විශේෂාංග

මගේ දරුවා කොතැන ගියා

විදේශයට දරු කමට හදා ගැනීමට දුන් දරුවන් නව දෙනකු තම මව්පියන් සොයන්නට ලබන පෙබරවාරියේ ලංකාවට එන බව අපි පසුගිය සතියේ ‘‘අරුණ’’ පුවත්පතේ පළ කළෙමු. බිලිඳු වියේ ගත් ඡායාරූපද, වර්තමානයේ එම දරුවන්ගේ ඡායාරූපද සහිතව අප පළ කළ ලිපියේ අරමුණ වූයේ එම මව්පියන් දරුවන්ට සොයා දීමය. එම ලිපිය පළ කිරීමෙන් පසු එම දරුවන් අතරින් කිහිප දෙනකුගේ මව්වරු අප වෙත කතා කළ අතර තවත් දරුවන් දුන් මව්වරු විශාල පිරිසක් තම දරුවන් දැකීමට ආශාවෙන් ‘අරුණට තොරතුරු යොමු කළහ. මේ ඒ ඇසුරින් සකසන විශේෂ ලිපියකි.

දසමසක් කුස හොවා ඉපැදුණු දරුවා කෙනෙකුට හදාගන්නට දී ආපසු සොයන අම්මලාත් සිටිති. නොසොයන අම්මලාත් සිටිති. දරුවෙක් වන් වටිනා වස්තුවක් දුන්නොත් යළි කිසිදා ගන්නට බැරි බව දැන දැනත් අන් අයෙකුට දෙන්නේ නැති බැරිකම් හෝ වෙනයම් ගැටලුවක් අම්මෙකුට ඇතිවූ කලය. ඒත් දරුවා වෙනුවෙන් කිරි එරුණු කල ඒ අම්මාට දරු සෙනෙහස සඟවාලිය නොහැක. එවිට දුන් දරුවා යළිත් ළඟට ගන්නට ඇයට ඕනෑවන්නීය. කටුනේරියේ එඩ්නා ප්‍රිස් ඩයනේෂියා පෙරේරාට වූයේද එයමය. ඇයටත් ජූඩ් නෙවිල් ප්‍රනාන්දුටත් දෙවැනි දියණිය සුවේන්ද්‍රා ලැබෙන්නට සිටින විට සිටියේ වැලේ වැල් නැතුවය. නැති බැරිකම් අගහිඟකම් දෝරෙ ගලා යන්නට ගත්තේ හදිසියේම සැමියාට ඇතිවූ අසනීප තත්ත්වයත් එක්කය. ඒ නිසා ඔවුන් සියල්ලන්ටම යැපෙන්නට වූයේ අම්මාගෙනි.

” බරවල් දෙකක් මට බලන්න බෑ. ඔය හම්බවෙන ළමයා කාට හරි හදාගන්න දීපන්..”
අම්මා ඒ කතාව නිරන්තරව කියන්නට ගත්තෙන් ඈ කිසිවක් කළ නොහැකි තරමට අසරණ වුණාය. කල අන් කිසිවක් නැති නිසාම ඈ මාරවිල වූ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ගියේ ඒ ළමා නිවාසයට දරුවා දිය හැකි බව දැනගෙනමය.

” එඩ්නට දුවෙක් හම්බවුණොත් වාසනාවන්තයි. පිටරට ජෝඩුවක් මේ දවස්වල දුවෙක් හොයනවා..”

ඇගේ කතාව අසා එහි එවකට සිටි කන්‍යා සොහොයුරිය කීවාය. එවිට එඩ්නාගේ කුසට මාස අට සම්පූර්ණ වී තිබුණි. ඊට කැමති වී ගෙදර ආ එඩ්නා 90 වසරේ ඔක්තෝබර් 19 වැනිදා මාරවිල රෝහලේදී වාසනාවට හෝ අවාසනාවට ලැබුවේ දියණියකි. ඒත් දියණියගේ මුහුණ දුටු එඩ්නාට පොරොන්දු මෙන්ම නැතිබැරිකම් ද අමතක වුණේය. දැරිය නොදෙන ලෝබ කමකින් එඩ්නා ඈ තුරුලේ හොවා සිටියදී අම්මා ළමා නිවාසයට ගොස් ගැහැනු දරුවෙකු ඉපදී ඇති බව කන්‍යා සොහොයුරියට කියා තිබුණි. ඒ බවක් නොදැන දරුවාද ගෙන එඩ්නා ගෙදර යන්නට රෝහලින් එළියට බසිද්දී කන්‍යා සොහොයුරිය වාහනයකින් පැමිණ තිබුණි.

” මං කිව්වා දරුවා දෙන්න බෑ කියලා. ඒ වෙලාවෙ මං කලබල කරන්න ගත්තා කියලා වඩාගෙන හිටපු දරුවව මගේ අතින් බලෙන්ම වගේ උදුරලා අරන් මාවත් ඒ වාහනේට නංවගෙන මඩමට අරන් ආවා. මම හැම තිස්සෙම කිව්වෙ ළමයා දෙන්න බෑ කියලා. මට ළමයා අරන් ගෙදර යන්න බැරි විදිහට මම මඩමෙ හිරවෙලා වගේ හිටියෙ. ඒ අතරවාරෙ එක එක කොළවලට සිස්ටර් අත්සන් ගත්තා. මටත් පොට්ටුවක් තියලා, දරුවටත් පොට්ටුවක් තියලා අපි දෙන්නගෙ පින්තූරෙකුත් ගත්තා. උප්පැන්නෙට මගෙ නම විතරයි දැම්මෙ. තාත්තගෙ නම දාන්න එපා කියලා සිස්ටර් කිව්වා. මට ඒවා ඉවසන්න බෑ.දවස් දහයක් ගියාම මං එතනින් හොරෙන් ගෙදර ආවා මහත්තයත් එක්ක ගිහින් කොහොමහරි දරුවා අරන් යනවා කියලා හිතාගෙන. මං එහෙම හිතාගෙන ආවත් එදාවත් ඊට පහුවදාවත් මට යන්න බැරිවුණා. දවස් දෙකකට පස්සෙ තමයි ජූඩ් එක්ක මට එහෙ යන්න පුළුවන් වුණේ. ඒ යනකොට දරුවා හිටියෙ නෑ.

” කරන්න දෙයක් නෑ එඩ්නා. අපි බබා දුන්නා. එයා ඕකිඩ් මලක් වගේ හැදෙයි. එඩ්නට තව දුවෙක් ඉන්නවනේ.. “

ළමා නිවාසයේ දරුවා වෙනුවෙන් කටයුතු කළ කන්‍යා සොහොයුරිය එඩ්නාට දී ඇති උත්තරය එයයි. ගෙදර ආ එඩ්නා පොළවේ හැපි හැපී ඇඬුවාය. එදා පටන් දියණිය ගැන දුක්වූ එඩ්නාට කන්‍යා සොහොයුරියගෙන් දරුවා ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැත. ඇය ඉන්පසු දරුවන් නව දෙනෙකුම හැදුවාය. ඇයට එපමණක් දරුවන් සිටියද දින දහයකින් වෙන්වූ දියණිය කිසිවිටෙකත් අමතක කරන්නට බැරිවුණාය.

” මට හිත සැනසෙන තොරතුරක් ලැබුණෙ 2016 අවුරුද්දෙ. ලංකාවට ආව නෙදර්ලන්තෙ ඉන්න සිංහල ගෑනු ළමයෙක් අම්මා හොයනවා කියලා පත්තරේක පළවෙලා තිබ්බා. මං ඒක දැක්කේ ටිකක් පමාවෙලා. එයා පත්තරේට දීලා තිබ්බ ෆොටෝ එක හරියටම එදා මඩමෙදි මාව මගෙ දුව ළඟ තියලා ගත්ත ෆොටෝ එක වගේමයි. අපි දෙන්නගෙම නළලෙත් මොට්ටු තියලා ගත්තෙ. ඒ අම්මා හොයාගෙන ඇව්ත් තිබුණෙ මගෙ දුවමයි කියලා මට හිතෙනවා. මම අවුරුදු දෙකක් ඒ දරුවව ලංකාවේ ඇති කියලා හෙව්වා. ඒත් මේ ලංකාවෙ කොහේ හොයන්නද.. ඒ පින්තූරේ දාලා තිබුණෙත් අනුරාධපුරේදි වාර්තාකාර මහත්තයෙකුට හම්බවෙලා. මම ලෙඩ වුණා. අන්තිමට මං දරුවා දෙනකොට මඩමෙ හිටපු සිස්ටර්ගෙ නොම්මරේ හොයලා කතාකළා. එතකොට එයා කිව්වා ළමයා ඉන්නෙ ලංකාවෙ කියලා. මං කිව්වා ලංකාවෙ නම් දරුවා පෙන්නන්න කියලා. එහෙම වුණේ නෑ “

එඩ්නා නෙවිල් පියතුමා හරහා ඇයට කතා කළද එකී කන්‍යා සොයුරිය ඈව රැවටූ බව කියයි. ඒ නිසා ඇයට විරුද්ධව එඩ්නා මාරවිල පොලීසියේ පැමිණිල්ලක් දැමුවාය. ඒ වනවිට හැත්තෑපස් වැනි වියට පැමිණ සිටි කන්‍යා සොයුරියට පොලිසිය දැඩිව අවවාද කර තිබුණි. ඒ රට ඉන්නවානම් ළමයා ගෙන්වා පෙන්වන ලෙස කියමිනි.

” ඒත් එයා පොලිසියටත් බොරු කළා. අද වෙනකල් මගෙ දරුවා පෙන්නුවේ තියා දුන්න රටක්වත් මට කිව්වෙ නෑ.

මම ඒ ලංකාවට ඇවිත් අම්මා හොයපු දරුවගෙ නමයි ලිපිනයයයි හොයා ගත්තා. ඒකට අනුව නම් දරුවා දීලා තියෙන්නේ නෙදර්ලන්තෙට. මේ එයාගෙ ලිපිනය. Majoleine schoon, sweelinckplaotsoen, 47,1323, MR Almere, Holland “
මේ එක අම්මා කෙනෙකි. ඈ ඉල්ලන්නේ එකම එක දෙයකි. ඒ නෙදර්ලන්තය හා සම්බන්ධතා ඇති ලංකාවේ වෙසෙන අයගෙනි. හැකි නම් එරට ලංකාවේ අම්මාවරු සොයන ගැහැනු දරුවන්ට මේ පණිවිඩය දෙන ලෙසට ඈ ඉල්ලා සිටින්නීය. ඒ එකම එකවරක් හෝ දියණිය දැකගන්නට අවස්ථාවකි.

මව් ඇකයෙන් වෙන් කර දුන් දරුවන් වෙනුවෙන් කඳුළ සුසුම සමගින් ජීවිත කාලයට විඳවමින් ජීවත්වෙන අම්මලා ලංකාව පුරාම සිටිති. ඒත් අවාසනාව වන්නේ සමහර අම්මලා ඉන්පසු ගොඩනගා ගෙන ඇති ජීවිතත් සමග අතීතයේ එවන් සිදුවීමක් සිදුවූ බවවත් කියාගන්නට නොහැකි තැනකට අද පත්ව සිටීමයි.

එඩ්නා අරුණට කතා කළේ පසුගිය සතියේ ” ලංකාවේ අම්මලා සොයා පෙබරවාරියේ ලංකාවට එන විදෙස් දරුවන්ගේ ලිපිය කියවීමෙන් පසුවය. ඊට ලැබුණු දුරකතන ඇමතුම් සිය ගණනක් අතරේ උපන් හැටියේ දරුවන් පිටරටට හදාගන්නට දුන් අම්මලා මෙන්ම තාත්තලා ද දුන් ඇමතුම් විය. ඔවුන් කීවේ මැරෙන්නට මොහොතකට පෙර හෝ ඔවුන්ගේ දරුවාගේ මුහුණ එක්වරක් බලන්නට උවමනා බවයි. ඒත් ඔවුන් ඉන්නේ කොහේ, කොතැනද කියාවත් ඒ අම්මලා තාත්තලා දන්නේ නැත.

ඒත් පසුගිය සතියේ අරුණ පුවත්පතින් අප හෙළිකළේ ජර්මනියේ ඊනා සහ ඉතාලියෙන් එන්රිකා, කුමාර මස්තරෝසා, ලියනෝරා සමන්ති, දිල්රුක්ෂි සගා, සිමෝන් ෆෙලික්ස් ඔස්ටෙරේරෝ, ඇන්ටන් බර්නාද් ලුනාදි, ඉලැරියා නිරෝෂි ස්පිනාසිත් රේ රැජෝ ලෙන්සෝනිත් අම්මලා සොයා පෙබරවාරියේ ලංකාවට එන බවයි. එහි පළවූ තොරතුරු වලට අනුව මේවනවිට ජර්මනියෙන් එන ඊනාගේත්, ඉතාලියෙන් එන ඇන්ටන් බර්නාද්ගේත් ඉතාලියේ කුමාර මස්තරෝසාගේත් ලංකාවේ පවුල්වල තොරතුරු අරුණට ලැබී ඇත.

ඊනා කියා ඇති තොරතුරු දැක ඊනාගේ අක්කා ඩබ්ලියු. නිලූකා සංජීවනී

කතා කළාය. ඇය ඊට පෙර ඊනා හා මුහුණු පොතෙන් තොරතුරු හුවමාරු කරගත් බවත් මේ වනවිට ඊනාගේ පියා ජීවතුන් අතර නැත යන පුවත පිළිගන්නට අකැමැති බවත් නිලූකා කීවාය.

” මම ඉන්නෙ පනාගොඩ. ඊනා කියන්නෙ මගෙ බාල නංගි. මේ නංගිගෙ ලංකාවෙ නම මාලනී. එයාට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අනිත් දරු දෙන්නා ස්විට්සර්ලන්තෙටත් ඉතාලියටත් දීලා නෑ. එයාගෙ සහෝදරයා ලංකාවේ හිටියා. රිය අනතුරකින් මේ වෙනකොට නැතිවෙලා. අනිත් සහෝදරිය මම. වෙන කවුරුත් පිටරටට දීලා නෑ. අපේ අම්මා විදෙස්ගතවෙලා ඉන්නෙ. අපේ තාත්තා වීරක්කොඩි. ඒ නමත් නංගිට මොහන් කියලා වැරදිවට ලැබිලා තියෙන්නේ. මීගමුව ප්‍රදේශයේ වැඩ කරද්දි ඇතිවුණ ගැටුමකින් හදිසි අනතුරක් වෙලා අපේ තාත්තාත් මේ වෙනකොට නැතිවෙලා.

තාත්තගෙ මල්ලි අම්බලංගොඩ ඉන්නවා. නංගි මේ සමහර තොරතුරු විශ්වාස කරන්නෙ නෑ. ඒත් මං කියන්නෙ ලංකාවට එන්න. ඒ ඇවිත් මගේ හරි බාප්පාගෙ හරි එක්ක DNA පරීක්ෂාවක් කරන්න කියලයි. එතකොට එයාටම සහෝදරකමේ ඇත්ත තහවුරු වේවි..”

නිලූකා කියන්නේ මීට පෙර ඊනා ලංකාවේ මව්පියන් සොයද්දී ලංකාවේ තැරව්කරුවන් සමහරෙක්ට අසුවී රැවටී ද ඇති බවයි. නිලූකාද තවමත් දෑසට දැක නැති බාල සහෝදරිය දැක ගැනීමේ ආසාවෙන් පසුවන්නීය.

නිලූකා සේ පවුලේම අයෙක් කතා නොකළත් ඇන්ටන් බර්නාද්ගේත් මවගේ පාසල් වියේ මිතුරියක් කතා කළාය. ඇන්ටන් බර්නාද්ගේ මවගේ නම තනූජා ලේන් බවට ඇය තහවුරු කළාය.

” තනූජලා ඉස්සර හිටියේ නුවරඑළිය නගරයේ පොළ පිටිපස්සෙ ගෙදරක. මම එයත් එක්ක එකට ඉස්කෝලේ ගිය යාළුවෙක්. ,තනූජා දෙමළ කාන්තවක් නෙවේ. තනූජගෙ නංගි කෙනෙකුත් හිටියා.

මට මතක හැටියට සමිතා වගේ නමක් එයාට තිබ්බේ. පසුකාලීනව මෙයාලා ගෙවල් විකුණලා ගියා. ඊට පස්සෙ බඹර කැලේ පිටවංශ හෝටලේ ළඟත් පදිංචිවෙලා හිටියා. හෙව්වොත් හොයා ගන්න බැරිවෙන එකක් නෑ “

තනූජා ලේන්ගේ එකම පන්තියේ පාසල් අධ්‍යාපනය අවසන් කරනතුරුත් එකට සිටි බැව් කියන ඇයගෙන් සමහරවිට ඇන්ටන් බර්නාද්ගේ මව් ගැන සතුටුදායක තොරතුරක් ඉදිරියේදී ලැබෙන්නටත් බැරි නැත.

අම්මා දැකබලාගැනීමේ ආසාවෙන් පෙබරවාරියේ ලංකාවට එන කුමාර මස්තරෝසා වෙනුවෙන් කතා කළේ ඔහුගේ අම්මාය. මේ වනවිට බස්නාහිර පළාතේ පදිංචි කාන්තාවක් වන ඇය අද සාර්ථක පවුල් ජීවිතයක් කතා කරන්නියකි.

” පුතාගේ විස්තරේ පත්තරෙන් දැක්කම මට ඇඬුණා. ඒ දරුවා එදා දුන්නෙ නොදී බැරි කමට. ඒත් ඇත්ත කිව්වොත් ඒ ගැන අදටත් මං දුක් වෙනවා. මං පුතාට ආදරෙයි. එයා දකින්න මං හරිම ආසාවෙන් ඉන්නේ.මගෙ වයස දැන් පනස් තුනක්. මට මැරෙන්න කලින් එක පාරක් ඒ මූණ බලාගන්න ආසයි. කුමාර පුතා ලංකාවට ආවම මං හමුවෙන්න යනවා. “

ඇය දැන් පෙරුම්පුරා බලා හිඳින්නී අවුරුදු විසි ගානකට පසුව ලංකාවට එන පුතුගේ මුහුණ දැකගන්නටයි.

එසේම තම මව්පියන්ගේ මුහුණු දැකගන්නට පෙරුම් පුරාගෙන පෙබරවාරියේ ලංකාවට එන එන්රිකා, සමන්ති, නිරෝෂි කුමාරි ,දිල්රුක්ෂි, සිමෝන් ෆෙලික්ස් සහ රුජිත් ශානකගේ මව්පියන් හෝ නෑදෑයන් ගැනත් දැනගන්නට ඔවුන් ආසාවෙන් සිටිති. ඒ ගැන ඒ ඥාතින් හෝ අසල්වාසියෙක් හෝ තොරතුරක් දන්නේ නම් අරුණ කියවන ඔබට ඔවුනගේ බලාපොරොත්තූන්ට ආශිවාදයක් වන්නට පුළුවන. අදාල අනාවරණය දැනුම් දෙන්නාගේ තොරතුරෙහි සත්‍යතාව රහසිගතව සුරකින්නටත් අපි පොරොන්දු වන්නෙමු.

බියංකා නානායක්කාර