News

භීෂණ සමයේ මළවුන් අතර – රිචඩ් ද සොයිසා

දොර දොර මළ බෙර වැයුණු, ගොඩ ගොඩ ටයර් සෑ ඉදි වුණු, ‘භීෂණ සමයේ දේශපාලන ඝාතනයක්’ වශයෙන් ඉතිහාසගතවුණු ‘රිචඩ් ද සොයිසාගේ ඝාතනය’ට වසර විසි නවයක් සපිරිණි. ඒ පසුගිය පෙබරවාරි 19 වැනිදාට ය.

රිචඩ්ගේ ඝාතකයින් ඔහු ව සොයා පැමිණ තිබුණේ, 1990 පෙබරවාරි 18 වැනිදා ‘එළිවන පාන්දර’ 3.30 ට පමණ ය. ඒ ඔහුත්, ඔහුගේ මව මනෝරාණි සරවනමුත්තුත් එවකට ජීවත් වෙමින් සිටි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි නිවසට ය. ඒ වන විටත් රිචඩ් අවදිව සිට ඇත්තේ,‘ඔටෝ රෙනෝ කැස්ටිලෝ’ නමැති විප්ලවවාදී කවියාගේ ‘Apolitical Intellectuals’ (අදේශපාලනික බුද්ධිමතුන්) නමැති කවිය පරිවර්තනය කිරීම සඳහා ය.

ඝාතකයින් මුලින්ම ගොස් ඇත්තේ, ජාතික රූපවාහිනියේ ඉංග්‍රීසි පුවත් නිවේදිකා නොයෙලින් හොන්ටර්ගේ නිවසට ය. එහිදී ඇගේ සැමියා වන කෙනත් හොන්ටර්ගෙන් රිචඩ් ගේ නිවසට යන පාර අසාගෙන ඇත්තේ ඔහුට තර්ජන ගර්ජන කරමින් බියවැද්දීමෙන් අනතුරුව ය. කෙනත් හොන්ටර් මේ බව රිචඩ් ගේ මිත්‍ර මාධ්‍යවේදී අර්ජුන රණවනට දන්වා ඇති අතර, එහෙත් අර්ජුන එම පණිවිඩය රිචඩ් වෙත ලබා දෙන්නට උත්සහ කරන විටත් ඝාතකයින් ඔහුව පැහැරගෙන තිබිණි.

ඒ අනුව රිචඩ් පැහැරගෙන යාමෙන් පසු ගතවූ පළමු පැය ඇතුළත වැලිකඩ පොලිසිය වෙත ගිය මනෝරාණි සරවනමුත්තු, සිය පළමු පැමිණිල්ල සටහන් කරන්නේ මෙසේ ය.

‘‘අංක 32 ශ්‍රී 4748 දරන කොළපාට ජීප් රථයෙන් පැමිණි කිහිප දෙනෙකු කිසිදු හේතු දැක්වීමකින් තොරව මගේ පුතා රිචඩ් ව පැහැරගෙන ගියා.’’

පසුදා දහවල් වන විට රිචඩ් ගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරලවැල්ලට ගොඩ ගසා තිබිණි. එදා එම ආරංචිය මොරටුව පොලිසිය වෙත ගෙන ගොස් තිබුණේ, මොරටුවේ ධීවර බෝට්ටු හිමියෙකු විසිනි. ඉන් අනතුරුව එතැනට රැගෙන ගිය මනෝරාණී සරවනමුත්තු විසින් රිචඩ් ගේ මළ සිරුර හඳුනාගෙන තිබුණි. වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු රිචඩ් ද සොයිසා ඝාතනය පිළිබඳ නඩුව ‘ෆයිල් කරන්නේ’ ඉන්පසුව ය. බැටී වීරකෝන් ප්‍රමුඛ නීතීඥ මඬුල්ලක් මඟින් විසි පස් අවුරුද්දක් තිස්සේ මෙහෙයවුණු එම නඩුව 2005 දී අවසාන විය. එහෙත් ඒ වන විටත් එම නඩුවේ පැමිණිලිකාරිය වූ රිචඩ්ගේ මව, වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු ජීවතුන් අතර නොසිටියා ය. එමෙන් ම ඇයත්, ඇගේ නීතීඥවරුනුත් සැක කළ පරිද්දෙන් එම ඝාතනයේ වගකීම එවකට පැවැති ආණ්ඩුව, ආරක්ෂක අමාත්‍යංශය සහ පොලීසිය මත පැටවුණේ ද නැත. නොඑසේ නම් ඔවුන්ගේ සාක්ෂි සැකයෙන් තොරව ඔප්පු වූයේ නැත.

මේ ආකාරයට භීෂණ සමයේදී අභිරහස් ලෙස ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසා ට වයස අවුරුදු 31 ක් විය. ඔහු ඒ වන විටත් ඒජන්සි මාධ්‍ය වෙත තොරතුරු සපයන ලද මාධ්‍යවේදියෙකි. එමෙන් ම විද්‍යුත් මාධ්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් නිවේදනය කළ නිවේදකයෙකු ද විය. යශෝරාවයෙහි සහ යුගාන්තයෙහි මෙන් ම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑ බැවින් ‘නළුවෙකු’ විය. දේශපාලනික තේමා යටතේ, විශේෂයෙන් ම භීෂණ සමයේ අද්දැකීම් ඇසුරින් කවි ලියූ බැවින් ‘කවියෙකු’ ද විය.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ තරුණ දේශපාලකයෙකුව සිටි ලලිත් ඇතුලත්මුදලිගේ ද සමීපතම මිතුරෙකු විය. එවකට එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන තිබුණු නායකත්ව අර්බුදයේ දී ‘ප්‍රේමදාස විරෝධය’ ඇවිලවීම වෙනුවෙන් ද සිය මාධ්‍ය හැකියාවන් සහ කලා හැකියාවන් පාවිච්චි කරමින් ලලිත් ඇතුලත්මුදලිට උදව් කළේ යැයි ද කියැවේ. ඊට හොඳම උදාහරණය ලෙසින් ගෙනහැර දැක්වෙන්නේ, රිචඩ් ද සොයිසා විසින් අගමැති ප්‍රේමදාස දේශපාලන වශයෙන් විවේචනය කිරීම අරබයා ‘මේ කවුද මොකද කරන්නේ?’ නමින් වේදිකා නාට්‍යයක් රචනා කිරීම ය.

මෙවැනි කරුණු කාරණා අනුව, ‘රිචඩ් ද සොයිසා ඝාතනයේ වගකීම’ අගමැති ප්‍රේමදාසගේ සහ සහ එවකට ආරක්ෂක ඇමති වූ රන්ජන් විජේරත්නගේ කරමත පැටවීම සාමාන්‍ය දෙයක් විය. එමෙන් ම ‘රිචඩ් ද සොයිසා ඝාතනය’ ගැනුණේ, මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් වශයෙනි. එකල ආරියනන්ද දොඹගහවත්ත, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්‍රේමතිලක, චන්දන කීර්ති බණ්ඩාර, වරුණ කරුණාතිලක වැනි මාධ්‍යවේදීන් විසින් ආරම්භ කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වඩාත් ජව සම්පන්න වීමට ද රිචඩ් ද සොයිසාගේ ඝාතනය ප්‍රබල සාධකයක් විය.

එහෙත් ‘රිචඩ් ද සොයිසා ඝාතනය වූයේ මාධ්‍යවේදියෙකු නිසා නොව; ජ.වි.පෙ. ඉහළ පෙළේ චරිතයක් වූ නිසා ය’ යන ප්‍රවාදය මුල්වරට ගෙන ආවේ රාවය කර්තෘ ව සිටි වික්ටර් අයිවන් ය. ඒ 2001 පෙබරවාරි 25 වැනිදා සිය දේශපාලන කොලම තුළිනි. එම වසරේ ම මාර්තු 2 වැනිදා ‘අයිවන්ගේ මතය’ පිළිගනිමින් ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ලිපියක් ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම ද පවසන්නේ, රිචඩ් ද සොයිසා එවකට ක්‍රියාත්මක වූ ඝාතන රැල්ලට හසු වූ ‘හුදු අහිංසකයෙකැ’යි තවදුරටත් කිව නොහැකි වනු ඇති බව ය. සී.ඒ.චන්ද්‍රප්‍රේමගේ අවසන් විග්‍රහය වූයේ, රිචඩ් ද සොයිසාගේ නීති විරෝධී ඝාතනය කිසිදු ලෙසකින් සාධාරණීකරණය කළ නොහැකි නමුත්, හුදෙක් එය එවකට පැවැති ආණ්ඩුව ඔහුගේ ජනමාධ්‍ය ක්‍රියාකාරකම් ඉලක්ක කරගෙන ම කළේ ය යනුවෙන් කිව නොහැකි බව යි.

ජ.වි.පෙ.ට සම්බන්ධව සිටි ප්‍රධාන පෙළේ තුන්දෙනෙකු සමඟ රිචඩ් ද සොයිසාට සම්බන්ධකම් තිබී ඇත. ඉන් එක් අයෙකු වූයේ, ජ.වි.පෙ. සන්නද්ධ අංශය වූ ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙහි’ නායකයා වූ ‘කීර්ති විජයබාහු’ හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දු ය. අනෙක් පුද්ගලයා පසු කාලයේ ජ.වි.පෙ. නායකත්වයට පත් වන සෝමවංශ අමරසිංහ ය. ඊට අමතරව ජ.වි.පෙ. තරුණ සහ ශිෂ්‍ය අංශය භාරව කටයුතු කළ ඩී.එම්. ආනන්ද ද රිචඩ් ගේ සමීපතම හිතවතෙකු විය.

‘කීර්ති විජයබාහු’ට රහසිගතව පක්ෂයේ වැඩකටයුතු කරගෙන යාම සඳහා, නිවසක් ලබා දී තිබුණේ රිචඩ් ගේ මැදිහත්වීම මත ය. නාවල පිහිටි නිවසේ පදිංචිව සිටියදී ‘කීර්ති විජයබාහු’ අත්අඩංගුවට ගැනෙන්නේ රිචඩ් ද සොයිසාගේ ඝාතනය වීමට මාස දෙකකට කලින් දිනකදී ය. ඒ බව පවසන්නේ පසුකාලීනව ජ.වි.පෙ. කැරැලි සම්බන්ධයෙන් ‘තොරතුරුමය සාහිත්‍යයක්’ ගොඩනංවන ධර්මන් වික්‍රමරත්න ය.

රිචඩ්, තමන්ට මාධ්‍යවේදියෙකු වශයෙන් පැවැති කලාපීය තොරතුරු සම්බන්ධතා ද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග පැවැති දේශපාලන සම්බන්ධතා ද පාවිච්චි කරමින්, ඩී.එම්.ආනන්දට ‘රෝ සංවිධානය’ සමඟ සම්බන්ධයක් සාදා දී තිබුණු බවට පසු කලෙක අනාවරණය විය. මේ අතර සෝමවංශ අමරසිංහටත්, ඔහුගේ බිරිඳ අයිරාංගනීටත් පුතාටත් රටින් පලා යාමට පෙර මාස දෙකක් තිස්සේ ආරක්ෂිතව සැඟවී සිටීම සඳහා නිවසක් ලබා දී තිබුණේ ද රිචඩ් ද සොයිසා විසිනි. ඒ බව අනාවරණය වූයේ පසු කාලයේ ‘ලංකා’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන සෝමවංශ අමරසිංහ ම කියන කතාවකිනි.

කෙසේවෙතත්, මාධ්‍යවේදියෙකු වූ නිසා හෝ, ආණ්ඩු විරෝධියෙකු වූ නිසා හෝ, ප්‍රේමදාස විරෝධියෙකු වූ නිසා හෝ, එසේත් නැත්නම් ජ.වි.පෙ. නොනිල ප්‍රබලයෙකු වූ නිසා හෝ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසා ‘තමන්ගේ ඝාතකයින් තමන් පසුපස ලුහුබඳිමින් සිටින බව’ ඉවෙන් මෙන් දැන සිටියා විය හැකි ය.

ඔහු අතින් ලියැවුණු කවි අතර මෙවැනි කවියක් ද තිබුණි. ඔහු එය ලියා තිබුණේ ඔහුගේ ම මේසය මත තිබුණු සුදු කඩදාසි කිහිපයක් දෙස බලාගෙන ය.

‘‘සුදෝ සුදු පැහැති
හිස්‌ පිටුවක් වගේ
මමද
මිය යන අයෙක්‌ වෙමි…‘‘

එකී කවියෙන් කියැවුණේ, භීෂණ සමයෙහි ‘මරණය’ නමැති කාරණයෙහි සුලබ බව ගැන ය. ‘මරණය’ කොයිතරම් සාමාන්‍යකරණය වූ දෙයක්ද යන්න ගැන ය.

කෙසේ වෙතත්, තව මාස කිහිපයක් ජීවත් වීමේ වරම් තිබුණි නම්, රිචඩ් ද සොයිසා ‘ඉන්ටර් ප්‍රෙස්’ හි වාර්තාකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා පෘතුගාලයේ ලිස්බන් නුවරට පිටත්ව යන්නට ඉඩ තිබිණි. ඇත්තෙන්ම ඔහු මිය යන විටත්, ඒ වෙනුවෙන් වූ ගිවිසුම් අත්සන් කර තිබුණි.

– සුරේඛා සමරසේන