අතන මෙතන

බේරුවල කසළ කන්දේ ගින්නක්

බේරුවල නගරසභාව විසින් කසළ බැහැර කරනු ලබන වෙත්තිමිරාජපුර කසළ කන්දේ පෙරේදා (02) සවස 04:30 ට පමණ ගින්නක් හටගෙන තිබේ.

ගින්න ක්‍රමයෙන් වර්ධනය වී අසල පිහිටි නිවාසවලට හානි සිදුවීමට වැඩි ඉඩකඩක් පැවතුණ අතර කළුතර නගරසභා ගිනි නිවීමේ ඒකකය වහාම පැමිණ ගින්න නිවා දැමීමටත් ගින්න පැතිරීම වැළැක්වීමට කසළ අතර අඩි තුනක පමණ ආරක්ෂිත අගලක්ද කපා තිබේ.

ගින්න නිවා දැමීමට කටයුතු කළද කසළ යට ඇති ගිනි පුපුරු නැවත සක්‍රීය විය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස කළුතර නගරසභා ගිනි නිවීමේ ඒකකය ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ නගර සභාව අසීමන්තිකව කසළ ගෙනැවිත් ගොඩගැසුවද එයින් ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පීඩාකාරී බව පිළිබඳව නගරසභාවට කිසිඳු තැකීමක් නොමැති බවයි.

දැඩි වියළි කාලගුණය නිසා ගින්න ස්වභාවිකව ඇතිවන්නට ඇති බවත් යළිත් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසටත් ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබාදුන් බවද බේරුවල පොලිසිය පවසයි.

 

ප්‍රසාද් ධර්මප්‍රිය