විශේෂාංග

මගේ ප්‍රශ්නෙකින් විජේවීරට මළ පැන්නා

දයා ලංකාපුර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ‘ඇත්ත’ පත්තරෙන් 1966 දී සිය වෘත්තීය දිවිය ඇරඹූ ඔහු ලංකාවේ බොහෝ ජාතික පුවත්පත්වල සේවය කර ඇත්තේය. වසර පනස් හතරක පුවත්පත් කලාවේ අත්දැකීම් ඇති ඔහු සිය යටගියාව ගැන ආරාධිත ලිපිය ලියූවේ මෙසේය.

පාසල් කාලයේ සිටම පුවත්පත් කලාව පිළිබඳව මා තුළ පැවැතියේ දැඩි ආශාවකි. මා විසින් ලියන ලද ලිපි කිහිපයක් ‘ලංකාදීප’ හා ‘රිවිරැස’ පත්‍රවල පළවීම පුවත්පත් කලාව වෘත්තියක් වශයෙන් තෝරා ගැනීමට මා පෙලඹවීමට ප්‍රබල හේතුවක් විය.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ‘ඇත්ත’ පත්‍රයේ ගිංතොට ප්‍රාදේශීය වාර්තාකරු වශයෙන් කටයුතු කිරීමට මට අවස්ථාව ලැබිණි. ඒ අතර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලැබී තිබූ ප්‍රතිඵල අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළුවීමට මට අවස්ථාව ලැබිණි. ඒ 1965 ඔක්තෝබර් මාසයේදීය.

‘ඇත්තේ’ උප කතුවරයකු වශයෙන් සේවය කළ මගේ මිත්‍රයකු වූ සුබසීල කොඩිකාර මාර්ගයෙන් ‘ඇත්ත’ පුවත්පතේ කොළඹ නිදහස් වාර්තාකරුවකු වශයෙන් 1966 ජනවාරි මාසයේ සිට මා සේවය ආරම්භ කළේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුරේදීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ‘ඇත්ත’ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස උසස්වීමක් ලැබූ මට පාර්ලිමේන්තු රැස්වීම් සහ උසාවි වාර්තාකරුවන් නිවාඩු ගිය අවස්ථාවල උසාවිවල නඩු විභාග වාර්තා කිරීමටද සිදුවිය.

එකල පුවත්පත් කලාව හැදෑරීමට විශ්වවිද්‍යාල හෝ ජනමාධ්‍ය විද්‍යාල කිසිවක් තිබුණේ නැත. අපට සිදුවූයේ ප්‍රධාන කර්තෘගෙන් හා අනෙක් උප කතුවරුන්ගෙන් අසා දැන ඉගෙන ගැනීමටය. ‘ඇත්ත’ ප්‍රධාන කර්තෘ බී. ඒ. සිරිවර්ධන මහතා යටතේ වැඩ කිරීම නිසා පුවත්පත් කලාව පිළිබඳව පුළුල් දැනුමක් ලබාගත හැකිවීම මා ලැබූ භාග්‍යයකි.

හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල සමයේ යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩි තබා මරා දමනු ලැබූ කතරගම අවුරුදු කුමරිය වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ප්‍රථම වරට රටට හෙළි කරනු ලැබුවේ ‘ඇත්ත’ පුවත්පත මගිනි. මේ සිද්ධිය පිළිබඳව ඉංග්‍රීසි පුවත්පතකට නිර්නාමික අයකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් එවා තිබූ ලිපියක් එම පත්‍රයේ කතුවරයා ඔහුගේ සමීප මිතුරකු වූ ’ඇත්ත’ කර්තෘ සිරිවර්ධන මහතාට ගෙනැවිත් දී තිබිණි. සිරිවර්ධන මහතා මේ ගැන සොයන ලෙස ‘ඇත්ත’ අධිකරණ වාර්තාකරු ලෙස සේවය කළ ස්ටැන්ලි සමරසිංහට බාර දුන්නේය. ස්ටැන්ලි කතරගම ගොස් ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සියලු තොරතුරු හා පින්තූරද ගෙනැවිත් තිබිණි. ‘ඇත්ත’ ප්‍රධාන පුවත ලෙස මෙය පළකළ අතර ඒ නිසා රටේ මහත් ආන්දෝලනයක්ද හට ගත්තේය.

එවකට සිටි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙම ඝාතනය ගැන සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සිද්ධියේ පරීක්ෂණ වාර්තා නීතිපතිට බාරදීමෙන් පසු එවකට කතරගම හමුදා කඳවුර බාරව සිටි කපිතාන් විජේසූරිය හා සැරයන් අමරදාස යන අයට විරුද්ධව හම්බන්තොට මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබූ අතර පසුව එම නඩුව ගාල්ලේ මහාධිකරණය වෙත යොමු කරන ලදී.

ගාල්ල මහාධිකරණයේ විභාග වූ මෙම නඩුව වාර්තා කිරීම සඳහා ස්ටැන්ලි සමරසිංහත්, මාත් එහි ගියෙමු. මේ කාලයේ ගාල්ලට සෘජු දුරකථන සම්බන්ධතා ලබාදීම සඳහා අත්හදා බැලීම් පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි. ඒ අනුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ හිතවතකු මගින් ගාල්ල විදුලි සංදේශ කාර්යාලයේ සිට කොළඹට දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාගැනීමට අපට හැකිවිය. ස්ටැන්ලිත්, මාත් මාරුවෙන් මාරුවට නඩු විභාගය වාර්තා කළ අතර ඒ අතරතුර අපේ වාර්තා ගාල්ල කොටුවේ මහාධිකරණයේ සිට වක්වැල්ල පාරේ පිහිටි විදුලි සංදේශ කාර්යාලයට ගෙන ගොස් එහි සිට ‘ඇත්ත’ ට දුරකථන මගින් ලබා දුනිමු. අප දුරකථනයෙන් කියවන වාර්තාව කාර්යාලයේ අයකු විසින් ලියාගනු ලැබීය. මේ නිසා පසුදා ‘ඇත්ත’ පත්‍රයේ ප්‍රධාන පුවත ලෙස මනම්පේරී නඩු විභාගය පළවූයේ ප්‍රේමවතී මනම්පේරිගේ පින්තූරද සහිතවය. නඩු විභාගය අවසන් වනතුරුම දිනපතා වාර්තා යැව්වේ මේ ක්‍රමයටය. අනිකුත් පුවත්පත්වල මනම්පේරී ඝාතන නඩුව පළවූයේ දිනක් හෝ දෙකක් ප්‍රමාද වීය. මේ නිසා ‘ඇත්තේ’ අලෙවිය විශාල ලෙස ඉහළ ගියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර හමුවීම සහ ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ අවස්ථා වාර්තා කිරීමට ලැබීම මගේ මාධ්‍ය ජීවිතයේ විශේෂ සිදුවීම් ලෙස සැලකිය හැක.

රෝහණ විජේවීර මුලින්ම මුණ ගැසුණේ ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමට පෙර 1968 දී හෝ 1969 දීය. ඒ ඔහුගේ ඥාතියකු වූ මගේ විශ්වවිද්‍යාල මිතුරකු මගිනි. පාලිත නම් මගේ මිතුරාට තමා හමුවීමට පැමිණෙන ලෙස විජේවීර පණිඩුයක් එවා තිබිණි. පාලිත ඔහු සමග යාමට එන ලෙසට මටද කතා කළේය. අප දෙදෙනා බොරැල්ල කාසල් වීදියේ තිබූ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කාර්යාලයට ගියෙමු.

සෝවියට් දේශයේ සිට පැමිණ කොමියුනිස්ට් පක්ෂයට (චීන පිළ) එක්වී දේශපාලන කටයුතුවල යෙදුණු වි​ජේවීර පසුව එහි නායක ෂන්මුගදාසන් සමග මතභේද ඇති කරගෙන ඉන් ඉවත් වී මේ වන විට නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින් සිටින බව ඔහු සමග කළ කතාබහේදී අපට හැඟී ගියේය. පීටර් කෙනමන්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ආදී කොමියුනිස්ට් පක්ෂ නායකයන් දැඩි ලෙස විවේචනය කරමින් කතා කළ විජේවීර ඔහුගේ නව දේශපාලන ව්‍යාපාරයට එක්වන ලෙස අපෙන් ඉල්ලා සිටියේය. ඒ වන විට විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමට එක්වී සිටි අපට විජේවීරගේ වැඩ පිළිවෙළ ඇල්ලුවේ නැති බැවින් අප යළි ඔහු හමුවීමට ගියේ නැත.

ඉන්පසු රෝහණ විජේවීර මට හමුවූයේ ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ඒ බව නිවේදනය කිරීම සඳහා 1970 ජනවාරි හෝ පෙබරවාරි මාසයක බොරැල්ල මැගසින් පාරේ ප්‍රජා ශාලාවේ ඔවුන් විසින් පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය. ලොකු අතුල, ලයනල් බෝපගේ, කුමානායක ආදී පක්ෂයේ නායකයන් ගණනාවක් සහභාගි වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පෙරවරු 10.30 ට පමණ ආරම්භ වී පස්වරු 2 දක්වා පැවැත්විණ. එහිදී කතා කළේ විජේවීර පමණි. එය පුවත්පත් සාකච්ඡාවකට වඩා දේශපාලන පන්තියක ස්වරූපයක් ගත්තේය. දේශීය හා විදේශීය වාර්තාකරුවන් 20 ක් පමණ පැමිණ සිටි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරයේදී ‘ජනතා විමුක්ති පෙරමුණ’ මාක්ස්වාදී පක්ෂයක් දැයි මම ප්‍රශ්න කළෙමි. ‘‘ඔව්, අපි මාකස්වාදී පක්ෂයක්’’ යැයි විජේවීර පිළිතුරු දුන්නේය. එසේ නම් ඔබලාගේ පන්ති 5 ට අයත් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ මාක්ස්වාදයට ගැළපෙන්නේ නැහැ නේදැයි මම යළි ප්‍රශ්න කළෙමි. එහිදී දැඩි සේ කෝපයට පත් විජේවීර ‘‘ඕවා කොටා රෝඩ් සංශෝධනවාදීන්ගේ අවලාද’’ යනුවෙන් පවසා මා සේවය කළ ‘ඇත්ත’ පත්‍රය පවත්වාගෙන ගිය කොමියුනිස්ට් පක්ෂයට බැණ වදින්නට විය. ප්‍රවෘත්ති සාකච්ඡාව එතැනින් අවසන් විය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ​ මාධ්‍යවේදී මණික් ද සිල්වා මහතා පසුදා ‘ඩේලිනිව්ස්’ පත්‍රයේ මුල් පිටුවේ විජේවීර සහ මා අතර වූ වචන හුවමාරුව විශේෂ පුවතක් ලෙස පළකොට තිබිණි.

ඉන්පසු රෝහණ විජේවීර මා දුටුවේ අප්‍රේල් කැරැල්ල පිළිබඳ නඩුව විභාග කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේදීය. එම කොමිෂන් සභාව පවත්වාගෙන ගියේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ක්වීන්ස් ක්ලබ්’ ගොඩනැගිල්ලේය. ස්ටැන්ලි සමරසිංහත්, මාත් එම නඩු විභාගය ආරම්භයේ සිට අවසානයේ තීන්දුව දෙන තෙක් අවුරුදු 2 ක පමණ කාලයක් එම නඩුව වාර්තා කළෙමු.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988-89 කාලයේ ඇතිකළ භීෂණයෙන් පසු හමුදාව විසින් උලපනේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබූ රෝහණ විජේවීරගේ මරණය පිළිබඳවද වාර්තා කිරීමට මට සිදුවීම දෛවෝපගත සිද්ධියකි. මා ඒ වන විට සේවය කළේ ‘දිවයින’ පුවත්පතේය. එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැතිව සිටි රන්ජන් විජේරත්න මහතා කොළඹ 7, මල් පාරේ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ විජේවීර සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී ඔහුගේ සහායකුගේ වෙඩි පහරින් මියගිය බවයි. එහෙත් පසුව වාර්තා වූයේ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු බොරැල්ල කනත්තට ගෙනවිත් වෙඩි තබා ඝාතනය කළ බවය.

මා ‘දිවයින’ පුවත්පතට එක්වූයේ 1982 මාර්තු 1 දාය. එහිදී මට පැවැරුණේ මුදල් අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව, දේශපාලන තොරතුරු හා පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමයි.

එවකට මුදල් ඇමැතිව සිටි රොනී ද මෙල් මහතා මා දැන සිටියේ ‘ඇත්ත’ පත්‍රයේ සිටියදීය. එහෙත් ඔහු ‘දිවයින’ සම්බන්ධයෙන් ඒ දිනවල දැක්වූයේ යහපත් ආකල්පයක් නොවේ. ඒ ‘දිවයින’ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා සමග පැවැති විරසකයක් නිසාය. එහෙත් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මානවසිංහ මහතා මගේ මිතුරකු වූ බැවින්ද මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් ගණනාවක් මගේ මිත්‍රයන් වීම නිසාද මට එහි ප්‍රවෘත්ති ලබාගැනීමට බාධාවක් නොවීය.

මුදල් අමාත්‍යාංශයෙන් කෙරෙන ජනතාවට තදින්ම බලපාන කටයුත්තක් වන්නේ මුදල් ඇමැතිවරයා විසින් අවුරුදු පතා පාර්ලිමේන්තුවට රජයේ අයවැය ඉදිරිපත් කිරීමයි. වර්තමානයේ මෙන් නොව එකල රජයේ සේවකයන් බලා සිටින්නේ අයවැයෙන් වැටුප් වැඩිවේවිද කියාය. සාමාන්‍ය ජනයා අයවැයෙන් බඩු මිල වැඩිවේද, බදු අඩුවේද වැඩිවේද ආදී වශයෙන් විමසිල්ලෙන් පසුවෙනි. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ වර්ෂයේ නොවැම්බර් මස මුල් සතියේය.

අයවැය ඉදිරිපත් කිරීමට සති කිහිපයකට පෙර සිටම මුදල් අමාත්‍යාංශය ආවරණය කරන වාර්තාකරුවන් උනන්දු වන්නේ අයවැයෙන් අඩු වැඩි වන බඩු මිල, බදු, රජයේ සේවක වැටුප් වැඩිවීම් ආදිය පිළිබඳව කල් තබා ඉඟි කෙරෙන වාර්තා තම පුවත්පතේ පළ කිරීමටය. මේ සඳහා වාර්තාකරුවන් අතර ඇත්තේද තරගයකි. මා සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මගේ මිතුරන් කිහිප දෙනකුම මුදල් අමාත්‍යාංශයේ සිටි බැවින් වැදගත් ප්‍රවෘත්ති අයවැයට පෙර ලබාගැනීමට මට හැකිවිය.

එක් අවුරුද්දකදී අයවැය ඉදිරිපත් කිරීමට දිනකට පෙර මට අයවැයට ඇතුළත් කොට ඇති යෝජනා කිහිපයක් පිළිබඳ වැදගත් තොරතුරක් ලැබිණි. එනම් ඒ වසරේ අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නොකෙරෙන බවයි. ඒ හැර වී බුසලේ සහතික මිල රුපියල් 2.50 කින් ඉහළ දැමෙන බවත් වැට් බදු ඉහළ යන බවත් මට ලැබුණු තොරතුරට ඇතුළත් විය.

එහෙත් මේ ප්‍රවෘත්තිය පත්‍රයට ලිවීමේදී අයවැය ගැන හෝ මුදල් අමාත්‍යාංශය ගැන සඳහන් කළ නොහැකිය. ඒ අයවැය රහස් හෙළිකිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවිනි.

මා එම පුවත ලිව්වේ ලබන වසරේ රජයේ සේවක වැටුප් වැඩි නොකිරීමට රජය තීරණය කොට ඇති බව හා වී බුසලේ සහතික මිල රුපියල් 2.50 කින් ඉහළ දැමීමට රජය අදහස් කොට ඇති බවයි.

මෙය පසුදා (එනම් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දිනයේ) ‘දිවයින’ ප්‍රධාන පුවත ලෙස පළකිරීමට ප්‍රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මහතා තීරණය කළේය.

‘දිවයිනේ’ පළකෙරෙන ප්‍රවෘත්ති එහි සහෝදර පුවත්පත වන ‘ද අයිලන්ඩ්’ පත්‍රයටද ගන්නා අවස්ථා ඇත. එදින ‘ද අයිලන්ඩ්’ නියෝජ්‍ය කර්තෘ එරික් දේවනාරායන මහතා ‘දිවයින’ කර්තෘ මණ්ඩලයට පැමිණ පසුදා දිවයිනේ මුල් පුවත කුමක්දැයි විමසීය. අයවැය ගැන මා ලියූ කතාවක් මුල් පිටුවට ගන්නා බව ඔහු පැවැසූ විට එරික් එහි පිටපතක් ඉල්ලාගෙන ගියේය.

පසුදා ‘ද අයිලන්ඩ්’ පත්‍රය එය ප්‍රධාන පුවත ලෙස පළකොට තිබුණේ මුදල් ඇමැති රොනී ද මැල් මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මගින් රජයේ සේවක වැටුප් වැඩි නොකෙරෙන බවයි.

මේ පුවත පළවූයේ අයවැය ඉදිරිපත් කරන දිනයේමය. මුදල් අමාත්‍යාංශයේ මේ ගැන මහත් කලබැගෑනියක් ඇතිවී තිබිණි. සී.අයි.ඩී. නිලධාරීන් පැමිණ මුදල් අමාත්‍යාංශයේ අයවැය ශාඛාවේ නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන්ද ප්‍රශ්න කළ බව දැනගන්නට ලැබිණි. මට ප්‍රවෘත්තිය ලබාදුන් මිතුරා මට දුරකථන මගින් කියා සිටියේ තවත් ටික කාලයකට ඒ පැත්තේ නොපැමිණෙන ලෙසයි.

එදින සහෝදර මාධ්‍යවේදී සරත් අබේගුණවර්ධනත්, මාත් පාර්ලිමේන්තුවට ගියේ අයවැය වාර්තා කිරීමටය. අප පුවත්පත් ගැලරියේ අසුන්ගෙන සිටියදී පස්වරු 1.30 ට පමණ මුදල් ඇමැති රොනී ද මැල් මහතා අයවැය පෙට්ටිය රැගෙන සභා ගැබට පැමිණියේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් මධ්‍යයේය.

අයවැය කතාවේ ප්‍රථම කොටස වෙන්වන්නේ ආර්ථිකය පිළිබඳ ප්‍රගතිය ඇතුළත් විග්‍රහයකටය. එය පස්වරු 4 දක්වා පැවැත්වේ. ඉන්පසු තේ පානය සඳහා සභාව කල් තැබේ.

තේ පානයෙන් පසු යළි සභාව පස්වරු 4.30 ට රැස්වූ පසු මුදල් ඇමැතිවරයා සිය අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කරයි. සිය අයවැය යෝජනා එකින් එක සභාව හමුවේ තැබූ රොනී ද මැල් මහතා මහහඬින් ශබ්ද නගා ‘‘අද ‘ද අයිලන්ඩ්’ පත්තරේ තිබෙනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ නැහැ කියා. ඔන්න මම රජයේ සේවක වැටුප රුපියල් 100 කින්ම ඉහළ දැමුවා’’ යැයි පැවැසූ විට සභාවෙන් ප්‍රීතිඝෝෂා නැගුණි. මගේ ඇඟ සීතල වී ගියේය. ‘‘මේක වෙන්න බැහැ, මගේ මිත්‍රයා මට කවදාවත් වැරදි තොරතුරු දෙන්නේ නැහැ’’ යි මම මටම කියා ගතිමි. වී බුසලේ මිලද රුපියල් 5 කින්ම වැඩි කරන බවද මුදල් ඇමැතිවරයා කීය.

මුදල් ඇමැතිවරයා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කොට අවසන් වීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මානවසිංහ සහ ප්‍රවෘත්ති නිලධාරිනී ලක්ෂ්මි පීරිස් මහත්මිය අයවැය යෝජනා ඇතුළත් පොත් පුවත්පත් ගැලරියට පැමිණ අප වෙත බෙදා දුන්හ.

එකල අයවැය කතාව හා යෝජනා අද මෙන් පරිගණක මගින් මුද්‍රණය කරන්නේ නැත. ඒ 4 ප්‍රමාණයේ ටයිප් කරන ලද පිටු රෝනියෝ කොට පොත් වශයෙන් සකස් කර බෙදාහැරීමයි සිදුවුණේ. ඒ අනුව මට ලැබුණු පොත පරීක්ෂා කරන විට එම පොතට යොදා තිබූ ඇමුණුම් කටු ගලවා යළි ගසා ඇති බව පෙනෙන්නට තිබිණි.

එම පොත පෙරළාගෙන යන විට එහි 50 වැනි පිටුවේ වෙනසක් දැකිය හැකිවිය. රජයේ සේවකයන්ට මසකට රුපියල් 100 ක දීමනාවක් ලබාදෙන බව ඇතුළත් පිටුව පසුව එයට එකතු කරන ලද්දක් බව පැහැදිලි වූයේ අනික් පිටුවල හා එම පිටුවේ ටයිප් කරන ලද පේළි අතර පරතරයේ ඇති වෙනස නිසාය.

මුදල් ඇමැතිවරයා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කරන විට එම යෝජනා ක්‍රියාත්මක කිරීමට වැයවන මුදල හා එම මුදල පියවනු ලබන ආකාරය අයවැය යෝජනා අවසානයේ සාරාංශ කොට දක්වනු ලැබේ.

එහෙත් රුපියල් 100 දීමනාව ලබාදීමට වැයවන මුදල හෝ එම මුදල ලබාගන්නා ආකාරය අයවැය සාරාංශයේ දක්වා නොතිබිණි. ඒ සඳහා වැය වන රුපියල් කෝටි 150 ක මුදල් ඊළඟ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවක් මගින් ලබාගෙන තිබිණි.

මේ පුවත හේතුකොටගෙන රජයේ සේවකයන්ට රුපියල් 100 ක් වැටුපට එකතු වීම ගැන මට මහත් සතුටක් ඇතිවිය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ මුලින් ඔහු සමග සමීපව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ ප්‍රේමදාස උඩුගම්පොළ මහතා පසුව ආණ්ඩුව සමග විරසක විය. උඩුගම්පොළ මහතා විසින් ‘කළු බළල්ලු’ නම් ඝාතක කල්ලියක් ගැන තොරතුරු හෙළි කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු සැඟවී සිටියේය.

ප්‍රේමදාස උඩුගම්පොළ මහතා ඒ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේද ප්‍රධාන මාතෘකාවක් වී තිබිණි. ඒ අතරතුර මා ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනකුට ඔහු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි. ලංකාදීපයෙ චූලවංශ සිරිලාල් සහ ‘යුක්තිය’ කර්තෘ සුන්ද දේශප්‍රිය අනික් දෙදෙනාය. අප තිදෙනා දිනක් රහසිගතව ගොස් කොළඹ 7, ජාවත්තේ නිවෙසකදී ප්‍රේමදාස උඩුගම්පොළ මහතා හමුවී සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාව ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ මා විසින් පළකළ අතර එම සතියේම ‘ඉරිදා ලංකාදීප’ සහ ‘යුක්තිය’ පුවත්පත්වලද පළවිය. එම සාකච්ඡාව පත්‍රවල පළවන අවස්ථාව වන විට උඩුගම්පොළ මහතා බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් තිබිණි.ඔහුගේ සාකච්ඡාව පත්‍රයේ පළවූ දිනට පසුදා රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මා සොයා ‘දිවයින’ ට පැමිණියහ.

මෙහි සඳහන් කළේ වසර 54 ක් වූ මගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකිම් සමුදායෙන් ස්වල්පයක් පමණි.

දයා ලංකාපුර