විශේෂාංග

බෙහෙත් බිව්ව මාළුවට වතුර අගුණද

ඒ කුඩාම කුඩා ගප්පියෙකි. වරල් සලමින් පිහිනා යමින් සිටි මෙම විසිතුරු මත්සයාගේ වෙනදාට නැති වෙනසක් පෙනුණි. ඒ වෙනසට හේතුව කුමක්දැයි නිරීක්ෂණය කරද්දී ඔහු දුටුවේ මාළුවාගේ සිරුරේ වූ පුංචි ගැටිත්තකි.

‘‘ඒ සැත්කම තමයි මං කරපු හොඳම සැත්කම. ගප්පියාගේ ප්‍රමාණය මිලිලීටර් දෙකයි දශම පහයි.මේ සැත්කම කළේ 2017 අවුරුද්දේ අනතුරුව මම මාළුන්ට ප්‍රතිකාර කරන විධි ගැන තව තවත් අධ්‍යයනය කරන්න පටන් ගත්තා.’’

එසේ කීවේ වාරියපොළ පදිංචි නිරෝෂන් අකලංක බණ්ඩාරය. මත්ස්‍යයන්ට ප්‍රතිකාර කරමින්ම එම ශාස්ත්‍රය ප්‍රගුණ කරමින් සිටින ඔහු අද වන විට ස්වයං ජලජ ජීවී උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

‘‘මාළුන්ටත් අනෙක් හැම සතෙකුටම වගේ ලෙඩ හැදෙනවා. ඒ අතර බැක්ටීරියා, වයිරස් ආසාදන, ශ්වසන ආබාධ වගේම පණු රෝග ආදියත් තියෙනවා.ඒත් මාළුන්ගේ ලෙඩ හඳුනා ගැනීම තරමක් අපහසුයි.’’

අකලංක එසේ කීවත් කුඩා කාලයේ පටන්ම මාළු ඇති කළ බැවින් ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳව සොයා ගැනීම ඔහුට අපහසු නොවන්නකි. පළමුව අන්තර්ජාලයේ කරුණු ඇසුරින් ප්‍රතිකාර කරන්නට ගියත් ඒ බොහෝ කරුණු නිවැරදි නැති බව ඔහු ඒ ප්‍රතිකාර අතරතුර හඳුනා ගත් අවස්ථා තිබිණි.

‘‘ඔහොම ටික දවසක් යද්දි මම මේ ගැන තව තවත් කරුණු හොයන්න පටන් ගත්තා. මාළු ගැන අධ්‍යයනය කරන අය සමග තොරතුරු හුවමාරු කරගත්තා. ඒ අය භාවිත කරන මූලාශ්‍ර අධ්‍යයනය කළා. ගුරුවරයෙක් නැතිවයි මම මේ ප්‍රතිකාර ඇරඹුවේ. පළමු වරට මාළුන්ට ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ 2010 වසරේ.’’

මාළුවෙක් ලෙඩ වූ විට උගේ හැසිරීම වෙනස් වන්නේ එවිටය.

හොඳින් ආහාර ගනිමින් සිටි මාළුවා ආහාර ගැනීම නවත්වන්නේය. ටැංකිය පුරා පිහිනූ මාළුවා එක් තැනකට වී වරල් හකුලාගෙන සිටින්නේ නම් එම හැසිරීමේ වෙනස්කම්වලින් ලෙඩවූ මාළුවෙක් හඳුනා ගන්නට හැකිය.

‘‘මාළුවෙක් ලෙඩ වුණාම එයාට ඒ ලෙඩේ හැදුනෙ මොන හේතුවක් මතද කියන එක හොයා ගන්න ඕන. ඒකට අපි මාළුවගෙ ශරීරයේ වරලෙන් කරමල්වලින් කොර පොතුවලින් පුංචි කොටසක් අරං පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවෙන් අපිට අඳුර ගන්න පුළුවන් මාළුවාට මොනවද වෙලා තියෙන්නෙ කියල. මේ සාම්පල පරීක්ෂාවෙන් මාළුවට අනතුරක් නෑ. ඒක නිකන් අපෙන් ලේ සාම්පල් එක්ක ගන්නව වගේ වැඩක්.’’

මාළුවාගේ ආසාදිත ස්ථානයෙන් ලබා ගන්නා කොටස්වලින් රෝගය සොයා ගනී. මාළුවාව ​රෝගී කර ඇත්තේ බැක්ටීරියාවක් නම් ඒ බැක්ටීරියා සාම්පලය වෙනම කෘත්‍රිමව වගා කරනු ඇත. ඒ සඳහා දිනක කාලයක් ගත වෙයි. ඊට පස්සෙ කරන්නේ abst පරීක්ෂාවයි. මේ පරීක්ෂාවෙන් කරන්නේ මාළුවාට ආසාදනය වී ඇති බැක්ටීරියාවට ගැළපෙන ප්‍රතිදේහය සොයා ගැනීමයි.

‘‘බැක්ටීරියා ආසාදනවලට තමයි ප්‍රති දේහක තියෙන්නෙ. වයිරසයක් ආසාදනය වෙච්ච මාළුවෙක්ට දෙන්න දෙයක් නෑ. අපි ඒ මාළුවාව අනෙක් මාළුන්ගෙන් වෙන් කරන එක තමයි කරන්නෙ.’’

මාළුන්ට හැදෙන ​රෝග අතරේ පණු රෝගද දකින්නට හැකිය. ඒ පණුවන්ගෙන් සමහරු පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂීය ජීවීන්ය. තවත් අය පියවි ඇසට පෙනෙන පණුවන්ය. මාළුන්ගේ කරමල් ආශ්‍රිතව, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මේ පණු වර්ග දකින්නට හැකිය.

‘‘අපි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඉන්න පුළුවන් පණුවො, හඳුනාගන්න මළපහ පරීක්ෂාවක් කරනවා. මේ සමහරක් පණුවෝ ආහාර මාර්ගයේ එල්ලිලා ඉන්නෙ. ඒ අයගෙ බිත්තර තමයි මළපහ එක්ක එළියට එන්නෙ. ඒ එන බිත්තරවල හැඩයෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මාළුවගෙ ඇගේ ඉන්නෙ මොන පණුවර්ගයක්ද කියල. ඊට පස්සෙ ඒකට අදාළ ප්‍රතිකාර කරනවා.’’

ලෝකෙ අනෙක් හැම සතාටම මෙන්ම මාළුන්ටද පිළිකා වැලඳේ. ඒත් මාළුන්ට හදෙන පිළිකාවලින් බෙහෙත් ඇත්තේ සමේ පිළිකාවලට පමණි. සමේ පිළිකාවක් හැදුන මාළුවාගේ ශරීරයට ද්‍රව නයිට්‍රජන් ස්ප්‍රේ කරයි. ලෝකයේ මේ ක්‍රමය භාවිත වුවද ලංකාවෙ මාළුන්ට ප්‍රතිකාර කරන්නට තවමත් ඒ ක්‍රමය භාවිත වන්නේ නැත. මීට අමතරව මාළුන්ගේ ඇසේ ඇතිවන ගෙඩිවලට ප්‍රතිකාර කරන්නේ මාළුවා නිර්වින්දනය කරය. මෙහිදී මාළුවාට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්නේ කරමලට නොව කටටය. කුඩා මාළුවෙක් නම් සිරිංජරයක් භාවිත කරමින්ද ලොකු මාළුවෙක් නම් කුඩා මෝටරයකින් කටට වතුර පොම්ප කරමින් කෘත්‍රිම ස්වසනය ලබා දේ. සාමාන්‍යයෙන් මනුස්සයාගේ අතපය ඉවත් කළාට ඔහු මිය යන්නේ නැත. එහෙත් මාළුවෙක්ගේ ශරීරයෙන් ඉවත් කරන්නට හැකියාව ඇත්තේ බොහෝදුරට ඇස් පමණි. වරලෙන් කොටසක් ඉවත් කළ විට කාලයක් සමග ඒ වරල වැඩේ. මාළුවෙක්ගේ අනෙකුත් ශරීරාංග ඉවත් කිරීමට ඇති ඉඩ අවමය.

‘‘අපේ මිනිස්සු මාළු දකින්නේ සුරතල් මසුන් විදියට නොවෙයි. බල්ලෙක් බළලෙක් ලෙඩ වුණාම බෙහෙත් ගන්න ගියත් මාළු​ෙවක් ලෙඩ වුණාම ගණන් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් අවුරුදු පහළොවක් ජීවත් වෙනවා. ඒත් අපේ කෙනෙක් මාළුවෙක් ලෙඩ වුණාම කරන්නේ ඒ මාළුවට මැරෙන්න ඇරල තව මාළුවෙක් ගන්න එක. මොකද රුපියල් දෙසිය පනහයි යන්නෙ. ඒත් සතාට බෙහෙත් කළොත් ඒකට රුපියල් පන්දාහක් විතර යනවා. රුපියල් දෙසිය පනහක් දීල අලුත් මාළුවෙක් ගන්න එක හොඳයි කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. ඒත් මාළුවෙක් කියන්නෙත් ජීවිතයක්. මාබල් එකක් ගිලපු මාළුවෙක් බේරා ගන්න ඩොලර් පන්දාහක් වියදම් කරපු අවස්ථා ලෝකෙන් වාර්තා වෙනවා. අපේ අය අඩුම තරමෙ මාළුවට ඕනෙ කරන ඉඩ පහසුකම් පිරිසුදු වතුර ගැනවත් හිතන්නෙ නෑ.

අකලංක කීවේය. මාළුන් අපේ මනසට සැහැල්ලුවක් ගෙනෙනවා මෙන්ම එම සතුන්ටද අවශ්‍ය පහසුකම් සලසමින් ආදරයෙන් රැක බලා ගත හැකි පරිසරයක් නිර්මාණය කරදීම හොඳය. ඒ මාළුන්ද හුස්ම ගන්නා සතුන් බැවිනි.

මධුෂානි කොඩිතුවක්කු