විශේෂාංග

බිත්තර ආප්පයක් නිසා මග වැරදුණු සන්නාලිය

අප රටේ එක් දිනක් තුළ දී ගබ්සා කෙරෙන කලල සංඛ්‍යාව 800 ක් පමණ වේ. ගබ්සා මධ්‍යස්ථාන සොයා හිස් ලූ ලූ අතේ දිව යන අම්මාවරුන් ද අසරණය. හැඬූ කඳුලින් යුතුව, ඔවුන් කියන කතා අප රටේ සෑම අම්මා කෙනකු ම, දියණියක ම විසින් කියවිය යුතු ය.

මෙවර මේ තීරයට ‘සිය කතාව‘ එකතු කරන ඇය තවමත් වයස 18 සම්පූර්ණ නොවූ යුවතියකි. අවාසනාවට යුවතියක වන විට ම ගැබිනියක බවට ද පත්වීමේ ඉරණම කරගසා ගත්තියකි. මීගමුව පර්යන්තයේ පදිංචිකාරියකි.

‘‘අපේ පවුලෙ ඉන්නෙ මමත්, අම්මත්, අක්කත්, මල්ලිලා දෙන්නත් විතරයි… තාත්තා අපිව දාලා ගිහින් වෙන විවාහයක් කරගෙන… මල්ලිල දෙන්නට හොඳට උගන්නන්න ඕන හින්දා මමත් අක්කත් ගාමන්ට් යන්න පටන් ගත්තා…‘‘

එසේ බලන විට ඇය වයස අවුරුදු 16 ක තරම් බාල වයසක දී ම, බාල සොහොයුරන් දෙදෙනකුගේ බර කරට ගත්, ‘ධෛර්යවන්ත‘ සහෝදරියකි.

‘‘මමයි, අක්කයි ‘ගාමන්ට්‘ යන්න කතා කරගත්ත ම, අම්මා වුණත් විරුද්ධ වුණේ නෑ… මොකද ඒ වෙනකොට අපේ ගෙදර අගහිඟකම් ඉහවහා ගිහින් තිබුණ හින්දා… ඉතිං මමත් අක්කත්, උසස් පෙළ කරන එක අතෑරලා තමයි ගාමන්ට් එකට ගියේ… අක්කයි මමයි දෙන්නම ඉගෙන ගන්න දක්ෂ හින්දා, අපේ යාළුවො නං ‘යන්න එපා‘ ම කිව්වා… ඒත් තාත්තාගෙනුත් කිසිම උදව්වක් නැතුව අම්මා නැහෙන නැහිල්ල බලා ඉන්න බැරි වුණ හින්දා තමයි, අපි දෙන්නා ‘ගාමන්ට්‘ යන්න ඕනමයි කියලා හිතුවෙ…‘‘ ඇය කියන්නී ය.

මේ ආකාරයට පවුල වෙනුවෙන් ‘ගාමන්ට් රැකියාව‘ තෝරාගන්නා ඇය, නිලන්තිත්, ඇගේ වැඩිමල් සහෝදරිය, සමන්ති ත් එකදිගට මාස 10 ක් පමණ හැමදාම රැකියාවට ගියේය.

‘‘මම හිතන්නෙ ඒ කාලෙ ඇතුළත අපි දෙන්නා කවදාවත් ම නිවාඩු ගත්තෙ නෑ… මුලදි මුලදි අපට නිවාඩු දෙන්නෙත් නෑනෙ… ඔහොම යද්දි එකපාරටම අක්කාට දරුණු වෛරස් උණක් හැදුණා… එයා ඉස්පිරිතාලෙ ගිහින් බෙහෙත් ගත්තා… සති දෙකකට මෙඩිකලුත් ලියලා දුන්නා… ඒ හින්දා එයා සති දෙකකට ගෙදර නතර වුණා…‘‘ නිලන්ති කීවා ය.

කෙසේ වෙතත්, සමන්ති අක්කාට වෛරස් උණ වැලඳුණු ඒ සති දෙක තුළ, තමන්ගේ මුළු මහත් ජීවිතය ම නොසිතූ නොවිරූ අඳුරු අගාධයක් වෙතට ඇදවැටුණු බව, නිලන්ති අප සමග කීවේ මෙසේ ය.

‘‘අක්කයි මමයි හැමවෙලේම එකට ඉන්න හින්දා, ගාමන්ට් එකේ අක්කල අයියල අපිට කිව්වෙ ‘ඉඳිකට්ටයි නූලයි‘ කියලා… අපි දෙන්නා ආවෙ ගියෙත්, කෑවෙ බිව්වෙත් එකටමයි… අපි දෙන්නම වයසිනුත් බාල හින්දා, හැමෝම අපි දෙන්නා දිහා බැලුවෙ ‘ පුංචි නංගිලා දෙන්නෙක්‘ කියන මානසිකත්වයෙන්… අපිත්, අපි එක්ක වැඩකරපු අය ඔක්කොටම කතා කළේ, ‘අයියා අක්කා‘ කියලා… ඔය අයියල අක්කල ගොඩේ හිටපු ‘අරුණ අයියා‘ අපි දෙන්නට ම විශේෂ අනුකම්පාවකින් වැඩ කළා කියන එක අපි දෙන්නටම දැනෙමින් තිබුණත්, ඒක එයින් එහාට දුරදිග ගියේම නෑ… කොහොම වුණත්, අක්කා අසනීප නිවාඩු අරං ගෙදර නතර වුණු සති දෙකේ ම ‘අරුණ අයියා‘ මාත් එක්ක කන්න ආවා… ‘සමන්තිට දැන් කොහොමද… උණ අඩුද…‘ වගේ දේවලුත් ඇහුවා… වැඩ ඇරිලා එනකොට මාව බස් එකට දැම්මෙත් එයා… අක්කා නැති වෙලාවෙ එයා එක්ක ඉන්න එක ආරක්ෂිතයි කියන එකත් මට හිතුණා… බොරු කියන්න ඕන නෑනෙ, එයා ගැන ආදරයකුත් මගේ හිත යට තිබුණා….‘‘ නිලන්ති සිදුවෙමින් තිබුණු දේ මෙන් ම, ඇයට දැනෙමින් තිබුණු දේ ද නොසඟවා කීවාය.

එක දවසක් වැඩ ඇරිලා යන ගමන් එයා ඇහුවා, ‘උණු උණු බිත්තර ආප්ප තියන තැනක් තියනවා… එතනට ගිහින් කාලා ‘ප්ලේන්ටියකුත්‘ බීල ම යමු ද‘ කියලා… ඇත්තම කිව්වොත් මම බිත්තර ආප්ප කන්න හරි පෙරේතයි… එයා ඒක කොහොම තේරුම්ගත්තද කියන්න මං දන්නෙ නෑ… කොහොමවුණත්, මම දෙපාරක් හිතන්නෙ නැතුව ‘හා‘ කිව්වා… ඉස්සර තාත්තා අපට ‘බිත්තර ආප්ප‘ ගෙනත් දෙන හැටිත්, මට ඒ වෙලාවෙ මතක් වුණා…‘‘

ඇය කියන හැටියට, ඇයත්, ඔහුත් බිත්තර ආප්ප කන ගමන්, කොකා කෝලා වැනි බීමක් ද බී තිබේ. අවසානයේ ඇයට දැඩි මත් බවක් දැනී ඇති අතර, ඇය අවදි වන විට සිට ඇත්තේ, එම හෝටලයේ ම කාමරයක තිබුණු ඇඳක් මතය.

‘‘මම ඇහැරෙනකොට මගේ ඇඟේ ඇඳුම් තිබුණෙත් නෑ… වෙන්න ඕන හැම දෙයක්ම වුණු බවත් හීනෙන් වගේ මතකයි… මම ඇඬුවා… එයා කිව්වා, කිසි දෙයක් ගනං ගන්න එපා, එයා මට ආදරේ කරනවා කියලා… කොහොම වුණත්, එදා මං ගෙදර ආවෙ වෙව්ල වෙව්ලා… උණ වගෙත් තිබුණා… අම්මා හිතුවා, අක්කගෙ වෛරස් උණ මටත් බෝ වෙලා කියලා… ඉඟුරු කොත්තමල්ලිත් තම්බලා දුන්නා…’’ ඇය කියන්නී, අලුත් කඳුළක් ඇස් අගිස්සට ගනිමිනි.

‘‘කොහොම වුණත්, මම ආපහු වැඩට ගියා… අරුණ අයියා මට වැඩිය මූණ දුන්නෙත් නෑ… මමත් එහෙමයි… වෙච්චි දේ දෙන්නටම දරාගන්න බෑ වගේ තමයි දෙන්නම හිටියෙ… අක්කා වුණත් මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ… ඒත් මට මාස දෙකකින් ‘මෙන්සස්’ හැදෙන්නැති වුණාම මම බය වුණා… ඊට පස්සෙ මම අම්මටයි, අක්කටයි වෙච්චි හැම දෙයක් ම කිව්වා… අක්කා මාව මැරුවෙ නැති එක විතරයි… ඒත් ඒ මට තියෙන ආදරේට මිසක්, මාත් එක්ක තියන තරහකට නෙවෙයි… ‘මං උඹත් එක්ක ආවෙ නැති සති දෙකට මෙච්චර දෙයක් කරගත්තද‘ කියලා, එයා කෑ ගැහුවා… අම්ම නං තනියම ඇඬුවා මිසක් මට බැන්නෙ නෑ… අම්මා හිතුවෙ වැරැද්ද තියෙන්නෙ අම්මා අතේමයි කියලා…‘‘

අම්මාත්, දූවරුන් දෙදෙනාත් යන ‘ගැහැනුන් තුන්දෙනා‘ නිලන්තිගේ ප්‍රශ්නයට උත්තර සොයා වෙහෙසෙන්නේ ඉන් පසුවය.

‘‘මුලින් ම කළේ, මුත්‍රා පරීක්ෂණයක් කරන එක… එතනදි මම ‘ගැබිනියක්‘ කියන එක සනාථ වුණා… ඊට පස්සෙ අම්මයි, අක්කයි ‘අරුණ අයියව‘ මුණගැහුණා… ඒ වෙලාවේ එයා එයාගෙ ෆෝන් එක පෙන්නුවා… ඒකෙ මගේ ‘නිරුවත් පිංතූර‘ තිබුණා… කලබල කළොත්, අන්තර්ජාලයට දානවා කිව්වා… අම්මලාගෙන් අවසර අරං ඇවිත් බඳින්නම් කියල කිව්වා… එතකල් ඉවසන්න කිව්වා… පොලිසියට හරි, ආයතනයට හරි මේ ගැන කියලා, එයාට ලැජ්ජා කළොත්, අර පිංතූර අනිවාර්යයෙන් ම ‘ඉන්ටනෙට්‘ දානවා කියලා කිව්වා…‘‘

ඇය කියන හැටියට, දුර බැහැර ගමක සිට ‘මීගමුවේ ඇඟලුම් කම්හලට‘ වැඩට පැමිණ සිටි ‘අරුණ අයියා‘ ඔහුගේ ‘අම්මලාගෙන් අවසර ගන්න හිතාගෙන‘ ගමේ ගිය ගමන්, නැවත මීගමුව පැත්ත පළාතකට පැමිණ නැත. එතැන් සිට, ඔහුගේ ‘ජංගම දුරකතනය‘ ද පසුවන්නේ ‘මාර නින්දක‘ ය.

‘‘එයා ගිය දිහාවක් හොයාගන්න බැරි වුණා… ෆොන් එකත් වැඩ නැතුව ගියාට පස්සෙ තවත් මොනවද…? කොහොම හරි අම්මා ‘ගබ්සා‘ මධ්‍යස්ථානයකුත් හොයාගත්තා… මායි අම්මයි එතනටත් ගියා… එතන ‘ඩොක්ටර්‘ අපෙන් ලක්ෂ දෙක හමාරක් ඉල්ලුවා… අඩුම තරමෙ ලක්ෂ දෙකක්වත් දෙන්න කිව්වා… එදා එතනට ගිය ‘තිස්නමවැනියා‘ මම… මටත් පස්සෙ තවත් අය ‘පෝලිමේ‘ හිටියා… අරුණ අයියා වගේ තවත් රැවටිලිකාරයො, කෙල්ලන්ව අමාරුවෙ දාලා පැනල යන එක ‘සාමාන්‍ය දෙයක්‘ කියලා එදා තමයි මට තේරුණේ… කොහොම වුණත්, එදා අම්මා ආවෙ අඬ අඬා… එදා අපි අතේ ලක්ෂ දෙකක් තියා, රුපියල් දෙසීයක්වත් තිබුණෙ නෑ…‘‘ නිලන්ති කියන්නී ය.

‘‘සල්ලි නැති නිසා ‘ගබ්සාවකුත්‘ කෙරෙන්නෙ නැති වුණාම, මං සිය දිවි හානි කරගන්නත් හැදුවා… එක පාරක් අම්මා ඇවිත් බේරගත්තා… තව වතාවක් අක්කා… දෙතුන් වතාවක් මගේ හිත ම කිව්වා, ‘මැරෙන්න එපා‘ කියලා…ඔය අතරෙ තමයි, CSC Nation Lanka ආයතනය, මේ වගේ දරුවන්ව බාරගන්නවා කියන පණිවුඩය ආවෙ… ඇත්තටම අක්කා තමයි, ‘ෆේස් බුක් එකෙන්‘ ඒ ගැන විස්තර හොයාගත්තෙ…‘‘ නිලන්ති කියන්නී ය.

එළඹෙන ජනවාරි මාසයේ දී ‘අම්මා කෙනෙකු‘ වන්නට නියමිත නිලන්ති ත්, එකෙනෙහි ම ‘ලොකු අම්මා කෙනෙකු‘ වන්නට නියමිත සමන්ති ත්, තවත් ටික වේලාවකින් අප වෙතින් සමුගෙන ගියේ, ‘ඔවුන් සහ අප‘ යන දෙපාර්ශ්වය අතර පැවැත්වුණු, ‘වීඩියෝ සංවාදය‘ නිමාවට පත් කරමිනි.

‘‘හෙට අනිද්දට අම්මෙක් වෙන්න යන මේ නිලන්තිට තාම 18 යි… එයාගෙ අක්කට 20 යි… හරියට බැලුවනං දෙන්නම තාම ඉගෙන ගන්න වයස… මට හිතෙන හැටියට මේ දැරිවියො දෙන්නට ම ‘තාත්තාගෙන් නොලැබුණු ආදරය‘ සම්බන්ධ ලොකු අඩුවක් තියෙනවා… ඉතිං නංගි වගේම අක්කත් මානසික මට්ටමින් ඉන්නෙ සෑහෙන අවදානම් තත්ත්වයක… ආදරේ මුවාවෙන් ඕනැම කොල්ලෙකුට අහුවෙන්න පුළුවන්… මේ විදියෙ පුංචි ගෑනු ළමයින්ට ‘ගර්භණීභාවය‘ කියන්නෙ ඇත්තට ම ජීවිතේ නැති කරගන්න වුණත් හේතුවක් වෙන එක පුදුමයක් නොවෙන්නෙ, එවැනි තත්ත්වයකට පත්වෙන ගෑනු ළමයකුට පිහිට වෙන එකම ආයතනයක්වත් නැති හින්දා… ඉතිං අපි ඒ කටයුත්තට මූලිකත්වය අරං වැඩ කරන්න හිතුවෙ, අන්න ඒ පදනමින්… අම්මාගේ වගේම නූපන්න දරුවාගේ ජීවිතෙත් බේරගන්න ඕන හින්දා… අපි කරන්නේ මේ වගේ දරුවන්ව ගබ්සාවෙන් බේරලා, දරුවන් නැති යුවළකට හදාගන්න දෙන වැඩේට මැදිහත්කරුවෙකු වෙන එක…‘‘ CSC Nation Lanka ප්‍රධානී මංජුල උක්වත්ත පවසයි.

මංජුල උක්වත්ත පවසන ආකාරයට එළඹෙන ජනවාරියේ මෙළොව එළිය දකින්නට නියමිතව සිටින නිලන්තිගේ දරුවාට දැනටමත් ‘ඉහළ පෙළේ පවුලක‘ යුවළක් ඉදිරිපත් වී ඇත.

‘‘දරුවා සැපෙන් සනීපෙන්, ලොකු මහත් වෙයි… බබා ලැබෙන කල් අපි ළඟ ඉන්න නිලන්තිලා වගේ දහසක් අම්මලා වෙනුවෙන්, ඒ අයට අවශ්‍ය පුනරුත්ථාපන කටයුතුත් සිද්ධ කරන්න දැන් දැන් ම අපි අදහස් කරලා තියනවා… ඉදිරියේ දී ඒ වෙනුවෙනුත් අපි අතින් වැඩ කෙරෙයි…‘‘
මංජුල උක්වත්ත පැවසුවේ ය.

සුරේඛා සමරසේන