විශේෂාංග

බොරැල්ලේ බැංකු 4ක් තියෙන්නේ සින්න වුණ ඉඩම්වල

 

ජනතාවට ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලැබී ඇත. පසුගියදා මුහුණුපොතේ බැංකු ණයක් ගැන මෙවැනි සටහනක් විය. අවුරුදු 15කින් ගෙවන්න ලක්ෂ 10ක ණයක් ගන්න. වාරිකේ 14,386යි. ගෙවල ඉවරවුණාම 14,386x12x15=25,89,480යි 10ට පොලිය ලක්ෂ 15යි. බැලුවාම බැංකුව මගෙන් ණයක් අරන්!

අගමැතිවරයා මෙම රැස්වීමේදී විවිධ ආර්ථික අපහසුතාව ට මුහුණ පා සිටින ජනතාවට ණය දීමේදී මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස උපදෙස් දෙන ලදී. ණය ගෙවා ගැනීමට අපහසුව සිටින සහ අලුතින් ණය ගැනීමට පැමිණෙන ජනතාව, අනවශ්‍ය ලෙස අපහසුතාවට ලක් නොකරන ලෙසත් දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ දත්ත පරීක්ෂා කිරීමේ කාර්ය තුළ මහජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් අගමැතිවරයාට මෙම රැස්වී‍මේදී කරුණු පැහැදිලි කිරීම විශේෂත්වයකි.

ලංකාවේ ණය ගන්න කෙනෙකුට ඇති ‘අපලය’ වූ ක්‍රිබ් එක ගැනද මේ සාකච්ඡාවේදී සැලකිල්ලට ගන්නා ලද කරුණු අතර විය.

ණය නොගෙවූ පුද්ගලයකුගේ ඇපකරුවකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නම ඇතුළත් වීම නිසා ණයක් ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සකු කිරීම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමුකළ අගමැතිවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයක් පිළිපදින්නැයි උපදෙස් දෙන්නට අමතක නොකළේය.

අගමැතිවරයාගේ අධීක්ෂණයට ලක් වූ ණය වර්ග කීපයකි.

පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයන්ට විශේෂිත කොට එම ආධාර පිරිනමා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වංය රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පෙන්වා දුන් අතර මේ පිළිබඳ සොයා බලා දේශපාලන බේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැතිවරයා දැනුම්දීම, නැති බැරි ජනතාව පැත්තෙන් බලන විට සහනදායි පියවරක් වනු නියතය.

සිංහල භාෂාවේ මුර්ධජ ‘ණ’ යන්නෙන් ආරම්භ වන එකම වචනය ’ණය’ වේ. කලක් මුර්ධජ ’ණ’ යන්නෙන් පටන් ගන්නා වචනයක් සිංහල භාෂාවේ තිබුණත් දැන් එය භාවිතාවේ නැත. එම වචනය ’ණාහ’ය එය අතිත‍යේ බල්ලා නොහොත් සුනඛයා හැඳින්වූ වචනයක් විය.

අගමැතිවරයාගේ අවධානයට ලක් වූ ප්‍රධාන කරුණක් නම් ණය තොරතුරු කාර්යාංශය නොහෙත් ‘ක්‍රිබ්’ එකේ නම ඇති අයට ණයක් ගැනීමේදී ඇතිවන දුෂ්කරතාය. එහෙත් ණය තොරතුරු කාර්යාංශය නිකුත්කරන ‘ක්‍රිබ් රිපෝට්’ එකේම අවසානයේ ඇති ක්‍රිබ් ආයතනයේ ප්‍රකාශය අපේ අගමැතිතුමාට කිසිවකු කියා තේරුම් කර දී නැත්තා විය යුතුය. ක්‍රිබ් රිපෝට් එකේ අන්තිමට ඇත්තේ මෙසේය. ‘‘මෙම ණය තොරතුරු වාර්තාවේ ඇත්තේ ඒ ඒ මූල්‍ය ආයතනවලින් වාර්තා කළ දත්ත වන අතර අප විසින් මේ වාර්තාවට වගකියනු නොලැබේ. එමෙන්ම මෙම වාර්තාව ණයක් නොදී සිටීමට හේතුවක් නොවන අතර ණයක් දීම හෝ නොදීම අදාළ මූල්‍ය ආයතනයේ තීරණයකි.

ලංකාවේ කලකට ඉහත මඟුල් තුලාවක් කරගන්නා විට ෆුල් ඩිමාන්ඩ් අයිටම් දෙකක් වූවේ මනාලයා හා මනමාලිය ඉංජිනේරුවකු හෝ දොස්තර කෙනෙකු වීමය. පසුකාලීනව මේ මාර්කට් එකට බැංකු නිලධාරියා හෝ නිලධාරිනියද ඇතුළු විය. මංගල යෝජනා තීරුවේ අහවල් බැංකුවේ උඩම තට්ටුවේ වැඩකරන බැංකු නිලධාරිනියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති යයි පළ වූයේ ඒ නිසා විය යුතුය. වාහන විකුණන ලුහුඬු දැන්වීම්වල බැංකු නිලධාරියකු දෙවැනි රථය ලෙස භාවිත කළ කාරය විකිණීමට යයි. පළ කළේ මහත් උජාරුවෙනි.

අපේ සමාජ යථාර්ථයන් ගොඩනැගී ඇත්තේ ‘ණය’ නොවී ජීවත් වීමටය. ඒත් දැන් සතර දිගින් ඇහෙන්නේ ‘ණයගැති’ වන ලෙස කරන ඉල්ලීම්ය. වරක් මම රාජගිරිය සර්විස් ස්ටේෂන් එකක වාහනය සර්විස් කරමින් සිටියෙමි. ආයතනයේ හිමිකරු නීතිඥයෙකි. ඒ පව්කාර නීතිඥ රස්සාව කරන්න බැරි නිසා මං මේ සර්විස් ස්ටේෂන් එක දාගත්ත යැයි හිමිකරු පැවැසීය. ටික වේලාවකින් එතනට සුපිරි රථයකින් ආවේ රාජගිරියේ ඇති ලංකාවේ ප්‍රකට බැංකුවක කළමනාකරුවෙකි. දෙදෙනා ගජමිතුරන්ය.

‘මචං උඹ හෙට මේ ඉඩමේ ඔප්පුව අරන් වරෙන් මම උඹට නයින්ටි මිලියන් ලෝන් එක්ක දෙන්නං හවස් වෙනකොට.’

මේ බැංකු කළමනාකරු කියන්නේ නීතිඥයකුට මේ දේපළ උගස්කොට බැංකු ණයක් ගන්නා ලෙසය. සර්විස් ස්ටේෂන් හිමිකරුට යකා නැග්ගේය.

‘මම මොකටද බං ලෝන් දාන්නේ. මං ඔය ලෝන් බෝන් ඔක්කොමවලින් අයින්වෙලා දැන් ඉන්නේ.’

‘නෑ මචං බැංකුවේ හෙඩ් ඔෆිස් එකෙන් ලෝන් ටාගට් එකක් දීලා තියෙනවා. තව ලක්ෂ 90ක් අඩුයි ටාගට් එකට.’

ඉන්පසු ඇති වූ ගැටුමට භාවිත වූ භාෂාව සිංහලද, ඉංග්‍රීසිද ඊටත් වඩා සුද්ද සිංහලද මිශ්‍රණයකි, බැංකු කළමනාකරු ගොදුර අහිමි වූ කොටියකු මෙන් පසුබා ගියේ නීතිඥයාගේ මෑණියන්ද සිහිකරමිනි.

ලංකාවේ බැංකුවකින් ණයක් ගත නොහැකි පුද්ගලයාගේ පිහිටට එන්නේ පොලියට දෙන සැදැහැවත්, පුද්ගලයා නොහොත් ‘‘පොලියෙස්ටරයාය’’ බොරැල්ලේ සිටින ප්‍රධාන පොලියට දෙන සැදැහැවතාගෙන් මම බැංකුවක පොලියට දෙන සිස්ටම් එකත් එතුමා පොලියට දෙන සිස්ටම් එකත් අතර වෙනස අසා සිටියෙමි.

ඔය බැංකු කියන්නේ ජනතාවට සේවය කරනවා කියලනේ. ඒ උදවිය ටයිපොලු දාගෙන පොලියට දෙන්නේ අනුන්ගෙන් ගත්ත සල්ලි. ඒ නිසා ෆුල් ප්‍රොෆිට්. අපි පොලියට දෙන්නේ අපේ සල්ලි. දැන් ඔය ජනතාවට සේවය කරනවා කියන බැංකු ශාඛා බොරැල්ලේ තියෙන ඒවායින් හතරක් තියෙන්නේ සින්න වෙච්ච ඉඩම්වල! සිස්ටම් දෙකේ වෙනස ඕකයි.

මෙරට සිටි ලෝකප්‍රකට බතික් රජු වූයේ විපුල ධර්මවර්ධනයි. ඔහු සතු ප්‍රදර්ශනාගාර, ලොව පුරා තරු පහේ හෝටල් 35ක පවත්වාගෙන යන ලදී. ඔහු යටතේ සිටි සේවක සංඛ්‍යාව 1000කට අධිකය. අවසානයේ ඔහුගේ ව්‍යාපාර බොහෝමයක, දේපොළ බැංකුවලට සින්න විය. මේ බතික් රජු පසු කලෙක හොංකොං හි ප්‍රකාශයට පත් කළ ඇමෙරිකාවේ ටයිම්ස් සඟරාවට අයත් ‘‘ASIA WEEK’’ සඟරාවට ඉන්ටවිව් කළේ ගුණදාස ලියනගේ විසිනි. ‘‘මාව කෑවේ ලංකාවේ බැංකු ක්‍රමය තමයි. බැංකු නිසා මගේ සබ්බ සේසතම නැති වුණා. ලෝන් ඇරියස් වුණොත් මුං දාන පොලිය ලෝකේ කොහේවත් නැතිව ඇති.’’ පසුව මේ සම්මුඛ සාකච්ඡාව එවකට රිවිරැස පත්තරේද මුල් පිටුවේම පළකොට තිබුණි.

අගමැතිවරයා ක්‍රිබ් එක ගැන විශේෂ අවධානයක් යොමු කළ නිසා නැවතත් ඒ ගැන කිවයුතු කරුණු ඇත. මේ රටේ කිසිදු බැංකුවකට වැස්සකටවත් ගොඩ නොවූ පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක පවා ණය නොගෙවූ අය ලෙස ක්‍රිබ් රිපෝට්වල ඇත. ලංකාවේ එක් ID අංකයකට හැඳුනුම්පත් තුනක් තිබූ අවස්ථා වාර්තා වී ඇත. අනෙක් ක්‍රිබ් එකේ ID නොම්බර බැංකු ණය ගෙන බැංකුවට පොල්ලක් තබන්නට හදාගත් ඒවාය. ඩේලි කලෙක්ෂන් ”Dally Colletion” ක්‍රමය ආරම්භ කළේ මෙරට පොලියට දෙන පොලියෙස්ටාර්ලා විසිනි. එහි දී වන්නේ රුපියල් ලක්ෂයක් ණයට දී දිනපතා දින අනූවක් තුළ රු2000 බැගින් ගෙවීමය. අපේ බැංකුව හා ෆිනෑන්ස් කොම්පැනි කොතරම් බංකොළොත් වූවාදැයි කිවහොත් තම පැවැත්ම උදෙසා මේ හිඟන ක්‍රමයට අනුගත විය. මැණිං මාර්කට් එකේ වසා ඇති බක්කි මේ ණය ක්‍රමයට ණය ගෙන පලා ගිය අය වීම කදිම උදාහරණයකි.

අද ගාලු පාරේ ගාල්ලට ගියත් නුවර පාරේ නුවරට ගියත්, මීගමු පාරේ මීගමුවට ගියත් බොහෝ ඉඩම්වල ගසා ඇති වාක්‍යයක් ඇත. ‘‘මෙය අහවල් බැංකුවට අයිති දේපොළකි අනවසරයෙන් ඇතුළු වීම තහනම්’’ එම වැකියයි. අපේ ලංකාවේ බැංකු ක්‍රමයට අගමැතිතුමා කියන පරිදි මානුෂීය මුහුණුවරක් නොදුන්නහොත් ලංකාව වට කොට කම්බි ගසා ‘‘ලෝක බැංකුව සතු දේපොළකි අනවසරයෙන් ඇතුළු වීම තහනම්’’ බෝඩ් ලෑල්ල ගහන්නට වෙන යුගය වැඩි ඈතක නොවේ

වජිර ලියනගේ