විශේෂාංග

භික්ෂුවකගේ දේශපාලනය

මුරුගසං වරුසාව නම් මහා වරුසාවක් ගැන බණ පොතේ සඳහන්ය. ලෝක විනාසයේදී වසින මේ වැස්සට තෙමෙන මිනිස්සු උමතු වෙති. මුරුගසං වරුසාවට තෙමුණ පසු මිනිසාට මේ හොඳින් මිත්‍රත්වයෙන් සිටි තැනැත්තාව පෙනෙන්නේ වන මෘගයකු සේය. අන්තිමට පොළොවේ තිබෙන තණපත් පෙනෙන්නේ කඩුපත් විලාසයටය.

ගෙවුණු අප්‍රේල් 21 දා සිට මේ රටේ සිදු වූ දේ දෙස බැලීමේදී අපි මේ මුරුගසං වරුසාවට නොදැනී නොපෙනී තෙමී ඇත්දැයි සිතෙන තරම්ය. මේ මොහොතේ පරම මිත්‍රයකු සේ පෙනීගිය තැනැත්තා ඊළඟ නිමේෂයෙන් වන මෘගයකු සේ පෙනීමත් තණපත් කැපීමට කඩුපත් පෙනීමත් ආදිය මේ මුරුගසං වර්ෂාවට තෙමීම ගැන අපටම සැක ඇතිවෙන තැන්ය.

පසුගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සිපිරි ගෙයින් නිදහස් කළෝය. එදා මුස්ලිම් සමාජයේ බලවත් විරෝධයට හේතුව සිටි ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීමට සිපිරි ගෙට ගියේ අසාද් සාලි නම් මුස්ලිම් නායකයාය. ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස මහත් සේ අගය කරමිනි අසාද්සාලි ඊට මැදිහත් වූයේ. නිදහස් වී ආ ඥානසාර හාමුදුරුවෝ පසුගිය සඳුදා රිෂාඩ් ඇතුළු මුස්ලිම් ඇමැතින් නෙරපීම සඳහා උපවාස කරන රතන හිමියන්ට සහාය පළ කරමින් නුවර සිට පා ගමනින් කොළඹට වඩිමින් උන්හ.

රිෂාඩ් අසාද් සාලි ඇතුළු මුස්ලිම් ඇමැති කණ්ඩායමම මේ විරෝධය හමුවේ එකාවන්ව ඉල්ලා අස්වූහ.
‘‘ඥානසාර හාමුදුරුවෝ ගැන විශාල බයක් අපිට ඇතිවුණා. ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් අපිට පහර දීලා තවත් විශාල අවුලක් කරයි කියලා හිතුණ නිසා අපි සේරම අස් වුණා’’

කිසිදු පෙළපාළියක් යා නොහැකිව හිරේ විලංගුවේ සිටි ඥානසාර හිමිට නිදහස ගෙනත් දුන් අසාද් සාලි ඇතුළු ඇමැතිවරු එසේ කියා තනතුරුවලින් අස් වෙද්දී අපට මතක් වන්නේ මුරුගසං වරුසාවය.

හිර ගෙදරදීත් අරහත් ධජය දරාගෙන සිටි ඥානසාර හාමුදුරුවෝ එළියට වැඩි සඳ තමන් එතෙක් දැරූ ජාතික ධජය වෙන අය අත තිබෙනු දුටුවෝය. පසුදාම හාමුදුරුවෝ මෙසේ දෙසූහ.

‘‘මේ මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නෙ ගැන හරියට දන්නේ අපි. ඒ නිසා මම කියනවා කරුණාකරලා දේශපාලනඥයෝ මේකෙන් අයින් වෙන්න. අපේ හාමුදුරුවොත් මේවා ගැන දන්නේ නෑ. ඒ නිසා මම හාමුදුරුවන්ටත් කියනවා කරුණාකර නොදන්න දේවල්වලට මැදිහත් වෙන්න එපා. ප්‍රශ්න අපි බේරන්නම්’’

උන් වහන්සේ එසේ පැවසුවේ හලාල් විරෝධය, අලුත්ගම සටන ආදී සටන්වල යෙදී අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට බඳුන් වෙද්දී ආණ්ඩුව පැත්තේ උන් අය තමන් නැති අතරේ තමන්ගේ ධජය උදුරාගෙන තමන් නැති අතරේ වැජඹෙමින් උන් නිසාය.
රිෂාඩ් ඇතුළු ඇමැතිවරුන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙන යහපාලන ආණ්ඩුවක් ගොඩ නැගූ රතන හිමි, චම්පික රණවක මන්ත්‍රීවරයා ආදීන් දැන් මුස්ලිම් අන්තවාදයට එරෙහි සටනේ සිටීම උන්වහන්සේව රිදීමට කාරණාව විය. එස්මන්ඩ් වික්‍රමසිංහ පුත් රනිල් වික්‍රමසිංහයන් දොන් ජුවන් ධර්මපාල යැයි බෞතිස්ම කළේ චම්පික රතන හිමි ඇතුළු පිරිස පුවත්පත් සාකච්ඡාවලදීය. යහපාලන ආණ්ඩුව ගොඩනගන විට පොදු අපේක්ෂකයාටද දොන් ජුවන් රනිල්ටද ජාතික ආගමික වටිනාකමක් දීමට පංචශීලයේ පිහිටු වූයේ සෝභිත හිමි රතන හිමි ඇතුළු පිරිසය. රිෂාඩ් පමණක් නොව භික්ෂූන්ට චීවරධාරීන් මෝඩ වහන්සේලා යැයි පෙනෙන මංගලලාට ආණ්ඩු හදා දුන්නේද රතන හිමි ඇතුළු පිරිසය.
එසේ වූ රතන හිමි එය පැහැර දළදා මාලිගාව අබියස රිෂාඩ් බදියුදීන්ට හා ආණ්ඩුකාරවරු දෙදෙනකුට එරෙහිව හිඳ ගැනීම දේශපාලනය දත් අයගේ විමතිය වැඩුවේය.

ආගමික අන්තවාදය ගැන ඉගැන්වෙන සිය ගණනක් වූ අලුත් තව්හිද් ජමාත් පල්ලිද මදරේසා දහම් පාසල්ද සියලු ආගමිකයන්ට ප්‍රශ්නයක් විය. නැගෙනහිර ඉදිකෙරෙන විශ්වවිද්‍යාලය අනාගත පරපුරට ප්‍රශ්නයක් විය. සිංහල මව්වරුන් වඳභාවයට පත් කරන ගර්භාෂ යුද්ධය පිළිබඳ කාරණය අනාගත ජාතිය හමුවේ විය. දෝෂාභියෝගය ගෙනාවේ නම් පළමු වරට ඇමැතිකම් මන්ත්‍රීකම් නොසලකා ක්‍රිස්තියානි මන්ත්‍රීන් ආණ්ඩුවට එරෙහිවීමට නියමිත විය.

මේ සියල්ල රතන හිමියන්ගේ උපවාසය නිසා අඩි පහක්වත් උස නැති රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට වඩා මිටි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ඇමැතිකමෙන් අස් වූ පසු රතන හාමුදුරුවෝ උපවාසය හමාර කර නැගිට්ටේ සහරාන්ගේ සගයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අත ජනාධිපතිවරයා එවූ පණිවුඩයකට අනුවය.

මේ මුරුගසං වරුසාවට තෙමීමේ ආදීනවය.

මේ සටහන ජාතක කතාවක් සේ අතීත කතාවක්ද ගෙන හැර දක්වමින් අවසන් කළ හැකිය.

අප රතන හාමුදුරුවෝ අතීතයේද මෙසේම වූහ.

ඊට පෙර 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමට මහත් මෙහෙවරක් කළ රතන හිමි ඒ ආණ්ඩු සමයේ කැබිතිගොල්ලෑව ප්‍රහාරය සටන් විරාම ගිවිසුම් උල්ලංඝනයන් කරමින් එල්ල කළ ප්‍රහාර ද හමුවේද මුනිවතින් සිට කොටි මාවිල්ආරු වේල්ල වැසූ සැණින් අනුරාධපුරේ සිට පෙළපාළියක් ඇරඹුවේ යුද්ධය ආරම්භ නොකළහොත් තනිවම උතුරට යන බව කියමිනි. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් ඇරඹීමට වුවමනා සියල්ල 2006 වන විට එවක රජය සපුරා තිබිණ. පිරිස් බලය වෙඩි බලයද ගොඩ නගාගෙන යුද සූදානම තිබිනි. ඉන්පසු කොහොමත් ඇරඹෙන්නට තිබූ යුද්ධය ඇරඹුණි.

බෞද්ධ මහා සම්මේලනය අන්‍ය ආගමීකරණයට එරෙහිව කොමිසමක් පත් කර වසර දෙකක් රට පුරා තොරතුරු රැස් කර අන්‍යාගමීකරණයට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානම් විය.

එය ශාසනයේද බෞද්ධයාගේද එදා මහත් ආන්දෝලනයට හේතු වූ කාරණයක් විය. ඒ වන විට 2010 මහමැතිවරණය ආසන්න වෙමින් තිබිණ. බෞද්ධ සම්මේලනයේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානම් වෙද්දී රතන හාමුදුරුවෝ තම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනතක් පාර්ලිමේන්තුවට ගෙනාහ. ඒ ආන්දෝලනය යට ගියේය. මහ ඡන්දයට පාර්ලිමේන්තුව විසුරුවූ නිසා ඒ පනත සම්මත වූයේද නැත.

රතන හිමියන් ග්ලයිෆොසෙට් නම් විෂ රසායනය තහනමට පෙනී සිටියේය. දැන් ග්ලිෆොසෙට් විස ආයෙත් වෙළෙඳපොළේය. එසේම රිෂාඩ් බදියුදීන්ලාද මදරේසා ද විශ්වවිද්‍යාලද, වහබ්වාදයද, ගර්භාෂ යුද්ධයද ඉදිරියටත් පවතිනු ඇත. මුරුගසං වරුසාව දිගටම වසිනු ඇත. මේ අපේ යුගයේ භික්ෂුවකගේ දේශපාලනය ලෙස ඉතිහාසයේ පවතිනු ඇත.