විශේෂාංග

බොම්බයි ලූනු ගණන් – බංග්ලාදේශ අගමැතිනි කෑමවලට ලූනු එපා කියයි

ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය බංග්ලාදේශ අගමැතිනි ෂීක් හෂීනාගේ මුළුතැන්ගෙයටද දැනෙන විට නේපාලය හා ශ්‍රී ලංකාව දක්වා කෝටි සංඛ්‍යාත ජනයාගේ, විශේෂයෙන් ගෘහණියන්ගේ නෙත් කඳුළින් තෙත් කරන්නක් බවටද පත්ව තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගත්තේ ඉකුත් මස අගදීය. එය හදිසි තීරණයක් වූ අතර පූර්ව දැනුම්දීමක් සිදු නොවීය. මේ නිසා දින කිහිපයක් තුළ මේ වෙළෙඳපොළ හරහා මුළුතැන්ගෙයි සිට රාජ්‍ය තාන්ත්‍රික තලය දක්වාම දැවැන්ත අර්බුදයක් කර්මාන්තය තුළ හට ගැනිණි. නවදිල්ලියේ සංචාරයක නිරත වන බංග්ලාදේශ අගමැතිනිය කියා සිටියේ මේ තහනම ඉවුම් පිහුම්වලදී ලූනු භාවිතයෙන් වළකින්න යැයි සිය කෝකියාට උපදෙස් දීමට තරම් තමන්ට දැනුණු බවය. එසේම ඊළඟ වතාවේදී මෙවැනි තීරණයක් ගන්නා විට කල් තබා එය දන්වන මෙන් ඇය ඉල්ලා සිටියේ එවිට විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට තරම් කාලය ඇතැයි පවසමිනි.

ඉන්දියාව අපනයනය කරන නැවුම් පලතුරු හා එළවළු අතර ලූනුවලට ඇත්තේ ඉහළම තැනකි. පසුගිය වසරේ එරට විසින් අපනයනය කළ ලූනු ප්‍රමාණය රාත්තල් බිලියන 5කට ආසන්න විය. ආසියාකරයේ විශේෂයෙන් දකුණු ආසියාවේ මුළුතැන්ගෙයට ලූනු නැතිවම බැරිය. ලූනු නැත්නම් ලුණු මිරිස් මෙන්ම පොල් සම්බලයද හැදෙන්නේ නැත. ආහාර පිසීමේදී ලූනුවලට සරිලන ආදේශකයක් ඇත්තේ නැත. ස්වභාවික ලූනු රසය ලබාගැනීමට වෙනත් ක්‍රමයක් නැත.

ලූනුවලට ඇති මේ වැදගත්කම හා ඉල්ලුම විදේශ ප්‍රතිපත්ති තීරණය වීමේදී මෙන්ම ආණ්ඩු වෙනස් කිරීමේදී පවා තීරණාත්මක ලෙස බලපා ඇති බව පැහැදිලි වේ. ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ යෑම නිසා ඉන්දීය ආණ්ඩුවලට ගෙදර යෑමට සිදුවූ අවස්ථා තිබේ. 1979දී ලූනු මිල මැතිවරණ වේදිකාවේ ප්‍රශ්නයක් ලෙස මතුකළ ඉන්දිරා ගාන්ධි යළි බලයට පත්වූවාය.

ඩකා නුවර ආපනශාලා කළමනාකරුවකු පවසා ඇත්තේ ලූනු, මාර්කැට්ටුවේ රත්රන්  බවට පත්ව ඇති බවය. අන්තිම මාස කිහිපයේදී බංග්ලාදේශයේ ලූනු මිල 700%කින් ඉහළ ගියේ ලූනු පොඩි නොකරම ගෘහණියන්ගේ නෙත් කඳුළින් තෙමමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනයා ලූනු මිල ගණන් අසා වෙළෙන්දන් සමගද බහින්බස් වූ බවය. මේ හේතුව නිසා ලූනු අලෙවිය වෙළෙන්දන් විසින් නතර කර දමා ඇති බවද වාර්තා විය. පසුගිය දිනවල අපේ රටේ බොම්බයි ලූනු කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගියේ මේ තහනම නිසාය.

නේපාලය ගිය වසරේදී ඉන්දියාවෙන් ලූනු රාත්තල් මිලියන 370ක් පමණ ආනයනය කළේය. එහෙත් මේ දිනවල කත්මණ්ඩු වෙළෙඳපොළේ ලූනු ගෙඩියක්වත් දැක ගැනීමට නොමැති තරම්ය. ඊට හේතුව ඉන්දියාව ලූනු ගෙඩියක්වත් අපනයනය නොකිරීමය.

කත්මණ්ඩු අගනුවර වෙළෙඳපොළ ප්‍රකාශකයකු කියා සිටියේ, ‘‘අපට ලූනු ෆැක්ටරිවල හදන්න බෑ. දේශීය නිෂ්පාදනයත් ඉතා අවමයි. එකම විකල්පය ලූනු අඩුවෙන් පරිභෝජනය කිරීම’’ යනුවෙනි. චීනයේ ලූනුද ආනයනය කිරීමේ හැකියාව ඇතත් ජනතාව චීන ලූනුවලට නොකැමති බව කත්මණ්ඩු වෙළෙන්දන්ගේ අදහසය.

ඉන්දියාව මේ තීරණය ගෙන ඇත්තේ මුලදී නියඟයෙන්ද, පසුව මෝසම් වර්ෂාවෙන්ද ලූනු වගාවට සිදුවූ හානිය සැලකිල්ලට ගනිමිනි. අස්වනු අවම වීම හේතුවෙන් එරට ලූනු මිල ගණන්ද ආසන්න මාස කිහිපයේදී තුන් ගුණයකින් පමණ ඉහළ ගියේය. ලූනු තහනම පැනවීමත් සමග සිල්ලර වෙළෙඳපොළේ ලුනු මිල ඉන්දියානු රුපියල් 70 දක්වා ඉහළ ගිය අතර, යළි එය රුපියල් 50 දක්වා පහත වැටිණි. තහනමට පෙර කිලෝවක මිල පැවතියේ රුපියල් 25ක් වශයෙනි.

ඉන්දියාව ලූනු ටොන් 56,700ක ආරක්ෂිත තොගයක්ද පවත්වා ගැනීමට පියවර ගෙන ඇත. තහනම ප්‍රකාශයට පත්වන විට බංග්ලාදේශය හා නේපාල දේශසීමා ආසන්නයට ළඟාවී තිබූ ලූනු තොග රැගත් ලොරි රථ ආපසු හරවා ගැනීමට බලධාරීහු පියවර ගත්හ. නීතිවිරෝධීව ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ වී තිබේ. ඉන්දියාව හදිසියේම මෙවැනි තීරණයක් ගැනීම අසල්වැසි රටවල් පෙළීමට මෙන්ම උදහසටද ලක්වන කාරණයක් වී ඇති බව පෙනෙන්නට ඇත. එය රාජ්‍යතාන්ත්‍රිකව බලපාන්නා වූ ගැටලුකාරී තත්ත්වයකි. මිල පහත වැටීම ගොවීන්ට නම් සුවදායී පුවතක් නොවේ. ඉහළ මිලක් පැවතීම ගැන ඔවුන් සතුටු වනු ඇත. එහෙත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඔවුන් චෝදනා කරන්නේ කාලගුණයටය. පළමුව නියඟයෙන්ද, දෙවනුව ගංවතුරින්ද තම වගාබිම් විනාශ වීම මෙලෙස විශාල වශයෙන් මිල ඉහළ යෑමට හේතු වූ බව ඔවුන්ගේ අදහසය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ වෙළෙන්දන්ට ලූනු තොග සඟවාගෙන සිටීමට ඉඩ නොදෙන බවද රජය කියා සිටී. දේශීය සැපයුම ඉහළ නගින තෙක් මෙම තහංචි බලපවත්වනු ඇති බව රජය ප්‍රකාශ කර තිබේ.

ලූනු නිසා දෑස් කඳුළෙන් තෙමුණේ පාරිභෝගිකයන්ගේ පමණක් නොවේ. ගොවීන්ගේද දෑස් කඳුළින් තෙමිණි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, ගුජරාට, මධ්‍ය ප්‍රදේශය, උත්තර ප්‍රදේශය, බටහිර බෙංගාලය, කර්නාටක හා බිහාරය යන ප්‍රාන්තවල වැඩිම ලූනු වගාවන් සිදු වේ. එම නිෂ්පාදනයෙන් 1/3ක්ම ලබාදෙන පූනේ හා කිර්න්ගාබාද් ප්‍රකටව ඇත්තේ ලූනු තීරය වශයෙනි. මේ ප්‍රාන්තයේ විශාල පෙදෙසකට බලපෑ නියං තත්ත්වය හොඳ අස්වනු බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ගේ සිහින සුනුවිසුණු කිරීමට හේතු විය. ඔවුන් තුළ ඇතිවූ වේදනාව කෝපයක් බවට හැරීම ඉන්දියාව වැනි රටකට කොහෙත්ම හොඳ සංඥාවක් වන්නේ නැත. ලූනු මිල පහත හෙළීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය විවේචනයට ලක් වෙද්දී අපනයන තහංචි පැනවීමට සිදුවිය. ඉන්දීය රජය ලූනු කොපමණ සංවේදී සාධකයක්දැයි තේරුම් ගන්නට ඇත.

2010 වසරේදී වගා ලූනු අර්බුදය ඇතිවූයේ ආචාර්ය මන්මෝහන් සිං අගමැතිව සිටියදීය. 1980දී එවක රජය පරාජයට පත්වීමට ලූනු මිල අහසට නැග තිබීමද හේතු විය. 1998දී ලූනු මිල රොකට් වේගයෙන් ඉහළ නැගීමට පටන් ගැනීමත් සමග මේ අන්දමින් අපනයන තහංචි පැනවිණි. එය ගොවි ජනතාවට බලපෑමේ ප්‍රතිඵලය වුණේ බී.ජේ.පී. ආණ්ඩුව ප්‍රාන්ත මැතිවරණ කිහිපයකින්ම පරාජය වීමය. ඉන්දියාව වැනි විශාල ජනගහනයක් සිටින රටක ආර්ථිකය හැසිරවීමේදී ආහාර වෙළෙඳපොළ යනු තීරණාත්මක සාධකයක් බව පෙන්වා දෙන්නේ අධ්‍යාපනඥයකු වන මයිකල් ගුෂ්ටර්ය.

ඉන්දියාව ලූනු අපනයනය තහනම් කරන විට කිලෝග්‍රෑම් 100ක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 4500ක් ලෙසය. එය වසර හයකින් මෙපිට වාර්තා වූ වැඩිම මිලය. ආසියානු රටවල සියලු ආනයන අතරින් හරි අඩකට වඩා ඉන්දියාව අපනයනය කරන ලූනු බව ගණන් බලා තිබේ. දැන් සිදුව ඇත්තේ ඉන්දියාවටද ලූනු ආනයනය කිරීමටය. ඒ ඊජිප්තුවෙනි. එමගින් මිල ගණන් පහත හෙළීම අපේක්ෂිතය. මේ අතර පරණ තොග දෙගුණයක් මිලට විකුණමින් ඉන්දීය වෙළෙන්දෝ තමන් ගසා කෑමට පටන්ගෙන ඇති බවටද පාරිභෝගිකයෝ චෝදනා කරති.

පාකිස්තානු චිකන් කරියට, බංග්ලාදේශ බිරියානියට, ඉන්දියානු සාම්බාරුවට මෙන්ම ලංකාවේ පොල් සම්බෝලයට හා ලුණු මිරිසටද ලූනු නැතිවම බැරිය. මෙරට ලූනු මිලද කිලෝව රුපියල් 300ට ළඟාවී ඇති පසුබිමක දැනට අපේ ගෘහණියන්ට සිදුව ඇත්තේද ෂීක් හෂීනා අගමැතිනිගේ උපදෙස පිළිපැදීමටය.

ධම්මික සේනාරත්න

ධම්මික සේනාරත්න