විශේෂාංග

මගේ දුවට කසාදේ වැරදුණා

බේරුවල, බදනගොඩ පදිංචිව සිටි හපුහෙට්ටිගේ දෝන රෝෂණී කාංචනා (28) යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි අවසන් වසරේ ශිෂ්‍යාවක වූවාය. ඇයට වසරකට පසුව මෙලොව එළිය දුටු ඇගේ සොයුරු රොෂාන් කලණද (27) වෛද්‍ය සිසුවකු ලෙස කළුබෝවිල රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබමින් සිටියේය.

සිය දරු දෙන්නාම වෛද්‍යවරුන් බවට පත්වීම ගැන දයානන්ද හපුහෙට්ටිගේ හා ප්‍රේමා මාලනී යුවළ පසුවූයේ මහා සතුටකිනි. දරු දෙන්නා, ඔවුන් දෙදෙනා උස්මහත් කර මේ තැනට රැගෙන ආවේ බොහෝ මහන්සියෙනි. දයානන්ද පවුල ජීවත් කළේ පොලිසියේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කරමිනි.
මේ අතරේ කාංචනා කුඩා කල සිටම ගමේ සම වයසේ පසුවූ එරංග සමග ප්‍රේම සබඳතාවක් පටන් ගත්තාය. එරංග, රෝෂණී පෙම් අන්දරය බඳනගොඩ ගම් පියසේ නොදන්නා කෙනකු නොවීය. එම සබඳතාව පටන් ගත්තේ පාසල් යන කාලයේදීය. බේරුවල ඩි.එස්. සේනානායක මහා විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙනුම ලැබූ රෝෂණී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයට ඇතුළු වී සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වීය. ඇය අ.පො.ස, උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණයක්ද සමගින් වෛද්‍ය විද්‍යාලයට තේරීපත් වූවාය.

මේ අතරේ එරංග ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. කාංචනා යාපනය සරසවියේ ඉගෙනුම ලබන විට ඔහු යාපනය, පරන්තන් කඳවුරේ රාජකාරි කළේය. පසුකලෙක ඔහු ඇය සමග අඬදබර ඇතිකර ගත්තේ වෙනදා මෙන් තමා සමග කතාබස් නොකරන බව කියමිනි. එහෙත් වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඇයට ඒ සඳහා කාලයක් තිබෙන්නට නැතිවන්නට ඇත. මේ අතරේ දෙදෙනාම මීට දෙවසරකට ඉහතදී විවාහ වූහ.
රෝෂණීගේ දෙමාපියන් එම විවාහයට වැඩි කැමැත්තක් නොදැක්වීය. රෝෂණී, එරංග සමග විවාහ වුවද ඇය පිළිබඳ ඔහුගේ සිතේ තිබූ අප්‍රමාණ සැකය දුරුකර දැමීමට තරම් එම විවාහය ශක්තිමත් නොවීය. ඔවුන් දෙදෙනා නිරතුරුවම ගැටුම් ඇතිකර ගත්තේය. එරංගගේ කල්ක්‍රියාවන් වෛද්‍ය සිසුවියක වූ රෝෂණීගේ ඇවතුම් පැවතුම්වලට කිසිසේත්ම නොගැළපුණි. ඉගෙනීමේ සාර්ථකත්වය හරහා ඉදිරි ජීවිතයේ සුබ සිහින දකිමින් සිටි ඇයට විවාහයේ අනේකවිධ ප්‍රශ්න හමුවේ තම ඉදිරි ජීවිතය විඳවීමේ අඳුරු සෙවණැලි මතුවී පෙනෙන්නට විය. ඇය තම සැමියා වූ එරංග විවාහ කරගැනීමට ගත් තීරණය මෙතෙක් තම ජීවිතය තුළ ගත් වැරදිම තීරණය බැව් ඇය විශ්වාස කළාය. කෙතරම් ගැටලු පැමිණියද තම ආසාවන් හා බලාපොරොත්තු, සිහින බවට පත්කරගෙන ජීවත් වූ තම ආදරණීය දෙමාපියන්ගේ හැඟීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබූ ඇය වෛද්‍යවරියක වීමේ අරමුණින් නොමිදුණාය. එහෙත් කුඩා කල සිටම තම සිතැඟි ඉතා හොඳින් හඳුනන එරංග මෙලෙස තමාට ගෙන දෙන දුක් කරදර පිළිබඳවද ඇය නිරතුරුවම දුක් වූවාය.

එරංගගෙන් පැමිණෙන කරදර බාධකවල නිමක් නොවූ‍යෙන් යළි තම දෙමාපියන් සමග ජීවත් වීමට කල්පනා කළ රෝෂණී සැමියාගෙන් වෙන්වීමට තීරණය කළාය. මෙම තීරණයට දැඩි ලෙස උරණ වූ එරංග, කීප වතාවක්ම රෝෂණීගේ නිවසට පැමිණ හා මගතොටදී ඇය සමග බහින්බස් වූවේය. ඔහු විටෙක හැසිරුණේ මාරාවේෂයෙනි. එරංගගෙන් එල්ල වන තාඩන පීඩන සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තරම් උත්සුක නොවූ රෝෂණීගේ​ දෙමාපියන් ඇයට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍ය නීතිමය කටයුතුවලට මුල පිරුවේය.

තම තරුණ ජීවිතයේදී නොයෙකුත් හැලහැප්පීම් මැද යාපනය විශ්වවිද්‍යාලයේ හා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුහුණුව ලබමින් කටයුතු කළ රෝෂණී නව වසරේ ලැබුණු නිවාඩුවට දෙමාපියන් බලන්නට පසුගියදා සුපුරුදු ගම්පියසට පැමිණියාය. මව, පියා හා මල්ලී සමග ඉතා ආදරයෙන් කෙටි කාලයක් ගත කර දින කීපයකට පසු ඇය යළිත් තම සුපුරුදු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යාපනය බලා පිටත් වීමට සැරසුණේ දෙමාපියන් දෙස බලා දිගු සුසුමක්ද පිට කරමිනි.

‘‘මම ආපහු ගෙදර එනකොට ඩොක්ටර් කෙනෙක් වෙලා තමයි එන්නේ. එතකොට අම්මයි, තාත්තයි දුක් විඳපු කාලේ ඉවරයි. තව මාස තුනකින් මේ හැම දෙයක්ම පිළිවෙළක් වෙයි. එතකල් අම්මයි, තාත්තයි පරිස්සමින් ඉන්න…’’ යැයි කියමින් අම්මාගේත්, තාත්තාගෙන් දෙපා නැමඳ රෝෂණී නිවසින් පිටවූයේ කප්පරක් තරම් වූ සිත් තැවුල් මැද මුදුන්පත් වමින් තිබූ සැනසීමක බලාපොරොත්තුවද තුරුළු කරගෙනය. ඒ අන් කිසිවක් නොව, රෑ දහවල් වෙනසක් නොමැතිව වෙහෙස මහන්සි වී කටයුතු කළ තම එකම අභිප්‍රායේ කූඨප්‍රාප්තිය වන වෛද්‍යවරියක ලෙස සමාජයට පිය මැනීමේ සුබ සිහිනයයි.

එහෙත් යාපනය ගිය ඇයට යළිදු වරක් දෙමාපියන්ට දුන් පොරොන්දුව ඉටු කරමින් නිවසට ඒමට නොහැකි විය.

පසුගිය (22 වැනිදා) රෝෂණී හමුවීමට හදිසියේම පැමිණෙන එරංග ඇය සමග බහින්බස් වීමකට මුල පිරුවේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එරංග සඟවාගෙන සිටි තියුණු පිහියකින් ඇගේ ජීවිතය අවසන් වීමය. ඇද වැටුණු රෝෂණීව එම ස්ථානයේ වූ කලපුවට ඇද දමා එරංග පලා යන්නට උත්සාහ කළද ධීවරයන් හා ප්‍රදේශවාසීන් එක්ව ඔහුව අල්ලා යාපනය පොලිසියට භාරදුන්හ.

‘‘අපි හැම වෙලාවෙම දුවගෙ කැමැත්තට ඉඩ දුන්නා. එයාගේ කසාදෙත් එයාට කැමති විදියටයි සිදුවුණේ. එයා ගත්තු තීරණ හැමදේම වගේ නිවැරදියි. ඒත් කසාදය එයාට වැරදුණා. තව මාස තුනයි තිබුණේ එයාට වෛද්‍යවරියක්​ වෙලා එළියට එන්න. අන්තිමට අපේ බලාපොරොත්තුයි, එයාගේ ආසාවයි දෙකම නැතිවුණා..’’ කාංචනාගේ පියා කියන්නේය.

ප්‍රසාද් ධර්මප්‍රිය – බේරුවල