විශේෂාංග

මංගල උ‍​ළෙලට වෙන් කළ මුදලින් ගෙයක් තනාදුන් බෝසත් යුවළ

ප්‍රදීප් චතුරංග සහ කාංචනා දිල්රුක්ෂි යුවළ උපදින්නෙ අහංගම. ගියෙත් එකම ඉස්කොලෙට. ඒ අහංගම රෝහණ මහා විද්‍යාලයට. පුංචි කාලේ ඉඳලම දන්නව හඳුනනවා වුණාට ප්‍රදීප් උසස් පෙළට ගාල්ල සාන්ත ඇලෝසියස් එකට ගියාට පස්සේ ඒ දැන ඇඳුනුම්කම දුරස් වෙනවා.

ප්‍රදීප් උසස් පෙළින් පස්සෙ එයාගෙ තාත්තට අයත් වෙළෙඳසලක් වන රංග ස්ටෝර්ස් එකේම තාත්තට උදව් වෙනවා. තාත්ත ඒ ප්‍රදේශයේ කවුරුත් දන්න සුමනරත්න මුදලාලි. සුමනරත්ත තමන්ට උදව් කරන පොඩිපුතා ප්‍රදීප්ට මාසෙට වියදමට රුපියල් විසිදාහක් දුන්නෙ කොල්ලට කැමැති මොන මොනවා හරි ගන්න. ගෙදරින් කෑම බීම ඇඳුම් පැලඳුම් ලැබෙන එකේ අමතර නාස්තියක් කරන්නෙ මොකටද කියලා ඒ සල්ලි ප්‍රදීප් නිවසේ බුදු පහනට එහා පැත්තෙන් තියනවා. එහෙම තියල මාස කීපයකට පස්සේ නිවසේ කෙරෙන සාංඝික දානයකදී, ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට දෙන දානයකදී කවුරු හරි අසරණ කෙනකුට පිහිට වෙන්න ඒ මුදල් යොදාගත්තා. තමන්ගෙ පුතාගෙ මේ හැසිරීමට තාත්තලා අම්මලත් සතුටෙන් හිටියෙ.

ප්‍රදීප් ගාල්ලෙ ඉපදුණාට ජීවත්වෙන්න ආස කළේ අනුරාධපුරේ. ඒ රුවන්වැලි සෑය ශ්‍රීමාබෝධිය වැඩ ඉන්න පූජනීය බිමට තියෙන ගෞරවය නිසා. අනුරාධපුරයේ නිදහස් පරිසරයත් තමන්ගෙ තාත්තගෙ සහෝදරයන් කීප දෙනෙක්ම ඉන්න එකත් ඒ කැමැත්ත වැඩි වෙන්න හේතු වුණා. කවදහරි අනුරාධපුරෙ පදිංචිවෙන්න ඔහු හිතන්නෙ ඒ නිසා. අනුරාධපුර පූජා නගරයේදී පින්කමකට සම්බන්ධ වෙමින් ඉඳිද්දි ගමේ පාසලේ හිතවතිය ඔහුගෙ ඇස ගැටෙනවා. ප්‍රදීප් කාංචනා පෙම් කතාව පිංකමක් සිදුවෙන පින්බර මොහොතකම ආරම්භ වෙනවා.

කාංචනා වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. මෙයට වසර දෙකකට කලින් පානදුරේ තමන් සේවය කරන බැංකුවෙ සිට සේවය නිමවී නිවසට එද්දි කුතුහලය දනවන සිද්ධියක් ඇය දකිනවා. එතකොට වේලාව හයට විතර ඇති. වයස 28-30 විතර තරුණ මවක් කුඩා දරුවන් තිදෙනකුට එළිමහනෙ කෑම කවනවා..පොඩි එවුන් කන්න අදිමදි කරද්දි ඒ අම්මා දරුවන්ට කියන්නෙ

“තව ටිකකින් කරුවල වෙනව. ඊට කලින් නිදාගන්න කෑම කන්න’’

‘‘ඇයි එහෙම කියන්නේ… කාංචනා ඒ ගෙදරට ගිහින් ඒ අම්මගෙන් අහනවා.

“අනේ නෝනා අපට කරන්ට් එක නෑ.. මේ ළමයින්ගෙ තාත්තාත් ආර්ථික ප්‍රශ්න නිසාම කෝච්චියට පැනලා මැරුණා. ගෙදර හරියෙ භූමිතෙල් කඳුළක් නෑ.ඉතින් කලින් කවාගෙන කරුවල වෙන්න කලින් අපි නිදියනවා.”

මේ කතාවෙන් කාංචනාගෙ හදවත කඩා වැටෙන්නෙ ඇස්වලින් කඳුළු වෙලා.

‘‘අපි ලයිට් අරන් දෙන්නම්’’ ඇය කියනවා. කිව්ව වගේම දුම්රිය මාර්ගයක් හරහා විදුලි රැහැන් ඇද වැඩි වියදමක් දරා විදුලිය අරං දෙන වැඩේ කාංචනා කරදෙනවා.

කාංචනා ප්‍රදීප් යුවළ එකතුවෙලා මේ මෑතක තවත් පින්කමක් කළා. ඒ ගාල්ලේ අන්ධ නිවාසයක සියලුදෙනාම එක්ව වියදම් දරා පහසුකම් දීලා රුවන්වැලි සෑ වන්දනාවට එක්කරගෙන ආවා.

ඉතින් අන්ධ අයට පේන්නෙ නැහැනෙ කොහොමද ඒ වන්දනාව වුණේ අප ප්‍රදීප්ගෙන් ඇහුවා..

“එදා අපේ ජීවිතේ මහා සතුටක් වින්ද දවසක්, ඒ දෙනෙත් නොපෙනෙන අය රුවන්වැලිසෑ ගර්භය අතගගා පිං දීදි වැන්දේ. ඒ සතුට සිහිකරන සිහිකරන වෙලාවක් පාසාම දැනෙනවා”

ප්‍රදීප් අනුරාධපුරේට ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ බනානා කැෆේ නමින්. නගරයේ සිට මීටර් 400ක් වගේ ඇතුළට මේ කෝපි කඩේ පටන් ගන්නේ.

“ඒක කරනවා කිව්වම මගෙ පවුලේ ඇතැම් අයත් යාළුවොත් කිව්වෙ, අනුරාධපුරෙ කියන්නෙ රස්නෙ පැත්තක් එහෙ කෝපි විකුණන්නෙ කෝමද කියලා. මම කෝෆි ෂොප් එකේම අයිස්ක්‍රීම් වික්කා. අද වෙනකොට ඉතාම සාර්ථකයි. දේශීය වගේම විදේශීය අයත් අප ළඟට කෝෆි වගේම අයිස්ක්‍රීම් ගන්න එනවා. ඔහු කියන්නෙ ඇත්තය. ගූගල් සෙවුම් හි අනුරාධපුර කෝෆි ෂොප් කියා සෙවූ විට එන්නේ ප්‍රදීප්ගෙ බනානා කැෆේය. විදේශීය සංචාරකයන් නගර මධ්‍යයේ නොවන මේ ස්ථානය සොයාගෙන එන්නෙ ඒ උපකාරයෙනි. ප්‍රදීප් අනුරාධපුරේ පදිංචියට ආ නිසාම කාංචනා පානදුරෙන් තඹුත්තේගම මහජන බැංකුවට මාරුවීමක් ගන්නවා. අවුරුද්දකට වරක් බැංකු නිලධාරින්ට ලැබෙන බෝනස් මුදල් සියල්ලම පාහෙ කාංචනා යෙදෙව්වෙත් පින්කමකට හෝ කාට හෝ අසරණයකුට පිහිටටයි. 2018 අප්‍රේල් අග දී ප්‍රදීප් කාංචනා පෙම් යුවළ දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද විවාහ වෙනවා.

“වෙඩින් එකක් කියන එකම විකාරයක් කියන අදහස අපට තිබුණෙ. අපි දෙන්නම විවාහය සඳහා වියදම් ඉතුරු කරගෙන හිටියා. ඒත් ගෙවල්වල අයට වෙඩින් එකක් චාමෙට හරි ගන්න ඕන කියන අදහස තිබුණා. අන්තිමට අපි දෙන්න කැමති වුණා චාමෙට උත්සවයක් ගන්න. ඒ කිව්වේ ආරාධිතයන් 200කට විතර කියලා පුංචි උත්සවයක්. ඒ අම්මල තාත්තලගෙ සතුට ගැනත් හිතලා. ඊළඟට පෝරූවේ චාරිත්‍ර නැකැත් ඒවා මොකුත් නෑ. ඒ චාම් උත්සවයෙනුත් ලක්ෂ දෙකක විතර මුදලක් අපට ලැබුණා. දැන් අපි දෙන්නම ලොකුවට වෙඩින් එකකට ඉතිරි කරපු මුදල්වලට ඒ ලක්ෂ දෙකත් එකතු කළා. එ් සල්ලිවලිනුත් පින්කමක් කරන්නයි අපට ඕන වුණේ’’

“මගේ යාළුවෙක් ඉන්නවා ගෞතම දරුවෝ සංවිධානයෙ ශම්මි කියලා. මම එයාට කිව්වා අපේ වෙඩින් එකේ සල්ලි තියෙනවා. අපි කැමැතියි නිවසක් නැති අසරණ අහිංසක පවුලකට ගෙයක් හදාදෙන්න ඒ මුදලින් කියා. ශම්මිලා හරියට සතුටුවෙලා අපි එක්කරගෙන ගියා වැලිකන්ද ප්‍රදේශයට. ඒ පැත්ත යුද්ධයෙන් දරිද්‍රතාවයෙන් පිරිච්ච පැත්තක්. අපට එහෙ පොඩිමඩුවක් හදාගෙන ජීවත්වෙන මිනිස්සුන්ගෙ ගෙවල් පෙන්නුවා. අපි එක ගෙයක් ඇතුළට ගියා කටුමැටි ගහලා කුඩාම ගෙයක්. දවල් 1ට විතර අපි ඒ කුස්සිය බැලුවා. ආහාරයට ගතහැකි කිසිවක් තිබ්බෙ නෑ. පොඩි අය එක්ක දවල්ටත් අහරක් නැතුව ඉන්න අහිංසකම මිනිස්සු.

“අනේ අපෙ සල්ලිවලින් මෙයාලට ගෙයක් හදාදෙමු.” කාංචනා ප්‍රදීප්ට කිව්වෙ ප්‍රදීප්ගෙ හිතේ තිබ්බ අදහසමයි. ඊට පස්සෙ ගේ ඉදිවෙන්න පටන් ගත්තා ගෞතම දරුවෝ එකමුතුවෙ යාළුවො වගකීම අරං වැඩේ කළා. මීට මාස කීපයකට ඉහත නිවසේ වැඩ නිමාකර බාර දෙන්න හිටියත් ඒක පහුවුණේ පසු ගිය වැහිකුණාටු තත්ත්වයන් නිසා. මේ දෙසැම්බරයේ 2වැනිදා ඉරිදා වැලිකන්දට ගිහින් ඒ නිවස අහිංසක මිනිස්සුන්ට බාරදුන්නෙ අප්‍රමාණ සතුටකින්.

විවාහ උත්සවයක් වෙනුවෙන් ලක්ෂ ගණන් නාස්තිකර වියදම් කර ජෝගි නටන පිරිස් අතරේත් විවාහ උත්සයවක් වෙනුවෙන් දස අතේ ණය වී ණය පොලී බරෙන් පීඩනයට පත්ව ඉන්නා පිරිස් අතරේත් විවාහ උත්සවයට එකතු කළ මුදලින් නිවසක් අහිමිව සිටි අසරණ පවුලකට නිවසක් තෑගී දුන් මේ යුවළ හැබෑම ආදර්ශයක් නොවේද..?

ඔය දෙන්නා අසරණ පවුලකට ගෙයක් හදල දුන්නට ඔය දෙන්න තාම ඉන්නෙ කුලියට නේද..?අපි ඇසුවෙමු.

“අපි ඉන්නෙ කුලියට, තාත්තා ඉඩමක් අරං දුන්නා අනුරාධපුරෙන් අපට. අපිට කුලියට ඉඳලා හිමීට ගෙයක් හදාගන්න පුළුවන්. අපිත් ගේකට කැමැත්තෙන් ඉන්නෙ. ඉතින් දන් දෙන්න ඕනත් අපි කැමැතිම දේවල් නේද..? අපි හිමීට ගෙයක් හදාගන්නවා.. යහපත් වැඩ කරන අපට වරදින්නෙ නෑ. ප්‍රදීප් විශ්වාසයෙන් දුන් පිළිතුර එයයි.

ඒ වුණාට දැන් ඔබේ බිරිඳ ගැබිනියක්. අඩුම තරමෙ ඇයව වෛද්‍ය සායනයට අරං යන්නවත් තවම වාහනයක්වත් නෑ නේද…?

‘‘එහෙම සියල්ල සම්පූර්ණ කරගෙන පින්කම් කරන්න බෑ. දැනට ස්කූටියේ අපි ඒ වැඩ කරගන්නවා. මම කාංචනාව උදේම බස් එකට ඇරලනව. එයා වැඩ ඇරිලා කිලෝ මීටර් 1.5ක් විතර පයින් නිවසට එනවා. එයා කියන්නෙ ඒක ව්‍යායාමයටත් හොඳයි කියල.”

කාංචනා කුස දරා සිටිනා තම දරුවා වෙනුවෙන් සැලසුම් ගැනත් අපි ප්‍රදීප්ගෙන් ඇහුවා.

“අපට දුවක් ලැබෙන බව ස්කෑන් වාර්තාවලින් කියැවුණේ. දුවක හෝ පුතකු හෝ වේවා.. ඔහු හෝ ඇය වෙනුවෙන් ළමා නිවාසයක් තෝරාගෙන නිරන්තර උපකාර කරන්න විමසමින් ඉන්නෙ. කාංචනා නම් දැනට අවුරුදු 5කට පෙර සිටම ආර්ථික අපහසුතා සහිත දරුවන් දෙදෙනකුගෙ වියදම් දරා උගන්වනවා.”

ප්‍රදීප්, කාංචනා සමග නිවාස ලාභී යුවල කිරි උතුරවමින්