විශේෂාංග

මගෙ දියණී කොතැන ගියා

ළදරුවියේම විදේශයන්ට හදාගන්නට දුන් දරුවන් පිරිසක් ඔවුන්ගේ මව්පියන් සොයා පෙබරවාරියේ ලංකාවට එන බව අපි පසුගිය අරුණ කලාප දෙකක පළ කළෙමු. එම ලිපිවල අරමුණ වූයේ එම දරුවන්ට ඔවුන්ගේ ලංකාවේ මව්පියන් සොයාදීමයි. ලිපි පළවූවාට පසු ඒ දරුවන්ගේ මව්පියන් කීප දෙනෙකුම කතා කළ බවත් ඔවුන් නුදුරේම හමුවීමට සූදානමින් පසුවන බවත් දන්වන්නේ සතුටිනි. ඒ අය අතුරිනුත් අප ලියූ ඉතාලියේ සීමොන් ෆෙලික්ස් ඔස්ටෙරේරෝ ගේ සහ ඇන්ටන් බර්නාඩ් ලුනාදිගේ ඥාතීන් මීගමුව කොච්චිකඩේ අවට සිටින බවට තොරතුරු ලැබී ඇති නමුදු ඔවුන් කිසිවෙක් මෙතෙක් ඉදිරිපත්ව නැත. සීමොන් සහ ඇන්ටන් පෙබරවාරි අවසානයේ ලංකාවට අම්මා සොයා පැමිණන බව ඔවුන්ට මතක් කරන්නේ ලෙයට ලෙය හමුවීමේ වටිනාකමක් ඇතිබව දන්නා නිසාය.

චන්ද්‍රදාස

දූවරුන් වැඩියෙන් ආදරේ තාත්තලාටය. ඒ නිසාම දෝ බොහෝ තාත්තලාද දූවරුන්ට වැඩියෙන් ආදරේය. පොළොන්නරුවේ චන්ද්‍රදාසත් එහෙමය. කුලී වැඩ කරමින් දුක්වින්දත්, වේල් ගණන් කුසගින්නේ සිටියත් ඔහුගේ හිතේත් කුලුඳුලේ උපන් දියණිය ගැන උතුරා ගිය සෙනෙහසක් තිබුණි.පුංචි වුණත් ඩිලූකා ද එසේමය.

ඉදිරියාගොඩ චන්ද්‍රදාස හලාවත මාරවිලට එන්නේ පොළොන්නරුවෙනි. ඒ කුලී වැඩ කරන්නටයි. ඒ අතරතුරේ චන්ද්‍රදාසගේ තරුණ සිත අළුවිහාරේ මල්වත්තගේ ඈන් ප්‍රින්සි ළඟ නැවතුණේය. ප්‍රින්සි හලාවත පැත්තේ කතෝලික තරුණියක වූ අතර ඇය සිටියේත් නිවසින් පිටත බෝඩිමක නැවතීය. නිවසට දැන්වූවොත් ඈන් ප්‍රින්සි හා විවාහවන්නට නොලැබෙන නිසා චන්ද්‍රදාස ගෙදරට හොරා ප්‍රින්සි සමග විවාහ වුණේය. විවාහයෙන් පසු ඒ බව නිවසට ලියා යැව්වද අම්මා හා තාත්තා ඔහුට ගේ පැත්ත පළාතේ පස් පාගන්නට නොඑන ලෙස දැන්වූහ. ඈන් ප්‍රින්සිගේ ගෙදරින් ලැබුණු ප්‍රතිචාරයද එයමය. ඈන් ප්‍රින්සිට තිබූ ආදරය නිසා විවාහයක් කරගත්තත් චන්ද්‍රදාසට කුලී ගෙදරක නැවතී ජීවිත දෙකක් නඩත්තු කිරීම අසීරු වුණේය. දියණිය ලැබීමෙන් පසු ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නරකටම හැරුණේය. ඈන් ප්‍රින්සි කොහොම හෝ වෙලාවක් හදාගෙන නිතර පල්ලි ගියේය. ඈ නිතරම මාරවිල මහවැව හන්දියේ වූ පල්ලියකටද යන්නට හුරුව සිටියාය.

“ඒ පල්ලියේ හිටියෙ පිටරටින් ආව ෆාදර් කෙනෙක්. හැබැයි සිංහල කතා කළා. අතේ සල්ලි තිබ්බෙ නැති වෙලාවක දවසක් ඈන්, ෆාදර් දුන්නා කියලා රුපියල් තුන්සීයක් අරන් ආවා. මං ඇහුවා එහෙම සල්ලි දුන්නෙ ඇයි කියලා. හැම පල්ලියකින්ම එහෙම දුප්පත් අයට උදව් කරනවා. අපි අමාරුවෙන් ජීවත්වෙන්නෙ කියලා දැනගත්තට පස්සෙ ෆාදර් අපිට උදව් කරන්නම් කියලා කිව්වලු. ඊට පස්සෙ සතියකට වතාවක් විතර ඈන් ෆාදර් දුන්නා කියලා රුපියල් තුන් හාරසීයක් අරන් එන්න පුරුදු වුණා. ඔයවිදිහට මාස පහක් හයක් ගියාම දවසක් ඈන් කියපු කතාවක් හින්දා මාව පිච්චිලා ගියා. අපි අමාරුවෙන් ජීවත්වෙන හින්දා ළමයා හදාගන්න විදිහකුත් නෑ. අපේ ගෙවල්වලට යන්න දෙන්නෙත් නෑ. ෆාදර් ළමයව හදාගන්න ඉල්ලුවා. පිටරට ජෝඩුවකට ළමයා හදාගන්න දෙන්න පුළුවන් කිව්වා. මට ඒකට හිත හදාගන්න බැරිවුණා. මම බලමුකෝ කිව්වේ ඒ අතරෙ රස්සාවක් හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන්..”

ඈන් ප්‍රින්සිගේ යෝජනාව අමතක කර චන්ද්‍රදාස හිටියත් මාස හයක් යද්දී ඈන් ප්‍රින්සි දියණිය දෙන්නට තීරණය කර තිබුණි. ඈ එවර කී කතාව එක පැත්තකින් ඇත්තක් කියා චන්ද්‍රදාසටත් සිතුණේය. ඒ වනවිට ඔවුන්ට කුලී නිවසින් ද යන්නට සිදුවී තිබුණි. ඒ මාස කීපයකින් නිවසේ කුලී මුදල් ලබා නොදුන් නිසාය..

චන්ද්‍රදාස සහ ඈන්, ඩිලූකා දුන් මොහොතේ

“අපි දුක් වින්දට අපේ ළමයා හරි සැප විඳියිනේ.. ඒ හින්දා ඔන්න ඔහේ ළමයව පල්ලියට දෙමු කියලා ඈන් හරි සැහැල්ලුවෙන් කිව්වා. මට එකපාරටම එ්කට හිත හදාගන්න බැරිවුණත් අන්තිමට මමත් එහෙම හිතුවා. මම එදාමයි ඒ පල්ලියට ගියෙ. රෝස මලක් වගේ ඈන් දූ අන්දවාගෙන අරන් ගියා. එතෙන්ට ඇවිල්ල හිටපු තරුණ ඉතාලි ජෝඩුවක් තමයි දුවව ගන්නෙ කියලා පෙන්නුවා. අපේ ෆොටෝත් ගත්තා. ඈන් දුවව ෆාදර්ට දුන්නා. මං ආවෙ හුස්මත් නැතුව වගේ. ඈන්ට ෆාදර් රුපියල් 1300 ක් දීලා තිබුණා. මගෙ නම් පපුව දෑව දරුවා මතක් වෙද්දි. දුව දීලා වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ඈන් එක්ක එදා රෑම පොළොන්නරුවෙ ගියා.’’

පියා රණ්ඩු කළත්. අම්මා ළඟ පින්සෙණ්ඩු වී ඉඩම් කෑල්ලක ගෙයක් අටවාගෙන චන්ද්‍රදාස ඈන් හා පොලොන්නරුවේ ජීවිතය ඇරඹුවේ ඩිලූකාගේ සුවඳත් මතකයත් හදේ ගැඹුරුම තැන පරිස්සමට තියාගනිමිනි.

ඔවුන්ට තව දුවෙක් ද ඉපැදුණි. ඩිලූකාගෙන් පාළු වූ හදවතට සැනසුමක් ළංකොටගෙන සිටි චන්ද්‍රදාසගේ ලෝකය නැවත සුනුවිසුණු වුණේය. ඒ ඈන් ඔහු දමා ගිය නිසාය. ඒ වනවිට තුන් හැවිරිදි වියේ සිටි දෙවැනි දියණිය චන්ද්‍රදාසගේ මව හදන්නට බාර ගත්තද ඇයට අවුරුදු දහයක් වද්දී ඒ අම්මා ඒ දියණියව නුවර ඥාතියකුට දුන්නාය. නැවතත් දරු සෙනෙහස දුර ගිය නිසා දුකින් සිටි චන්ද්‍රදාස කලක් යද්දි තවත් තරුණියක් කැන්දාගෙන ආවේය.

ඇයට දාව පුතුන් දෙදෙනෙකු හා දියණියක් උපන් අතර අවුරුදු විස්සකට පෙර ඇයද චන්ද්‍රදාස හැරගියාය. පොලිසියේ පැමිණිල්ලක් දමා බාල පුතු ගෙදරගෙන ආ චන්ද්‍රදාස ඔහුව හදන්නට අපමණ වෙහෙසක් වින්දේය. එහෙම හැදූ පුතා අද අවුරුදු විසි දෙකක තරුණයෙක් වීත් චන්ද්‍රදාස ළඟ සිටියි. ඔහු දමා ගිය ගැහැණුන් දෙදෙනාම ඈත පැතිවල වෙනත් විවාහ කරගෙන දරුවන් ලැබ සිටින බවත් චන්ද්‍රදාස දනියි. ඈන් දමා ගොස් අම්මලා නුවරට දුන් පොඩි දුව දැන් විවාහ වී පාදුක්කේ සිටින අතර චන්ද්‍රදාස ඉඳහිට ඈ බලන්නට යනවා සේම දුරකතනයෙන් ද ඇයට කතා කරයි. පසු ගිය දවසක ඈ ඉතාලියට දුන් ඩිලූකා ගැන චන්ද්‍රදාසගෙන් විමසුවාය.

ඩිලූකා

“ඩිලූකා ඒ රටේ ඉඳන් අම්ම, තාත්තා හොයනවා කියලා 2017 ඔක්තෝබර් මාසේ ලංකාවෙ පත්තරේක අපේ නම්, ගම්, ෆොටෝ එක්ක ගිහින් තිබුණා. ඉතාලියේ කොන්වන්ට් එකක උගන්වන හලාවත සිසිට කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි ළමය ඒ විස්තර පත්තරේ දාලා තිබුණේ. පොඩි දුව ඒ පත්තරේ දැකලා තමයි මගෙන් ඩිලූකා ගැන ඇහුවේ. අපි ඒ පත්තරේ තිබ්බ ලංකාවේ නොම්මරවලට කතා කළත් අද වෙනකල් දුව ගැන කිසිම තොරතුරක් නෑ. මගෙ දුව දකින්න මම ආසයි. මගෙ දුව ගැන කවුරුම හරි තොරතුරක් දෙන්න ලොකු පිනක්. එයාගෙ ඉතාලි නම අන්තොනෙල්ලා මුල්ලනු කියලයි පත්තරේ තියෙන්නේ.”

අම්මාවරුන්ගේ ආදරය ළඟ තාත්තලාගේ ආදරය ගැන කතාවන්නේ අඩුවෙනි. පිය සෙනෙහසට කව් ගී කියවුණා මදී කියා ගී ලියැවුණෙත් ඒ නිසාය. තාත්තලාගේ ආදරය අඩුවෙන් පෙනෙන්නේ ඒ ආදරය පවතින්නේ හද ගැඹරේ නිසාය. අවුරුදු තිස්පහකට පෙර වෙන්ව ගිය දුවක් වෙනුවෙන් තාමත් හද ගැඹරේ නිදන් කරගෙන සිටින දරු සෙනෙහසින් මේ තාත්තා ඉල්ලන්නේ අහිංසක ඉල්ලීමකි.

ඉතාලියට ගෙනගිය දියණියව ඒ අයුරින් චන්ද්‍රදාස තාත්තා සොයද්දී ලංකාවේ මව්පියන්ගෙන් ඉතාලියට හා ඕලන්දයට ගෙන ගිය තවත් දරුවන් තුන් දෙනෙක් පසුගිය සතියේ අපට තොරතුරු ලබා දී තිබුණේ ඔවුන් ඉපැදුණු ලංකාවේ මව්පියන් සොයා ගන්නට උදව් ඉල්ලමිනි. ඒ ඉතාලියේ සිටින ජෝයියා රන්දෙන්, ඇලිසියා රෝසි පෙලිග්‍රී සහ ඕලන්දයේ මනිලි සුභද්‍රා විජයතිලකයි.

මධුමි ශානිකා

ජෝයියාට ලංකාවේ උප්පැන්නයෙන් ලැබුණු නම මධුමි ශානිකාය. 1992 අගෝස්තු 17 වැනිදා කළුබෝවිල රෝහලේ උපන් මධුමිගේ අම්මා

වැල්ලවත්ත ආරච්චිලාගේ රමණී කුසුමලතාය. රමණිට මධුමි ඉපැදෙන්නේ කළුබෝවිල රෝහලේ වුවත් ගම ලෙස සඳහන් වී ඇත්තේ කහවත්තය. මධුමිගෙ පියා ගැන දැනගන්නට නැතත් උප්පැන්න සහතිකයේ සීයාගේ නම ලෙස වැල්ලවත්ත ආරච්චිලාගේ පියදාස ලෙස සටහන්ව ඇත.

ජෝයියා කළුබෝවිල රෝහලෙන්ම ඉතාලියට ගියද ලංකාවේ අම්මා සොයා ගැනීමේ විසල් වුවමනාවක් ඇත.

” මං පෙබරවාරි අන්තිම හෝ මාර්තු මුල ලංකාවට එනවා. ඒ එන්නෙ කොහොමහරි මගේ අම්මව හොයාගන්න. මට එයාව දකින්න ඕන. එයා කොයි වගේ කෙනෙක්ද කියලා බලාගන්න මට හරි ආසයි. මට ඕන එයත් එක්ක කතා කරන්න. මාව දුන්නා කියලා තරහක් නෑ. ඒත් මාව දුන්නෙ ඇයි කියලා එයාගෙන්ම අහගන්න ඕන. ..”

ජෝයියා

ජෝයියා මීට වසර කීපයකට පෙර ද අම්මා සොයා ලංකාවට වරක් පැමිණ ඇතත් ඒ වතාවේත් ඇයට අම්මා සොයාගන්නට බැරි වුණේය.

ජෝයියා සේම ඉතාලියේ ටොරිනෝ හි වසන ඇලිසියා රෝසි එමිලියා පෙලිග්‍රී ද ඇගේ අම්මා සොයන්නීය. ඇලීසියා ඉපදී ඇත්තේ 1998 වසරේ මාර්තු 18 වැනිදාය.

ඇගේ අම්මා ගොරකාවෙල නන්දාවතී ජයසිංහයි. ද සොයිසා රෝහලේ දී උපන් හැටියේ ඒ අම්මා විසින් කොළඹ 10 ඩබ්ලිව්. පෙරේරා මාවතේ අංක 127 ඊ ලිපිනයේ වූ ගැළවීමේ හමුදාවට බාර දී ඇති අතර ඇලීසියා සියැට් කොම්පැණියේ වැඩකරන පෙලිග්‍රී යුවලට ලැබෙන්නේ එතැනිනි. ඇලීසියාට ද උවමනා වී ඇත්තේ අම්මා සොයාගන්නටයි.

” මගෙ අම්මා කවුද කියලා මට ඉක්මනටම දැනගන්න ආසයි. ඒ හින්දා මගෙ අම්මා ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. මං ඔයාව දකින්න

 එනවා. මට ඔයත් එක්ක කතා කරන්න ආසයි “

ජර්මනියේ වසන ඊනාගේ ලංකාවේ මව්පියන් ගැන විස්තර පළවූයේ මේ ලිපි පෙළේ පළමුවැනි ලිපියේය. දෙවැනි ලිපිය පළවද්දී ඊනාගේ

ලංකාවේ මව්පියන්ගේ තොරතුරු ලැබුණේය. ඇය ඒ බව නෙදර්ලන්තයේ වසන තවත් ලංකාවේ උපන් මිතුරියකට කීවාය. ඒ මනිලි සුභද්‍රා විජයලතාටය. මනිලි ද වසර ගානක් තිස්සේ ඇගේ අම්මා සොයන තරුණියකි.

මනුලි ඕලන්දයට ගියාට ඇයට ලංකාවෙන් ලැබුණු නම වෙනස් කොට නැත. ඈ එරට රැඳී සිටින්නේද මනිලි සුභද්‍රා විජයලතා නමිනි. ඇය ද සොයිසා කාන්තා රෝහලේදී ඉපැදෙන්නේ 1984 අගෝස්තු මාසයේ 15 වැනිදා වන අතර ඇගේ උප්පැන්නයේ අම්මා ලෙස සඳහන් ව ඇත්තේ ජම්බුගොඩ පතිරණගේ හේමලතා පල්ලේවෙල යන නමයි. ගම පොල්ගහවෙල ලෙසින් සටහන්ව ඇත.

” මම මීට කලින් ලංකාවට ගියා අම්මා හොයන්න. ඒත් අම්මා හම්බවුණේ නෑ. ඊනා එයාගෙ විස්තර ලංකාවෙ පත්තරේක පළකරලා අම්මා හොයාගත්තම මටත් එහෙම කරන්න හිතුණා. ඒකයි මං ඊනට කිව්වේ මගේ විස්තරත් ඒ පත්තරේ දාන්න කියලා. මාව ඉතාලියට දීලා තියෙන්නෙ අවුරුදු දෙකෙන්. මගෙ ලංකාවෙ උප්පැන්න සහතිකේ වගේම මාව දෙන වෙලාවේ මගේ අම්මයි ,මමයි ,සිස්ටර් එක්ක ගත්ත පින්තූරයකුත් තියෙනවා. ඒ අම්මා හැබෑවට දකින්න මට ආසයි.’’

මේ ලංකාවෙන් නොරටක ගිය අපේම දූ දරුවන් ය. නොදන්නා කාලයේදී අම්මා තාත්තගෙ කැමැත්තට එතෙරකට ගියත් දැනුම් තේරුම් ඇතිවනවිට ඒ මව්පියන් දකින්නට ආසාකරන ඒ දරුවන්ගේ බලාපොරොත්තුවලට පණ දෙන්නට ලංකාවේ වෙසෙන ඔබට ලේසියෙන් ම පුළුවන. මේ දරුවන්ගේ මව්පියන් ගැන තොරතුරක් දන්නේ නම් අරුණට කියන්න.

සමහරවිට මේ දරුවන්ගේ නියම අයිතිකරුවනුත් මේ ලිපි පෙළ මේ වනවිට කියවා ඇතුවාට සැක නැත. ඒද අද ඔවුන් සිටිනා සමාජ තත්ත්වය හෝ කිසියම් හේතුවක් නිසා ඒ මගේ දරුවාය කියා ඉදිරිපත් නොවී සැඟව සිටිනවා වන්නටත් පුළුවන. ඒත් එසේ සැඟවුණාට හෘද සාක්ෂියට අනුව ඔබේ ලේ කකියනවා ඇත. ඒ නිසා ඔබ අප අමතන්නේ නම් ඔබේ රහස් විශ්වාසනීයව අපි රකින්නෙමු. ඔබ දන්නා දෙයක් වේ නම්, කෙනෙක් වේ නම් මේ අංකයට කතා කරන්නටත් පුළුවන.

චමින්ද 0761367660