විශේෂාංග

බොරු වළවල් තුනේ මාර්තුව

මාර්තු මාසයේ ජනතාව වළවල් තුනක් උඩින් පැන්නාහ. ඒ පැන්න වළවල් අතරින් එක වළක් විල්පත්තුවේ ඇටවූ බොරු වළ වූයෙන් පළමුව ඒ ගැන කතා කරමු.

මේ මාසයේ මැද හරියේ මුහුණු පොතේ රිෂාඩ් බද්උදීන් කැපූ විල්පත්තු වනයේ ගහක් සිටුවන්න යමු යැයි සිත් බඳනා දැන්වීමක් වර්ණවත්ව පළ කර තිබිණ. ඒ සිත් බඳනා දැන්වීම අසුරු සැණෙන් රට පුරා බෙදි බෙදී යන්නට විය. මේ දැන්වීම දුටු සැණින් රටට, ගමට, ගහට කොළට, සතා සීපාවාට සැබෑ වශයෙන් ආදරය කළ ඇත්තෝ එයින් තම මුහුණු පොතේ මුල් පිටුව සරසා ගත්හ.

තමන්ගේ මිදුලේ තියෙන මල් පැළයට වතුර ටිකක් දාන්නේ නැති, සුළුදිය බෑමෙන්වත් ගහකට සාත්තුවක් කරන්නේ නැති උන් රිෂාඩ් බද්උදීන් නම් මුස්ලිමානුවා කැපූ විල්පත්තුවේ ගහක් සිටුවන්නට යාම මළමිනී වුව හිනස්සවන කාරණයක් විය. හම්බන්තොටින් අක්කර දහස් ගණනක් චීනෙට විකුණා, ත්‍රිකුණාමලයේ අක්කර දහස් ගණනක් ඇමෙරිකාවට විකුණා තිබියදී ඒ ඉඩම්වල තියෙන කැලේට කොළේට, සතා සීපාවාට භූමියට වන්නේ කුමක්දැයි බින්දු මාත්‍රයක්වත් නොසිතූ සිංහලයෝ විල්පත්තුවේ ගස් හිටවන්නට කලබලයේම යාම ගැන සැකයක මාත්‍රාවක් කාගේත් හදවතේ ජනිත කළේ ය.

ඇති තතු එසේ වෙද්දී එහා පැත්තේ ගහක අත්තක් තම වත්තට නැමුණත් ගහ හඬද්දීම, කිරි වගුර වගුරා හඬද්දීම ඒ අත්ත කපා දමන්නට පොලිසි ගානේ යන්නෝ විල්පත්තුවේ පැළ හිටවන්නට යන්නේ ගහට වැලට තිබෙන ආදරයකට, කරුණාවකට නොව මුස්ලිම්වරුන්ට එරෙහිව ගේමක් අවුළුවන්නට බව යාන්තම් සිංහල විචාර බුද්ධීන්ට පෙනෙන්නට විය.

වසර ගණනාවක් ඡන්දයක් බලාගෙන සිටි ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආනුභාවයෙන් ජනාධිපතිවරණයක් ලැබෙන්නට ආසන්නව තිබියදී විල්පත්තුවේ හිටවන්නට යන්නේ ජාතිවාදී පැළයක් බවත්, එහි එන විස කරල විරුද්ධ පැත්තේ අපේක්ෂකයාගේ ඇඟේ ගහන්නට යන බවත් සිංහලයාට පෙනීම වාසනාවකි.

ඒ වළ කටෙන් බේරී ගෙන ආපසු හැරුණු කල රටේම විදුලිය කපලාය. සතියක් හමාරක් විදුලිය කැපුවේ කාටත් නොකියා නොදන්වාය. ඒවා හදිසි විසන්ධිවීම් ලෙස පාරිභෝගිකයාට හැඟෙන්නට හැරිණ. එහෙත් මේ විසන්ධිය සන්ධි කෙරුණේ මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩු යාමට උත්සාහ කිරීමේදීය.

‘‘නොදන්වා විදුලිය කැපීම’’ වෙනුවට ‘‘දන්වා විදුලිය කපන රටක්’’ බවට අප යුක්තිගරුක පරිවර්තනයක් අත්කරගෙන තිබේ. තෙල් නැව නාවොත් එනතුරු පෝලිමේ ඉන්නට අපට උගන්වා තිබේ. ක්‍රිකට් පරාද වන්නේ නම් නායකයා මාරු කරන්නට අප පුරුදු වී සිටිමු. ඉඳින් විදුලිය සපයාගත නොහැකි නම් විදුලිය කැපීම තර්කානුකූල නොවන්නේද? 2014 විදුලි බලාගාරයක් සිට ඉදිකර නැති බව විදුලිබල ඇමැතිතුමා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේය.

ආණ්ඩුව විදුලි බල ප්‍රශ්නයට උත්තරයක් හැටියට තව දෙන්නට ඉතිරිව තිබෙන්නේ ඔක්තෝබර් 26 දා සිට දින 52 ක් පැවතුන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විදුලි බලාගාරයක් ඒ දිනවල නොහැදීම නිසා විදුලිබල අර්බුදය උත්පාද වුණාය යන ප්‍රකාශය පමණය. ඡන්දය දුන් ජනතාවට ආණ්ඩුවේ ප්‍රකාශය නිසා මතක් වන්නේ ‘විදුලි එළිය දැක ගිනිහුල දියේ එබූ’ තැනැත්තාගේ තත්ත්වයට තමන් වැටුණු බවය.

ඊළඟට ජනතාව වැටුණු වළ ශිෂ්‍යත්ව විභාගය නම් වූ වළය. ඒ වළට දරුවන් වාර්ෂිකව දානවා විනා ගොඩ ඒමේ අදහසක් ජනතාව කෙරෙහි නොතිබුණේය. වාර්ෂිකව ශිෂ්‍යත්ව විභාගය සඳහා තුන්ලක්ෂ විසිපන්දහසකටත් අධික සිසු පිරිසක් වාඩි වෙති. ඒ හිඳ ගන්නා ලක්ෂ ගණනේ දෙමාපිය පැතුම තම දරුවාට ජනප්‍රිය ජාතික පාසලක් ලබා දීමය. එහෙත් ජාතික පාසල්වලට මේ අතරින් ගන්නේ සිසුන් 15000 කට ආසන්න පිරිසක් පමණය. එයිනුත් රටේම නමගිය ප්‍රධානම පාසල්වලට යා හැක්කේ 1000 කට අඩු පිරිසකටය. සංඛ්‍යා ලේඛන සසඳා බැලුවහොත් මේ තරග විභාගය සමත්කර දරුවකු ජාතික පාසලකට රිංගවීම ඉඳිකටුවෙන් වටුවෙකු, ඔටුවකු නොව අලියකු රිංගවීම සදිසිය.

එබඳු වළක වැටී සිටියදීත් ශිෂයත්ව විභාගය අහෝසි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ විට අම්මලා කීවේ කුමක්ද? ‘‘දුප්පත් ගමේ ළමයකුට හොඳ ඉස්කෝලයක් ගන්න තිබුණ අවස්ථාව නැති වුණා’’ යනුවෙනි. චිරාත් කාලයක් තිස්සේ අධ්‍යාපනඥයන්, මනෝ විද්‍යාඥයන්ද නොයෙක් විද්වත් කමිටුද අනුව දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වය අහෝසි කිරීම හොඳ බව සැබෑය. එහෙත් මේ තියෙන දරුවන් ගබ්සා කරවන ජාතික පාසල් මේනියාව නම් රෝගයට කුමක් කරන්නේද? ශිෂ්‍යත්ව තරග විභාගයට ඉදිරිපත්වන පිටිසරම දරුවාගේ වුව පැතුම කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද යන පාසල්වලට ඇතුළු වීමයි.

එහෙත් මේ කියන වර්ගයේ පාසලකට ළමයකු ඇතුළත් කිරීමට නම් පාසල්වල ගේට්ටු පලු දෙකට අල්ලා පෙකණි වැල කැපූ දරුවකුටවත් දැන් අපහසු තරම්ය. තතු එසේ නම් මේ ශිෂ්‍යත්ව වළෙන් ගොඩ ඒමට රටේ පාසල් හොඳ මට්ටමට ගෙන ඒම වහ වහා සිදුවිය යුතුය. එය මේ වළෙන් ගොඩ ඒමට තිබෙන හොඳම රැහැනකි.