විශේෂාංග

බුද්ධශාසනයට ඉන්දියාව දෙන මුදල් පස්සෙන් දේවදත්ත එයිද?

2020 ඔක්තෝබර් 05 වැනිදා ‘ඩේලි මිරර්’ ඉංග්‍රීසි පුවත්පතට ඇමෙරිකාවේ තානාපතිතුමිය ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය සපයා තිබූ සම්මුඛ සාකච්ඡාවෙන් ඇමෙරිකාවේ ආක්‍රමණශීලී ස්වභාවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට අනුගමනය කරන ප්‍රතිපත්තියත් වටහා ගැනීමට යම්තාක්දුරට හැකිවනු ඇත. තානාපතිතුමිය තම දීර්ඝ සාකච්ඡාව මගින් බොහෝ කරුණු සහ මතිමතාන්තර ඉදිරිපත් කළද, එයින් කිහිපයක් සඳහන් කිරීම වැදගත්ය.

ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ පාර්ශ්වකරුවෙකි. එහෙත් මෙම කලාපය තුළදී ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවට තර්ජනයක් පවතී. ඇයගේ මතය වන්නේ ශ්‍රී ලංකාව කලාපීය ආරක්ෂාව සම්බන්ධ ගැටලුව හමුවේ ගොදුරක්ව පවතින බවයි. තානාපතිනියකට වෙනත් රටක් විවේචනය කළ නොහැකිය. රාජ්‍යතාන්ත්‍රික දූත සම්මුතියෙන් ඈත් වෙමින් ඇය ඇඟිල්ල දික් කරන්නේ චීනයටයි. චීනය පිළිබඳ දැඩි විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ටෙප්ලිට්ස් කියා සිටින්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ගනුදෙනුවලට විවෘත භාවයක් නොමැති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇති බවත්ය. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති සහ සහයෝගීතාව පිළිබඳව සුදුහුනු ගානා ඇය පවසන්නේ එම්.සී.සී. (MCC) ගිවිසුම නිර්ලජ්ජිත ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලනීකරණය වී ඇති බවත්, ඇමරිකාව ආධාර සපයන්නේ ජනතාවගේ පොදු උවමනා සපුරාලීමට මිස චීනය මෙන් තෝරාගත් පාර්ශ්වයන් ඉලක්ක කොට නොගෙන බවත්ය.

ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුම් මගින් පනවන කොන්දේසි පිළිබඳ ඇයගේ මතය වන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන මුදල් සඳහා පූර්ව කොන්දේසි අත්‍යවශ්‍ය බවයි. මෙවැනි කොන්දේසිවලට එක් උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුද අපරාධ සහ සංහිඳියාව පිළිබඳව ඇමරිකාව විසින් 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30/1 යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමයි. ජිනීවා ප්‍රශ්නයේදී, එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර එම ඇමරිකා – ශ්‍රී ලංකා යෝජනාව ඉදිරිපත් කළේද, ටෙප්ලිට්ස්ගේ අදහස්ම දරන ප්‍රකට ඇමරිකානු දූතිකාව සැමැන්තා පවර් (samantha power) සමගය.

ටෙප්ලිට්ස් තානාපතිතුමියගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවට පදනම් වී ඇත්තේ ඇමරිකාවේ ‘ඉන්දු – පැසිෆික්’ උපායමාර්ගික ප්‍රතිපත්තියයි. ඇය ඉදිරිපත් කළ අදහස්වල හරය වන්නේ ශ්‍රී ලංකාව මෙම ‘ඉන්දු – පැසිෆික්’ ප්‍රතිපත්තියට අනුගත විය යුතු බවත්, අමෙරිකාව අපේක්ෂා කරන ආකාරයට අප හැසිරිය යුතු බවත්ය. ඇය වක්‍රව කියාසිටින්නේ ශ්‍රී ලංකාව චීනය සමග පවත්වාගෙන යන වෙළෙඳ සහ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සීමා කළ යුතු බවයි.

ටෙප්ලිට්ස්ගේ රාජ්‍යතාන්ත්‍රික උද්දච්චකම මනාව විදහා දැක්වූ මෙම සම්මුඛ සාකච්ඡාවට දින කිහිපයකට පෙර සැප්තැම්බර් 26 වැනිදා මෙයට අදාළ තවත් සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති ඉලෙක්ට්‍රොනික ආකල්ප (Virtual) සමුළුවයි.

මෙය මෝදි විසින් දකුණු ආසියානු රාජ්‍ය නායකයකු සමග පැවැත්වූ පළමු අතථ්‍ය සමුළුවයි. මෙම සමුළුවට අදාළව ඉන්දියාවේ න්‍යාය පත්‍රය වූයේ ලංකාවේ වර්තමාන රජය ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සමන්විත ‘ක්වාඩ්රිලැටරල් ඇලයන්ස්’ (Quadrilateral Alliance) සන්ධානයේ කක්ෂයට ගෙන ඒමයි. මෙම සන්ධානය පිළිබඳව මා විසින් පෙර ලියූ ලිපි ගණනාවක සඳහන් වේ. සාරාංශයක් වශයෙන් ගත් කල මෙම සන්ධානය ක්‍රියාත්මක කරගෙන යන උපායමාර්ගික සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ චීනයේ වෙළෙඳ සහ මිලිටරි බලයට එරෙහි වීමත්, චීනය ලෝක බලවතකු ලෙස නැගීඒම වැළැක්වීමත්ය. ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් 2007 හඳුන්වාදුන් මෙම සැලැස්ම, වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික්’ (Free and Open Indio-Pacific) නමින් ගෙන යමින් පවතියි.

මෙම සැලැස්මට පසුබිම සකස් වූයේ ආසියාව විසිඑක්වන සියවසේ ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත්වීමේ ලකුණු පහළවීමත් සමගයි. එයට බලපෑ ප්‍රධාන සාධකය වූයේ චීන ආර්ථිකයේ ප්‍රබලතාවයි. විසිඑක් වන සියවසේ ඇමෙරිකාවේ ධනවාදී ව්‍යාප්තිය සඳහා දියත් කරනු ලැබූ ‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයට’ එරෙහි යුද්ධය (War against Terrorism) මගින් මැදපෙරදිග අත්පත් කර ගැනීමේ ව්‍යායාමය අසාර්ථක විය. 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් අවුළුවන ලද ඇෆ්ගනිස්තාන යුද්ධය, 2003 වන විට ඉරානයටත්, පසුකාලීනව ලිබියාව, සිරියාව සහ යෙමනයටත් ව්‍යාප්ත විය. මැද පෙරදිග කොතරම් යුද වැදුණත් මෙම රටවල් නතු කර ගැනීමට ඇමෙරිකාව දැරූ උත්සාහයත් බිඳවැටී ඇත. ඇමරිකාවට සමීපතම මැද පෙරදිග රාජ්‍ය වන සෞදි අරාබිය දුර්වලවී ඇත. ඉරානය පෙරට ඇවිත් ගොඩනැගූ ඉරාන – තුර්කි – සිරියා – රුසියානු නව දේශපාලන පෙළ ගැසීමක් සිදුවී ඇත. එමෙන්ම චීන – රුසියානු සන්ධානයද නව මුහුණුවරකින් ශක්තිමත් උපායමාර්ගික සැලැස්මකට පිවිසී ඇත.

වර්තමානයේ ආර්ථික – තාක්ෂණ – මිලිටරි ක්ෂේත්‍රයන්හි ඇමෙරිකාව සමග කරට කරට සිටින්නේ චීනයයි. චීනය විසින් හඳුන්වාදුන් 5G තාක්ෂණය මුළු ලෝකයේම ලැව්ගින්නක් මෙන් ව්‍යාප්ත වන අතර ඇමෙරිකාව එම තාක්ෂණය නිපදවූ ‘හුවාවි’ (Huwawei) සමාගමට විරුද්ධව විවිධ සම්බාධක පනවා ඇත. එමෙන්ම යුරෝපයේ විදේශ සංචාර කිහිපයකදී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් 5G තාක්ෂණය නොගන්නා ලෙසට යුරෝපීය රටවලට උපදෙස් දී තිබේ. එසේ තිබියදී බ්‍රිතාන්‍යයේ ‘බ්‍රෙක්සිට්’ (Brexit) සමග යුරෝපා සංගමය තුළ ප්‍රතිරෝධීතාවන් උත්සන්න වෙමින් පවතී.

චීනයේ නව සේද මාවත ආර්ථික ව්‍යාපෘතියට පළමු වැනියෙන්ම එකඟ වුණු යුරෝපීය රාජ්‍ය වන්නේ ඉතාලියයි. අද වන විට යුරෝපයේ ප්‍රබලම රාජ්‍යයක් වන ජර්මනියද චීනයට සමීපවීම සහ තවත් යුරෝපීය, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් ගණනාවක් චීනය සමග සම්බන්ධවීම සඳහා දක්වන එකඟතාව ඇමරිකාවට දැඩි අභියෝගයකි. දැන් ඇමරිකාවට ඉතිරිවී ඇත්තේ බ්‍රිතාන්‍ය සමග ඓතිහාසිකව පවත්වාගෙන යන ‘විශේෂ සබඳතාවය’ සහ ‘ක්වොඩ්’ සහයෝගීතාවයි.

වර්තමාන ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට පැමිණීමත් සමග ඉන්දියාව ක්වොඩ් සන්ධානයේ ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස කටයුතු කිරීම අරඹයි. මෝදි රජය ඇමෙරිකාවට පක්ෂපාතී ‘බැඳි’ (Aligned) ප්‍රතිපත්තියකට අනුගතවීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. ඒ මන්ද යත් ඉන්දියාව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයා වීම නිසාය.

දෙවැනි ලෝක සංග්‍රාමය අවසන්වීමෙන් පසු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බොහෝ අලුතින් ස්වාධීන වූ රටවල් ඉදිරියේ තිබුණු ප්‍රධාන ගැටලුව වූයේ ලෝකයේ සුපිරි බලවතුන් වූ ඇමරිකාව සහ සෝවියට් සංගමයේ දේශපාලන කඳවුරුවලට නොබැඳී තම ස්වාධීනත්වය පවත්වාගෙන යෑමයි. එනිසා ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ, ඉන්දුනීසියාවේ සුකර්නෝ, ඊජිප්තුවේ නසාර් වැනි රාජ්‍ය නායකයන් ප්‍රමුඛව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය (Non – Aligned Movement) ස්ථාපිත කරන ලදී. 1961 බෙල්ග්‍රේඩ් නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සම්මේලනයේදී සම්මතවුණු මෙම නොබැඳි ප්‍රතිපත්තියේ පෙර ගමන් කරුවූ ඉන්දියාවට මෙම ප්‍රතිපත්තියෙන් බැහැර වීමට සිදුවූ‍යේ 1962 සිදුවූ චීන ඉන්දියානු දේශසීමා යුද්ධය සහ 1971 ඉන්දියා පාකිස්තාන යුද්ධය අතරතුරදීය. මෙම අවස්ථා දෙකේදීම ඇමරිකා – බ්‍රිතාන්‍ය කඳවුරෙන් හෝ සෝවියට් කඳවුරෙන් ආධාර ලබා ගැනීමට සිදුවූ හෙයින් ඉන්දියාවේ නොබැඳි ප්‍රතිපත්තිය ක්‍රමයෙන් පලුඳුවීමට ලක්විය. වර්තමානයේ ඉන්දියාව ඇමරිකාවට බැඳි ප්‍රතිපත්තියකට අනුගතවී තිබෙන්නේ ‘ඉන්දු – පැසිෆික්’ සැලැස්මේ කලාපීය බලවතා ලෙස ක්‍රියාකරන්නේත් එරටේ පොදු ජනතාවගේ ඉල්ලීමක් අනුව නොව එරටේ සහ ඇමරිකාවේ බලයේ සිටින ධනපති පන්ති ස්ථරයන්ගේ දේශපාලන ආර්ථික වුවමනාවන් අනුවය.

මෝදි මහතා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සමග සැප්තැම්බර් 26 වැනිදා කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව ක්වොඩ් සන්ධානයේ පක්ෂයට නතු කර ගැනීම සඳහා කළ බලපෑමට පදනම් කර ගත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව මුල්කරගත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දියත් කිරීමත් යන කාරණාය. ඉන්දියාවේ සුළු ජාතීන් පීඩාවට පත් කරන මෝදි රජය ශ්‍රී ලංකාවට කියාපෑවේ අප රටේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව, යුක්තිය, සාමය, ගෞරවය ස්ථාපනය කිරීම සහ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම වර්තමාන රජය කළ යුතු බවත්ය. මෝදි මහතාට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා පැවසුවේ, ද්‍රවිඩ ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. අග්‍රාමාත්‍යතුමා තවදුරටත් පැවසුවේ 2020 අගෝස්තු මැතිවරණයේදී තම රජයට ලැබුණු ජනවරම සහ අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව ජාතීන් අතර සංහිඳියාව පෝෂණය කිරීම තම අභිප්‍රාය බවයි. ‘‘සියල්ලන් සමග සහ සියල්ලන්ගේම සුබසාධනය උදෙසා කටයුතු කිරීම තම වගකීම’’ බව අග්‍රාමාත්‍යතුමා එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආර්ථික, දේශපාලන තීන්දු තීරණ සහ ගැටුම්වලට ඉන්දියාව බලපෑම් කළේ අද ඊයේ නොවේ. එයට ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇත. පශ්චාත් යටත්විජිත යුගයේ ඉන්දියානු මැදිහත්වීම මනාව පිළිබිඹු වන්නේ 1970 දශකයේ අගභාගයේ සිට ජනවාර්ගික ගැටලුව භාවිත කරමින් ජේ.ආර්. ජයවර්ධන රජයට සහ ඉන් පසු බලයට පත්වූ රජයන්වලට කළ බලපෑම්වලින්ය. ගතවුණු දශක දෙක තුළ ඉන්දියාව භූ දේශපාලනයෙන් තරමක් දුරස්ව සිටියේය. මෙම විරාමයට සමුදෙන්නේ 2014 බලයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ රජයයි. මෝදි රජයේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂ ලක්ෂණයක් වන්නේ චීනය කෙරෙහි ඇති ගැටුම්කාරී ප්‍රවේශයයි.

2015 ජනවාරි වන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ බලවේග ලංකාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුකළේය. ඒ සඳහා 18 වැනි සංශෝධනය වැනි අහිතකර ප්‍රතිපත්තීන් සහ අනෙකුත් ආර්ථික සහ දේශපාලන අර්බුද පාදක වූ නමුත්, එම ආණ්ඩු මාරුවේ භූ දේශපාලන පදනම වූයේ චීනයට හිතෛෂී ජාතිකවාදී රජය බලයෙන් පහ කිරීමයි. 2015 පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී ලක්ෂණයක් වූයේ බහුතර සිංහල නායකත්වයෙන් යුතු රජයක් පෙරළා දැමීමට දෙමළ ජාතික සන්ධානයේ (TNA) තීරණාත්මක දායකත්වයයි.

එවකට සිංහල-බෞද්ධ ආධිපත්‍යයකට එරෙහිව තම ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට මෙය භූ දේශපාලනික ව්‍යාපෘතියක් යැයි හඳුනා ගැනීමට නොහැකි විය. 2015 පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ව්‍යාපෘතියේ නිෂ්ඵල භාවය නවදිල්ලිය සහ වොෂිංටනය තේරුම් ගෙන සිටි නමුදු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත්වීමත් සමග ඉන්දියාවේ සහ ඇමරිකාවේ මැදිහත්වීම් දෙගුණ වී ඇත. චීනයේ බලය පාලනය කිරීම සඳහා සැලසුම් කළ ‘ඉන්දු-පැසිෆික්’ උපායමාර්ගයට ශ්‍රී ලංකාව නතු කර ගැනීමට මෙම රටවල් දෙක දැඩි උත්සාහයක නිරත වන බවත් පෙනේ. එහෙත් මෙම උපායමාර්ගයට අවනතවීමට හෝ චීන පාර්ශ්වයට පක්ෂපාතීවීමට ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙක් ආසියානු රටවලද ජාතිකවාදීන් අකැමැති බව පැහැදිලිය.

අපේ රටේ නේවාසිකව සිටිමින්, අපේම ජාතික පුවත්පතක් හරහා රාජ්‍යතාන්ත්‍රික ආක්‍රමණයක් දියත් කළ ඇමෙරිකානු තානාපතිනියගේ සම්මුඛ සාකච්ඡාව සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ‘ඉන්දු-පැසිෆික්’ උපාය මාර්ගය සහ ‘ජාතික ප්‍රශ්නය’ පිළිබඳ පැවැත්වූ සාකච්ඡාව දල්වන්නේ රතු එළියකි. ඉන්දියානු සාගර කලාපයට තම ඉන්දු-පැසිෆික් උපාය දියත් කිරීම සඳහා ‘ක්වාඩ්’ ඇතුළු කිරීම ඇමරිකාවේ හදිසි අවශ්‍යතාවක් වී තිබේ.

චීනයේ ජාත්‍යන්තර වෙළෙඳාමට සහ නව සේද මාවත ව්‍යාපෘතියට ඉතා වැදගත් වන ඉන්දියානු සාගරයේ මුහුදු මංතීරු පාලනය කිරීම සඳහා ‘දූපත් දාම උපායමාර්ගයක්’ (Island Chain Strategy) ඉදිරියට ගෙනයෑමට ඔවුන්ට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදාව ස්ථානගත කිරීම අවශ්‍යය.

මෙම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කිරීම සඳහා ජනවාර්ගික ප්‍රශ්නය නැවත කරළියට ගෙනඒමට ඉන්දියාව සහ ඇමෙරිකාව උත්සාහ කරනු ඇත. මෙම රටවල් දෙකේ ‘මානුෂීය මැදිහත්වීම’ පසුපස ඇත්තේ භූදේශපාලනික න්‍යාය පත්‍රයකි. ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයට සහයෝගය නොදැක්වූවහොත් 2007-2009 කාල පරිච්ඡේදයේදී එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ යුද්ධයේ වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගන්නා බවට ඇමෙරිකාවේ ඉහළ නිලධාරීන් පසුගිය වසරේ සිට තර්ජනය කරමින් සිටියහ.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳ ජාතික තලයේ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක කථිකාව ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයට ඉමහත් රුකුලක් වනු ඇත. භූ දේශපාලනික කෝණයකින් බලන විට මෙය ඇවිළෙන ගින්නට පිඳුරු දැමීමක් ලෙස සැලකිය හැකිය. මෝදි සහ අග්‍රාමාත්‍යතුමා අතර පැවැති සාකච්ඡාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‘බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම’ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයට ලබාදීම තවත් රතු එළියක් ලෙස සැලකිය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ආගමික සංස්ථාපිතයට සහ බලගතු බුද්ධශාසනයට බලපෑම් කිරීම සඳහා උපයෝගී කරන ඇමකි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජාතිකවාදී පිළිවෙත් දරන සංඝයා වහන්සේලා බොහෝ ඇති නමුත්, තම පැවැත්ම සඳහා ශාසනය උපයෝගී කරගන්නා භික්ෂුන්ද මෙරටේ වෙසෙන බව අප කවුරුත් දන්නා සත්‍යයකි. ඉංග්‍රීසි යටත්විජිත වාදීන්ට පක්ෂපාතීකම් කළ භික්ෂුන් අතීතයේ සිටි අතර එවැනි පුද්ගලයන් අදටත් සිටින බව අප මතකයේ තබාගත යුතුය. එනිසා බුද්ධ ශාසනයේ ප්‍රගතිය සහ ප්‍රවර්ධනය පිළිබඳව ඉන්දියාව දක්වන අසාමාන්‍ය උනන්දුව පිළිබඳව වත්මන් රජය සුපරික්ෂාකාරීව සිටිය යුතුය. වත්මන් රජය අස්ථාවර කිරීම සඳහා 2014-2015 කාල පරිච්ඡේදය තුළ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූ ක්‍රියාපටිය මතකයේ තබා ගැනීම නුවණට හුරුය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකින් විශාල ජනවරමක් ලබා තේරී පත්වූ මෙම රජය නවදිල්ලියට හෝ වොෂින්ටනයට ගැති නැත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියා-ඇමෙරිකානු මැදිහත්වීම මැඬපැවැත්වීමට පෙර කවරදාකටත් වඩා රජය ඉතා හොඳ තත්ත්වයක ආණ්ඩුව සිටියද, ආණ්ඩුව තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රතිරෝධතා හේතුවෙන් රට අස්ථාවර තත්ත්වයක් වෙත ගමන් කරන බව පෙනී යයි.

මෙම අභ්‍යන්තර ප්‍රතිරෝධතා ප්‍රකාශනය වන පැහැදිලිම උදාහරණය වන්නේ 20 වන සංශෝධනය පිළිබඳ පැනනැගී ඇති ආන්දෝලනයයි. රටේ ආර්ථිකයට ප්‍රමුඛතාව ලබාදිය යුතු අවස්ථාවක 20 වන සංශෝධනයක් ජනතාව මත පටවා මුළු රටම කැලඹිලි සහගත තත්ත්වයකට පත් කර තිබේ. මා විසින් පෙර ලියූ ලිපියක සඳහන් කළ ආකාරයට ඇමෙරිකානු අධිරාජ්‍යවාදී සහ නවලිබරල්වාදී කඳවුරට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය ගොඩගත නොහැකි ආගාධයකට වැටී ඇත. මෙම සන්දර්භය තුළ ඇමෙරිකාව සහ ඉන්දියාව තම කාලය, ධනය සහ ශ්‍රමය වැය කරන්නේ ආණ්ඩු පක්ෂය තුළ තම සහචරයන් ශක්තිමත් කිරීමයි. මෙම උපාය මාර්ගය සාර්ථක වන බවට ලකුණු දැනටමත් පහළ වී ඇත. කර්තෘවරයෙක් නොමැති 20 වන සංශෝධනයේ ‘හදිසි පනත්’ මෙයට එක් උදාහරණයකි. අධීක්ෂණයකින් හෝ විවාදයකින් තොරව ‘හදිසි පනත්’ පාර්ලිමේන්තුවට ගෙනැවිත් එක් දිනක් ඇතුළත ඡන්ද ප්‍රකාශ කිරීමත්, එවැනි හදිසි පනතක් පිළිබඳ තීන්දුවක් දීමට මහාධිකරණයට පැය 24ක් පමණක් ලබාදෙන්නෙත්, එම්.සී.සී. සම්මත කර ගැනීමටද යන ප්‍රශ්නය නැගිය යුතුව තිබේ. වත්මන් රජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්ට හේතුවන ප්‍රධානතම සාධකය වන්නේ ආණ්ඩු පක්ෂයේ බලය සහ පාලනය පිළිබඳ අවධානය ජනාධිපතිතුමාගෙන් ඈත්වන බව පෙනී යාමයි. ඉහළම රජයේ නිලධාරියා ලෙස ජනාධිපතිතුමා තමාට හුරුපුරුදු පරිපාලන කටයුතුවල කාර්යබහුලව නිරත වන අතර රජයට හෝ ජනතාවට වගවීමකින් තොර පාර්ශ්වයක් අතට ආණ්ඩු පක්ෂයේ දේශපාලන අධිකාරිය පත්වී තිබේ. මෙවැනි සන්දර්භයක් තුළ අවධානය වෙනතකට යොමු කිරීමේ උපක්‍රමය සූක්ෂමව භාවිත කරන බවත් පෙනී යයි. මෙයින් ලොකුම භූදේශපාලනික වාසිය ලබාගන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාව බව අප සැලකිල්ලට ගත යුතුය.