විශේෂාංග

බෝට්ටු කුලියට දුන් තර්ස්ඩේ දූපතේ සිංහලයෝ

පෙර ලිපියක සඳහන් කළ පරිදි සිංහලයන් තර්ස්ඩේ දූපතට මුලින් පැමිණෙන්නේ මුතු කර්මාන්තයට සම්බන්ධ බෝට්ටුකරුවන් හා ශිල්පීන් ලෙසය. එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රධාන ගොඩබිමත් තර්ස්ඩේ දූපතත්. තර්ස්ඩේ දූපත හා වෙනත් දූපත් අතර මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු යාත්‍රාවල සේවයටද සිංහලයන් එක්ව ඇති බව පෙනේ. ඊට අමතරව අසාන් (Assan), අහමඩ් (Ahamat)  හා මිස්කින් වැනි ලංකාවෙන් පැමිණි බව කියන මුස්ලිම්වරුන් කිහිපදෙනකුගේ නම්ද සඳහන් වේ.

දූපතේ ‘වික්ටෝරියා පැරේඩේ’ නම් ප්‍රදේශයේ කොටසක් භාවිතාවේ නම් වී ඇත්තේ ‘Cingalese Quarter’ (සිංහල ප්‍රදේශය) ලෙසය. දූපතේ සිටි සිංහලයන් ජීවත් වී ඇත්තේ මේ ප්‍රදේශයේය. ජේම්ස් අප්පු ඩී. සිල්වා නම් සිංහලයකු සිංහලයන් සඳහා බෝඩිමක්ද මේ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත. එය Cingalese Boarding House යනුවෙන් හඳුන්වා තිබේ. ජේම්ස් අප්පු ඊට අමතරව බිලියඩ් ක්‍රීඩා කාමරයක්ද පවත්වාගෙන ගොස් තිබේ. එහි සේවය සඳහා යොදවාගෙන ඇත්තේ ‘අන්දිරිස්’ නම් සිංහලයෙකි. ජේම්ස් අප්පු පසුව සිංහල කඩයක්ද ආරම්භ කර තිබේ.

එය ‘Cingalese Store’  යනුවෙන් හැඳින්වී තිබේ. ජේම්ස් අප්පුගේ බෝඩිමත්, සෙසු ව්‍යාපාරත් පිළිබඳ දැන්වීම් නිතර ප්‍රාදේශීය පුවත්පතේ පළවී තිබේ. එයට අනුව ඔහු බෝට්ටු කුලියට දීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් තිබේ. බෝට්ටු කුලියට දීමද තර්ස්ඩේ දූපතේ සිටි සිංහලයන් අතර ජනප්‍රිය ව්‍යාපාරයක් බව පෙනී යයි. ජේම්ස් අප්පුට අමතරව එම්.ඩබ්ලිව්. බැස්ටියන්, ජේ. හරමානිස්, සාරිස් අප්පු, අහමට් හා ජේ.පී. ජේම්ස් වැනි සිංහලයන් එම ව්‍යාපාරයේ යෙදුණු බවට පැරණි වාර්තාවල සඳහන්ය.

මුතු කර්මාන්තයට සම්බන්ධ සේවකයන් ලෙස පැමිණි සිංහලයන් සමහර දෙනෙක් ස්වර්ණාභරණ හා මැණික් ව්‍යාපාරයේ යෙදීමට ඔස්ට්‍රේලියානු රජයෙන් ලබාගත යුතු අවසරය ලබාගෙන එම කර්මාන්තයේ නිරත වී තිබේ. ජේම්ස් ජේ. සිල්වා, හෙන්රි ලුයිස් සයිමන් (ඔහු වර්ෂ 1888දී Practical Jeweller and Gold Smith සහ Dealevin Ceylon Curios and Jewellery)  නමින් සිය ව්‍යාපාරයට ප්‍රචාරය දී ඇත.) පී.එච්. එන්දෝරිස් (Endoris) නම් අයකුද මේ ව්‍යාපාරයේ යෙදී ඇත. වර්ෂ 1890 දී සයිමන් සහ ඩබ්ලිව්.ඊ. විමලසුන්දර (Wimalasundara)  නම් අයකු ස්වර්ණාභරණ වෙළෙඳසලක් ආරම්භ කර ඇත. 1892 දී එස්.ඒ.ඩී. සිල්වා නම් අයකු දූපතේ නොමැන්ඩි වීදියේ ස්වර්ණාභරණ වෙළෙඳසලක් ආරම්භ කර තිබේ. මෙම ලිපිය සමග වෙනම පළවෙන ලිපියේ කියැවෙන වයි.බී. සරනේලිස් එවැනි ස්වර්ණාභරණ ශිල්පියෙකි. එසේම පුංචිහේවා, මෙන්ඩිස්, දීරිස්, ජේ.සී. අමදෝරිස් හා එච්.එල්. මව්ලිස් (Mowlis) ආදී වශයෙන් සිංහලයන් මේ ව්‍යාපාරයට එක්ව තිබේ.

මේ සිංහල ව්‍යාපාරිකයන් ලංකාවේ ‘මැණික්’ විකිණීම ප්‍රධාන වශයෙන් සිදුකර තිබෙන බව පෙනී යයි. දූපතේ සිටි ජපන්, චීන, මැලේ, ඉන්දුනීසියානු, පිලිපීන, සිංගප්පූරු, ඉන්දීය, ඉංග්‍රීසි, ඔස්ට්‍රේලියානු හා වෙනත් ජාතීන් අතර මේවා අලෙවි වන්නට ඇත. එසේම දූපත මුතු නිපදවන මධ්‍යස්ථානයක් වූ බැවින් ලෝකයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් බහුලව ගැවසුණු ස්ථානයක් විය. ඔවුන්ද මේ මැණික් පාරිභෝගිකයන් අතර සිටින්නට ඇත.

මැණික්වලට අමතරව තවත් අපූරු ශ්‍රී ලාංකික නිෂ්පාදනයකට දූපතේ ඉල්ලුමක් තිබූ බව පෙනී යයි. ඊට හේතුව දූපතේ සිංහල ව්‍යාපාරිකයන් පළ කළ වෙළෙඳ දැන්වීම්වල බහුලව ඒ පිළිබඳව සඳහන් වූ බැවිනි. එම ලාංකීය නිෂ්පාදනය ‘Ceylon Lace’  හෙවත් රේන්දය.

එමෙන්ම ලංකා තේ ව්‍යාපාරයේ යෙදුණු පිරිස්ද සිටි බව පුවත්පත් දැන්වීම්වලින් පෙනේ. දූපතේ ඩග්ලස් වීදියේ තැපැල් ලිපිනය සඳහන් The Queensland Oriental Trading Co.  නම් සමාගමක් ‘Sinhala Tea’ නමින් ලංකාවේ තේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබේ.

එපමණක් නොවේ, වර්ෂ 1907 තරම් ඈත කාලයේ තර්ස්ඩේ දූපතට ලංකාවේ සිට තැපෑලෙන් ව්‍යාපාර කළ බවටද සාක්ෂි වශයෙන් පුවත්පත් දැන්වීම් තිබේ. වර්ෂ 1907 පෙබරවාරි 14දා ‘Pilot’  නම් දූපතේ ප්‍රාදේශීය පුවත්පතේ පළවූ දැන්වීමකට අනුව කළුතර ලිපිනය සඳහන් J. Wickramanayak & Co.  නම් සමාගමක් තැපෑලෙන් තර්ස්ඩේ දූපතට මැණික් විකිණීමට දැන්වීම් පළකර තිබේ. එම දැන්වීම මෙබඳුය.

”Ceylon Precious Stones. Direct from the Gemming District to Jewellery – Manufactures. Sample Packet of 100 Cut Stones, Rubies, Sapphires, Etc f S.O.O. Send P.O. Money Order to J.Wickramanayaka & Co, Kalutara, Ceylon and Try a packet it will lead to good buisness. Best references what other goods do you vequire from Ceylon?”

නුවන් කන්කන්ද