විශේෂාංග

බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

රටක බුද්ධි අංශ සැලකෙන්නේ ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය වශයෙනි. මේ දිනවල ලංකාවේ බුද්ධි අංශ ගැන නිතර නිතර කතාබහට ලක්වෙමින් තිබේ. බුද්ධි අංශ පාවා දෙන්නට ඇතැයි ආන්දෝලනයක් පැවතීම ඊට හේතුවයි. අතීතය දෙස බලන විට අපේ රටේ බුද්ධි අංශ බිඳවට්ටන්නට උත්සාහ කෙරුණු අවස්ථා ද එමටය.

ඉතිහාසයේ මහා පාවාදීම් කරමින් බුද්ධි අංශය බිඳ වැට්ටවූ හැම අවස්ථාවකම බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වීම ද විශේෂත්වයකි.

මෑතක දී ආන්දෝලනයකට ලක් වූයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැඳවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්නට යාමත් සමගය.

තමා යටතේ සිටින නිලධාරීන් කිසිවෙකුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සපථ කර තිබුණත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව එම නිලධාරීන්ට යළි කැඳවීම් කර තිබුණේය.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සේවය කරද්දීවත් ප්‍රසිද්ධ ස්ථානවලට උත්සවවලට පවා නොයන්නට වගබලාගත් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යන්නට නියෝග ලැබුණේය.

බුද්ධි මෙහෙයුම යනු වෙනම රහස්‍ය ක්‍රියාදාමයකි. බුද්ධි ක්‍රියාන්විතවලදී තොරතුරුකරුවෙකු මෙන්ම බුද්ධි නිලධාරියෙකුගේ රහස්‍යභාවය රැකගැනීම බුද්ධි නිලධාරීන්ගේ ක්‍රියාවලියේ මූලික අරමුණය. නමුත් එය ලංකාවට වලංගු නැත. ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍යය වැනි රටවල ප්‍රබල බුද්ධි සේවා පවා ක්‍රියාත්මක වන්නේ රටේ අවශ්‍යතාව මත නිසා එම බුද්ධි මෙහෙයුම් ප්‍රශ්න කෙරෙන්නේ නැත. නමුත් ලංකාවේ ආණ්ඩු මාරුවක් සිදුවන විට ගන්නා තීන්දු තීරණ නිසා බුද්ධි අංශ අමු අමුවේ පාවා දෙන ආකාරය එළිපිටම දැකගත හැකිය.

වෙනත් රටවල බුද්ධි නිලධාරීන් හා බුද්ධි මෙහෙයුම්වල රහස්‍යභාවය රැකෙන්නේ රහස්‍ය සේවා පනත්වලිනි. එහෙත් අපේ රටේ එවැන්නක් නැත. සේවා පනත නමින් බුද්ධි නිලධාරීන් හා බුද්ධි මෙහෙයුම් ආරක්ෂා කරන්නට රටේ අවශ්‍යතාවය මත පනතක් ගෙන එන්නට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තම පාලන කාලයේ දී උත්සාහ කළේය. එහෙත් එය ඉදිරියට ක්‍රියාත්මක කරන්නට වත්මන් රජය කටයුතු කර නැත.

බුද්ධි නිලධාරියකු පුහුණු කරන්නට පටන් ගත් මොහොතේ පටන්ම ඔහු හඳුන්වන්නේ සංකේතයකිනි. බුද්ධි නිලධාරියා මෙන්ම ඔහුගේ ඔත්තුකරුවන් පුහුණු කරන්නෙත් වෙනත් නම්වලිනි. තොරතුරුකරුවන්ට මෙන්ම බුද්ධි නිලධාරීන්ටත් ව්‍යාජ හැඳුනුම්පත් බැංකු ගිණුම් ඇතුළු යටිතල පහසුකම් ලබාදී රහස්‍යභාවය උපරිමයෙන් රැකගැනීමට සිදුවේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ රහස්‍ය සේවා අරමුදලෙන් ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි අංශවලට අරමුදල් වෙන්කරන අතර එම ගිණුම් කිසිවක් කිසිම විටක විගණනයට ලක් කරන්නේත් නැත. එම ගිණුම් විගණනයට ලක්කරන්නට හෝ උත්සාහ කළේ වත්මන් රජය බලයට පත්වූ පසුවය.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සතු රහස්‍ය අරමුදල බුද්ධි අධ්‍යක්ෂවරයා යටතේ ඇති අතර එයින් කිසිවිටෙකත් තොරතුරුකරුවන්ට ගෙවූ ආකාරය හෙළිකරන්නේ නැත. නමුත් පසුගිය කාලයේ දේශපාලන අරමුණු මත සහරාන්ගේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රජයේ ඇමැතිවරුන් බුද්ධි අංශ විසින් තොරතුරුකරුවන්ට මුදල් ගෙවූ ආකාරය ගැන වාර්තා හෙළිකරන්නටද සූදානම් වූහ.

ජාතික ආරක්ෂාව ගැන නොතැකූ රජයේ බලධාරීන් එක්නැලිගොඩ අතුරුදන්වීම, මාධ්‍ය ප්‍රධානීන්ට එල්ල වූ ප්‍රහාර ගැන සොයන්නට රහස් පොලිසිය ලවා ගිරිතලේ බුද්ධි අංශ කඳවුරට සීල් තැබුවේය. එහිදී රහස්‍ය ලිපිලේඛන රහස් පොලිසිය හමුවේ දිග හරිද්දී යුද හමුදාපතිවරුන්ටත් එරෙහි වීමට නොහැකි විය.

යහපාලන රජය බුද්ධි මෙහෙයුම් පාවාදෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු නිලධාරීන් විසිඑකක් හිරේ දමා මේජර් ඩික්සන් රාජමන්ත්‍රී ඇතුළු බුද්ධි නිලධාරීන්ට ත්‍රස්තවාදීන් මරා දැමූ චෝදනාවට මරණීය දණ්ඩනය දෙන්නෙත් රටක් අනතුරේ හෙළමිනි.

ඕනෑම රටක් බුද්ධි අංශ, ආර්ථිකය, විදෙස් සබඳතා, සන්නද්ධ හමුදා යන සිද්ධාන්ත හතර මත ක්‍රියාත්මක වේ. ලෝකයම පිළිගන්නා මේ සිද්ධන්ත හතරම දේශපාලනීකරණය වූ කල එය ජාතික ආරක්ෂාව බිඳ වැටෙන්නට හේතුවෙයි. අද ලංකාවේ සිදුවන්නේද එවැනි දෙයකි.

එල්.ටී.ටී.ඊ. සන්නද්ධ බුද්ධි අංශ නායක චාල්ස්ගේ මෙහෙයවීමෙන් සිංහල කොටි ජාලයට බඳවාගත් යුද හමුදා මේජර්වරයකු ගැන යුද සමයේ හමුදා බුද්ධි බළකාය තහවුරු කරගත්තේය. රුපියල් විසිදහසක වැටුපකට කොටින්ට ඔත්තු දුන් මේජර්ව අල්ලාගත්තේ හමුදා බුද්ධි ජාලය චාල්ස්ගේ ඔත්තු ජාලයෙන් කඩාගත් ඔත්තුකරුවකුගෙන්ය.

එහිදී සාක්ෂි සහිතව අසුවූ හමුදා මේජර්ව යුද්ධාධිකරණයක් හමුවේ ප්‍රශ්න කරන්නට නියෝග දෙන්නේ එවකට සිටි හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය. හමුදා බුද්ධි මෙහෙයුම නිසා එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබල ඔත්තුකරුවකු වුණු මේජර්වරයාට මරණීය දණ්ඩනය නියම කෙරිණි. ඒ යුද්ධාධිකරණයේ තීරණයකි. මේ සඳහා සාක්ෂි දුන්නේ එල්.ටී.ටී.ඊ.යෙන් කඩා ගත් ඔත්තුකරුවෙකි.

මෙවැනි ප්‍රතිත්‍රස්ත බුද්ධි මෙහෙයුම් මගින් සතුරා හඳුනාගත්තේ සාර්ථක ඔත්තුකරුවන් මාර්ගයෙන්ය. ඔත්තුකරුවන්ගේ රහස්‍යභාවය වටින්නේ මේ නිසාය.
බුද්ධි මෙහෙයුම්වල රහස්‍යතාව තබා ගැනීම කෙතරම් වටින්නේදයත් වරෙක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.ව. මැලේසියාවට ගොස් අත්අඩංගුවට ගැනීමට හා කොටින්ගේ ජාත්‍යන්තර ජාලයට අයත් නෞකා සොයන මෙහෙයුමට හමුදා බුද්ධි ප්‍රධානියා ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් මැලේසියාවට යන්නේත් මෙහෙයුමේ රහස්‍යභාවය තබාගැනීමටය.

මැලේසියාවේදී සියලු තොරතුරු ඔස්සේ කේ.පී.ගේ නෞකාවත් සොයාගෙන රැගෙන එනතුරු හමුදා බුද්ධි ප්‍රධානියා මැලේසියාවට ගිය බව දැන සිටියේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනකු පමණි.

බුද්ධි අංශ නිලධාරීන් අසීමිත අවදානමක් ගෙන ජීවිතය ගැන පවා නොතකා සම්මත ක්‍රමවේදවලින් පරිබාහිරව ගොස් මෙවැනි පරිත්‍යාග කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙනි.

මේ නිසාම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලට මාළු වෙළෙන්දන්, ව්‍යාපාරිකයන් මෙන් ගිය බුද්ධි ක්‍රියාකාරීන්ද සිටින්නේය. එපමණක් නොව යම් පිරිසක් මුල සිටම එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්වන්නට හැර තොරතුරු සපයා ගන්නා ජාලයක්ද ක්‍රියාත්මක වූයේය.
හමුදා බුද්ධි අංශයේ දක්ෂ නිලධාරියකු වූ කර්නල් මුතාලිෆ් තම තොරතුරු ජාලයට කොළඹින් අල්ලා ගන්නා පික්පොකට්කරුවන් පවා එක්කර ගත්තේය. සාම කාලයේදී ඒ 09 මාර්ගය ඔස්සේ ඕමන්ත මාර්ග බාධකයෙන් වන්නියට යන රජයේ පාලන ප්‍රදේශවලට එන කොටි තොරතුරුකරුවන්ගේ තොරතුරු සෙවීමට උපකාරි වූයේ මුදල් පසුම්බි උස්සන මෙහෙයුමකි.

බුද්ධි මෙහෙයුම්වලදී එවැනි අසම්මත දේවල් පවා කරන්නට සිදුවේ. එල්.ටී.ටී.ඊ. යුද අපරාධ කළ බව කියන්නට ලන්ඩනයේ පාර්ලිමේන්තුවට යන්නට බ්‍රිතාන්‍ය ජාතිකයකු ඉදිරිපත් වන්නේද බුද්ධි මෙහෙයුම්වල ප්‍රතිඵල නිසාය. යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එල්.ටී.ටී.ඊ. යුද අපරාධ හෙළි කරන්නට යන්නේත් බුද්ධි ක්‍රියාන්විතවල සාර්ථක ප්‍රතිඵල නිසාය.

බුද්ධි ක්‍රියාන්විතවල ආරක්ෂාව කෙතරම් දුරට රහසිගතව තබා ගන්නවාද යන්න තවත් තහවුරු වන්නේ හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. යේ යළි නායකයා වන්නට ගිය රාම්ව කොටු කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් කළ මෙහෙයුමකි.

යුද්ධයේ අවසන් කාල සීමාවේ රාම් නමැති සන්නද්ධ නායකයා නැගෙනහිර සැඟවී සිටියදී කොටුකර ගත්තේ සිවිල් වැසියන් මෙන් වෙස්වළාගෙන ගිය බුද්ධි බළකා මේජර්වරුන් දෙදෙනකු විසිනි. යාල කැලයේ සැඟවී සිටි රාම්ට පහසුකම් සැපයූ සිංහල කණ්ඩායමක් කොටු කරගෙන ඔවුන්ගේ තොරතුරු මත වෑන් රථයකින් ගොස් රාම්ව අල්ලා ගන්නේ රාම්ට ඉන්දියාවට පැනයන්නට උදව් දෙන අය මෙන් අඟවමිනි.

රාම් කොටුකරගත් පසුව නැගෙනහිරට ඉතිරි වූ කොටි නායකයා වන නගුලන්වත් ගෙන්වා ගන්නේ රාම් ලවාය. නගුලන් කොටු වන මොහොතේ උගුලකට හසු වූ බව දැන සයිනයිඩ් කෑවත් නගුලන් හා රාම්ව ජීවග්‍රහයෙන් තබාගෙන ජාත්‍යන්තර කොටි ජාලය තුළ ක්‍රියාකාරකම් මැඬපවත්වන්නට අවකාශ ලැබුණේය.

ජීවිත අවදානමක් මැද එම මෙහෙයුම් කළ නිලධාරීන් අතරින් අයකුටත් ගිරිතලේ බුද්ධි කඳවුරේ නිලධාරීන් පසුපස එළවන රහස් පොලිස් මෙහෙයුමේදී සිරගත වන්නට සිදුවිය. අනෙක් බුද්ධි නිලධාරියා සේවය ගැන කලකිරී හමුදාව අත්හැර යන්නේ ඔහුගෙන් රටට තවත් සේවයක් ගන්නට තිබියදීය.

කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන් කර කොළඹට රැගෙන විත් ආරක්ෂිතව ලන්ඩනයට රැගෙන යාමට බුද්ධි ප්‍රධානියකු අවදානමක් ගෙන එක්වන්නේ එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුදා බුද්ධි මෙහෙයුම් නවත්වන්නට නියෝග කර තිබියදීය.

මෙවන් කැපකිරීම් කරමින් රහස්‍ය භාවය තබාගෙන බුද්ධි මෙහෙයුම් කරන නිලධාරීන් ආරක්ෂා කරගන්නට පනතක් හෝ ගෙන ඒමට වහා පියවර නොගතහොත් රටේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටය.