විශේෂාංග

බූරුවෝ පුත්තලමෙන් සමු ගනිති!

‘එක බූරුවා ඉස්සරහින් පැන්නා, දෙක බූරුවා අස්සෙන් රිංගුවා, වීල් එක පෙරළුණා. මට තුවාල වුණා. මං ඉතන්නේ දෙක බුරුවාටත් තුවාල ඇති. ඒත් ඌ එක බූරුවා පෂ්ෂේ පන්නා ගෙන ගියා’,
කලකට ඉහත පුත්තලම නගරයේ සිදු වුණු ත්‍රිරෝද රථ අනතුරක දී, මුස්ලිම් ජාතික රියදුරා තමන්ට සිදු වුණු හදිය ගැන විස්තර කළේ එපරිද්දෙනි. ඔහු පැවසූ අන්දමට, කුලප්පු වූ බූරුවන් රිංගන්නට ගොස් ඇත්තේ නවතා තිබුණු ත්‍රිරෝද රියක් මැදිනි!

පුත්තලම ඇතුළු වයඹ පළාතේ ප්‍රදේශවල වෙසෙන ‘බූරුවන්’ රේස් දිවීමට උපන් හපන්නු ය. ඒවා නිකම් ම රේස් නොව, ‘ප්‍රේමවන්තියක්’ සොයා ගැනීමේ භාරදූර කටයුත්ත පිණිස දුවන රේස් ය. එබඳු රේස්වල දී උන්ට තම සිත් ගත් ප්‍රේමවන්තිය මිස, පාරේ යන වාහන ආදී එලෝ මෙලෝ කිසිවක් පෙනෙන්නේ නැත. ප්‍රේමවන්තිය අල්ලා ගැනීම සඳහා දුවන දිවිල්ලේ දී පාර අයිනේ තිබෙන එළවළු තට්ටු, පලතුරු තට්ටු ආදිය පමණක් නොව කඩ මැහි පවා පෙරළා ගෙන දිවීම, උන්ගේ සිරිතයි!

‘බූරුවා’ (Equuleus Africanus) අප්‍රිකානු සම්භවයක් ඇති, ‘අශ්ව පවුලට’ අයත් සිවුපාවෙකි. ලෝකයා උන් හඳුනා ගන්නේ බඩු භාණ්ඩ ප්‍රවාහනය කරවා ගන්නට මහෝපකාරී වන සත්ත්වයෙකු වශයෙනි. ලංකාව, විදෙස් ආක්‍රමණවලට ලක් වන්නට පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂයෙන් පහළොස්වැනි ශතවර්ෂයේ දී පෘතුගීසීන් මෙහි පැමිණීමත් සමගිනි. ඉන් පසුව ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ද පැමිණියහ. ‘බූරුවන්’, ලංකාවේ නිවැසියන් නොව ආගන්තුකයන් ය. බඩු භාණ්ඩ ප්‍රවාහනය පිණිස, උන් අපේ රටට ගෙන්වා ගෙන ඇත්තේ යුරෝපීය ආක්‍රමණිකයන් ය. උන් මිනිසුන්ට මෙහෙ පිණිස ‘මෝඩයන්’ මෙන් බර අදින බව, ජන ව්‍යවහාරයයි. ඒ අනුව, ‘පුත්තලම් බූරුවන්’ අපර ව්‍යවහාරයක් ද උන්ට පටබැඳී තිබේ.

බොහොම කලක පටන් ම, බූරුවන් සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ වයඹ පළාතේ පුත්තලම සහ කල්පිටිය ආදී ප්‍රදේශයි. ඊට අමතරව, මන්නාරම ප්‍රදේශයේ ද උන් දැකිය හැකි ය. පුත්තලමට බූරුවන් පැමිණීම ද කදිම කතා පුවතකි. එය ‘ලුණු නිපදවීමේ’ කර්මාන්තය හා බැඳී පවතින්නේ ය. පැරණි කතා පුවත්වල හැටියට, අතීතයේ දී පුත්තලමේ ලුණු නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටියේ ඉන්දියානු ජනයා ය. ඔවුන් නිපදවන ලුණු, ‘කඳු’ වශයෙන් ගොඩ ගසා තිබිණි. එය ඔවුන්ගේ බසින් ‘උප්පුතලම්’ ය. ‘උප්පුතලම් යන වචනය, කල් යාමේ දී ‘පුත්තලම්’ යනුවෙන් වෙනස් වුණු බව කියැවේ. ලංකාවට බූරුවන් ගෙන්වා ඇත්තේ ද ‘ලුණු ප්‍රවාහනයට’ය.

‘ඔය ‘හැමිල්ටන් ඇළ’ හැදුණාට පස්සේ පුත්තලමේ හදන ලුණු කොළඹට ගෙනාවේ පාරුවලින්. ලේවාවල ඉඳලා පාරුවලට ලුණු ගෙනාවේ බුරුවන්ගේ පිටේ බැඳලයි. පුත්තලමේ ඉඳලා කුරුණෑගල පැත්තට ලුණු ගෙන ගියේත් බූරු තවලම් මගිනුයි’, පුත්තලමේ පැරැන්නෝ කියති.

කොළඹ කැලණි ගඟෙන් පටන් ගෙන, ජා ඇල, මීගමුව, හලාවත ඔස්සේ පුත්තලම දක්වා ‘හැමිල්ටන් ඇළ’ කැපුවේ ලන්දේසීන්ගේ සමයේ ය. කොළඹ සිට පුත්තලමට බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමත්, පුත්තලමේ ලුණු තොග කොළඹට ගෙන ඒමත් ඇළ කැපීමෙහි අරමුණ විය. මේ කටයුත්තේ මුල් අදියරේ සිටියේ බුරුවන් ය. කලක් ගතවන විට බූරු ගහනය වැඩි විය. එයින් පසුව උන් ගෙන් කොටසක් ‘ගෘහස්ථ පරිසරයෙන්’ මිදී, වනගත දිවි පෙවෙතකට යොමු වූහ. තවත් කොටසක්, ගමේ-නගරයේ නිදැල්ලේ සැරිසරමින් ජීවත් වූහ. ඇතැම්හු උන් අල්ලා බර ඇදීමේ වැඩට යොදා ගත්හ. තණපත් සහ කලපු අන්දර ශාක උන්ගේ ප්‍රියතම ආහාර විය.

බූරුවන් නගන නාදය නිසා පොල් වගාවට හානි කරන ‘රතු කුරුමිණියන්’ පාලනය වන බව ඇතැමුන් ගේ අදහස විය. එබැවින් පසුකාලීනව, පුත්තලම් දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් හිමියන් ද බූරුවන්ගේ සේවය ලබා ගත්හ. ඒ, බුරුවන් අල්ලා ගෙන ගොස් පොල් ඉඩම්වල බැඳීමෙනි.

තැනින් තැන සැරිසරමින්, නයි සහ රිළවුන් නටවමින් ජීවිකාව සලසා ගන්නා ‘අහිකුණ්ඨික ප්‍රජාව’ ද බුරුවන්ගේ සේවය ලබා ගන්නා පිරිසකි. ඔවුන්ගේ කණ්ඩායමක බුරුවන් පස් හය දෙනෙකුවත් සිටිති. ඒ, බර ගෙන යාම පිණිස ය. ඔවුන්ගේ ‘සබ්බ සකලමනාව ම’ ගමින් ගමට ප්‍රවාහනය කරන්නේ ‘බූරු තවලමෙනි’.

මේ අතර, 1990 දශකයේ මුල් භාගයේ පටන් පුත්තලමේ වෙරළාසන්න කලපු ප්‍රදේශවලට ‘ඉස්සන් වගා කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘති’ පැමිණියේ ය. හෙක්ටයාර් සිය ගණන් කඩොලාන කැලෑ කපමින්, පොළොව හාරමින්, ඉස්සන් පොකුණු ඉදි කෙරිණි. ඒවාට යන්නට-එන්නට මංමාවත් ඉදි විණි. මෙම පෙරළිය නිසා වනගත ජීවිතයකට හුරුවූ බූරුවන්ට වාසස්ථාන අහිමි විය. උන්ගේ ප්‍රියතම ආහාරයක් වූ ‘කලපු අන්දර’ ශාක ද නැතිවී තියේ ය. පසුකාලීනව, උතුරේ කොටි යුද්ධයෙන් අවතැන් වුණු මුස්ලිම් වැසියන් දහස් ගණනක් ද පුත්තලමේ ඉදි කෙරුණු ‘අනාථ කඳවුරුවල’ පදිංචි කෙරුණි. එය ද බුරුවන්ගේ නිදහස් දිවි පෙවෙතට බලපෑම් ඇති කළේ ය. එයින් ද සිදු වුයේ උන්ගේ වාස භූමි සහ සැරිසැරුම් මංපෙත් අහිමි වීමයි. ඇතැම් අවස්ථාවල බූරුවන් මරා, ‘ගව මස්’ යැයි අඟවා අලෙවි කිරීමේ රැල්ලක් ද ඇති විය. අවසන, උන් පුත්තලමෙන් වඳවී ගියහ. අද, පුත්තලම නගරයේ හෝ තදාසන්න ප්‍රදේශයේ බූරුවන් දකින්නට නැති තරම් ය. එහෙත් කල්පිටිය සහ මන්නාරම ප්‍රදේශයේ දී තවමත් බූරුවන් දැකිීමට පුළුවන.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජන ව්‍යවහාරයේ හැටියට, බූරුවන් දක්කා ගෙන යාමේ අවසරය ඇත්තේ ‘අහිකුණ්ඨික ජාතිකයන්ට’ පමණි. වෙනත් කෙනෙක් බූරුවන් දක්කා ගෙන යන්නට ගියහොත්, එයට පොලිසියෙන් ඉඩක් නැත.

‘මගේ දැනීමේ හැටියට නම්, ‘බූරුවා’ කියන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ එන විධි විධානවලට හසුකර ගත හැකි සත්ත්වයෙක්. ඒ කියන්නේ, දැන් වන වැදුණු සත්ත්වයෙක්. ඒ නිසා වයඹ පළාතේ බූරුවන්, ‘ආරක්ෂිත සතෙකුගේ’ තත්ත්වයෙන් සැලකිය යුතුයි’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය.

පුත්තලමේ වැසියන් පවසන අන්දමට, බූරුවන්ගේ ඇවතුම් පැවතුම් ද බොහොම අමුතු ය. ගම්වල වෙසෙන ඇතැම් පුද්ගලයන් ‘බලා ගත් අතේ බලා ගෙන’ ඉන්නේ ‘පෙරේත දෝස’ වැලඳුණු විට ය. බූරුවන්ට ‘පෙරේත දෝස’ වැලඳෙන බවක් අසන්නට නැත. එහෙත් බුරුවන් ද ‘බලා ගත් අතේ බලා ගෙන’ පැය ගණන් ඉන්නට රුසියන් ය.

බූරුවන්ගේ ගැහැනු සතුන්ට ‘පෙම් හැඟුම්’ පහල වූ විට උන් කරන්නේ, ‘මෙලෝ සිහියක් නැතිව’ දින ගණන් හිස හැරුණු අතේ දිවීමයි! එවිට, උන්ට ‘පෙම් හැඟුම්’ පහල වී ඇති බව පිරිමි සතුන් දැන ගනිති. එතැන් පටන් බූරුවන් කරන්නේ ‘ගැහැනු සතෙක්’ දිනා ගැනීම සඳහා උන් පසුපස වේගයෙන් හඹා යාමයි. මේ දිවිල්ලට ‘මෙලෝ බාධකයක්’ පෙනෙන්නේ නැත. දිවීමේ වෙහෙස නිසා ඇතැම් පිරිමි සතුන් අතරමග දී හති දමා නතර වෙති. අන්තිමේ දී ගැහැනු සතුන් ද හති වැටී නතර වෙති. පිරිමි සතුන් කොතෙක් හඹා ආව ද, අවසානයේ දී ගැහැනු සතා ‘දිනා ගන්නේ’ මීටර් සියයක්වත් නො දිවූ පිරිමි සතෙකි!

දිවිල්ලේ මහිමය කොතෙක් ද යත්, බූරුවන් බොහොම දෙනෙක් වාහන ආදියෙහි හැපී මියැදීම වයඹ වෙරළබඩ කලාපයේ සාමාන්‍ය සිද්ධියකි!

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
ජූඩ් සමන්ත