විශේෂාංග

බුලත්විට අලුත් පරම්පරාව හපකරන හැටි

අතීත අපේ පරම්පරාව රේස්කොලේ වූ අස්සයන්ට ඔට්ටු ඇල්ලුවේ බුලත් විටක් හක්කේ තියාගෙනය.

ඒ පරම්පරාවම හැත්තෑව දසකයේත් අසූව දශකයේත් චිත්‍ර කතා පත්තර බැලුවෙත් හොඳ හැටි විටක් ඇද බාන ගමන් තඩි කෙළ බෙට්ටක් ගේ ඉදිරිපිට මිදුලට පතබාන ගමන්ය.

ඔය කිව්ව පරම්පරාවම බයිස්කෝප් බලන්නට පිචැර් හෝල් එකට ගිහින් ගැලරියේ හිටන් ෆයිට් තියෙන ෆිල්ම් බැලුවේද බුලත් විට කන ගමන්මය. පිචර් එකේ වීරයා දිනා ජයග්‍රාහී ලෙස එන විට ක​ටේ වූ බුලත් හපේ පිචර් හෝල් එකේම පුටු අස්සේ කටෙන් පිටකොට මාපැට ඇඟිල්ල හා දඹරැගිල්ලෙන් විසිල් ගැසූ යුගයක්ද අද ඉතිහාසයට එක්වී තිබේ.

ඒත් අද පරම්පරා රේස් දාන්නේ නැත. චිත්‍ර කතා බලන්නේද නැත. ඊටත් වඩා බයිස්කෝප් බලන්නෙත් නැත. ඒත් ඉතින් එදා පරම්පරාව ඇබ්බැහිව තිබූ එක් පුරුද්දකට යොමු වී ඇත්තේ හිතාගන්නවත් නොහැකිව නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නොව බුලත්විට කෑමය.

ලංකාවේ පිරිමින්ගේ ජනප්‍රියතම විනෝදාස්වාද ආහාරය කුමක්දැයි ඇසුවහොත් එය බුලත්විට යැයි අමුතුවෙන් කිව යුතු නැත. බස් රථයක, ත්‍රිරෝද රථයක යන විට රියැදුරුට අවුරුදු 18ක් වයස වුවත් 68ක් වයස වුවත් බුලත්විටක් නොකන ඩ්‍රැයිවර් කෙනෙකු අපට හමු නොවන්නේ කලාතුරකිනි. කෙළ නොගැසුවත් ඔය උන්දලැගේ ක​ටේ බුලත් හපේය. විටින් විට හරකුන් වමාරා කනවා මෙන් ඊටත් වඩා චුයින්ගම් එකක් හපනවා මෙන් ඔය ගොයියලා ඔය හපන්නේ හක්කේ ඇති විට ගුළියයි.

අපි ‘බුලත්විට’ හෝ ‘විට’ යැයි ලෝකයාට කිව්වාට බුලත් හඳුන්වන ක්‍රම කීපයකි. ඔය අප ඇඟට පතට නොදැනී බුලත්විට කියන්නේ එය කටේ තිබියදීය. බුලත් පිළිගන්වන විට ගරුසරු ඇතිව කියන්නේ බුලත් අතක් පිළිගන්වනවා කියාය. ගෙදරකදී බුලත්වලට කියන නම් අවස්ථා 3කදී වෙනස් වේ. මඟුල් ගේකට තියන විට බුලත් තට්ටුව කිව්වත් මළ ගෙදරකදී එය ගැන්වෙන්නේ ඉලත්තට්ටුව කියාය. හාමුදුරුවන්ට බණට දනට ආරාධනා කරන විට එය දැහැත් වට්ටිය වේ.

අප බුලත් කඩේ යැයි කියූ සැණින් අපට මතකයට එන්නේ ‘සිංහල කඩයක්’ වුවත් අද වුවත් දැවැන්ත බුලත් වෙළෙඳාමේ යෙදෙන මුස්ලිම් ජාතිකයන් සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ. නුගේගොඩ දැවැන්ත බුලත්කඩ දෙකම නානා දෙදෙනකුගේය. මේ මුස්ලිම් ජාතිකයන්ගේ ආදිතමයන් යේමනය, අරාබිය ආදියේ සිට ලංකාවට ආක්‍රමණය වූයේ පුවක්, කුරුඳු, එනසාල්, කරාබුනැටි ආදිය සොයාගෙනය. ​මේ සෙරන්ඩිබ් එකටය. ලංකාවෙන් අපනයනය කරන පුවක්වලට දැඩි ඉල්ලුමකි. ලංකාවේ පුවක්, ගම්මිරිස්, එනසාල් ආදි ප්‍රධාන අපනයනකරුවකු වූයේ පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ පසුවන ‘ඉබ්‍රහිම්ය’. අපනයන සංවර්ධන මණ්ඩලයේ ආදී ආයතන ඉබ්‍රහිම්ට පිරිනමා තිබූ සම්මානවලින්ම එය තහවුරු වේ. අපනයනය කරන පෙති ගැසූ පුවක් කීවාට ඒත් ඉතින් කෑමට නම් ඉතා අපහසු වන්නේ ඒවා වේලී ඉතා තද ගතියකින් යුක්ත නිසාය. අපනයන වෙළෙඳපොළේදී ‘කරුංකා’ ලෙස ඒවා හැඳින්වේ. ලංකාවේ ​පොල් වෙ​ළෙඳාමට වඩා ඉතිහාසයක් පුවක්වලට ඇති බව කිවහොත් ඔබ මවිතයට පත්වනු නියතයි.

එදා බුලත්විටක් කන විට හමන සුවඳ අද එන්නේ නැත. පිටකොටුවේ කදිරේෂන් පාරේ බුලත් විට ගසා තිබුණේ බේත් කඩයකය. එහි සිටි සිංහල බේත් තෝරන තරුණයා සිටියේද බුලත් විටක් හපමින්.

‘දැන් ඔය බුලත් කනකොට ගන්න හුණු, දුන්කොළ වගේ දේවල් ආයුර්වේදයේදී ප්‍රතික්ෂේප කරනවා. ආයුර්වේදයේ කියන විදියට කරාබුනැටි, සාදික්කා, වසාවාසී, ඉඟුරු පියලි, එනසාල් වගේ දේවල් එක්ක එහෙම විටක් කනකොට පළාතම සුවඳයි. දැන් කොහෙද, ඔක්කොම විට හදන්නේ බිස්නස් එකට. එනසාල් කිලෝව රු.20,000යි. මේ ඩිංගිත්තං එනසාල් ගෙඩි 6ක් තියෙන පොඩි පැකට් එක රු.60යි. ඔය කියපුවා දාලා බුලත්විටක් හැදුවොත් රු.150කටවත් දෙන්න වෙන්නේ නැහැ.

පසුගිය කාලයේ රුපියල් 20ට තිබූ බුලත්විටේ මිල ඉහළ යන්නට හේතු වූයේ රුපියල් දෙකට තුනට තිබුණු පුවක් ගෙඩිය රුපියල් 28 දක්වා ඉහළ යාමයි. පුවක් ගෙඩිය අන්තිමට පුවක් ගෙඩි 3ක් විකුණා පොල් ගොඩියක් මිලදී ගත හැකි තරම් සම්භාවනීය තත්ත්වයකට පත්විය. පුවක් මිල ඉහළ යද්දී රු.20ට තිබූ බුලත් විට රු.30 වූයේ මුලින්ම 50% මිල ඉහළ යාමක් ලෙසය. ඊටත් පසු එය 100%ක මිල ඉහළ යාමක් ලෙස බුලත් විටක් රු.40 බවට පත්විය. සමහර පැතිවල එය කෙලින්ම රු.50 දක්වා ඉහළ නැග්ගේය. ඒත් දැන් පුවක් ගෙඩියක් හොඳ තත්ත්වයේ එකක් රුපියල් පහක්වත් වෙන්නේ නැත. ලෙලි ගැසූ විට වැඩිම වුණොත් රු. 6.50කි. ඒත් ඉතින් ඉහළ ගිය බුලත් මිලේ නම් පහළට ඒමක් වුණේ නැහැ. මේ බව දැනගත්ත නම් ආණ්ඩුවට බුලත්විටක පාලන මිල ගැන ‘ගැසට්’ එකක් ගහනවා ආයි ඉතින් දෙකක් නැහැ.

අප බුලත්විට ගැන ලියන්නට ගිය පිටකොටුව, මහරගම, මොරටුව, නුවරපාර ආදී ප්‍රදේශවල අපට පැහැදිලිව දකින්නට ලැබුණේ තරුණයන් බහුතරයක් බුලත්විට කෑමට හුරුවී ඇති බවයි. බොහෝ කඩවල අද දක්නට ඇති බෝඩ් ලෑල්ලක් නම් ‘සිගරට් විකිණීමට නැත’ බෝඩ් ලෑල්ලයි. ඒත් ඉතින් කොහේවත් කඩේක ‘බුලත්විට විකිණීමට නැත’ බෝඩ් තිබුණේ නැත.

අප මෙසේ සැරිසරද්දී අපට පෙනී ගියේ බුලත් විට විකිණීම විශේෂව කළ වෙළෙඳසල් ඇති බවය. එම එක් කඩයක තිබුණු වෛර්ණ බෝඩ් ලෑල්ලේ සඳහන් වුණේ ‘රු.50 බුලත් විටක් දවසටම ඇති. ගමුද බලන්න’ යනුවෙනි. බෝඩ් ලෑල්ල අසලම තවත් බෝඩ් ලෑල්ලක් වුණේ දැන්වීමක් ගැනය. එහි සඳහන් වූයේ ‘පුවක් කැපීමට ඇබෑර්තු ඇත’ යනුවෙනි. පුවක් කපන්නාට පඩිය කීයක් විතර ගත හැකිදැයි ඇසූ විට අපට දැනගත හැකිවූයේ දවස් පඩියට ‘පුවක් ටාගට්’ එකක් ඇති බවය. දවස් පඩිය රු.2000 ඉක්මවා ගත හැකි බව අපට දැනගත හැකිවූයේ අහළ පහළ අයගෙනි.

අප ගිය එක තැනක බුලත් විට දමා තිබුණේ එනර්ජි ඩ්‍රින්ක් (Energy Drink) දාන ඇතුළු පේන වීදුරු දැමූ කුඩා ශීතකරණයකය. අප මුලින් සිතුවේ ‘කල් තියාගන්න’ බුලත් විට ෆ්‍රිජ් එකේ දමන බවය.

‘අයියෝ මහත්තයා දැන් තැඹිලි ඇස්ස ඉහල ෆ්‍රිජ් එකේ දාලා ​බොනවා. සමහරු කූල් සිගරට් තියෙනවාද අහනවා. දැන් ඔය අලුත් පරම්පරාවක් බිහිවෙලා ඉන්නවා. කොල්ලෝ බුලත් විට කන්නේ කූල් කරලා. ඔය ඉස්සර ඉන්දියාවෙන් ආපු බාබුල් පැකට් (පුවක් කුඩා කෑලිවලට කපා මත්වතුරෙන් පොඟවා වේලූ මත්ද්‍රව්‍යයකි.) සමහරු ෆ්‍රිජ් එකේ දාලා කෑවේ සැර නිසා. ඒ පුරුද්දට වෙන්න ඇති. දැන්නම් ඉතින් බාබුල් තහනම්. ඔය පුවක් කූල් වුණාම හපන්න ලේසියි.’

අප මහරගම බුලත් කඩයක් අසල සැරිසරන විට පාසල් වියේ පසුවන ශිෂ්‍යයකු යැයි සිතිය හැකි අයකුට සුවිශේෂ බුලත්විටක් හොරැහින් දුන්නේ රුපියල් 100කට ආසන්න මිලකටය.
‘අපි ඉස්කෝලේ ළමයින්ට බුලත් විකුණන් නෑ. මේ අහළ පහළ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා අපෙන් ඉල්ලීමක් කළා. ඒ කොල්ලා දන්න කියන කෙනෙක් හින්දා දුන්නේ. කනාමැදිරි​යේ කාපු බුලත් තමයි රහම. ඒ නිසා ඒ බුලත්විට ගානත් වැඩියි.’

බුලත් කඩවල බුලත් අත් රු.40,60,80 සහ 90ට තිබුණු අතර එක් බුලත් අතක මිල රු.160ක් විය.

‘ලංකාවේ බුලත් ඔය ලොකු ඒවා පකිස්තානෙට එක්ස්පෝට් කරනවා. එහේ බුලත් කොළේ 4ට කපලා බීඩා (සාරබුලත් විට වැනි) ඔතනවලු. බඩු ෆුල් ඩිමාන්ඩ්.’

දුම්කොළ නැට්ටක මිල ආරම්භ වන්නේ රුපියල් 80 සිටය. සමහර දුම්කොළවල සුවඳ දසඅත පැතිරී යන්නේ අමුතු සුවඳකින්. ඒ දුම්කොළයක් රු.200ට වැඩියි. මේ අතර බුලත් විකුණන බොහෝ දෙනා වසර 30කට වැඩිකාලයක සිට බිස්නස් කරන අයයි. අපට සොන්ඩර්ස් පෙදෙසේදී හමුවුණේ සාර බුලත්විට වෙළෙන්දෙකි. ‘මම අවුරුදු 41ක් තිස්සේ සාරවිට විකුණනවා. දැන් සාරවිටක් රු.50යි. මං බිස්නස් පටන් ගන්නකොට සත 5යි. දැන් සංගීත සංදර්ශන නැති නිසා බිස්නස් සවුත්තුයි.’

‘මේ බුලත් වෙ​ළෙන්දන් බොහෝ දෙනා කියන්නේ සිගරට් අරක්කු මිල ඉහළ යාම නිසා බොහෝ දෙනෙකු විශේෂයෙන් තරුණ පරම්පරාව බුලත් විට කෑමට යොමු වී ඇති බවයි. සමහර බුලත් කඩවල සිටියදී ටයිදාගත් එක්සෙකටිව් නොහොත් විධායක ශ්‍රේණියේ කොල්ලන්ද බුලත්විට හොඳට කාටත් නොපෙනෙන්න ඔතාගෙන සාක්කුවට දමා ගැනීම අපට පෙන්වා දුන්නේ වත්මන් පරපුර බුලත්විට කෑමට ඇබ්බැහි වී ඇති ආකාරයයි. රොබට් නොක්ස් ලියා ඇත්තේ සිංහලයන් බුලත් විටක් කටේ තබාගෙන නින්දට යන බවය. 2018 මාර්තු 30 වැනිදා එවක ආණ්ඩුව රජයේ සියලු ආයතන බුලත්කෑම චක්‍රලේඛනයකින් තහනම් කළත් අප ගිය රාජ්‍ය පෞද්ගලික ආයතනවල කොලු ගැටයන් මෙන්ම වැඩිහිටියන්ද බුලත්කමින් සිටියේ තරගයට මෙනි. බුලත් විට තහනම ගැන චක්‍රලේඛයේ ඇති ප්‍රයෝජනය ලෙස අවසානයේ අපට ඒත්තු ගියේ එය හතරට ඉරා බුලත්විට හතරක් ඔතා ගැනීම විය යුතු බවය.

වජිර ලියනගේ