විශේෂාංග

බුක්තිය පෙන්වා ගැමියා දණගැස්වූ ඉඩම් පනත්

මේ රටේ වැසියන්ගෙන් පිරිසක් මේ දක්වා විවිධ විධිවිධානවලට යටත්ව රජයේ ඉඩම්වල වාසය කරති. එම ඉඩම්වල අයිතිය ඔවුනට සින්නක්කරව ලබා දීම සඳහා ‘රජයේ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන‘ පනත සහ ‘ඉඩම් බැංකු පනත’ යනුවෙන් පනත් කෙටුම්පත් දෙකක් මේ වන විට සකස් වෙමින් පවතින අතර එම පනත්වල ඇති නෛතික අඩුපාඩු සහ රටට ඇති අහිතකර භාවය පිළිබඳ ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ස්වෛරීභාවය ආදී මාතෘකාද ඇඳාගනිමින් තිබේ.
මේ ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්තිය පිළිබඳ ආපසු හැරී බැලීමකි.

අතීත ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්තිය රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ කේන්ද්‍රගතව පැවැතියකි. භූමියේ පරම අයිතිකරුවා වූයේ රජුය. ශ්‍රී ලංකේශ්වර වූද , ත්‍රිසිංහාලාධීශ්වර වූද එතුමන් “භූපති“ නැතහොත් “භූපාල“ යන විරුදයන් දැරුවේය. භූමියෙහි ස්වාමියා යන්න එමගින් අර්ථ ගැන්විණ. එය මහා සම්මත රජුගේ සිටම පැවැත එන සම්ප්‍රදායක් බව විශ්වාස කෙරිණි. භූමියට ඇති අයිතිය සඳහා කලකෝලාහල කළ ජනයා එය නිරාකරණය කර ගැනීම සඳහා තමන් අතර සිටි බලවත්ම, දක්ෂතම සහ කඩවසම්ම පුද්ගලයා ප්‍රමුඛකොට ගත්හ. ඔහු මහා සම්මතයෙන් පාලන බලය හිමිකරගත් පුද්ගලයා විය. භූමිය බෙදා වෙන් කිරීමේ අයිතිය මෙන්ම එසේ බෙදා වෙන් කරන කොටස් භූක්ති විඳිය හැක්කේ කාටද යන්න තීරණය කළේ ද ඔහු විසිනි.
ඉඩම් අයිතිය ගැන කතා කිරීමේදී රාජ්‍ය මැදිහත්වීමෙන් තොරව ඉඩම් මිලදී ගැනීමට, විකිණීමට හෝ ප්‍රදානය කිරීම් පිළිබඳ ඇතැම් සිදුවීම් වාර්තා වෙයි. සැබවින්ම මෙවැනි අවස්ථා භූමිය පිළිබඳ පැවති රාජ්‍ය ඒකාධිකාරය ඛණ්ඩනය වූ අවස්ථා ලෙස දකිනවාට වඩා රාජ්‍ය ඒකාධිකාරය විමධ්‍යගත වූ අවස්ථා ලෙස දැකීම වඩා යෝග්‍ය බව පෙනේ.

එකල වගා කළ නොකළ සියලු ඉඩම් රජුට හිමිවුවද ඒවා විවිධ විධිවිධාන යටතේ පොදු ජනයාගේ භාවිතයට පවරා තිබිණි. ඒ සඳහා පෙරළා රජයට බද්දක් ගෙවිය යුතු විය. එමෙන්ම රජුට කළ සේවය ඇගයීමක් වශයෙන් යම් පුද්ගලයින් සඳහා රජු විසින් කරනු ලබන පරිත්‍යාගයක් වශයෙන් ගම් පූජා කළහ. එම ගම් හඳුන්වනු ලැබුවේ ‘නින්ද ගම්’ වශයෙනි. එම නින්දගම් හිමියා සතු වූ කුඹුරු ඔහු වෙනුවෙන් පංගුකරුවන් පොදුවේ එකතු වී අස්වද්දනු ලැබූ අතර එම කුඹුරු ඉඩම් හඳුන්වන ලද්දේ මුත්තෙට්ටුවේ ඉඩම් යනුවෙනි. නින්දගම්වලට අමතරව රජයේ සේවය කළ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහාද රජු විසින් විවිධ ඉඩම් ලබාදී තිබුණ අතර ඔහුට එම ඉඩමේ භුක්තිය විඳිය හැකිවූයේ එම තනතුර දරනතාක් පමණි. එම ඉඩම් පරවේණී ඉඩම් යනුවෙන් හඳුන්වනු ලැබිණි. එහෙත් ඔවුන්ටද වාර්ෂිකව රජු බැහැදැක ඔහුට විවිධ තුටු පඬුරු පිදීමෙන් එයට ඇති අයිතිය යළිත් යාවත්කාලීන කරගැනීම සිදුවිය.

මීට අමතරව ‘දිවෙල් ඉඩම්‘ යනුවෙන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වූ නිලධාරීන්ගේ පරිහරණයට රජු විසින් ප්‍රදානය කළ ඉඩම් විශේෂයක්ද විය. රජු සහ වෙනත් පුද්ගලයන් විසින් විහාර හා දේවාලවල ප්‍රයෝජනය සඳහාද ඉඩම් ප්‍රදානය කරන ලද්දේය. සැබවින්ම අතීත ඉඩම් භුක්ති ක‍්‍රම අතරින් වඩාත් විස්තෘතම ඉඩම් භුක්තිය වූයේ විහාරගම් හා දේවාලගම් මගින් භාවිත කළ භුක්තියයි. එනම් එම ඉඩම් වලින් ලැබුණු සියලු ආදායමක් හෝ සේවයක්ම එම විහාර හෝ දේවාලවල නඩත්තුවට අයත් විය. සැබවින්ම එකී භුක්තිය වෙනත් අයකුට පැවරීම, විකිණීම හෝ ප්‍රදානය වළක්වා ඇති බව හතරවන මහින්ද රජුගේ සෙල්ලිපිවලින් පැනවූ නියෝගවලින් පැහැදිලි වෙයි.

මේ අනුව රජු විසින් ඔහු වෙනුවෙන් යුද වැදුණවුන්ටද, ඔහුගේ අටුකොටු පිරවූවන්ටද, විවිධ කර්මාන්තවල නිරත වූවන්ටද, ආගමිකාදී කාර්යයෙහි නියළෙන්නන්ට ආදී වශයෙන් සමාජයේ බහුතරයකට නොයෙක් විධිවිධාන යටතේ ඉඩම් භුක්තිය සරි කරන ලද්දේය. පෙරළා එය භුක්ති විඳින්නන් විසින් රජුට, රටට පක්ෂපාතීව නිසි කලට පඬුරු පාක්කුඩම් ලබාදීමෙන් එම අයිතියෙහි අඛණ්ඩතාව රැකගත්හ.

රජු විසින් මෙම භුක්තිය පවරන ලද්දේ සන්නස් මාර්ගයෙනි. පනාකඩුව තඹ සන්නස මෙයට කදිම නිදර්ශනයකි. ඉඩම්වල භුක්තිය පැවරීම ප්‍රථමයෙන් විධිමත්ව සිදුකරන ලද්දේ නිශ්ශංකමල්ල රජු විසින් බව වංශකතානුගත සාධකවලින් පැහැදිලි වෙයි. ඔහු විසින් සන්නස නැතිනම් සන්නය යන අරුත් දෙන රාජ්‍ය නිලමුද්‍රාව සහිත අත්සන තබා එම පැවරීම සිදුකළ බව ඉතිහාසඥයන්ගේ මතයයි. මහනුවර යුගය වන විටත් මෙම සම්ප්‍රදාය නොනැසී පවතින අතර එහිදී ඇතැම්විට ඉඩම් හිමියාට එයට ඇති අයිතිය සංකේතවත් කිරීම සඳහා හක්ගෙඩියක්, වළලු ජෝඩුවක් යන භෞතික සාක්ෂියක්ද පිරිනමා ඇත. එම කාලය වන විට මහාධිකාරම් තැනගෙන් එම අයිතිය ලබාගැනීමට හැකියාව ලැබී තිබුණ හෙයින් ඉඩම්වල භුක්තිය පිරිනැමීමේ බලය විමධ්‍යගත කර තිබූ බව පැහැදිලි වෙයි.

ක්‍රිස්තු වර්ෂ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසීහු එවකට ලංකාවේ පාලකයා වූ හත්වන බුවනෙකබාහු රජ සමයේ පටන්ම පෞද්ගලිකව ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කළහ. එකී අවදානම වටහාගත් රජුතුමාගේ අවසරයක් නොලැබ එලෙස ඉඩම් ගැනීම තහනම් කළේය. එහෙත් ක්‍රි.ව. 1597 දී කෝට්ටේ ධර්මපාල නම් රූකඩ රජුගේ අවසාන කාලය වන විට පෘතුගීසීන්ට ගම් විස්සක ප්‍රමාණයක් අයිතිවී තිබිණු අතර 1615 වන විට කෝට්ටේ රාජ්‍යයේ හවුලේ කළ කුඹුරු ඉඩම්වලින් විශාල ප්‍රමාණයක්ද ඔවුන් සතුවී තිබිණි. ක්‍රි.ව. 1597 සිට පෘතුගීසීන් විසින් මෙරට ඉඩම් බදුදීම සිදුකළ අතර එහි පැවති අසංවිධානාත්මකකම නිසා පෘතුගාලය රජු විසින් පෘතුගීසීන් විසින් සිදුකළ ඉඩම් බෙදාදීම අවලංගු කළ අතර ඔහු විසින් එම ඉඩම් පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නේය. නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වුයේ මෙරට ඇති ඉඩම්වල ආදායමින් මෙරට යුද හා පරිපාලන කටයුතු සඳහා වැයවුන වියදම් පියවා ගැනීමයි. “පෘතුගීසි පදිංචිකරුවන් ලංකාවට ඇද ගැනීමට යොදන කාන්දම ගොඩ මඩ දෙකම සරුසාර පලබර වූ ලංකා පොළවයි’’ යනුවෙන් පෘතුගාල රජු විසින් කළ සඳහනින් මෙරට භූමියෙන් ඔවුනට ඇති වැදගත්කම පැහැදිලිය.

පෘතුගීසින් විසින් ලංකාවේ ඉඩම් බෙදාදීම සඳහා කාර්යභාර මණ්ඩලයක්’ පත්කරන ලද අතර එම මණ්ඩලයට කොචින්හි රාජගුරු ප‍්‍රසාදි තැන, ලංකාවේ කපිතාන් ජෙනරාල් හා ආදායම් පාලක යන අය ඇතුළත් විය. මෙම මණ්ඩලයේ ප්‍රධානම කාර්යභාරය වූයේ පුද්ගලයන් අතර ඉඩම් බෙදාදීම හා ඒවාට නියමිත බිම් බද්ද නියම කිරීමයි. ප්‍රථම වරට රජු සතුව පැවැති ‘බඩ වැඩිලි‘ ඉඩම් ප්‍රදානය කිරීමේ බලය දිසාපතීන්ට හිමිවූයේ පෘතුගීසීන් යටතේය. එතෙක් ලංකාව තුළ අඛණ්ඩව පවත්වාගෙන ආ ඉඩම් ප්‍රදානය කිරීමේ අයිතිය පළමු වරට රජුගෙන් ඉවත් විය.

ලන්දේසීන්ට පළමුවෙන් මෙරට අත්පත්කර ගැනීමට හැකිවූයේ යුද ගැටුම්වලින් විනාශට පත් භූමියකි. ලන්දේසීන් විසින් එම ඉඩම් යළිත් ආර්ථික වටිනාකම් උත්පාදනය කර ගැනීම සඳහා සංවර්ධනය කිරීමට පෙලඹිණි. එහෙත් මේ සඳහා අවශ්‍ය ශ්‍රමයේ හිඟකමක් තිබූ අතර තංජෝරයෙන් වහල් ශ්‍රමිකයන් ගෙන්වා ගෙන කොළඹ, ගාල්ල, මුතුරාජවෙල. ගිරුවාපත්තුව ආදි ප්‍රදේශවල කුඹුරු අස්වද්දන ලද්දේය. තවද වගා කිරීමට කැමැති අය අතරද යම් කොන්දේසි මාලාවක් යටතේ ඉඩම් බෙදා දීමට කටයුතු කරන ලද්දේය. ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී පාරාවකට ස්ටයිවර් 19ක සහතික මිලක් ගෙවීමටද‍, ගොවීන් නිෂ්පාදනය කළ වී සියල්ල ලන්දේසීන් විසින් මිලට ගැනීමට ද එකඟ විය. තවද ලන්දේසීන් විසින් සේවයට බඳවාගෙන තිබූ ලස්කිරිඤ්ඤා හමුදා භටයින්ට ලබාදුන් ආහාර සලාකය වෙනුවට ඔවුන් සේවයෙහි යෙදුණු ස්ථාන ආශ්‍රිතව තිබූ ඉඩම් වගාකර ගැනීම සඳහා ඔවුන් අතර බෙදා දුන් අතර එය එතරම් සාර්ථක ක්‍රමයක් බවට පත් වූයේ නැත.

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වැවිලි කෘෂිකාර්මික ආර්ථිකය සඳහා වැඩි අවධානයක් යොමු කළ අතර ඔවුන් විසින් මෙරට ඉඩම් භුක්තිය පිළිබඳ ක්‍රියා කළේද එකී අරමුණ පෙරදැරිවය. 1832 දී කෝල්බෘක් ප්‍රතිසංස්කරණ මගින් රාජකාරී ක්‍රමය අහෝසි කරන ලද්දේය. එමගින් ලංකාවේ ඉඩම් වැඩවසම් නිතිරීතිවලින් නිදහස් වූ අතර ඓතිහාසිකව ඉඩම් භුක්තිය සහ ජනයා අතර පැවැති සබඳතාව එමගින් අහෝසි වූ අතරම භූමිය හා ශ්‍රමය ආදි නිෂ්පාදන සාධක සඳහා නිදහස් වෙළෙඳපොළක් බිහිවිය. අනෙක් වැදගත් අවස්ථාව නම් 1840 අංක 05 සහ අංක 12 දරන කිරීට ඉඩම් ආඥා පනතයි. මෙම පනත මගින් එතෙක් පුද්ගලයින් විසින් භුක්ති විඳි ඉඩම්වල අයිතිය ඔප්පු කළ යුතු වූ අතර එසේ නොවන ඉඩම් කිරීට ඉඩම් වශයෙන් ද ඒවායේ පදිංචිකරුවන් නීති විරෝධී පදිංචිකරුවන් වශයෙන් ද සලකන ලද්දේය.

එම ඉඩම්වල අයිතිය පෙන්වීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හෝ අන් සාධක ඔවුන් සතු නොවූයේය. මෙම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ ගැමියන්ට ඔවුන් විසින් භාවිතයට ගනු ලැබූ ඉඩම් ගණනාවක් අහිමි විය. ගැමියන් සතු ඉඩම් මංකොල්ල කෑ අන් අවස්ථාව නම් 1856 අංක 10 දරන පන්සල් ඉඩම් ආඥා පනතයි. ඉංග්‍රීසී ආණ්ඩුව විසින් පන්සල් සතුව පවතින ඉඩම් පිළිබඳ ලේඛනයක් සකස් කිරීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා යන වියදම් පන්සල් විසින් දැරිය යුතු බව දක්වන ලදී. එම වියදම් සැපිරීමට නොහැකි වූ පන්සල් සතු ඉඩම් බොහෝමයක් බ්‍රිතාන්‍ය කිරීටයට අයත් විය. 1872 ධාන්‍ය බදු ආඥා පනත එවැනි තවත් ඉඩම් මංකොල්ලකෑම සඳහා සකස් කළ පනතකි. මෙමගින් ඉඩම්වල ආදායමින් රජයට බද්දක් ගෙවීමට නියම වූ අතර එය කිරීමට අසමත් ගැමියන් සතු තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් රජයට පවරා ගත්හ. බ්‍රිතාන්‍යයන් විසින් අනුගමනය කළ ඉඩම් ප්‍රතිපත්තියේ තවත් කුප්‍රකට සංධිස්ථානයක් වන්නේ 1897 අංක 01 දරන මුඩුබිම් පනතයි. මෙමගින් වගා නොකරන ලද ඉඩම් බොහෝමයක් රජයට අයත් ඉඩම් වශයෙන් සලකා රජයට පවරා ගැනීමට කටයුතු කළේය.
පසුව මෙරට සිටි විදේශීය හා දේශීය ධනවතුන් විසින් ආණ්ඩුවෙන් එම ඉඩම් අඩු මුදලට ලබාගෙන වැවිලි කර්මාන්තය සඳහා යොදවන ලද්දේය. ගැමියන්ට අයත්ව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස මංකොල්ලකා ඉතා සුළු පිරිසක් විසින් ප්‍රයෝජනයට ගැනීම හරහා සමාජ නොසන්සුන්තාවක් සහ ආර්ථික අසාමාන්‍යතාව ඇතිවීම හේතුකොටගෙන රජයට නොයෙක් බලපෑම් එල්ලවන්නට පටන් ගත්තේය. මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා යටත්විජිත රජය විසින් 1927 ඉඩම් කොමිසම පත්කරන ලද්දේය.

මෙම කොමිසම මගින් ඉඩම් පනත් දෙකක් හඳුන්වාදීමට නිර්දේශ කරන ලද අතර එනම් එහි පළමු වැන්න ලෙසින් ඉංග්‍රීසීන්ගේ නන්විධ නීති නිසා ඉඩම් අහිමි වූ පුද්ගලයන්ට තම අයිතිය ඉදිරිපත් කොට සහනයක් ලැබීම පහසු කරවීම එහි අරමුණ විය. එය 1931දී හඳුන්වා දුන් ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත සහ රජයට අයත් ඉඩම් බදු පදනමක් මත ගොවීන්ට ලබා ගත හැකිවීම සඳහා විධිවිධාන සැකසූ 1935 ඉඩම් සංවර්ධන ආඥාපනතයි. මීට අමතරව නිදහසින් පසුව පළමු වරට 1972 අංක 01 සහ 1975 අංක 2 දරන පනත ලංකාණ්ඩුව විසින් හඳුන්වා දුන්නේ එතෙක් විදේශිකයන් සතුව තිබූ ඉඩම් ජනසතුකොට, නැවත ගැමියන්ගේ ප්‍රයෝජනය සඳහා ගැනීමට ඉඩහසර ලබාදීමටය.
කෙසේ නමුත් තවමත් බිම් අඟලක අයිතිය නැති මිනිසුන් මේ රටේ වෙසෙන බවද නොරහසකි.

දිනේෂ් දේවගේ