විශේෂාංග

බෝංචි ඇටේ වටේ ගිය කතාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක වාරයක් මැෂින් ගෙනල්ලා බීජ බෝංචිවල තෙතමනය පරීක්ෂා කළා. ඊට පස්සේ අපේ බීජ බෝංචි පාර්සල්වලට සීල් තියලා රිකිල්ලගස්කඩ බෝංචි බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානයට එන්න කිව්වා. අපි ඉතින් බීජ අරන් යනවා. එහේ ගියාම කියනවා මේවා වේලිලා මදි, තව ටිකක් වේලන්න කියලා. ගොවීන් බීජ බෝංචි ආපහු ගෙනිහින් නැවත වේලනවා. මේ වැඩේ අවස්ථා කිහිපයකදීම සිද්ධ වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්තුරු දැන් අපට බෝංචි වගාව එපා කරවලයි තියෙන්නේ’’ එසේ පවසන්නේ රිකිල්ලගස්කඩ, දුනුකේබැද්ද, ප්‍රදේශයේ ‘‘බීජ බෝංචි’’ වවන ගොවි මහතකු වන එස්.එම්. සෙනෙවිරත්නය. ඔහු අපට මුණ ගැසුණේ, බීජ බෝංචි ගොවීන් මුහුණ දී සිටින අලෙවි ගැටලුව ගැන කරුණු සොයන්නට පසුගියදා මතුරට සහ රිකිල්ලගස්කඩ අවට ප්‍රදේශයෙහි සංචාරයකදීය. ‘‘බෝංචි බීජ පිටරටින් ගේනවා. අපි හදන දේශීය බීජ බෝංචි ටික විකුණා ගන්න බෑ’’ යන්න ඔවුන්ගේ මැසිවිල්ල විය.

රටේ බොහෝ ප්‍රදේශවල වර්තමානයේ විවිධ​ බෝංචි වර්ග වගා කරනු ලැබූවද, දිවයිනටම අවැසි දේශීය බීජ බෝංචි නිෂ්පාදනය කරනු ලබන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මතුරට සහ මන්දාරම්නුවර ප්‍රදේශය ආශ්‍රිත ගොවි බිම්වල බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. මෙම ප්‍ර‍දේශය ආශ්‍රිතව පවතින සුවිශේෂී දේශගුණික තත්ත්වය බීජ බෝංචි වගාව සාර්ථක වීමට හේතු පාදක වී ඇත. එසේ වුවත් උසස් තත්ත්වයේ බීජ බෝංචි නිෂ්පාදනය කරන දෙදහසකට අධික බීජ බෝංචි ගොවීන්ට අද සිදුවී ඇත්තේ බීජ බෝංචි නිෂ්පාදනය අතහැර දමන්නටය. ඊට ප්‍රධාන හේතුව නම් පෞද්ගලික අංශය මහා පරිමාණයෙන් බීජ බෝංචි ආනයනය කිරීම නිසා බීජ බෝංචි සඳහා සාධාරණ මුදලක් නොලැබීමත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දේශීය බීජ බෝංචි ගොවියා රැක ගැනීමට කටයුතු නොකිරීමත්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට ලබාදෙන මූලික බීජ බෝංචි කිලෝවකින් කිලෝ විස්සක, තිහක බීජ බෝංචි අස්වැන්නක් ලබාගත හැකි බවත්, එය බොහෝ විට තීරණය වන්නේ කාලගුණික තත්ත්වය මත බවත් ගොවීහු කියා සිටිති. මූලික බීජ බෝංචි කිලෝ පහ, දහය ආදී ලෙස වගා කරන ගොවීන් රැසක් මෙම ප්‍ර‍දේශවල සිටිති.

බීජ බෝංචි වගාව ආරම්භ වූ මුල් කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෞද්ගලික වෙළෙඳුන්ටත් වඩා තරගකාරී මිල ගණන්වලට බීජ බෝංචි මිලදී ගනු ලැබූවද, අද වන විට බීජ බෝංචි නිෂ්පාදනය අලෙවිය පුද්ගලික වෙළෙන්දා අතට පත්ව ඇතැයි ගොවීහු චෝදනා කරති. මේ නිසා අද වන විට බීජ බෝංචි නිෂ්පාදනය කර නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැකි යැයි ඔවුහු කියති.

බීජ බෝංචි ගොවීන් සුරැකීමේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන එම්.ජී. ලොකු බණ්ඩා මහතා අප සමග මුලින්ම කතාබහ කළේය.

‘‘අපේ කලාපයේ බීජ බෝංචි නිෂ්පාදනය කරන ගොවීන් ප්‍රමාණය දෙදහසකට වැඩියි. එක එක ගොවීන්ට තිබෙන ඉඩම් ප්‍රමාණය අනුව විවිධ ප්‍රමාණවලින් බීජ බෝංචි නිෂ්පාදනය කරනු ලබනවා. දුනුකේබැද්ද ප්‍රදේශය ආශ්‍රිතව මුලින්ම බීජ බෝංචි නිෂ්පාදනය ආරම්භ කරනු ලැබුවේ 1972 වසරේදීයි. රිකිල්ලගස්කඩ සමුපකාරය මැදිහත් වෙලා ගොවියන් අට දෙනකු තමයි බීජ බෝංචි වගාව ආරම්භ කළේ. මෙහෙම බීජ නිෂ්පාදනය කරගෙන අවුරුද්දක් දෙකක් යද්දී මේ කටයුත්තට මැදිහත් වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. පස්සේ බීජ බෝංචි නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රිකිල්ලගස්කඩ බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානය මැදිහත් වෙලා මිලදී ගත්තා. 1984 වසරේදී බීජ ​බෝංචි ඉහළ නිෂ්පාදනයක් කරන්න අපට පුළුවන් වුණා.

ඔහොම කරගෙන යද්දී 1990 වසරේදී පමණ අපට දැන ගන්න ලැබුණා ලංකාවේ බීජ බෝංචි නිෂ්පාදනය නතර කරන්න යනවා කියලා. අපි ගොවීන් එකතු වෙලා බීජ බෝංචි ගොවීන් සුරැකීමේ සංවිධානය පිහිටුවා ගත්තා. එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු පාලකයින් අපි සමග කීවේ බීජ බෝංචි කිලෝ 1,75,000ක අතිරික්තයක් තිබෙන බවයි. හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ එදා මට කිව්වේ ‘‘තමුසේ මට කියන්නේ මේ ඇට තම්බලා කන්න ද කියලා’’ ඒ වෙද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා පිටරටින් බීජ බෝංචි ඇට ලංකාවට හොර රහසේ ගෙනත් තිබුණා. මෙහෙම බීජ බෝංචි මහා පරිමාණයෙන් ගෙන්වද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කොම්පැනිවලින් කොමිස් ලැබුණා. එදා සිට අද දක්වාම දේශීය බීජ බෝංචි වගාකරුවන්ට සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ. කෘෂිකර්ම ඇමැතිවරුන් මේ කටයුතුවලට සම්බන්ධයි. අපි ගොවියෝ. අපිට තාම තියෙන්නේ අඩු සැලකිල්ලක්.

‘‘බීජ බෝංචි වගාව හරියට කරනවා නම් පිටරටින් ගේන්න ඕනේ නෑ. ඕනෙ නම් පිටරටට අපිට බීජ බෝංචි යවන්න පුළුවන්. නමුත් දෙපාර්තමේන්තුවෙන් අපිට සහයෝගයක් නෑ.’’ගොවීහු කියති.

බීජ බෝංචි ගොවීන් සුරැකීමේ සංවිධානයේ වර්තමාන සභාපති එම්.ජී. රම්බණ්ඩා පවසන අන්දමට ලංකාවෙන්ම බීජ බෝංචි නිෂ්පාදය කරන්න පුළුවන් උඩගම්පහ කෝරලයේ නැගෙනහිර සහ බටහිර ප්‍ර‍දේශවල කඳු වළල්ල ආශ්‍රිතව පමණයි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මමත් බීජ බෝංචි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා වගා කටයුතු කළේ. අපේ බීජ දෙපාර්ත්මේන්තුවෙන් හොඳට තෝරලා තමයි මිලදී ගන්නේ. ඊළඟ කන්නයේදී වගාව සඳහා මූලික බීජ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලද්දී අපි තෝරලා ඉවත් කරපු බීජත් තියෙනවා. දෙපාර්තමේන්තුව දෙන මූලික බීජවල. ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට තියෙන්නේ අඩු සැලකිල්ලක්. අපේ පැරණි ගොවියෝ කීප වතාවක්ම උත්සාහ කළා මේ බීජ බෝංචි වගාව ගොඩගන්න. නමුත් බැරි වුණා. ඒ ඇයි. දෙපාර්තමේන්තුව ඉන්නේ ගොවීන්ගේ පැත්තේ නෙවෙයි. බීජ බෝංචි ඇට ආනයනය කරන අය සමගයි අපි රජයට බදු ගෙවන ගොවියෝ වී ගොවීන්ට දෙන පොහොර සහනාධාරය අපටත් ලැබිය යුතුයි’’

දෙපාර්තමේන්තුවෙන් ගොවීන් ලබාගන්නා මූලික බීජ බෝංචි කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා බෙහෙත්, පොහොර, ආදියද ඇතුළත්ව රුපියල් 15000කට වැඩි මුදලක් වියදම් කිරීමට ගොවීන්ට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් මත ගොවීන්ට යම් ලාභයක් ලබා ගැනීමට අවම වශයෙන් බීජ බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1000කටවත් අලෙවි කළ යුතු වුවද, අද වනවිට කිලෝග්‍රෑමයක් රුපියල් පන්සියයක් වැනි මුදලකට පෞද්ගලික වෙළෙන්දන්ට විකිණීමට ගොවීන්ට සිදුවී ඇත. එලෙස අඩු මිලකට මිලදී ගනු ලබන බීජ බෝංචි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ අලෙවි කෙරෙන්නේ රුපියල් 1500ත් 2000ත් අතර මිලකටය. මෙලෙස දැනට වසර 15ක පමණ කාලයක සිට සුළු වශයෙන් බීජ බෝංචි මිලදී ගත් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, ප්‍ර‍දේශයේ ව්‍යාපාරිකයින් අද කෝටිපතියන් බවට පත්ව ඇතැයි ගොවීහු පවසති. මැලේසියාවෙන් ආනයනය කරන බීජ බෝංචි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ අලෙවි කෙරෙන්නේ රුපියල් 2500කට වැඩි මුදලකටය.

වෙළෙඳපොළේ මෙලෙස අලෙවි කෙරෙන බීජ බෝංචිවල ප්‍රමිතිය සම්බන්ධව ද ගැටලු තත්ත්වයක් පවතී. නමුත්, ඒ සම්බන්ධවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිසි අවධානයක් යොමු කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ බෝංචි කිලෝග්‍රෑමයක් ගොවීන්ගෙන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 1200ක් වැනි මිලකටය. මූලික බීජ කිලෝග්‍රෑමයක් දෙපාර්තමේන්තුව ගොවීන්ට අලෙවි කර ඇත්තේ රුපියල් 1800කටය. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මූලික බීජ ගොවීන්ට ලබා දෙන්නේ හිතවත්කම් මත පමණක් බවද ගොවීහු චෝදනා කරති.

‘‘ඇත්තටම කියනවා නම් විනිවිද භාවයකින් තොරවයි දෙපාර්තමේන්තුව මූලික බීජ සපයන්නේ’‘ යැයි ඩබ්ලිව්.කේ. සෝමාවතී මහත්මිය පවසන්නීය.

‘‘තුට්ටු දෙකට බීජ බෝංචි විකිණීමට සිදුවීම නිසා දැන් වගාවට ගත්ත ණය මුදල ගෙවා ගන්න විදිහකුත් නෑ. උකස් කරපු කනකර ටික බේරා ගන්න විදිහකුත් නෑ. ගෙදර උයන පිහන ඒවා ගන්න විදිහකුත් නෑ. ළමයින්ගේ පොත් පත් ගන්න විදිහකුත් නෑ’’ යැයි ඩී.එම්. ජනක ප්‍රසන්න පවසන්නේය.

රිකිල්ලගස්කඩ බීජ බෝංචි නිෂ්පාදන ඒකකය සමගද අප මේ සම්බන්ධ කතා බහ කළෙමු.

‘‘අපි ගොවීන්ට ලබාදෙන බෝංචි දේශීය ප්‍රභේද හතරක් තිබෙනවා. ලංකා බටර්, බණ්ඩාරවෙල කොල, කැප්පෙටිපොළ නිල් සහ කේ.ඩබ්ලිව්.ජී. එම වර්ගයි. මේවායේ අස්වැන්න සියයට සියයයි. අපි ගොවීන්ට මූලික බීජ ලබාදීමෙන් අනතුරුව සම්මත බීජ ගොවීන්ගෙන් ලබා ගන්නවා. ගොවීන් ඉල්ලුම් කරන බීජ ප්‍රමාණයන් අප සපයනවා. ඒවාගේම ගොවියාගේ සියලු බීජ ප්‍රමිතිය පරීක්ෂා කර අප මිලදී ගන්නවා. ගොවීන් අපට අලෙවි කරන බීජ සඳහා මුදල් මාස එකහමාරක පමණ කාලයකදී ලබා දෙනවා’‘ යැයි එම ඒකකයේ නිලධාරීන් පැවසුවේය.

ලංකා බටර් බීජ කිලෝවක් රුපියල් 1200කටද, බණ්ඩාරවෙල කොළ බීජ කිලෝවක් රුපියල් 1100කටද, කැප්පෙටිපොළ නිල් බීජ කිලෝවක් රුපියල් 1100කටද, කේ.ඩබ්ලිව්.ජී. බීජ කිලෝවක් රුපියල් 1000කටද මිලදී ගන්නා බව රිකිල්ලගස්කඩ බීජ බෝංචි නිෂ්පාදන ඒකකය පවසයි. බීජ. බෝංචි ගොවීන් මුහුණ පා සිටින මෙම ගැටලුව සම්බන්ධව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසුවෙමු

‘‘ගොවීන්ට මේ සම්බන්ධව මට ලිඛිතව දැනුම් දෙන්න කියන්න. එවිට ගොවීන්ට යම් සාධාරණයක් කරන්න මම උත්සාහ කරන්නම්. රටේ තිබෙන බීජ බෝංචි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටයි පිටරටින් බීජ ආනයනය කරන්නේ. ගොවීන් ඉල්ලීමක් කළොත් ආනයනය යම් දුරකට සීමා කරන්නට පුළුවන් වේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ බෝංචි යම් ප්‍රමාණයක් මිලදී ගන්නවා. ගොවීන් මේ ප්‍රශ්න මාධ්‍යයට කීවාට අපිට කියලා නෑ’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ජනරාල්වරයාගේ පිළිතුරෙන් පැහැදිලි වන්නේ දේශීයව කොතරම් බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවාද යන්න හෝ ඔහු නොදන්නා බවය. එයින් පෙනී යන්නේ මේ බෝංචි බීජ ගොවීන්ගේ ප්‍රශ්නයට පිළිතුර තවත් දුර බවය.

සාලිය කුමාර ගුණසේකර