අතන මෙතන

බීමත් තරුණ රියැදුරා නිසා පුද්ගලයෙක් මරුට

බීමත් තරුණ රියැදුරා නිසා පුද්ගලයෙක් මරුට

තිස්සමහාරාමේ වාහන 5ක් හැප්පූ මාරක රිය අනතුර

තිස්සමහාරාම බෙරලි හෙළ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා හම්බන්තොට දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කරයි .

බෙරලිහෙල තුනේ කොළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බීමත්ව බොලරෝ වර්ගයේ කැබ් රථයක් පදවා ත්‍රි රෝද රථ තුනක් සහ යතුරුපැදි දෙකක් අනතුරට පත් කරමින් පැදවූ කැබ් රිය අතරමඟ දමා පලා ගොස් ඇති බවත් එම සැකකරු බෙරලිහෙල ප්‍රදේශයේ සැඟව සිටියදී තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

පළමුව අනතුරට ලක් වූ යතුරු පැදියේ සිටි පුද්ගලයා අතුරුදහන් ව ඇති බවට ගම්වාසීන් කළ සොයා බැලීමකදී අනතුර සිදු කරන ලද කැබ් රථයේ තට්ටුවෙ තිබී තුවාල ලබා මියගිය පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවේ එම පුද්ගලයා කැබ් රථයේ වැදි පිටුපස තට්ටුවට විසි වී ඇති බව පසුව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි .

අමරවීර පීරිස් අප්පු වන මියගිය පුද්ගලයා හැත්තෑ එක් හැවිරිදි සිවුදරු පියකු වන අතර බෙරලිහෙල කුඩා ගම්මාන 4 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අනතුර සිදුකරන ලද පුද්ගලයා තිස්සමහාරාම බෙරලි හෙළ තුනේ කොළණිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මිතුරන් සමග බීමත්ව නිවසට පැමිණෙමින් සිටියදී ඊයේ(25)  රාත්‍රී 8 ට  පමණ මෙම අනතුර සිදු කර ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදු කරන අවස්ථාවේ මෙම පුද්ගලයා හොඳටම බීමත්ව සිට ඇති අතර තවත් මත්පැන් බෝතල් කීපයක් ද එම කැබ් රථයේ තිබිය හමුව තිබේ .

මුලින්ම පියාජෝ වර්ගයේ ත්‍රීරෝද රථයක ගැටී ඇති අතර පසුව තම නිවස දෙසට හැරවීමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන්පැමිණි ත්‍රීරෝද රථයක හැපී ඇති අතර පසුව විරුද්ධ දෙසට හැරවීමේදී තවත් ත්‍රීරෝද රථයක ගැටී ඇත. පසුව වේගයෙන් නැවතත් ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ දී තවත් යතුරුපැදි දෙක ගැටී මෙම අනතුර සිදුවී තිබේ .

දෙවනු අනතුරට ලක්වූ තී රෝද රථය පැදවූ කාන්තාව එම අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇති අතර මේ වන විට හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම කාන්තාවගේ පාද දෙකම කැඩී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 34 ක් වන එම කාන්තාව තිස්සමහාරාම සදුන්ගම ප්‍රදේශයේ පදිංචි එළවළු වෙළදාමෙන් නිරත කාන්තාවකි .

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තිස්ස මහා රහම පොලිසිය සිදු කරන අතර සැකකරු තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තිස්සමහාරාම ප්‍රා වා අමිල සම්පත් ශ්‍රී