවත් බොහෝ නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවන්ටද මග පාදා තිබෙන බවය. නිවසක වැලක වනා තිබෙන ඇඳුමක සිට අල්මාරියක ඇති ස්වර්ණාභරණ දක්වා සොරකම් කරන්නේ මත්ලෝලීන් බව බොහෝ දෙනා දන්නා කාරණයකි. කාන්තාවකට රන් ආභරණයක් පැලඳ මහ මග යන්නට නොහැක්කේද, ඉඩමක කෙසෙල් කැනක් තබා ගන්නට නොහැක්කේද මේ අය නිසාය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීති වහා සංශෝධනය විය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට පමණක් නොව සමාජයට බලපාන එම තත්ත්වයන්ද වෙනස් කරගත යුතු නිසාය.

ආණ්ඩුව මත්ද්‍රව්‍ය මැඬලීමේ සටන කරගෙන යන ආකාරය පැසසුම් කටයුතු වුවත් අඩුවකට ඇත්තේ මත්ද්‍රව්‍ය යනු හෙරොයින් පමණක් යැයි සිතා සිටින බවක් පෙනී යෑමය. මේ වන විට හෙරොයින්වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය රට තුළ සංසරණය වෙමින් තිබේ. එහෙත් හෙරොයින් තොග හමුවන තරම් පහසු අන්දමට ඒවා හමුවන්නේ නැත. අප මෙම නව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දක්වන අවධානය කොතරම්ද යන්න පෙනී යන්නේ හෙරොයින්වලට වඩා භයානක වුවත් හෙරොයින් සම්බන්ධයෙන් පවතින නීති ඒවා සම්බන්ධයෙන් බල නොපැවැත්වීමෙනි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීති රීති වහා සංශෝධනයක් අවශ්‍ය වන්නේ මේ නව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ලිහිල් නීතියද දැඩි කළ යුතු නිසාය.

මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා කළ යුත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යැයි ඇතැමකුට තර්ක කළ හැකිය. එහෙත් අප කියන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් මෙපිට තවත් බොහෝ දේ කළ හැකි බවය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම, ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම, ඒ මත ඉදිරි විමර්ශන කිරීම, සාමාන්‍ය අපරාධයක් හෝ සොරකමක් සම්බන්ධයෙන් සිදුවන ආකාරයේ වෙනසක් කළ හැකි නම් එවැනි විමර්ශන කඩිනම් කිරීමටත් වඩාත් පුළුල්ව කිරීමටත් අවකාශයක් සැලසෙනු ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වල රුපියල් කෝටි ගණන් මුදල් තිබූ බව මේ වන විට හෙළි වී තිබේ. එසේ වුවත් බැංකුවලට මෙම මුදල් පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන්නේ දැයි වාර්තා වී නැත. එවැනි සොයා බැලීමක් සඳහා කිසියම් නීතිමය බාධාවක් ඇත්නම් නීති සංශෝධනය විය යුත්තේ එවන් කාරණා ඉටුකර ගැනීම සඳහාය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කොයිතරම් පිරිස් අත්අඩංගුවට ගත්තද, ඒ සම්බන්ධ නඩු විභාග යන්නේද අපේ අධිකරණයේ අනෙකුත් නඩු යන පීල්ලේමය. නඩුවක තීන්දුව එන විට චූදිතයන් වයසට ගොස් මියගොස් සිටින්නටද පුළුවන. එහෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු, හදිසි නඩු කටයුතු සේ සලකා ඒවා කඩිනම් කිරීමට හැකියාවක් නැත්තේ මන්ද?

ශිෂ්ට සම්පන්න සමාජයකදී කුමන වරදක් කළ අයකු වුවද, වරදකරුවකු බවට නීතියෙන් තහවුරුවන තෙක් සැලකෙන්නේ සැකකරුවකු ලෙසිනි. එසේම මනුෂ්‍ය ඝාතනයක් කළ බවට තහවුරු වූ අයකුට පවා මරණ දණ්ඩනය දීම සැලකෙන්නේ ශිෂ්ට සම්පන්න නොවන දඬුවමක් ලෙසිනි. එසේ වුවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට මෙන්ම එම ජාවාරමට සුළු හෝ සම්බන්ධයක් ඇති කිසිවකු ගැන එවැනි මානුෂීය පදනමකින් සලකා බැලිය යුතු යැයි අප සිතන්නේ නැත. ඔවුන් වින කරන්නේ එක් අයකුට දෙදෙනකුට නොව සමස්ත සමාජයකටය. මේ අය සමාන කළ හැක්කේ හිට්ලර්, මුසොලිනි, ඉඩිඅමින් වැනි ජන ඝාතකයන්ටය. එවැනි අය මිනිසුන් ලෙස සැලකිය නොහැකිය. එහෙත් එවැනි අයට මරණ දඬුවම දරුණු වැඩි යැයි යමකු කියන්නේ නම්, කුමන හෝ ආකාරයකින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඕනෑම කෙනකුගේ දේපළ සියල්ල රාජ සන්තක කර ප්‍රජා අයිතිය අහෝසි කර දැමිය යුතු යැයි අපි ආණ්ඩුවට යෝජනා කරමු.