කතුවැකි

මංගල හා සුසිල් කියවාගත යුත්තේ කෙසේද?

තමන් යෙදී සිටින ක්ෂේත්‍රය කුමක් වුවත් ඒ තුළ තම සලකුණ තැබීමට හැම කෙනකුටම හැකි වන්නේ නැත. බොහෝ දෙනා කරන්නේ ක්ෂේත්‍රයේ අනන්‍යතාව තම අනන්‍යතාව බවට පත් කර ගනිමින් ජාම බේරා ගැනීමය. ඇතැමෙකුට ක්ෂේත්‍රයේ අනන්‍යතාව සමග අනන්‍ය වීමට හෝ තරම් හැකියාවක් නැත. දේශපාලනය, කලාව, පරිපාලනය මතු නොව ආගම්වලදී පවා ඒ මත තම අනන්‍යතාව සලකුණු කරන්නට නම් යමකුට තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවක් තිබිය යුතුය. කුමන ක්ෂේත්‍රයකදී වුවත් තමන්ට සුවිශේෂී වූ අනන්‍යතාවක් ගොඩනගා ගත හැක්කේ කැපවීම හා හැකියාව පමණක් නොව විශ්වාසයක් ද තිබෙන අයට පමණකි. තමන් කරන රැකියාවෙන් හෝ වෘත්තියෙන් තමන් බැබළෙනවා වෙනුවට තම හැකියාවෙන් දක්ෂතාවෙන් තමන්ගේ ක්ෂේත්‍රය බබළවන්නට කටයුතු කරන්නේ එවැනි අයයි.

තමන්ගේ ක්ෂේත්‍රය තුළ තම සුවිශේෂී අනන්‍යතාව සටහන් කළ එවැනි පුද්ගලයන් දෙදෙනෙක් පසුගිය දින දෙක තුළ තම දිවි සැරිය නිමා කළෝය. එක් අයකු නම් කවුරුත් දන්නා හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීරය. මංගල සමරවීර මියගියේ කොවිඩ් ආසාදනය වීම නිසාය. ඔහුට පෙර හිටපු දේශපාලනඥයන් සිවු දෙනකුම කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ. එහෙත් ඒ එකදු මරණයකටත් වඩා මංගලගේ මරණය මෙරට දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම පොදු සමාජයද කම්පනයට ලක් කර ඇත්තේ ඔහු මෙරට දේශපාලනය තුළත්, පොදු සමාජය තුළත් තම සුවිශේෂී අනන්‍යතාව සටහන් කළ අයකු වීම නිසාය.

මංගල සමරවීරගේ තිබූ සුවිශේෂතම ලක්ෂණය වූයේ තමන් විශ්වාස කරන, තමන් පිළිගන්නා දර්ශනය, මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීමය. තමන්ට පෞද්ගලිකව යම් අවාසියක් සිදුවන විට තමන්ගේ දේශපාලන මතය හෝ ජීවන දර්ශනය වෙනස් කරන්නට හෝ සඟවන්නට කටයුතු කරන දේශපාලනඥයන් මෙන්ම පොදුවේ බොහෝ දෙනකු පෙළෙන රෝගයෙන් මංගල පෙළුණේ නැත. අප මංගලගෙන් උගත යුතු ලොකුම පාඩම එයයි.

ඊයේ අවසන් ගමන් ගිය මෙරට සමාජය තුළ විශේෂයෙන්ම පරිපාලන ක්ෂේත්‍රය තුළ සිටි සුවිශේෂී අනන්‍යතාව සටහන් කළ අනෙක් පුද්ගලයා නම් පළමු ජනසවිය කොමසාරිස්වරයා වූ සුසිල් සිරිවර්ධනයන්ය. මංගල සමරවීරගේ මරණය සම්බන්ධයෙන් ශෝක වන්නන්ගෙන් මෙන්ම ඔහුගේ ගුණ වයන්නන්ගෙන් මුහුණු පොත පිරී ඇතත්, සුසිල් සිරිවර්ධනයන් සම්බන්ධයෙන් එවැනි සිහිපත් කිරීම් හෝ ගුණ වර්ණනා දක්නට තිබුණේ නැත. මෙය අප පුද්ගලයන් වර්ණනා කරන්නේ හෝ අගයන්නේ කුමන සාධක මත දැයි විමසා බැලීමට ද හොඳ ප්‍රවේශයකි.

සුසිල් සිරිවර්ධන යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයට පත්වීම් ලැබූ පළමු කණ්ඩායමේ සාමාජිකයෙකි. එසේම ඒ සඳහා පැවැති තරග විභාගයෙන් පළමු ස්ථානය දිනාගත් පුද්ගලයාය. එහෙත් අපට ඔහු වැදගත් වන්නේ ඒ නිසා හෝ ඔහු ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියකු වීම නිසා නොව තම ජීවිත කාලය තුළ ඔහු කළ කී දේවල් නිසාය.

‘ජනසවිය’ හිටපු ජනාධිපති ප්‍රේමදාස රණසිංහගේ සංකල්පයක් වුවත්, එය වැඩපිළිවෙළක් බවට පත් කළ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ සුසිල් සිරිවර්ධනයන්ය. ජනසවිය වැඩසටහන ආරම්භ වන තෙක්ම අප රටට හුරුව තිබුණේ සහනාධාර ලබා දීමය. සහනාධාර ලබා දීමෙන් කිසිම දිනෙක පුද්ගල දිළිඳුකම මෙන්ම රටේ ආර්ථික දිළිඳුකම ජයගත නොහැකි බව අවබෝධ කරගෙන නිර්මාණය වූ පළමු වැඩසටහන ජනසවියයි. ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, ඔවුන් දේශීය ආර්ථිකයේ යැපෙන්නන් නොව කොටස්කරුවන් බවට පත් වූයේ ජනසවිය හරහාය.

අප කල්පනා කරන ආකාරයට සුසිල් සිරිවර්ධනයන්ට ‘ජනසවිය’ වැනි ව්‍යාපෘති ඉතා හොඳින් නිර්මාණය කර සැලසුම් කර පවත්වාගෙන යන්නට හැකි වූයේ ඔහුගේ දැනුම, පරිපාලන නිලධාරියකු ලෙස පැවැති අදීනකම හා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියකු වුවත්, රටේ ග්‍රාමීය ජනතාව හා ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබඳ තිබූ අවබෝධය නිසාය. සුසිල් සිරිවර්ධනයන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු කණ්ඩායමේ සාමාජිකයකු වූවා සේම, අවසන් නිර්භීත, නිර්මාණශීලි, නිරහංකාර හා නිර්ව්‍යාජ පරිපාලන සේවා නිලධාරින්ගෙන් කෙනෙකි.

සුසිල් සිරිවර්ධන වැනි පරිපාලන නිලධාරින්ගේ අගය වඩ වඩා ඉස්මතු වන්නේ අද වන විට අපේ පරිපාලන සේවය පත්ව ඇති තත්ත්වය දකින විටය. අද ඇත්තේ කියන දේ කරන, ජනතාවගෙන් වියුක්තව හිතන, ඒකාකාරී දීන රාජ්‍ය සේවාවකි. කිසිදු නිර්මාණශීලී බවක් නැති මේ රාජ්‍ය සේවය තුළ නිර්මාණශීලී, නිලධාරි පෞරුෂයකින් යුත් නිලධාරියකුට පැවැත්මක් ද නැත. ඇතැමකු පරිපාලන සේවයේ වගකීම ද යුද හමුදාවට භාර දීමට ද, එසේ භාර දුන් අවස්ථා සාධාරණය කිරීමෙන් ද පරිපාලන සේවය පත්ව තිබෙන තත්ත්වය තේරුම් ගත හැකිය.

මෙම තත්ත්වයට දේශපාලකයන් ද වගකිව යුතු යැයි කියන ජනප්‍රිය චෝදනාව එල්ල කළ නොහැක්කේ සුසිල් සිරිවර්ධන වැනි පරිපාලන නිලධාරින්ට ද පරමාදර්ශී දේශපාලන වටපිටාවක් නොතිබූ නිසාය. පරිපාලන නිලධාරියකුට පෞරුෂයක් හා නිර්මාණශීලීත්වයක් අවශ්‍ය වන්නේ දේශපාලන බලපෑම් කළමනාකරණය කරමින් තම රාජකාරිය ඉටු කිරීමය. එහෙත් දේශපාලකයකුගේ අනුග්‍රහයෙන් තනතුරක් ලබා ගන්නා හෝ තම තනතුර රැකගෙන වරප්‍රසාද ලබා ගන්නා අයට ඒ හැකියාව ලැබෙන්නට ක්‍රමයක් නැත.

සුසිල් සිරිවර්ධන නම් පරිපාලන නිලධාරියාගේ භූමිකාව අගය කරන අයකු අපේ වත්මන් පරිපාලන සේවය තුළ සිටී නම් ඔහු වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරය වන්නේ තමන් ද එවන් නිලධාරියකු වන බවට අදිටන් කර ගැනීමය. සුසිල් සිරිවර්ධන පරිපාලන නිලධාරී භූමිකාව කියවා තේරුම් ගැනීම ඒ සඳහා හොඳ අභ්‍යාසයකි. පරිපාලන නිලධාරින් පුහුණු කරන සංවර්ධන පරිපාලන ආයතනය වැනි ආයතනයක් හෝ සුසිල් සිරිවර්ධන වැනි නිලධාරින් ගැන නවකයන්ට කියා දෙනවා නම් අපට අපේ පරිපාලන සේවය ගැන සුබවාදී අපේක්ෂා ඇතිකරගත හැකිවනු ඇත.