විශේෂාංග

බෙල්ල මහා ගින්නකට වගේ අහුවෙලා පිච්චිලා ගිහින් ඇඟ පණ නැතිව මාව බිම වැටුණා

ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමින් කිලිනොචචි නගරය මුදාගෙන ඉදිරියට ගිය යුද හමුදාවන්ට පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීම ඉතා අසීරු ඉලක්කයක් වුණේය. කොටි ත්‍රස්තවාදීන්ගේ හොඳ යුද නායකයා ලෙස සැලකුණ කීපන් මෙන්ම මාලතී බළකායේ නායිකා විදූෂා, ජෙයනන්දන් බළකායේ කීර්ති, නාගේෂ් වැනි ත්‍රස්ත නායකයෝද හමුදාවට එරෙහිව ආයුද සන්නද්ධව සිටියේ සටනට සූදානමිනි.
චන්ද්‍රසිරි, ජගත් ජයසූරිය, මෙන්දක මානවඩු, රෝහණ බණ්ඩාර සත්‍යජිත් ලියනගේ, නිශාන්ත වන්නිආරච්චි වැනි වීර සෙන්පතියන්ද මේ වන්නි සටනේ මූලිකත්වය ගෙන කටයුතු කළෝය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් රාජසිංහ බණ්ඩාර ඉලංගසිංහද මේ වන්නි මෙහෙයුමට සම්බන්ධව සිටියේය.

‘‘මම අනුයුක්තව හිටියේ මානුෂික මෙහෙයුමේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සර් බලසේනාංකාධිපති ලෙස සිටි 53 වන සේනාංකයට කර්නල් අලුවිහාරේ සර් අපේ අණ දෙන නිලධාරී යටතේ අපි 300ක් විතර කණ්ඩායමක් වන්නි මෙහෙයුමේ හිටියා. මුලින්ම මාව තෝරාගත්තේ මෙහෙයුම්වල කාර්යාලයීය කටයුතුවලට. අපි කිලාලි මුහමලේ සටනේ තුවාල වූ අපේ සෙබළ සහෝදරයන් සහ ඔවුන්ගේ තොරතුරු වාර්තා සකස් කිරීම වගේම තාවකාලික වෛද්‍ය හා ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සේවයටත් අපව යෙදවුණා. ඔහොම යාපනය දක්වා අල්ලාගෙන මාන්කුලම් හරහා මුලතිව් දක්වා අපේ භට පිරිස් ආවා. මාන්කුලම් හරහා ත්‍රස්තයන්ගෙන් අපේ භූමිය නිදහස් කරගනිමින් මුලතිව් දක්වා එන ගමනේ මම දෙවන පෙළ සටන් කටයුතුවලට අනුයුක්තව වැඩ කළා. එහෙම සති දෙකක් දෙවන පෙළ හිටි මාව අපේ අණ දෙන නිලධාරීන් විසින් ඉදිරිපෙළට තෝරා ගෙන තිබුණා.’’
කෝප්‍රල් රාජසිංහ බණ්ඩාර ඉලංගසිංහ සිය මතක ආවර්ජනයට සැරසුණේය.

එක්දහස් නවසිය අසූ එකේ හත්වන මස දාහතර වැනි දින ගල්නෑව නෑගම්පහ ඉපිද ඇත්තේ එගම ගොවියෙක් වූ පී.බී. ටිකිරි බණ්ඩා ,කේ.බී. නන්දාවතී යන යුවළගෙ බාල පුතු ලෙසය. රාජසිංහ බණ්ඩාර ඉලංගසිංහට අයියලා දෙදෙනෙක් සිටී. හේ නෙළුම්පත්ගම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා නෑගම්පහ මහා විද්‍යාලයෙන් සාමාන්‍යපෙළ සමත් වූයේය.

‘‘මම උසස් පෙළ මාස හයක් විතර කරලා ඉස්කෝලේ යාම නැවැත්තුවා.කුඹුරු වැඩට බැස්සා. ඔහොම ඉද්දි උතුරේ යුද්දෙ දරුණුවටම යනවා. අපේ හමුදාව මේ යුද්දෙ දිනන්න සෑහෙන බලාපොරොත්තු එක්ක ඉදිරියට යන හැටි නිතර ටී.වී. එකෙන් දැක්කා. නිතරම ඒ දවස්වල හමුදාවට එන්න රට රකින්න එකතු වෙමු කියා දැන්වීම් ගියා. මටත් හිතුණා යුද්දෙ මේ පාර නම් අපි කොහොම හරි දිනනවා. මම කුඹුරු කොට කොටා ඉඳල හරියන්නෙ නෑ. හමුදාවට ගිහින් කෙළින්ම යුද්ධයට එකතු වෙනවා කියලා. යුද්දෙ දරුණුම මොහොතේ මම හමුදාවට බැඳුණා. කුරුණෑගල බෝයගනේ කෑම්ප් එකේදී හමුදාවට ඇතුළත් වුණා. ගාල්ල බූස්ස පාබල හමුදා පුහුණු පාසලෙන් පුහණුවෙලා පළමු ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණා. සාලියපුර ගජබා රෙජිමේන්තුවෙන් යාපනය කිලාලි මුහමාලේට මානුෂික මෙහෙයුමට අනුයුක්ත කෙරුණා.’’

කාර්යාල කටයුත්තේ සිට ඉදිරිපෙළ සෙබළෙක් දක්වා අත්දැකීම් සති කීපයක් තුළ ලද ඉලංගසිංහ පුදුකුඩු ඉරිප්පු නගරය ත්‍රස්තයන්ගෙන් නිදහස් කර ගැනීමේ සටන ඉදිරියෙන්ම සිට දස්කම් පෑවෙකි. මේ සටන අප හමුදාවන්ට වඩාත් අසීරු වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු සිය දිග දුර මෙහෙයුම් බළකාය හෙවත් ස්නයිපර්ස්ලා යොදවමින් හමුදාවන්ගේ ගමන අඩාළ කිරීම්ද නිසාය.

‘‘එදා දෙදාස් නවයේ මාර්තු දෙවනදා දරුණුවට සටන් පැවැති දවසක්. පුදුකුඩුඉරිප්පු නගරයට මීටර් පන්සීයකට පමණ ළං වෙලා හිටියේ. සාමාන්‍ය ලඳු කැලෑව එතැන. පාන්දර පහට විතර අපි කණ්ඩායම ළඳු අතරින් බඩගාගෙන ඉස්සරහට ගියා. දවල් එකයි හතළිස් පහ වෙනකොට අපි මීටර් තිහක් විතර ඉස්සරහට ආවා. එතැන බිම පොල්වතු වගේම පුදුකුඩුඉරිප්පු ගමේ ගෙවල්වල වහලවල් පෙනෙන නොපෙනෙන මට්ටමට ලඳු කැලෑය. අතැර දමා ගිය ගෙවල්වලත් සිට අපට එල්.ටී.ටී.ඊ. එක ගහනවා. නොනවත්වා වෙඩි පත්තු වෙනවා. හැබැයි දවල් වෙන්න වෙන්න ටෙරාලගෙන් අපිට එල්ල වෙන වෙඩි අඩු වුණා. පාන්දර පහේ ඉඳලා දවල් දෙක විතර වෙනකම්ම බඩ ගගෙන ආවනිසා ලොකු අහසුවක් තිබ්බ ඇඟේ. කොටින්ගෙ ප්‍රහාර නතර වුණ නිසා මම මොහොතකට නැගිට්ටා. එතකොටම මම දැක්කා අපේ කෙනකුට ස්නපිපර් ෂොට් එකක් වදිනවා. එයා එතැනම වැටුණා. එයාව ඇදල ගන්න මම බිමට පාත් වෙන්න හැදුව විතරයි එකවරම සටස් වැනි ශබ්දයක් එක්කම මගේ බෙල්ල මහා ගින්නකට අහුවුණා වගේ පිච්චෙන්න ගත්තා. සම්පූර්ණ ඇඟ පණ නැති වුණා. කලාන්ත ගතියක් ආවා. මාව වේගෙන් බිමට විසිවෙලා වැටුණා.

ඉලංගසිංහට ඒ වැදී තිබුණේ කොටි ත්‍රස්තයන් එල්ල කළ ස්නයිපර් වෙඩි පහරකි. ඔහුගේ බෙල්ලේ සුසුම්නාව හරහා වැදී ඇති උණ්ඩය හේතුවෙන් ගලන ලෙයින් ඔහුගේ පිටත් පපුවත් තෙමෙන්නට පටන් ගත්තේය.

‘‘ඒ වෙලාවේ මට සිහිය තිබ්බා. මට මගේ ඇඟ ලේවලින් පෙඟෙද්දි මතක් වුණෙ අම්මව. ගෙදර ගිහින් එන්න තිබ්බනම් කියන සිතිවිල්ල තදින්ම දැනුණා. මගෙ පිටුපස සිටි දෙන්නෙක් මාව පිටුපස්සට ඇදගෙන ගියා. දෙන්නෙක් මාව පඳුරු බිමේදී කරේ තියාගෙන දිව්වා. මට යාන්තමින් මතකයි. බෙල්ල පිච්චෙන වේදනාව එන්න එන්නම වැඩිවුණා. මම අවසිහියෙන් අම්මාට මාව පිච්චෙනවා මට අමාරුයි කියලා කෙඳිරි ගෑව කියලා යාළුවන් පස්සෙ කිව්වා.’’

ඒ සමගම සිහිය නැතිව ගිය ඉලංගසිංහ හමුදා වාහනයක දමාගෙන පලාලි වෙතත් එතැනින් ගුවනින් අනුරාධපුර රෝහලටත් එවා තිබුණේය. මාස තුනහමාරක් ඔහුට එකම ඉරියව්වෙන් සිටින්නට නියමිත වී තිබුණේ බෙල්ලේ සුසුම්නාව අතර සිරවී තිබූ ඉවත් කිරීමට අපහසු උණ්ඩය හේතුවෙනි.’’

‘‘මගේ සුෂුම්නාව ඇතුළේ බුලට් එකක් හිරවෙලා තිබුණා. ඒක ඔපරේෂන් කරන්න එකවර අමාරුයි කියලා ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්තය කිව්වා. මාස තුනහමාරක් වැලි කොට්ට ඔළුව දෙපැත්තෙම හිර කරගෙන ඔළුව දශමයක්වත් නොසොල්වා ඉන්න වුණා. වෙඩි වැදුණට වඩා ඒ වැඩේ අමාරු වුණා. කොහොම හරි දවසක් මගෙ ඔළුව කහනවා. අයියල දෙන්නා මාරුවෙන් මාරුවට මා ළඟ හිටියෙ. ඒ වෙලාවෙ අයිය ටිකක් ඈත හිටියා. මම ළඟ කෙනෙක් දැකලා ටිකක් ඔළුව කහන්න කිව්වා. එයා ඔළුව කහනකොටම අයියා කෑ ගහගෙන ආවා. ඒකෙන් ඔළුව හෙල්ලුණා. ඒකෙන් ඒ වෙලාවේ අමාරු වුණා. හුස්ම ගන්න බැරුව ලොකු අපහසුවක් වුණා. අමාරුව එන්න එන්න වැඩි වුණා. ඒකෙන් දැඩි සත්කාරයෙ මාස එකහමාරක් ඉන්න වුණා. අම්මා කොයි වෙලාවෙත් අඬාගත්තු ගමන්. ඒ වෙඩි වැදීම නිසා මගේ පපුවෙන් පහළ පණ නෑ. අකර්මන්‍ය වෙලා තියෙන්නේ. දකුණු අත කුඩා වෙලා තියෙන්නෙ. ඇහැක් කුඩා වුණා.

අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා කොළඹ යුද හමුදා රෝහලේත් මාස දෙකක් පමණ ප්‍රතිකාර ලද ඉලංගසිංහ රාගම රණවිරු සෙවණේ පුණරුත්ථාපන ක්‍රියාවලිය සඳහා අවුරුද්දක කාලයක් නැවතුණේය. ඉන්පසු පාරම්පරික දේශීය වෙදකම් සඳහා ඔහු යොමුව තිබිණි. වර්තමානයේ ඔහුට පුද්ගලික ශරීරකෘත්‍ය අවශ්‍යතා දැනුණද ඉස්සර සේ ඒවා පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට නොවීය. ඒ එම ස්නායු පද්ධති අකර්මණ්‍ය බැවින් අපහසුය.

‘‘අනුරාධපුර අභිමංසල සුව සහන නිකේතනයට මාව ආරම්භයේදීම තෝරා ගත්තා. දෙදාස් එකොළහෙ හතයි විසි හය මම අනුරාධපුර අභිමංසලට ආවා. ඒ ආපු එක මට මහා සහනයක්. මගේ ජීවිතේ රෝද පුටුවට සීමා වීම සිරුරේ භාගයකටත් වඩා අකර්මන්‍ය වීම වගේ කරුණු එක්ක මම ලොකු කනගාටුවක කලකිරීමක හිටියේ. ඒත් මම රෝද පුටුවට වැටුණා. මගේ ඇඟ පණ නැති වුණාට දැන් මට සතුටක් තියෙනවා. අද මේ රටේ යුද්ධයක් නැති නිසා හැමෝගෙම පණ බේරෙනවා. මම කරපු කැප කිරීම අපතේ ගිහින් නෑ. රටේ හැමෝම මරණ බයක් නැතුව හිනාවෙන් ඉන්නවා. මට අබිමංසලදී හමු වුණා විනීත කුමාර වෛද්‍යතුමා. ආධ්‍යාත්මික සංවර්ධනය වෙන හැටි කියා දුන්නා. දැන් මම ඒ මග යමින් ඉන්නවා.’’

රාජසිංහ බණ්ඩාර ඉලංගසිංහට පාසල් කාලයෙන් පසු ගමේ කුඹුරට බැස්ස කාලයේ ගමේම පෙම්වතියක් සිට ඇත. ඒ ප්‍රේමය සාංසාරික බැඳීමක් යැයි දෙදෙනාම එදවස කතා වූහ.

‘‘එයා මම හමුදාවට ආවට පස්සෙත් දිගටම මා එක්ක ආදරෙන් හිටියා. මම තුවාල වෙලා එක්තැන් වුණාට පස්සෙනම් මාව බලන්න ආවේ නෑ.

මාව මේ විදියට දකින්න එයාට බැරිව ඇති. හැබැයි මට එයා කෝල් කළා තුවාල වෙලත් අවුරුද්දක් විතර මට එයා ගැන අදහස තිබුණා. මම ඉන්න තත්ත්වය මට හරියට වැටහුණා වගේම එයා මා මගහරින බවක් වැටහුණාම මමම ඇයට මගේ තත්ත්වය හා ඇගේ අනාගතය ගැන තේරුම් කරලා සම්බන්ධය නතර කරමු කියා පැහැදිලි කළා. ඉතින් එතැනින් ප්‍රේම කතාව ඉවරයි. එයා නරක කෙනෙක් නෙවෙයි. අහිංසක කෙල්ලක්. මගේ අවාසනාව නිසා එයාගෙ අනාගතෙ අඳුරු වෙන්නත් දෙන්න බෑනේ. එයා දැන් හොඳ කෙනෙක් බැඳලා ළමයි එහෙමත් ඉන්නවා.’’

සිය ආදරණීය අතීතය අමතක කර පෙම්වතියට තමා අතහරින්නැයි යෝජනා කර ඇගේ වර්තමාන ජීවිතයට ආශිර්වාද කරලා ඉලංගසිංහ රණ බිමේදී පමණක් නොව ප්‍රේමයේදීද ප්‍රේමය කිමැයි කියාදෙන කදිම පරිත්‍යාගශීලී පෙම්වතෙකි. දෙකෝටි විසි ලක්ෂයක් පමණ වූ වැසියන්ට නිදහසේ ජීවත් වන්නට සටන් බිමට පිවිස ජීවිතය රෝද පුටුවකට සීමා වී ගිලන්ව එක් තැන්ව සිටියද ඔහුගෙ හදවත දැන් ගිලන්ව නැත.

‘‘මම හිතනවා මට මෙහෙම වුණේ සස​රේ කර්ම ඵල නිසා කියලා. ඒවා ගෙවන්න ඕනනෙ. ඉතින් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවනවා. ඒක සමහර විට මගේ සසර වාසනාවක් වෙන්නත් පුළුවන්. ජීවත්වෙන ඉදිරිකාලේ දනක් පිනක් කරගෙන ඉන්නවා.’’

යුද හමුදාවට බැඳුණ ගමන්, මුහම්ලේ ක්‍රියාන්විත රාජකාරි සඳහා යොමු කෙරුණා. ක්‍රෝපල් රාජසිංහ බණ්ඩාර ඉලංගසිංහට සම්බන්ධ වන්නට ලැබුණ වන්නි මෙහෙයුමේ පුදුකුඩුඉරිප්පු මුදා ගන්නා සටනටයි. ඔහු ඒ වෙනුවෙන් මානුෂීය මෙහෙයුම සඳහා වන ඇගයීම් සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.