අතන මෙතන

මංගලට 30යි

මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී 1989 දී පළමුවැනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වන මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරෙන්නේ මේ අවුරුද්දට ය. ඒ වෙනුවෙන් ‘M30’ තේමාව යටතේ මාතර හා කොළඹ කේන්ද්‍ර කොටගත් උත්සව මාලාවක් පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත්, පසුව එය කොළඹ පැවැත්වෙන එක් සමරු උත්සවයකට පමණක් සීමා කරන්නට සිදු වී තිබේ. ඒ අනුව එළඹෙන මාර්තු 29 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන්නට නියමිත මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කර ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවිධාන තානාපතිනිය වන සමන්තා පවෙල්ට ය.

ඇය ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධාන සියල්ලටම සහභාගි වන ඇමරිකාවේ නිල නියෝජිතවරිය වන අතර පශ්චාත් යුද සමයේ ලංකාවේ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ද වෙයි. විශේෂයෙන් ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ලංකාවේ සිදු වූ ‘ආණ්ඩු මාරුව’ යළිත් ‘ආපිට හරවාගැනීමට’ මහන්සි වූ තානාපති ප්‍රජාව අතර ද සිටි ඇය, එකල ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ විටින් විට ‘ට්විටර් පණිවිඩ’ පවා පළ කරමින් සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මංගල සමග සිටි බොහෝ දෙනකු මේ වන විට ඔහුගෙන් ඈත් වී සිටින නිසා මෙම ‘මංගල සමරු උත්සවය’ සංවිධානය කිරීමේ ‘මුළු මහත් බර’ පැටවී ඇත්තේ, මංගල සමරවීර ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් වන හසිත රාජපක්ෂගේ කර මත යි. දැනගන්නට ලැබෙන හැටියට උත්සවයේ ආරාධනා පත්‍ර ලිවීමට, ඒවා බෙදා හැරීමට පවා කිසිවෙකුත් උදව්වන්නේ නැත. ඒ අනුව මාධ්‍ය ලේකම් හසිත රාජපක්ෂ ‘මංගලගෙන් උදව්ගත් කිසිවෙකුත් මංගලට උදව් කරන පාටක් නැතැ’යි මැසිවිලි කියමින්, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයට අයත් විවිධ ආයතන ප්‍රධානීන්ගෙන් ‘වාහන’ සහ ‘විශ්වාසවන්ත රියදුරන්’ ඉල්ලා සිටින තරමට ‘අසරණ වී’ තිබේ.

ඒ අඩුම තරමින් ‘ආරාධනා පත්‍ර’ බෙදවා ගැනීමට ය. අවාසනාවට, බොහෝ ආයතන ප්‍රධානීන්ගේ පිළිතුර වී ඇත්තේ, ‘වාහන සැපයිය හැකි නමුත් විශ්වාසවන්ත රියදුරන් සොයාගැනීම අපහසු බව’ යි. කෙසේවෙතත් අවසානයේ දී ‘සැලසිනේ’ සභාපතිවරයා වෙත ගොස් තිබෙන මංගල ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් හසිත රාජපක්ෂ ‘ආරාධනාපත් ලිවීම’ බලහත්කාරයෙන් ම ඔහුට බාර දී ඇති බව වාර්තා වේ. ඒ අනුව දැන් ‘සිය නිල කාමරයේ මේසය මත තබාගෙන’ එම ආරාධනා පත්‍ර ලියමින් සිටින්නේ, සැලසිනේ සභාපතිවරයා ය.