පිනි පලස

මට ඕන වුණේ නිළියක් වෙන්න නෙවේ – විජයයි මාලනිවයි බලන්න

ලාංකීය සිනමාවේ සුරූපිනියන් ගැන කතා කළොත් අමතක කරන්නම බැරි නිළියක්, ඒ වගේම ඇයගේ සුන්දරත්වය නිසාම ජාත්‍යන්තර සිනමාවට පවා ආරාධනා ලැබුණු ලාංකීය නිළියක්, ඇය.. ගීතා කුමාරසිංහ.

මගේ තාත්තා කලාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා, ශාන්ති ලේඛා, ඒ. එම්. යූ. කරීම්, මහතා එක්ක එහෙම තාත්තා ගුවන් විදුලි නාට්‍ය කරලා තියෙනවා, ඒ වගේම තමා සිංහල බෞද්ධයා පත්තරේ සම කර්තෘ විදියට වැඩ කළා. ඉතින් කලාවට තාත්තාගේ ලොකු සම්බන්ධයක් තිබ්බා. අපේ පවුලේ ලොකු දුව මම. මට බාල නංගිලා සහ මල්ලි කෙනෙක් හිටියේ. ඔක්කොම හිටියා හත් දෙනෙක්. ඉතින් ඉතාම සුන්දර කාලයක් තමා, ඒ වගේම මම පවුලේ වැඩිමලා නිසා මට ගොඩක් වගකීම් පැවරිලා තිබ්බා. කොච්චර වගකීම් ද කිව්වොත් හීන දකින්න වත් වෙලාවක් තිබ්බේ නැහැ, තාත්තා ඉස්සර මගේ අතේ ඇඟිලි දිහා බලලා කියල තියෙනවා දුවගේ ඇඟිලි දැක්කම මට හිතෙනවා දුවට පියානෝ වාදනය කරන්න පුළුවන් කියල. ඉතින් මට පස්සේ කාලෙක තාත්තා පියනෝවක් පවා ගෙනත් දුන්නා. ඉතින් ඒ වගේ පොඩි ආසාවක් තිබ්බා කලාව පිළිබඳව. හැබැයි මම ඉගෙන ගන්නේ නැතුව ඉඳියි කියල හිතිලා වෙන්න ඇති වැඩිය තාත්තා ඒ ගැන අපිට පෙන්නුවේ නැහැ.

ඒත් පොඩි කාලේ ඉඳන් මට තිබුණා නළු නිළියන් ගැන ලොකු පිස්සුවක්. ඉතින් දවසක් අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා ගේ චිත්‍රපටයක් රූ ගත කරනවා. ඉතින් මට ආසයි මේක බලන්න යන්න. එතකොට මට අවුරුදු පහක් හයක් වගේ. එදා අඬලා අඬලා තමා මම ගියේ ඒක බලන්න. ඒ චිත්‍රපටය තමා රන්සළු, එදා පුණ්‍යා හීන්දෙණිය, ටෝනි රණසිංහ සහ සුමිත්‍රා පිරිස් මහත්මිය වගේ අය. මම අද හිතනවා මගේ ජීවිතේ සිනමාව ගැන පුංචි හරි අදහසක් එන්න ඇත්තේ එදා ඉඳන් කියලා.

මම සිනමාවට ආවේ 70 දශකයේ අග භාගයේ. ඉතින් මම හිතනවා මම ආවේ හොඳම කාලේ කියල. ඒ කාලේ චිත්‍රපට නිෂ්පාදනය පුදුම විදියට කෙරුණා. ඒ කාලේ ඉහළින්ම හිටියේ අපේ අග්‍රගණ්‍ය සිනමා නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය. මට මතකයි තුෂාරා චිත්‍රපටය තිරගත වෙන කාලේ විජය මාලනී දෙන්නා එනවා කියල බෙන්තොටට මමත් ගියා ඒ දෙන්නව බලන්න. මම එතකොටත් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ දවසක තුෂාරා කණ්ඩායම අපේ ගමට ආවා අවුරුදු කුමරිය තෝරන්න. ඉතින් මේ අය දකින්න ඕනේ නිසා මමත් ගියා එතැනට.

මට එදා ඕනේ වුණේ අවුරුදු කුමාරි වෙන්න නෙවෙයි. මට ඕනේ වුණේ විජය- මාලනි වගේ අය දැක ගන්න. මම මේකට ඉදිරිපත් වෙනවට අපේ තාත්තා කැමැති වුණෙත් නැහැ. හැබැයි ඉතින් එදා මම වාසනාවන්ත වුණා අවුරුදු කුමාරි වෙන්නත්. ඊට පස්සේ මට චිත්‍රපට දෙක තුනක්ම ලැබුණා. එකක් ගාමිණී ෆොන්සේකා මහතා කරන්න හදන අලුත් චිත්‍රපටයක්. ඒකට ගාමිණි මහතා අලුත් කෙල්ලෙක් හොයලා තියෙනවා.

එතකොට එකේ නැටුම් අධ්‍යක්ෂවරයා කියල තියෙනවා ගාමිණී මහතාට අපි දැක්කා ලස්සන කෙල්ලෙක් බෙන්තොට දී කියලා. ඊට පස්සේ ගාමිණී මහතා අපේ තාත්තාගේ යාළුවෙක් හිටියා අමිත් අබේසේකර කියල. එයාට කියල තිබ්බා නයනා ෆිල්ම් එකේ රූගත කිරීම් වලට එනවා බෙන්තරට එතැනට එන්න කියලා.

මම එතකොට දැනගෙන හිටියේ නැහැ, ගාමිණී මහතා අලුත් චිත්‍රපටයටයි මේ එන්න කියන්නේ කියලා. ඒවා මුකුත් ඒ අය කිව්වේ නැහැ. අපිට නිකම් කිව්වේ රූ ගත කිරීම් බලන්න එන්න කියල. මම ඉතින් කොහොමත් රූගත කිරීම් කරන තැන් හොය හොය හිටිය නිසා මමත් ගියා අම්මා එක්ක. එතැනට ගියාට පස්සේ තමා ගාමිණී මහතා මගෙන් ඇහුවේ රඟපාන්න කැමති ද කියල. මට ඉතින් පුදුම සතුටක් දැනුණේ. හැබැයි මම දැක්කා අපේ අම්මා නම් මට රවනවා. මම ඒත් එක පාරටම හා කිව්වා. ඊට පස්සේ කිව්වා මේකප් ටෙස්ට් එකක් කරනවා ඒකට එන්න කියල. ඊට පස්සේ ඒකටත් ගියාට පස්සේ මාව තෝර ගත්තා,
ඔය අතරේ යසපාලිත නානායක්කාර මහතාගේ දෙවන චිත්‍රපටයටත් මට අවස්ථාව ලැබුණා. ඔය කාලේ මම ඉතින් ඉස්කෝලේ යනවනේ. මම ගිහින් යාළුවන්ට එහෙම කිව්වම යාළුවො අතරේ මම ඉතින් පොඩ්ඩක් කතා බහට ලක් වුණා. ඔය අතරේ මගේ යාළුවෙක් ඇවිත් කිව්වා සරසවිය පත්තරේ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ අලුත් ෆිල්ම් එකටත් නිළියක් හොයනවා කියල. අපි ඒකටත් දාමු කිව්වා. මම ඉතින් එපා හා වගේ ඉඳලා අපි නෙට් බෝල් ටීම් එකේ දී ගත්ත පින්තූරයක් එක්ක යැව්වා. මාව ඒකටත් තෝරා ගත්තා ඒක තමයි වාසනා චිත්‍රපටය. විජය එක්ක රඟපාන්න තිබ්බේ.ඒක තමයි මම මුලින්ම රූ ගත කළ චිත්‍රපටය. ඊට පස්සේ තමා ලස්සන කෙල්ල චිත්‍රපටය ක‍‍ළේ. හැබැයි මුලින්ම තිරගත වුණේ ලස්සන කෙල්ල චිත්‍රපටය.

පස්සේ කාලෙක මම ටෝනි අයියා එක්ක සාරා, මදුවන්ති වගේ චිත්‍රපට වල ටෝනි අයියගේ පෙම්වතිය විදියට රඟපෑව. ඊට පස්සේ මට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපිට හිටිය අසහාය කැමරා ශිල්පී සුමිත් අමරසිංහ මහතාගේ කැමරා කෝණ වලට මුහුණ දෙද්දීත් මට මතක් වුණේ එදා මම හිතුවද මේ අය එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා. ඇත්තටම ඒක වාසනාවක් විදියට මම දකින්නේ. ඒ කාලේ ඉතින් ඉහළ ප්‍රතිචාර ලැබුණා. මට මතකයි මංගල දර්ශන එහෙම තියලා ඉවර වුණාම අපිට ලැබෙනවා ලියුම් දහස් ගණන්. ඒක ඉතින් වෙනම ලෝකයක් වුණා, ඒ සුන්දර අත්දැකීම ලබන්න මමත් ඉතින් වාසනාවන්ත වුණා.මේ කලාවට එන්න ලැබීම ගැන. එදා කලාව කියන්නේ සිනමාව කියන්නේ හරි සුන්දරයි. කලාකරුවන්ව දේවත්වයෙන් සැලකුවේ.

ලාංකීය සිනමාවෙන් එහාට යන්නත් මට අවස්ථාව ලැබුණා. ජපන් චිත්‍රපටයක් වන අයිවදෝ අකාරෝ චිත්‍රපටය. කිනොශිටෝ කියන්නේ ජපානේ කුරෝසාවට පස්සේ ජපන් රටේ බිහි වුණ හොඳම අධ්‍යක්ෂවරයා. එයාගේ තමා මේ අයිවදෝ අකාරෝ චිත්‍රපටය ඒකෙ තේරුම ආදරය සහ වෙන්වීම.

1977 දී තමා මම මේ චිත්‍රපටයේ රඟපෑවේ මට ඒකට ලැබුණා ඒ වෙනුවෙන් අමරිකානු ඩොලර් 50,000ක්. ඒ වගේම ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයෙක් වන ශ්‍රී ධරන් හොඳටම ජනප්‍රිය වෙලා හිටිය කාලේ එයාට ඕනේ වුණා මෝහන පුන්නගේ කියලා චිත්‍රපටයක් කරන්න. එකේ වැදගත්කම තිබ්බේ හිනාවට වශී වී කියල, ඉතින් මම දන්නේ නැහැ මගේ හිනාවට වශී වෙනවද කියල. කොහොම හරි මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් මම ඉන්දියාවේ දී මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලේ මට තව ගොඩක් ඉන්දියානු චිත්‍රපටවලට ආරධනා ලැබුණා. ඒත් මම ඒ වෙද්දී විවාහ වෙන්න තීරණය කරලා තිබ්බේ ඒ නිසා මම ඒවා භාර ගත්තේ නැහැ.

සිනමාව වෙනුවෙන් ලැබුණු ඇගයීම් සම්මාන නම් බොහොමයි ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන, ඊට අමතරව සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන තව ස්වර්ණ සංඛ සිනමා උළෙලයන්හිදී සම්මාන මට ලැබුණා. කලාවට, සිනමාවට ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලටත් මම එදා වගේම අදත් ආදරෙයි. මම විශ්වාස කරන්නේ මේ සිනමාව තුළ රැඳෙන්න ලැබීමම වාසනාවක්.

අනූෂා රණසිංහ