brand logo

බෝට්ටුව නැවක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ පවුල් වලට වන්දි මුදල් පිරිනැමේ

08 January 2019

ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්‍ෂණ වන්දි ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (08)දින සිදු කෙරිණ. මෙලෙස රක්‍ෂණ වන්දි ලෙස එක් ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 12 බැගින් ජිවිතක්ෂයට පත්වූ ධිවරයින් දෙදෙනාගේ යැපෙන්නන්ට රුපියල් ලක්‍ෂ 24 ක් පිරිනැමිණ. “සමුද්‍ර ශක්ති ” රක්‍ෂණ හිමිකම යටතේ මෙම රක්‍ෂණ වන්දි ප්‍රදානය සිදු කෙරිණ. කළුතර ප්‍රදේශයෙන් ධීවර රැකියාවට ගිය ඒ.ඒ.අමිල පුෂ්පකුමාර සහ එම්.දනුෂ්ක මදුශංක යන දෙදෙනා ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව අනතුරට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත් විය. මෙම දෙදෙනා “ සමුද්‍ර ශක්ති ” රක්‍ෂණය සදහා දායක වී ඇත්තේ 2018.09.11 දිනය . එදිනට පසුදි 12.09.2018 මෙම අනතුර සිදු වී ඔවුන් දෙදනා ජීවිතක්‍ෂයට පත්ව තිබුණි. මෙම වන්දි ප්‍රදානයේදී අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා කියා සිටියේ “ ඇත්තෙන්ම මෙය ධීවරයා ලැබු විශාල ජයග්‍රහණයක්. මොකද මෙතෙක් ධීවරයෙකු වෙනුවෙන් මෙවන් වන්දි පිරිනැමීමක් වෙලා නැහැ. ස්වභාවික විපතකදී මිය ගිය ධිවරයින් සදහා පමණක් රුපියල් ලක්‍ෂ 10 ක රක්‍ෂණ වන්දි මුදලක් පිරිනැමුණා . නමුත් මම කලපනා කළා ධීවරයා මේ කර්මාන්තයේ නිරත වෙන්නේ තම ජීවිතය පරදුවට තියලා. ඒ ධීවරයා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට සහනයක් සැලසීමට වැඩපිළිවෙලක් තිබීම ඉතාම වැදගත් බව. ඒ අනුව මම මැදිහත් වෙලා මේ නව රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළා” යනුවෙන් අදහස් දැක්විය. “ ඇත්තෙන්ම මට අවශ්‍ය ධිවරයට ලබාදිය හැක්කේ කුමක්ද ඒ සියල්ල ධිවරයට ලබා දීමයි . ඒ වෙනුවෙන් මම කැපවෙනවා . ඉදිරි මාස කීපය තුල ධිවර ජනතාවට කඩිනමින් ලබාදිය හැකි සහන ලබාදීමට මම කටයුතු කරමින් සිටිනවා . ඒ පිළිබද සියළු යෝජනා මේ වන විටත් ඉදිරිපත් කරලයි තියෙන්නේ . ” “ මේ වෙලාවේ මම කියන්න ඕනේ කවුරු අකමැති වුනත් ඇතැම් සමාගම් සෑම විටම උත්සහ කලේ මේ ධිවර ජනතාවට හිමි දේ නොදෙන්න . වාහනයක් රක්‍ෂණය කරන්නේ ඇයි . හදිසි අනතුරකදී සහනයක් ලබාගැනීමට . නමුත් ඒ අයිතිය මෙතෙක් ධිවරයට හිමි වී තිබුනේ නැහැ . නමුත් නියම වෙලාවට ධිවරයාගෙන් වාරිකය ලබාගන්නවා . මේ නිසා මම නව රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට කොන්දේසි ගණනාවක් අපේ ධිවර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා . ඒ අතර දැනට රක්‍ෂණ හිමිකම් ලබන වයස් ප්‍රමාණය වසර 05 කින් වැඩි කිරීම . යම් අනතුරකට ලක්ව රැකියාවට යාමට නොහැකි ධිවර පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙන යාමට ආධාර කිරීමේ වැඩපිළිවෙලක් . ඒ සදහාත් මේ රක්‍ෂණ ක්‍රමය යටතේ රැකවරණය ලැබෙනවා . ” “ ඒ නිසා මෙලෙස රක්‍ෂණ වන්දි හිමිවන අයගෙන් මම ඉල්ලන්නේ එකම දෙයයි . මේ මුදල දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මෙන්ම ජීවත්වීමට ආදායම් මාර්ගයක් උපයාගැනීමට යොදාගන්න කියලයි .” යයි ද පැවසිය . මෙම රක්‍ෂනාවරණය මිරිදිය ධිවර ජනතාව වෙනුවෙන් හදුන්වා දීමද මෙහිදී සිදුකෙරිණ . මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතා ,ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් . ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
 

More News..